සිංහල බෞද්ධයනට බය කවු ද?
මෙරට දැන් කිසිම අයකු බය නැති ජන කොටසක් ඉන්නවා. ඒ සිංහල බෞද්ධයන්.
සිංහල බෞද්ධයන්ට දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොලිසියවත් වෙනත් කිසිවකුවත් බය
නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන්වත් සිංහල බෞද්ධයන්ට බය නැහැ. ජනමාධ්‍ය ප්‍රධානීන් අතර
සිංහල බෞද්ධයන් කී දෙනකු ඉන්නවා දැයි මා දන්නේ නැහැ. ඇතැමුන් සිංහල බෞද්ධයන් ලෙස
පෙනී සිටිනවා. සිංහල බෞද්ධයන් නම් සිංහල
බෞද්ධයන් ලෙස අනෙක් හැමෝට ම බයයි.
එයට හේතු ගණනාවක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට අද නායකයකු නැහැ. ඔවුන්ට
ඔවුන්ගේ ම වූ ව්‍යාපාරයක් සංවිධානයක් නැහැ. සිංහල බෞද්ධයන් ජීවත් වන්නේ තනි තනි ව
මෙන්. කලකට පෙර ජාතික ව්‍යාපාරය කිව හැකි
යමක් තිබුණ නමුත් අද එය දැක ගන්නට නැහැ. අප සුද්දන්ට ගිවිසුමකින් රට භාරදීමෙන් පසු
දහනවවැනි සියවස අගභාගයේ සිට මෙරට
නුතන ජාතික ව්‍යාපාර බිහිවුණා. අනගාරික
ධර්මපාලතුමා සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට නායකත්වය දුන්නා. එහෙත් ඕල්කට්තුමා
සිංහලත්වය පසෙකට දමා ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන් බිහි කළා. ඉන් පසු සිංහල බෞද්ධ
ජාතික ව්‍යාපාරයෙහි ශක්තිය අඩු වුණා. ඉන් පසු පක්‍ෂ දේශපාලනය පැමිණියා.
පසුව භාෂා ප්‍රේමීන් බිහි වුණා. ඔවුන්ගේ බෞද්ධකම අඩු වුණා. සිංහලකම
වැඩි වුණා. එහෙත් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය ඉදිරියට ගියේ සුළු වශයෙන්. පනස්හයට
පෙර සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයෙහි පුනරුදයක් ඇති වුණා. පනස්හයට එහි දායකත්වය
තිබුණා. එහෙත් ඉන් පසු එය පිරිහුණා. එයට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලනීකරණය. තවත්
හේතුවක් විද්‍යොදය විද්‍යාලංකාර අහිමි වීම. (පක්‍ෂ) දේශපාලනීකරණය වූ ජාතික ව්‍යාපාරයකට
මෙරට තැනක් නැහැ.
බණ්ඩාරනායක මහත්මිය ජාතික ව්‍යාපාරය ඇසුරු කළා මිස එය ප්‍රයෝජනයට
ගැනීමට උත්සාහ කෙළේ නැහැ. ඒ ආදර්ශය අනෙක් දේශපාලනඥයන්ට ගන්න බැරි වුණා. 1977 ඇගේ පරාජයට ප්‍රධාන හේතුව වූයේ ව්‍යාජ
සමාජවාදය. ඇන් ඇම්ලා නොමරා මැරුවේ ඇගේ සැමියා පමණක් නො වෙයි. ඔවුන් ඇයත් නොමරා
මැරුවා. 1977න් පසු ඇයට රාජ්‍ය නායිකාව ලෙස බලයට
පත් වීමට හැකි වූයේ නැහැ.
ඉන්දු ලංකා ගිවිසුම සමග ජාතික ව්‍යාපාරය නැවත පණ ගැන්වුණා. එහෙත් ජ
වි පෙ එය ගසා කෑමට උත්සාහ කළා. පසුව ටික කලෙකින් ජාතික ව්‍යාපාරයට දේශපාලනඥයන්ගෙන්
ස්වාධීන වීමට හැකි වුණා. 1994 සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකා බලයට
පත්වුවත් ඇයගේ බලය දුර්වල කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි වූවා. ජී එල් පීරිස්,
මංගල ආදීන් සමග තවලම් අවලම් ගිය සුදු නෙළුම් ව්‍යාපාරයේ
පැකේජය පැරදවීමට ජාතික ව්‍යාපාරයට හැකි වුණා. ඒ බව බොහෝ දෙනකු හිතන්නේවත් නැහැ.
ජාතික හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ ශක්තිමත් බව මතින් කලින් ජ වි පෙ
කළාක් මෙන් ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කළා. 2005 දී බලයට පැමිණි මහින්ද ජාතික ව්‍යාපාරය දේශපාලනයට තවත් ලක් කළා. ඒ
සමග විමල් ද ජාතික ව්‍යාපාරයේ දේශපාලනීකරණයට අත හිත දුන්නා. අද ජාතික ව්‍යාපාරයක්
නැහැ. ජාතිකත්වය යොදා ගන්නා දේශපාලන කණ්ඩායම් කිහිපයක් තිබෙනවා. එහෙත් ඔවුන්ට
ජාතිකත්වය මත ජනතාව සංවිධානය කරන්න බැහැ.
ජාතිකත්වය ගසා කෑවේ, ගසා
කන්නේ දේශපාලනඥයන් කිහිප දෙනකු පමණක් නො වෙයි. ජනමාධ්‍ය ප්‍රධානීන් ද ඔවුන් විසින්
මෙහෙයවෙන ජනමාධ්‍යවේදීන් ද ජාතිකත්වය ගසා කනවා. මේ ජනමාධ්‍ය ප්‍රධානීන් එක්කෝ
දේශපාලනඥයන් සමග සම්බන්ධයි, නැත්නම් දේශපාලනඥයන් වීමේ බලාපොරොත්තුව
ඇතුව කටයුතු කරනවා. ඔවුන් ආණ්ඩු විරෝධී දේශපාලනය තම පෞද්ගලික හා වෘත්තීය වර්ධනය
වෙනුවෙන් යොදා ගන්නවා, නැත්නම් එහි විලෝමයෙහි නිරත වෙනවා.
අද නැවතත් ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු තම ප්‍රයෝජනය සඳහා ජාතික ව්‍යාපාරය
අවදි කිරීමට උත්සාහ ගන්නවා. එහෙත් එය සාර්ථක වන්නේ නැහැ. අප පසුගිය වසරවල ගත් සෑම
උත්සාහයක් ම දේශපාලනඥයන් හා ඔවුන්ගේ ඇම්බැට්ට ජනමාධ්‍ය ප්‍රධානීන් අසාර්ථක
කළා. අද කිසිවකු සිංහල බෞද්ධයනට බය නැහැ.
ජනමාධ්‍ය දේශපාලනයෙන් තොර ජාතිකත්වයකට වැදගත් කමක් දෙන්නේ නැහැ. අට දෙනකු සමග වික්‍රමබාහු
කරන ඊනියා උද්ඝෝෂණයකට මහත් ප්‍රචාරයක් දෙන ජනමාධ්‍ය (ජාතිකත්වයට තැන දෙන්නේ යැයි
කියන ජනමාධ්‍ය ද ඇතුළු ව) අපේ රැස්වීමකට තත්පර තිහකවත් ප්‍රචාරයක් දෙන්නේ නැහැ.
ජාතිකත්වයට තැන දෙන්නේ යැයි කියන ජනමාධ්‍ය රැස්වීමටවත් එන්නේ නැහැ.
දේශපාලනඥයන් තරමක්වත් බය වූයේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගෙ බොදු බල සේනා
ව්‍යාපාරයට විතරයි. එහෙත් උන්වහන්සේ ඇසුරු කළ අයගේ විවිධ දේශපාලන අරමුණු නිසා එය
නැති කර දැමීම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද ඇති විවිධ බලකායන් දේශපාලනය විසින්
මෙහෙයෙවන දුර්වලකායන් පමණයි. අද සිංහල බෞද්ධයන් ජාතියක් ලෙස එකතු වන්නේ නැහැ.
අද ඇත්තේ ජනමාධ්‍ය විසින් ප්‍රචාරය දෙන විවිධ උද්ඝෝෂණ පමණයි. ඒ
උද්ඝෝෂණ විවිධ අරමුණු ඇතිව කෙරෙන ඒවා. වික්‍රමබාහුගේ අට දෙනාගේ උද්ඝෝෂණයේ සිට දහස්
ගණනකගේ සහභාගීත්වයෙන් ඊයේ බණ්ඩාරවෙළ දී කෙරුණු උමා ඔය උද්ඝෝෂණය දක්වා ඒ විවිධයි.
ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඒ උද්ඝෝෂණවලට කෙසේ නමුත් ආණ්ඩු විරෝධයක් කවනවා. උමා ඔය ව්‍යාපෘතියේ
ඉතිහාසය ගැනවත් සයිටම් ඉතිහාසයවත් ගැනවත් ඔවුන් සඳහන් කරන්නේ නැහැ. ඒ අතර
රේලගේට්ටු උද්ඝෝෂණ, විදුහල්පති මාරු කිරීම පිළිබඳ උද්ඝෝෂණ,
අලි මං හරස්වීමේ උද්ඝෝෂණ ආදී උද්ඝෝෂණත් වෙනවා.
මේ හැම එකක් ම ඊළඟ මැතිවරණයට ප්‍රයෝජනවත් වේවි. එහෙත් ඒ මැතිවරණයක් පැවත්වුවහොත්.
අනෙක් අතට ඒ එකක්වත් සිංහල බෞද්ධකම වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ නො වෙයි. සිංහල
බෞද්ධයනට බය කවු ද? කොහොම හරි සිංහල බෞද්ධයන්ගෙ ඡන්දෙ අරගත්තොත්
ඇති. හැකියාවක් ඇති පුද්ගලයන්ට සිංහල බෞද්ධයන් රවටන එක අමාරු වැඩක් නො වෙයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූනි 29