බුදුහාමුදුරුවො අපේ
ඇතැම් තරුණයන් මගේ ලිපියක වාක්‍යයක් දෙකක් කියවා ප්‍රතිචාර දක්වනවා.
ඔවුන් අඩුම තරමෙන් කාලය වෙබ් අඩවියේ (www.kalaya.org) හා (www1.kalaya.org) ඇති ලිපිවත් කියවලා නැහැ. මේ තරුණයන් ජෙරමි
ලෙන්ට් මෙන් කල්පනා කරන අය නො වෙයි. ලෙන්ට්ට කරුණු ටිකකින් චින්තනය කියන සංකල්පය
ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඒ ඔහු සම්මත බටහිර ආකාරයෙන් පිටත කල්පනා කරන නිසා.
එහෙත් මේ තරුණයන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් ජාතික ව්‍යාපාරයට හිතවත් වුවත්
විරුද්ධ වුවත් ඉන්නේ බටහිර චින්තනයේ. ඔවුන්ට අවුරුදු තිහක් තිස්සේ මා කියන දේ ගැන
වැටහීමක් නැහැ.
අද මට විරුද්ධව ප්‍රතිචාර දක්වන අය වැඩියෙන් ම ඉන්නේ ජාතික ව්‍යාපාරයේ.
ජාතික ව්‍යාපාරයේ ප්‍රධානීන් හා ප්‍රධානීන් වීමට කටයුතු කරන අය ප්‍රසිද්ධියේ මා
කියන කිසිම දෙයක් අගය කරන්නේ නැහැ. සමහර විට එයට හේතුව මගෙන් ජාතික ව්‍යාපාරයට
අවැඩක් වන නිසා වෙන්න ඇති. බටහිර විද්‍යාව දේවත්වයෙන් ආගමක් ලෙස අදහන අයට කිසි දා
මා කියන දේ තේරුම් යන එකක් නැහැ. අප කූන්ලා ෆෙයරාබන්ඩ්ලා ඇස්පෙලා පහු කර ඇවිත්
බොහෝ කල්. බටහිර විද්‍යාවේ ඇත්තේ හරිගිය එහෙත් හරි නොවන හිතළු ටිකක් පමණයි. එවැනි
හිතළු කතන්දරවලට බටහිරයන් ප්‍රවාද කියනවා.
අවුරුදු තිහකට පෙර ලියූ මගේ ලෝකයේ කියැවෙන ප්‍රධාන කරුණ නම් දැනුම
නිර්මාණය කෙරෙන බවත් එය පංචෙන්ද්‍රියවලට (ඉන්ද්‍රිය පද්ධතියට) සංස්කෘතියට හා මනසට
සාපේක්‍ෂ බවත්. එය පටිචචසමුප්පදායට එකඟ බව බොහෝ දෙනාට වැටහීමක් නැහැ. දැනුම
නිර්මාණය කෙරෙන්නේ ම අවිද්‍යාව නිසා. අවිද්‍යාව යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම
අනවබෝධයයි. එය මගේ ලෝකයේ නැහැ. එය පසුව එකතු වූවක්. නිර්මාණය කරන ලද දැනුම විසින්
ඇතැම් විට සංස්කෘතිය වෙනස් කෙරෙනවා. පවත්නා දැනුම ද වෙනස් කෙරෙනවා. එය සම්මතයක්
වුවොත් ඉන්පසු දැනුම නිර්මාණය කෙරෙන්නේ ඒ අලුත් සම්මුතියෙහි. සම්මතයක්
නූනත් එහි දැනුම නිර්මාණය කරන්න පුළුවන්. එහෙත් එවිට ඒ දැනුමට කිසිම
පිළිගැනීමක් නැහැ.
ඇතැමුන් සිතන්නේ සිදුහත් කුමරු හින්දු පවුලක උපන්නේ ය කියා. මා
කොතෙකුත් කියා ඇති හින්දු ආගම ඇති වුණේ අධිශන්කරාචාර්යතුමාගෙන් පසුව කියා. එහෙත් ඒ බව
කියවන්නේ නැතිව සිදුහත් කුමරුගේ හින්දු කමක් ගැන කියනවා. සිදුහත් කුමරු උපදින විට
ඉන්දියා දේශයේ (භාරතයේ ඉන්දියාව කියන රට ඇතිවුණේ ඉංගිරිසින්ගෙන් පසුව වුවත් ඉන්දීය
දේශයක් කලක සිට පැවතුණා. කොලම්බස් ලෝකය වටකුරු බව දැනගෙන ස්පාඤ්ඤයෙන් බටහිරට ගියේ
ඉන්දියාව සොයා ගෙන. ඔවුන් ඇමරිකාවේ වැසියන් රතු ඉන්දියන්වරුන් ලෙස හැඳින්වූවා)
පැවතුණේ බ්‍රාහ්මණ ආගම්. ඒවාහි යාග හෝම තිබුණා. ඔවුන් සතුන් බිලි දුන්නා. මේ ආගම්
බිලි දීම් නැවැත්තුවේ බුදුදහමේ හා ජෛන ආගමේ බලපෑමෙන්. හින්දු ආගම ඇති වුණේ ඉන්
පසුව. අධිශන්කරාචාර්යතුමා නාගර්ජුන හාමුදුරුවන්ගෙ වැරදි සංකල්පයක් වූ ශුන්‍යතාව
(ශුන්‍ය නො වේ) ඔළුවෙන් හිටවල නිර්ගුණ බ්‍රහ්මන් නිර්මාණය කළා.
සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහා බැලුම් බැලූ බව කියැවෙනවා. එතුමා
අයිස්ලන්තයේ උපදින්න කල්පනා කෙළේ නැහැ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරුවත්
අයිස්ලන්තයේ ඉපදිලා බුදු වෙන්න බැහැ. බුදු වීමටත් බෝසතාණන් වහන්සේ අදාළ සංස්කෘතියක
ඉපදෙන්න ඕන. පස්මහා බැලුම් බැලුවෙ ඒ නිසයි. බ්‍රාහ්මණ ආගම්වල සසරක් ගැන කියැවුණා.
සසරින් එතරවීමක් ගැන කියැවුණා. සිදුහත් තවුසාණන් පටන් ගත්තෙ එතැනින්. එතුමාගෙ මනස
සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තිස්සේ එතැනින් එහාට යන්න සකස් කර තිබුණා.
බුද්ධත්වයේ දී සිදු වූයේ අලුත් දැනුමක් නිර්මාණය කිරීමක් නො වෙයි.
බුදුන් වහන්සේ සංසාරය තනන වඩුවා සොයා ගත් බව කියැවෙනවා. එය ආකිමිඩීස්ගෙ හරි
නිව්ටන්ගෙ හරි ඊනියා සොයා ගැනීමක් නො වෙයි. එය අලුත් දැනුමක් නිර්මාණය කිරීමක් නො
වෙයි. බුදුන් වහන්සේ කෙළේ දැනුම් නොදැනුම් බවට පත් කිරීම. අප දැනුම් නිර්මාණය
කරන්නේ අවිද්‍යාව නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධය නිසා. බුදුන් වහන්සේ ප්‍රවාද
නිර්මාණය කෙළේ නැහැ. උන්වහන්සේ නිවන පසක් කළා.
එහෙත් ඒ පසක් කළ නිවන අන්‍යයන්ට දේශනා කිරීමට භාෂා වචන අවශ්‍ය වුණා.
බුදුදහමේ ඇති විශාලතම ගැටලුව එයයි. වචනවලින් කිව නොහැකි පසක් කළ දහමක් වචනලින්
කීම. අද ප්‍රතිචීන (බටහිර) බුද්ධාගමේ පඬියන් නිවනත් වචනයෙන් විස්තර කරන්න අසාර්ථක
උත්සාහයක යෙදෙනවා. ඒ උත්සාහ සඳහා බටහිරයන්ගෙන් ආචාර්ය උපාධි ලබාගන්න පුළුවන්.
එහෙත් නිවන පසක් කරගන්න බැහැ. ඔවුන් විශ්වවිද්‍යාලවල බොරු උගන්වා ලක්‍ෂ ගණනින්
වැටුප් ලබනවා.
බුදුදහම තරමකටවත් වචනවලින් කිව හැක්කේ දඹදිව එකල තිබූ ඇතැම් ජනපදවල
භාෂාවලින්. බුදුන් වහන්සේ ඒ ජනපද නිරුක්තියෙන් දහම් දෙසීමට භික්‍ෂූන් වහන්සේලාට
උපදෙස් දුන්නා. සංස්කෘත භාෂාවෙන් ධර්මය දේශනා කිරීමට උනන්දු කෙළේ නැහැ. සංස්කෘත
බමුණන් හදපු භාෂාවක් කියලයි කියන්නෙ. ඉංගිරිසියෙන් බණ කියන්න පුළුවන් ද? ඒ භාෂාව හැදිලා තියෙන්නෙ ද්විකෝටික න්‍යායට
අනුගත ව වෙළෙදාම් කිරීමට හා සැලසුම් කිරීමට. ඉංගිරිසියෙන් දහම් දෙසන විට වැරදි
අර්ථකථන ඇතුල්වීම වළක්වන්න බැහැ, ඔවුන්ගේ සංස්කෘතියට අනුරූප ව බුදුදහම සකස්
කෙරෙනවා. රීස් ඩේවිස්ලාගේ සිට අද දක්වා බටහිරයන් කරන්නේ එයයි. ඔවුන්ගේ මෙරට ගෝලයන්
නිර්මාණශීලී නොවී තම ගුරුවරුන් අනුකරණය කරනවා. ගුරුවරයා හිට ගෙන කරන දේ ගෝලයා දුව
දුව කරනවා.
නොදැනුමක් ගැන කියන බුදුදහම කිසිම සංස්කෘතියකට අයත් නැහැ. සිදුහත්
තවුසාණන්ට එකල දඹදිව තිබූ සංස්කෘතිය ආධාර වූවාට බුදුන් වහන්සේ අවසානයේ දී ඒ
සංස්කෘතියෙන් පිට වුණා. සියළු සංස්කෘතීන්වලින් පිට වුණා. ඒ කියන්නෙ අප රැවටීමට ඕල්කට් (ප්‍රොතෙස්තන්ත නො වේ)
බෞද්ධයන් කියන විධියට ජාත්‍යන්තර වුණා කියන එක නො වෙයි. ජාත්‍යන්තරයෙන් ද පිට වුණා
කියන එකයි.
එහෙත් බුදුදහම අනෙක් අයට කියන්න ඕන. ඒ සඳහා භාෂා ඕන. ඒ භාෂා සකස්
කෙරුණු සංස්කෘතීන් තියෙනවා. ඒ සංස්කෘති අවශ්‍ය වෙනවා. අද ඉන්දියාව බුදුහමට
සතුරුයි. බුදුදහම ඒ දේශයෙන් තුරන් වුණෙ මුස්ලිම් ආක්‍රමණයකට වඩා බමුණු ආක්‍රමණ
නිසා. බමුණන්ට තැනක් නොදුන් බුදුදහම නැති කිරීමට ඔවුන් කටයුතු කළා. අදත් එහෙමයි.
මෝදි ආවෙ අප රැවටීමටයි. සංස්කෘත බුදුදහම විඥානවාදී වී බ්‍රහ්මන්ට කිට්ටු වුණා.
චීනයට ගියේ සංස්කෘත බුද්ධාගම. ථෙරවාදයේ බුදහමේ නැති යථාර්ථයක් තියෙනවා. එයත් බමුණු
බලපෑමෙන් සිදු වූ දෙයක්.
ඒ ථෙරවාදය වුවත් අද තියෙන්නෙ ලංකාවෙ. සිංහල භාෂාව බුදුදහම තරමකට හරි
කියන්න සකස් වෙලා තියෙනවා. තව කොපමණ කාලයකට ද කියන්න බැහැ. අද සිංහලට ඉංගිරිසියෙ
බලපෑම ඉතා අධිකයි. අප සිංහල බෞද්ධ
සංස්කෘතිය ගැන මෙතරම් කතා කිරීමට උනන්දු වීමට එක් හේතුවක් අපේ භාෂාව හා බුදුදහමට
එහි ඇති සමීප බව. සිදුහත් කුමරු නේපාලයේ උපන්නත්, කාලිංගයේ (ඔඩෙස්සා) උපන්නත් වෙනත් කොහේ හරි උපන්නත් බුදුහාමුදුරුවො
අපේ. හැබැයි ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන්ගෙ නො වෙයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූනි 04