Main Logo

Monday 12 June 2017

රවි උච්ච වීම රනිල්ට ජයක්  


රවි උච්ච වීම රනිල්ට ජයක්



ඇමති මණ්ඩලය වෙනස් කළ ආකාරය විද්‍යාත්මක නැහැ කියලා ඇතැමුන් කියනවා. එයින් වැඩි දෙනකු ඒකාබද්ධ විපක්‍ෂයේ. ටික දෙනකු ආණ්ඩු පක්‍ෂයේ. ජනමාධ්‍යයේ පඬියනුත් ඒ විද්‍යාත්මක නැහැ කියලා කියනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ විද්‍යාත්මක නොවීම කියන්නේ මොකක් ද කියලා. ඒ කියන අය අතර විද්‍යාඥයන් නැති බව මා දන්නවා. ඒ ලංකාවෙ විද්‍යාඥයන් නැති නිසයි. ඒ වුණත් ජනමාධ්‍ය පඬියන් කියන්නේ පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනය යන්න විද්‍යාත්මක විධි ක්‍රමය කියලයි. ඒක ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය නොවන බව ඇතැමුන් දන්නවා. බටහිර විද්‍යාවෙ තියෙන්නෙ වියුක්ත හිතළු, කතන්දර කීමයි. මෛත්‍රිපාලට නම් ඒක බැරි බව අප දන්නවා. ලංකාවෙ කාටවත් බැරි එකේ මෛත්‍රිපාලට විතරක් වියුක්ත කතන්දර කියන්න බැහැ. මෛත්‍රිපාල පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනයට පයින් ගහල ද? මොකක් ද මේ පඬියන් විද්‍යාත්මක නැහැ කියන එකෙන් කියන්නෙ.




බුද්ධාගම විද්‍යාත්මක ද කියලා අහන පඬියන් ඉන්න රටක මේ පුහු විද්‍යාත්මක කතා ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. මේ කතා තමන්ගෙ පඬිකම පෙන්නන්න කියන කතා විතරයි. මෛත්‍රිපාල නොවෙයි ජනමාධ්‍යවේදීනුත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් අනුගමනය කරන්නෙ නැහැ. ඒ තමන්ට බැරි නිසා. එහෙත් කිසිවකු තමන්ට විද්‍යාඥයකු වීමට බැරි බව පිළිගන්න සූදානම් නැහැ. බටහිර විද්‍යාව ගැන කතා කරන්න නම් හැමෝ ම සූදානම්.



මේ විද්‍යාත්මක පුහු කතා අපි පැත්තකට දමමු. රවිට අවසානයේ දී විදේශ කටයුතුවලට අමතර ව ලොතරැයි කටයුතුත් ලැබුණා. මට නම් එය ප්‍රශ්නයක් නො වෙයි. මෙහි තියෙන ප්‍රශ්නය ඔහු විදේශ කටයුතු ඇමති ලෙස නම් කිරීම. ඔහුගේ පදවිය නම් කළ යුත්තේ විදේශ කටයුතු හා ලොතරැයි කටයුතු පිළිබඳ ඇමති ලෙස. එසේ නම් කිරීම විද්‍යාත්මක නොවේ ය කියා පඬියන් කියනවා ද? මා නම් විද්‍යාඥයකු නො වෙයි, විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරිකම තේරුම් අරගෙන ආපසු පැමිණි කෙනෙක්. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට, විභාග සමත් වන්න පුළුවන්. මහාචාර්යවරු වෙන්නත් පුළුවන්. ඒත් විද්‍යාඥයන් වෙන්න බැහැ.



මෛත්‍රිපාල ඇමති මණ්ඩල වෙනස්කම් කීරීමේ දී ඒ ඒ ඇමතිවරුන්ට හිමි ආයතන සඳහන් ගැසට් පත්‍රය නිකුත් කිරීම කල් දැම්මා.  සමහර විට ඔහු ඒකාබද්ධ විපක්‍ෂය තමන්ට අවශ්‍ය ශක්තිය දෙන්නේ ද කියා බලන් ඉන්න ඇති. මෛත්‍රිපාල එතරම් ශක්තිමත් පුද්ගලයකු නො වෙයි. රවි ලොතරැයි ඉල්ලද්දී ඒකාබද්ධ විපක්‍ෂය කෙළේ කුමක් ද? ඔවුන් මෛත්‍රිපාලට පක්‍ෂ වී රවිට ලොතරැයි නොදෙන ලෙස බල කළා ද? එසේ කළ බවට ආරංචියක් නම් නැහැ. ඒ වෙනුවට මහින්ද රවිට දුරකතනයෙන් කතාකර ඔහු අස්වසාලූ බවත් යෝෂිත රාජපක්‍ෂ රවිගේ ගෙදර ගොස් රවි හමු වූ බවත් නම් වාර්තා වුණා.



ඒකාබද්ධ විපක්‍ෂය කියාවි තම ආධාරය දුන්නත් නැතත් මෛත්‍රිපාලට තම රාජකාරිය ඉටු කිරීමට හැකි විය යුතුය කියා. එහෙත් කවුරුත් දන්නවා මෛත්‍රිපාලට ඒ  හයිය නැති බව. ඒකාබද්ධ විපක්‍ෂය කළ යුතුව තිබුණේ මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලබා දීම. එහෙත් ඔවුන් ඒ කෙළේ නැහැ. අවසානයේ දී මෛත්‍රිපාලට රවිට ලොතරැයි ලබා දෙමින් ගැසට් නිවේදනය නිකුත් කිරීමට සිදු වී තිබෙනවා.



බල අරගලයෙන් මෛත්‍රිපාල පැරදී රනිල් ජය ලබා තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලබා දුනි නම් රනිල් පරදවන්න තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ පුද්ගල බද්ධ වෛරී දේශපාලනය හේතුකොට රනිල් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට අද අවශ්‍ය රටට මොකක් වුණත් මෛත්‍රිපාල පැරදවීම හා රනිල් දිනවීම ද යන ප්‍රශ්නය අපට අසන්නට සිදු වෙනවා.



මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට හා මහින්ද රාජපක්‍ෂට තදබල ද්‍රෝහිකමක් කළ බව ඇත්තයි. අනෙක් අතට මෛත්‍රිපාලට ඒ ද්‍රෝහිකම කිරීමට මග පෑදීම මගින් ඇතැම් රාජපක්‍ෂලාත් රටට විපතක් කර තිබෙනවා. මෙය අද පෞද්ගලික වෛරයකට පෙරළී තියෙනවා. අද කළ යුත්තේ මේ පෞද්ගලික වෛරී දේශපාලනයේ තව තවත් යෙදීම නොව රටේ පැත්තෙන් බලා මහින්ද හා මෛත්‍රිපාල එකතු වීමයි. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ අයකු අගමැති කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාලට සහාය හා ශක්තිය ලබා දීය යුතුයි.



එසේ නොකරන්නේ නම් රනිල් තමන්ට අවශ්‍ය ව්‍යවස්ථාවක් තමන්ට අවශ්‍ය ආකාරයකට සම්මත කර ගනීවි. එහි දී මා නම් සම්පුර්ණ වරද පටවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ වෛරී දේශපාලනයටයි. බෞද්ධයන් අන් අයට බණ කියන තරමට තමන් බණ පිළිපදින්නේ නැහැ. ජපානය වෙනුවෙන් බටහිරයන්ට බණ කී ජේ ආර් මෙරට දී වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න ක්‍රියාත්මක කළා ද? අද ඒකාබද්ධ විපක්‍ෂයත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන්න මෙරට දේශපාලනයේ දී ක්‍රියාත්මක කරන්නේ නැහැ. 



මේ වෛරී දේශපාලනයෙන් බැට කන්නේ රටයි. අපට වැඩි කාලයක් ඉතිරි වී නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය බලයට පත්වුවහොත් තනතුරු ලබා ගැනීමට බලා සිටින ඊනියා උපදේශකයන් මෛත්‍රිපාල හා මහින්ද එකතු කිරීමට විරුද්ධයි. ඒකාබද්ධ විපක්‍ෂය විසින් මොවුන් හළාහළ විෂක් ලෙස සලකා ඉවත් කළ යුතුයි.









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූනි 12.