Main Logo

Monday 26 June 2017

බටහිර ආධිපත්‍යය


බටහිර ආධිපත්‍යය


මා ඊයේ ලියූ ලිපිය බොහෝ දෙනකුට තේරී නැහැ. එහි ජාතිවාදය ගැන අලුත් ම අර්ථකථනයක් දී තිබුණා. ජාතිවාදය හා ජාතිභේදවාදය ගැන කියන කතාවලට ජනමාධ්‍යයේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන නමුත් මා දුන් අර්ථකථනයට කිසිවකගේ අවධානය යොමු වී නැහැ. ජාතිවාදය හා ජාතිභේදවාදය අතර වෙනස පැහැදිලි කිරීමට හැකි අයකු සිටිනවා ද? එහෙත් මේ රටේ හැටි එහෙමයි. ඊනියා උගතුන්ටත් ඇත්තේ හැඳි මිට දිගේ නුවණක් පමණයි.

මා ඒ ගැන පුදුම වන්නේ නැහැ. උපාධියට පිටරට ගොස් දර්ශනය හදාරා පිටරට තබා මෙරටවත් විශ්වවිද්‍යාලයක දර්ශනය පිළිබඳ කථිකාර්ය තනතුරක් ලබා ගැනීමට නොහැකි, ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් පළ කිරීමට නොහැකි දාර්ශනිකයන් රටට ම දර්ශනය උගන්වනවා. චක්‍රීය චින්තනයක නිර්මාණ තිබිය හැකි බව හා තිබිය යුතු බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. දැනුම නිර්මාණය වන දෙයක්. ප්‍රශ්නය ඒ නිර්මාණය වන්නේ කෙසේ ද යන්නයි. චක්‍රිය චින්තනය යනු එක ම දේ නැවත නැවත කීම නො වෙයි. මේ පුස්සන් සමග කතා කිරීමත් කාලය නාස්ති කිරීමක්.

වරක් ගම්පහ පැවති සම්මන්ත්‍රණයක දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය කීවේ බටහිර වෛද්‍ය විද්‍යාවේ   නැණට බුදුදහමේ ගුණ එකතු කළ යුතු බවයි. ඔහුගේ නොදැනුවත් කම එයින් ම පැහැදිලි වෙනවා. ගුණනැණ යන්න පද්ධතියක් මිසක් එක පද්ධතියකින් ගුණ හා තවත් පද්ධතියකින් නැණ එකතු කර නිර්මාණය කර ගන්නා දෙයක් නො වෙයි. පාදෙණිය කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණ නැති බව ද? එහි ගුණ තබා නැණවත් නැහැ. එකතු කරන ලද දැනුමක් නම් තිබෙනවා. ඒ දැනුමේ පරස්පර තිබෙනවා. පාදෙණිය තම දරුවන්ට ප්‍රතිකාර දෙන්නේ අදෘශ්‍යමාන බලවේගවල ආධාරයෙන්. මා අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරනවා කියා එක් අයකු මට කුණුහරුපයෙන් බැණ වැද ලිපියක් එවා තිබුණා. ඔහු මගෙන් ගණිතය ඉගෙන ගත් අයකු නම් වෙන්න බැහැ. මා නූගැන්වූ අවකල සම්කරණ මා ඉගැන් වූ පාඨමාලාවක් ලෙස ඔහු කියා තිබුණා. ඔහු  බොහෝ විට ජෛවීය විද්‍යා ඉගෙන ගත අයකු වන්න ඕන.

පාදෙණියට ජනාධිපති විය හැකි ය යන කතාව කියන්නේත් ඒ අදෘශ්‍යමාන බලවේග. කලකට පෙර ඒ බලවේග චන්න ජසුමනටත් ඒ කතාව කිව්වා. එහෙත් ඒ සමග ඔවුන් කියන තවත් කතාවක් තිබෙනවා. ඒ ජනාධිපති වීමට නම් ආධ්‍යාත්මික බලයත් ගොඩ නගා ගත යුතු බව. ආධ්‍යාත්මික බලය ගොඩ නගා ගැනීම එතරම් පහසු දෙයක් නො වෙයි. මෙයින් අදහස් කරන්නේ මෙරට ජනාධිපති වූ අයට ඉහළ ආධ්‍යාත්මික බලයක් තිබුණු බව නො වෙයි. අදෘශ්‍යමාන බලවේගවල ආධාරය ලබා නොගන්නන්ට ආධ්‍යාත්මික බලයක් අවශ්‍ය වන්නේ නැහැ. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රිපාල ආදීන්ගේ ආධ්‍යත්මික බලය කුමක් ද?

පසුගිය දා චන්ද්‍රිකා අපේ උතුම් බුද්ධාගම ගැන කතා කර තිබුණා. ඒ දේශපාලන වාසියට. ඇය පන්සිල් පද පහෙන් කීයක් රකිනවා ද? ඒ පිළිබඳ ඇයට සහතිකයක් ඉදිරිපත් කළ හැකි ද? සහතිකය දෙන තැනැත්තා පන්සිල් රකින බවට අපට ඇති සහතිකය කුමක් ද? මිනිසුන් මත්පැන් පානය කරන්නේ, සමලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා නම් එවැන්නන් වැරදි කාරයන් කරන්නේ කෙසේ ද? ජාතියේ අවමංගල ඇමති මංගල සමරවීර ඒ ප්‍රශ්නයට කැමති ද? කැමති නම් අපි එතනින් එහාට යමු. මංගල උත්සාහ කරන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය සිංහල බෞද්ධයන්ගේත් සංස්කෘතිය බවට පත් කිරීමට. සෑම දෙයක් ම සිදුවන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා නම් දණ්ඩ නීති සංග්‍රහය විසි කර දැමිය යුතුයි.

මහින්ද කියනවා සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව කැත්තට පොල්ල මෙන් නොවිය යුතු බව. ඒක ඇත්ත. සයිටම් ඇති කෙළේ මහින්ද. මහින්ද කියන්නේ සයිටම් අහොසි කළ යුතු බව ද? තමන් ඇති කළ සයිටම් ආයතනයේ වැරදි මොනවා ද? සයිටම් ප්‍රමිතියේ වැරදි මොනවා ද? ප්‍රමිතිය ගැන මෙරට ඇතැම් රජයේ වෛද්‍ය පීඨවලට උදම් ඇනිය හැකි ද? ඒ පීඨවල ශිෂ්‍යයනුත් සයිටම් ප්‍රමිතිය ගැන කතා කරනවා!

ග්ලයිෆොසේට් ගැන වකුගඩු රෝගයේ අයිතිකරුවන් කතා කරන කාලයේ වකුගඩු රෝගයට සිංහල වෙදකමේ ප්‍රතිකාර තිබෙන බව කියන්නේ නැහැ. කලකට පෙර මහාවිලච්චියේ වකුගඩු රෝගීන්ට අප සිංහල වෙදමහතකු ලබා ප්‍රතිකාර කෙරෙව්වා. ඔවුන් සුව වුණා. ඔවුන් ගැන වාර්තා කිරීමට අප දෙරණ ජනමාධ්‍යවේදියකු ද මහවිලච්ච්යට රැගෙන ගියා. එහෙත් දෙරණ ඒ ගැන කිසිම වාර්තාවක් පළ කෙළේ නැහැ. ඔවුන් හිතන්නේ මා ගේම් කාරයකු බවයි. අපේ දේ රැක ගැනීම ගැන හදවතේ ගැඹුරු ම තැනින්  කතාකරන්නේ යැයි කියන  දෙරණ රෝගීන් සුව වූ බවට බටහිර වෛද්‍යවරුන්ගේ සහතික ඉල්ලුවා. බටහිර වෙදකමේ පමණක් නොව බටහිර දැනුමේ ආධිපත්‍යයට යට නොවන මා ඒ ඉල්ලීම දැඩි පිළිකුලෙන් ප්‍රතික්‍ෂෙප කළා.

මෙරට සිංහල වෙදකම දියුණු කිරීමට කිසිම ආණ්ඩුවක් කටයුතු කර නැහැ. එසේ කළා නම් සයිටම් අවශ්‍ය වන්නේ වත්, මෙරට සිසුන් පිටරට යවා බටහිර වෛද්‍යවරුන් බවට පත් කිරීමටවත් බටහිර වෙදකමට මෙතරම් විදේශ විනිමයක් යට කිරීමටවත්  කාලෝගේ මෝඩ කතාවලට සැලකීමට අවශ්‍ය වන්නේවත් නැහැ. ඔහු වරක් කීවේ රෝගවලින් තුනෙන් එකක් ප්‍රතිකාරයක් නැතිච සුව වන බවත් සිංහල වෙදකමෙන් සුව වන්නේ එවැනි රෝග බවත්. මා නැවතත් පාදෙණියට හා කාලෝට වෙදකම විද්‍යාව හා සයිටම් ගැන මා සමග විවාදයකට එළඹෙන ලෙස අභියෝග කරනවා.      







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා

2017 ජූනි 26