Main Logo

Showing posts with label නන්දිකඩාල්. Show all posts
Showing posts with label නන්දිකඩාල්. Show all posts

Friday, 23 November 2012

දේශපාලනිකව අහෝසි වී ඇති ෆෙඩරල් දහතුන නෛතිකව ද අහෝසි කරමු

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකළ යුතු යැයි කියන්නන්ගේ හේතු වී ඇත්තේ දෙමළ ජනයාට අසාධාරණයක් තිබීම, ඒ සඳහා දේශපාලනික විසඳුමක් නොදීම නිසා දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීම, දහතුන එවැනි දේශපාලන විසඳුමක් වීම, ඇතැම් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා ආයුධ අත්හැරීම, දහතුන අහෝසි කළහොත් මේ තරුණයන් නැවතත් ආයුධ අතට ගැනීමට ඉඩ තිබීම, දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් දීමට අවශ්‍යවීම, එසේ දෙන බවට මහින්ද චින්තනයෙන් ද පසුව ද පොරොන්දු වී තිබීම, එසේ නොදුනහොත් ජාත්‍යන්තරයට දී ඇති පොරොන්දු කඩකිරීම නිසා ඇතිවිය හැකි බලපෑම්, ආදිය ය. මේ ව්‍යාජ හේතු වෙයි. ඇදුරන්ගේ ඉල්ලීම් මෙන්ම මේ හේතු ද ව්‍යාජ වෙයි.

මේ හේතු පදනම් වන්නේ ඊනියා සිංහල ආණ්ඩු 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් කර ඇත යන්න මත ය. 1948න් පසුව දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී යැයි කියන්නන් 1947 දී රාජාසන කතා විවාදයේ දී චෙල්වනායගම් සිංහලයන්ට බිිරිතානින්ගෙන් නිදහස් විය හැකි නම් දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස්වීමට හැකියාව තිබිය යුතු යැයි ප්‍රකාශ කිරීම ගැන කියන්නේ කුමක් ද? ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගැනීම ගැන කියන්නේ කුමක් ද? ඩොනමෝර් ආණ්ඩු කාලවල ජී ජී පොන්නම්බලම් තම කුප්‍රකට පනහට පනහ ප්‍රතිපත්තිය මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහට අඩු කිරීමට යෝජනා කිරීම ගැන කියන්නේ කුමක් ද? දෙමළ නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියට ගොස් සිංහලයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය වේයැයි කියමින් සර්වජන ඡන්දයට විරුද්ධ වීම ගැන කියන්නේ කුමක් ද? එයටත් පෙර අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ඉංගිරිසි ආණ්ඩුකාරයන් සමග එක්වී ව්‍යවස්ථාදායකයේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම ගැන කියන්නේ කුමක් ද? අඩුම තරමෙන් 1815න් පසු ලංකා ඉතිහාසයෙන් කියැවෙන්නේ මෙරට ඊනියා ජාතික ප්‍රශ්නය 1948න් හෝ 1956න් හෝ පසු ඇතිවූවක් නොව වසර දෙසියයකට වඩා පැරණි ප්‍රශ්නයක් බව ය.

අද සිදු වී ඇත්තේ වැරදි ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට යෑමෙන් අවුලක් ඇති වී රටේ ඒකීය භාවය නැතිවීම ය. දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇත යන ලෙස ප්‍රශ්නය වෑරදි ආකාරයෙන් ඉදිරිපත් කෙරුණේ ඉංගිරිසින් හා ඉංගිරිසි උගත් වෙල්ලායන් අතිනි. 1815න් පසු මෙරට ගබ්සා වූ ලාංකික ජාතියේ නායකත්වය ලැබුණේ බර්ගර්වරුන්ට ය. ටික කලකට පසු එය ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන්ට ඉංගිරිසින් විසින් පැවරිණි. ලංකාවේ ම දේශපාලන නායකයන් බවට පත්කෙරුනේ අරුණාෂලම් හා රාමනාදන් සහෝදරවරුන් ය. සංස්කෘතික නායකත්වයට පත්කෙරුනේ ඔවුන්ගේ ඥාති සහෝදරයා වූ ආනන්ද කුමාරස්වාමි ය. ඉංගිරිසින් ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ නායකත්වයට පත්කළේ සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව බලවේගයක් ගොඩ නැගීමට ය. එයට හේතුවක් විය. ඉංගිරිසින්ට විරුද්ධව 1815 සිට ම සටන් කර ඇත්තේ සිංහලයන් පමණකි. භික්‍ෂූන් වහන්සේ, කැප්පෙටිපොළ, විර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමීහු, පනස්හය මෙහෙයවූවෝ මෙහි දී කැපී පෙනෙති. (ගබ්සා වූ ලාංකිකයන් අනෙක් ජනතාවගෙන් වෙන් වී කොංග්‍රසයක සංවිධානය වෙමින් පෙත්සම් මගින් තමන් ඉංගිරිසින් මෙන් ම ඉංගිරිසින් බව කියමින් තමන්ට යම් පාලනයක් ලබාදීමට කරන ලද ආයාචන නිදහස් සටන් නො වේ) කෙසේ වෙතත් ඉංගිරිසින් විසින් කරන ලද (ඔවුන්ගේ පැත්තේ සිට බැලූ කල) වරදක් හේතුවෙන් අපට 1931 දී සර්වජන ඡන්ද බලය ලැබුණි. ඉන්පසු ඉංගිරිසි උගත් වෙල්ලාලයන්ගේ වරප්‍රසාද අඩුවීමට පටන්ගති. ඉංගිරිසිහු හා ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයෝ් වෙල්ලාලයන්ට අහිමිවන වරප්‍රසාද දෙමළ ජනතාවට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළහ. මෙරට ඇති ප්‍රශ්නය අනෙකක් නොව අවුරුදු පන්සියයකට වැඩි කාලයක් සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම ය.

සර්වජන ඡන්දය හේතුවෙන් සමස්ත ලංකාවේ නායකත්වයෙන් ගිලිහී ගිය වෙල්ලාලයෝ 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමන්ට සිංහල විරෝධී වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි සුවිශේෂත්වය නොපිළිගනිමින් කිසි දිනෙක ලංකාවේම නාකයකන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත්හ. මෙහි දීි දකුණු ඉන්දිය පල්ලියක ක්‍රිස්තියානි භක්තිකයකු වූ චෙල්වනායගම් ප්‍රමුඛස්ථානය ගත්තේ ය. ඔහු 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා උතුුරු හා නැගෙනහිර පළාත්වලට වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටියේ ය. වෙල්ලාලයන්ට ඒ සටන තනිවම කිරීමට බැරි බව දත් ඔහු ලංකාවේ සියලු දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමුන් ද ඒකරාශි කර 1976 දී කුප්‍රකට වඩුකොඩෙයි යෝජනා මගින් ඊළාම් ඉල්ලීම ඉදිරිපත් කළේය. ඊනියා නිජභූමි, ස්වයංනිර්ණ අයිතිය පිළිබඳ සංකල්ප ද ඉංගිරිසින් හා බටහිරයන්, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ජාතිවාදීන්, සිංහල බෞද්ධයන්ට එරෙහිවූ කසිකබල් මාක්ස්වාදීන් විසින් ද ඉදිරිපත් කෙරිණි. සියලු විජාතික බලවේග ජාතික බලවේගවලට එරෙහිව ඒකරාශි විණි. හැත්තෑවේ දශකයේ මුල බිහි වූ ප්‍රභාකරන් අවසානයේ මේ සියල්ලන්ගේ යුද්ධ නායකයා බවට පත්විණි. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීන් (යටකී අයට අනුව අවිගත් සටන්කාමීන්) පරාජය කළ නොහැකි බව, බෞද්ධයන්ට යුද්ධ අකැප බව ආදිය ඔවුහු අපට කියා දුන්හ. එබැවින් ඊළම වැළැක්වීම සඳහා ප්‍රභාකරන් සමග සාම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම ද අපට ඉගැන්විණි. දහතුන්වැනි සංශෝධනය දෙමළ ජාතිවාදයට ජය අත්කර දීම සඳහා එවකට බටහිරයන් සමග එකඟත්වයකට පැමිණ සිටි ඉන්දියාව අප මත බලයෙන් පැටවූ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විණි. එය ඉදිරිපත් වූ ආකාරය ම නීත්‍යානුකූල නොවන බව වනසුන්දර මහතා පෙන්වා දී ඇත. එතුමා ඇතුළු විනිසුරුවරු හතර දෙනෙක් දහතුනෙන් ඒකීය භාවය නැතිවන බව කියා සිටියහ. ජාතික බලවේග ද එදා ද කියා සිටියේ දහතුනෙන් ඒකීයභාවය නැතිවන බව ය. පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක වන ජනතාවගේ පරමාධිපත්‍යය නැතිවන බව ය. වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳූමක් මගින් රටේ ඒකීය බව නැතිවිය. එහෙත් බොහෝ දෙනාට එය අවබෝධ නො වීය. දිවිනැගුම පනත සම්බන්ධයෙන් භ්‍රෙෂ්ඨාධිකරණය දී ඇති තීන්දුවෙන් ජාතික බලවේග එදා කී කරුණු සනාථ වී ඇත.

අද මෙරට ඒකීය රාජ්‍යයක් නැත. දහතුන යනු ෆෙඩරල් ව්‍යවස්ථාවකි. එය ඊළමකට මග පාදයි. අද පාර්ලිමේන්තුවට මුළු ලංකාවට ම බලපාන පරිදි නීති පැනවිය හැකි නො වේ. ඒකීයභාවය පිළිබඳ අවසන් නිර්ණායකය වනුයේ රටටම බලපාන පරිදි කිසිම බාධාවකින් තොරව නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය ඇති තනි ආයතනයක් තිබේ ද යන්න ය. පැහැදිලිව ම දහතුනෙන් ඒකීය භාවය අහෝසි කර ඇත. දිවිනැගුම පනතෙන් පෙන්නුම් කෙරී ඇත්තේ එයයි. පළාත්සභාවල අනුමැතිය නොලැබුණහොත් තුනෙන් දෙකේ බලයක් නොමැති ආණ්ඩුවකට සංවෘත ලැයිස්තුවේ සඳහන් නොවන කරුණක් සඳහා මුළු ලංකාවට ම බලපාන පරිදි පනතක් සම්මත කර ගැනීමට නො හැකි ය. දිවිනැගුම පනතෙහි අඩංගු කරුණු කුමක් වුවත් එමගින් ලංකාව ඒකීය රාජ්‍යයක් නොවන බව පෙන්වා දී ඇත. අද ජනතාවට පරමාධිපත්‍යයක් නොමැති බව පැහැදිලි ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කළ යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයට එය අහෝසි කිරීමෙන් තොරව පැවතිය හැකි නො වේ. පක්‍ෂයේ පැවැත්ම රැඳී ඇත්තේ කසිකබල් මාක්ස්වාදී අදහස් කිහිපයක් කටගාගත් චන්ද්‍රිකාගේ මන්ත්‍රීවරුන් හා කුමාර් රෑපසිංහගේ ජනවේගකරයන් කිහිප දෙනකු මත නොව රටේ ජාතිකත්වය අගය කරන පළල් සිංහල ජනතාවගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවගේ පක්‍ෂපාතීත්වය මත ය. ඒ බව අනෙඛ් අය කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා දැනගත යුතු ය.

අනෙක් අතට දහතුන යනු වැරදි ප්‍රශ්නයකට දෙන ලද ඊනියා විසඳුමක් පමණක් නොව ඒ වැරදි ප්‍රශ්නය විසඳීමේ දී ගත් ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් වෙයි. දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණ සම්බන්ධයෙන් රාමනාදන් පටන්ගත් දෙමළ ජාතිවාදී අරගලයේ එක් පියවරක් වූයේ ඊළම වෙනුවෙන් ඇති වූ දෙමළ ත්‍රස්තවාදය ය. එය නැතිකිරීම සඳහා ප්‍රභාකරන්ට හා දෙමළ ජාතිවාදයට යම් යම් දේ ඊනියා සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳූම් මගින් දිය යුතු යැයි බටහිරයෝ ද ඉන්දියානුවෝ ද විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීහු ද කියා සිටියෝ ය. ජාතික බලවේග කියා සිටියේ හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පරාජය කළ යුතු බව ය. කළ හැකි බව ය. හමුදා ක්‍රියා මාර්ග ද දේශපාලන විසඳුම් ය. යුද්ධය යනු දේශපාලනය මිස අනෙකක් නො වේ. දහනවවැනි සියවසේ සිට ගලා ආ දෙමළ ජාතිවාදී ඉල්ලීම්, ඒවාට දැක්වූ ප්‍රතිචාර එකම සමස්ත ක්‍රියාදාමයක් පමණකි. එහි ඊනියා දේශපාලන විසඳුම් හා යුද්ධ විසඳුම් වෙන වෙන ම නැත. 2009 මැයි මාසයේ දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරුණු අතර දෙමළ ජාතිවාදය දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. එය දේශපාලන විසඳුමකි. රාමනාදන්ගේ සිට ප්‍රභාකරන් දක්වා වූ සමස්ත ක්‍රියාකාරීත්වය ද, දෙමළ ජාතිවාදය ද එහි දී දේශපාලනික වශයෙන් පරාජය කෙරිණි. දහතුන ද දේශපාලනික වශයෙන් පරාජය කෙරුණු බව අමතක නොකළ යුතු ය. අද දේශපාලනිකව පරාජය කෙරී ඇති දහතුන නීති පොතේ ඇත. නීතිය, සැමදාමත් ඇත්තේ දේශපාලනය, තාක්‍ෂණය ආදිය පිටුපස ය. අද නීතිය යාවත්කාලීන කළ යුතුව ඇත. නීතිය දේශපාලනය සමග එක තලයකට ගෙන ආ යුතු ය. දහතුන අහෝසි කළ යුතු ය. මේ සම්බන්ධයෙන් විදේශවලට අතගැසීමට ඉඩදිය නොයුතු ය. රණවිරුවන් කොටින් පරාජය කළේ විදේශවල ආධාරයෙන් නොවන බව අවධාරණය කළ යුතු ය. නන්දිකඩාල් කලපුවෙන් ආපසු තිම්පු යා නො හැකි ය. නො යායුතු ය. යම් අයුරකින් ප්‍රභාකරන් ජයගත්තේ නම් බටහිරයන් හා රාජ්‍ය නොවන සංවිධාන ද කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුලු විවිධ වර්ගවල දෙමළ ජාතිවාදීන් කුමක් කීමට ඉඩ තිබිණි ද? ඔවුන් දහතුනට ටිකක් එහාට යෑමට කියන්නට තිබිණි ද? නැත එවිට තිබෙනු ඇත්තේ දේශපාලන විසඳුම වූ අවියෙන් පිහිටු වූ ඊළාම ය. ප්‍රභාකරන් දිනූ විට එක් ආකාරයකටත් පැරදුණු විට තවත් ආකාරයකටත් කරයුතු කළ නො හැකි ය. අවුරුදු දෙසියයකට ආසන්න දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් නන්දිකඩාල් කලපුවේ දී ලැබිණි. එය පමා වී වුවත් නීති පොතට වහාම ඇතුළත් කළ යුතු ය. ඒකීයභාවය නැවතත් තහවුරු කළ යුතු ය.


Saturday, 26 May 2012

ජයග්‍රහණය සැමරීම හා නූගත් පාඩම්

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යැයි කියන සුළු පිරිසක් රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සෑමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකි ය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසංධානයට (ශබිදකොෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක් විය හැකි යැයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජයගැනීම තවමත් අනුස්මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකි ය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රහකයන් මෙන් ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැකගත හැකි ය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත් ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වාදුන් පඬියා කවුදැයි අපි නො දනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දෝ කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේ දී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක් ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළු ව) ඒ ඊනියා ප්‍රතිසංධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහත දී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණි ද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිධුරයේ හෝ වෙනසක් පසුගිය අවුරුදු තුනෙහි සිදු වී නැත. නන්දිකඩාල් කලපුවේ දී සිදුවූයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය වීම ය.

දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක් අවස්ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගට ම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහි ව සිංහලයන් හා සිංහල සංස්කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත් ය. එහි දී ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත්කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්කෘතිය, ජනගහණ ව්‍යාප්තිය ආදිය මකාදැමීමට ඉංගිරිසින්ට නො හැකි විය. අවසානයේ දී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවිණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්ඩුව උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමක් පත්නොකර නූගත් පාඩම් කොමිසමක් පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධාන ම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මෑළි වී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසා ය.

මේ පාඩම අන් කිසිවක් නොව මෙරට තබා කිසිම රටක් මහා අර්ථයකින් බහු සංස්කෘතික රටක් නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගික ව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත් ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්කෘතියක් නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්කෘතියක් තිබිය නො හැකි ය), එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‍ෂෙප කිරීම අවසානයේ දී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත්් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නො දෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන්ගෙන් ද නිදහස් නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක් සිදුවනු වැළැක්විය නො හැකි ය.

2009 මැයි 19 වැනි දා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. එහි දී ඉන්දියානුවෝ ද එංගලන්තය හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයෝ ද ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබුණහ. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක් ඉගෙන නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා ද (ඩයස්පෝරා යන පණ්ඩිතමානී බයිබල් වචනයෙන් වෙනත් අර්ථකථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛශීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සංධානයේ ඇතැම් පිරිස් ද බටහිර දැනුම එකම දැනුම යැයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වා ගෙන යෑම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදාගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක් මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝ විට පණ්ඩිතමානී ව කියන්නේ ආණ්ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බව ය. එයට හේතුව අන් කිසිවක් නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනික ව පරාජය කෙරී නැත. මේ තීරුවෙහි වරක් සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස් නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. ජී එල් පීරිස්ලා දයාන් ජයතිලකලා ක්‍ෂෙණුකා සෙනෙවිරත්නලා අනුරපුර සටනට සුදුස්සෝ නො වෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යාංශයක් වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි.

එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක් නොවිය යුතු ය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී නඩයක් (බටහිර බලවතුන්ගේ සහාය ලෑබුණු) පරාජය කරනු ලැබීණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක් විය යුතු නො වේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්තවාදයේ වියගහෙන් නිදහස්වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මෑළි විය යුතු නො වේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්කෘතියට මෙරට තැනක් නැති බවක්වත් දෙමළ ජනයා දෙවැනි පංතියේ පුරවැසියන් බවවත් නො කියැවෙයි. පුද්ගලයන් වශයෙන් ගත්කල සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්කෘතීන් වශයෙන් ගත්කල සිංහල බෞද්ධ සංස්කෘතිය අනෙක් සංස්කෘතීන්ට වඩා විශේෂ තැනක් ගනියි. කරුණාකර එක් පඬියකුවත් සියළු සංස්කෘතීන් සමාන වන රටකට උදාහරණයක් පවසන්නේ ද? පඬියන් බොහෝ විට පරමාදර්ශී රටක් ලෙස සලකන පුර රාජ්‍යයක් වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්කෘතියක් වෙයි. ඒ මැන්ඩරීන් චීන සංස්කෘතියෙහි විශේෂයකි.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නො වෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්ත වූහ. අද ආණ්ඩුව නැංගුරමක් නැති නැවක් මෙන් ඇදී යන බවක් යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස් ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැණි උපදෙස් ලබාදීම ය. “යුද්ධය” දිනීමට නොහැකි යැයි කීවෝ අද “යුද්ධය” ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමති මණ්ඩලයේ සිටින්නන්ට ද “යුද්ධය” ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක් නො තිබිණි. ඔවුහු කී දෙනෙක් පැකේජ් ඇමතියෝ වූවෝ ද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක් නොතිබූ බව ය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක් සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නීත්‍යානුකූල ව බලයත් පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන්, ඔවුන් ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක් දියත් කිරීමට ය. එය කිසිසේත් ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක් නො වී ය.

දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතු ය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස් ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍රඛීලයක් සේ කටයුතු කිරීම පමණකි. දරුස්මාන් ලවා ලියාගත් රොබට් බ්ලේක් -බෑන් කි මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆෝ කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනිවා යෝජනා ආදී සියල්ල එක් දම්වැලක පුරුක් මිස තනි තනි සිද්ධි නො වේ. එබැවින් ඒවා තනිතනිව ගෙන ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවන්ත නො වේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් මහින්ද රාජපක්‍ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීම ය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීම ය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක් වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත්කිරීමට නො හැකි වනු ඇත. අප වටහාගත යුත්තක් වේ. මේ 1506වත්, 1815වත් නො වේ. පහළොස්වැනි සියවස අග ඇති වූ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්වා එරී ඇති ක්‍රිස්තියානි නූතනත්වයට ගොඩ ඒමක් නැත. රොබට් බ්ලේක්ට රොබට් බූවුන්රිග්ගේ ශක්තියවත් නැත.

Saturday, 27 August 2011

චැනල් ෆෝ හා ග්‍රීස් යකා

චැනල් ෆෝ හෙවත් බීබීසියේ හතරවැනි නාළිකාව පිටුපස වෙනත් කණ්ඩායමක් නැතැයි නො සිතිය යුතු ය. මේ කණ්ඩායම චැනල් ෆෝ යොදා ගන්නේ එයට එංගලන්තයේ ඊනියා බුද්ධියට කතාකරන අපක්‍ෂපාත නාළිකාවක් ලෙස සළුපිළි පොරවා ඊනියා බිරිතානි ජනතාව ගොනාට අන්දවා ඇති බැවිනි. එංගලන්තයේ හා ඔවුන්ගේ ස්කොට්ලන්තය ආදී අනෙක් යටත්විජිත රටවල ඉතා විශිෂ්ට ගණයේ බුද්ධිමතුන් සිටිය ද, සාමාන්‍ය ජනතාවට එතරම් බුද්ධියක් ඇතැයි කිවනොහැකි ය. ඔවුන් ඇන්දවීම අර බුද්ධිමතුන්ට අමාරු ප්‍රශ්නයක් නො වේ. චැනල් ෆෝ පිටුපස ඇති බලවේග ගැන එතරම් කතානොකළ නමුත් ඒ ගැන කෙටි සටහනක් ලිවීමට කාලය පැමිණ ඇත. අද දිවයිනේ තැන් තැන්වල ග්‍රීස් යක්කු කලබල කරති. මේ ග්‍රීස් යකුන් පිටුපස ද විවිධ බලවේග හා පුද්ගලයෝ වෙති. චැනල් ෆෝ යනු ද ඒ අතින් ගත්කල තවත් ග්‍රීස් යකෙකි.

අද ඇතැම් පොලිස් නිලධාරීන් අකර්මණ්‍ය වී තිබීම ග්‍රීස් යකුන්ගේ පහළවීමට එක් හේතුවකක් වුවත් එය ප්‍රධාන හේතුව නො වේ. ඇතැම් ග්‍රීස් යකකු පෞද්ගලික ආරවුලක් නිසා ඇති වුවත් ග්‍රීක් යකුන්ගේ ආගමනය ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වෙයි. සංවිධානාත්මක ව දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රීස් යකුන් පහළවන්නේ හුදු පෞද්ගලික කටයුතු සඳහා ම නො වේ. සබරගමුවේ ග්‍රීස් යකුන් හා නැගෙනහිර පළාතේ ග්‍රීස් යකුන් අතර වෙනසක් වෙයි. සබරගමුවට වඩා නැගෙනහිර ග්‍රීස් යක්කු කෙලින් ම හමුදා කඳවුරු අස්කිරීම සඳහා වසවර්ති මාරයාගෙන් වරම් ලැබී මෙන් කටයුතු කරති. එහෙත් සියළු ග්‍රීස් යක්කු ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි ජනතාව කළකිරවීම සඳහා ක්‍රියා කරති. ආරක්‍ෂක හමුදා ඉතා සුපරික්‍ෂාකාරීව ග්‍රීස් යකුන් මෙල්ල කිරීමට කටයුතු කළ යුතු වෙයි. විවිධ පුද්ගලයන් ග්‍රීස් යකුන්ගේ සම්ප්‍රාප්තිය උපයෝගී කරගනිමින් නීතිය අතට ගැනීමට පෙළඹී ඇත්තේ බොහෝ තැන්වල පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට මතයක් සමාජයේ ඇති වී තිබෙන බැවිනි. පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට රටේ සාමාන්‍යයෙන් තිබෙන මතය උපයෝගී කරගන්නා ග්‍රීස් යකුන් පිටුපස සිටින්නෝ ජනතාව නීතිය අතට ගැනීමට පොළඹවති. ඒ ඔස්සේ පොලීසිය කෙරෙහි තව තවත් මහජනයා කළකිරවීමටත් පොලිසිය හා ආරක්‍ෂක හමුදා අකර්මණ්‍ය කරවීමටත් පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ සියල්ල පිටුපස නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමේ ප්‍රයත්නයක් ඇති බව පෙනී යයි.

අද චැනල් ෆෝ ක්‍රියාත්මක වන්නේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා ඉදිරිපත්කිරීමටත් එතුමන් හා හමුදාව අපකීර්තියට ලක්කිරීමටත් එමගින් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමටත් ය. ඒ අතර සම්බන්ධන් නම් භයානක දෙමළ ජාතිවාදියා හා ඔහුගේ පක්‍ෂයේ අනෙක් නායකයෝ අවුරුදු පනහක් හැටක් දේශපාලන වශයෙන් ආපස්සට යෑමට සූදානම් වෙති. ඔවුන්ට ද අවශ්‍ය වී ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමට ය. නන්දිකඩාල් යනු හුදු හමුදා ජයග්‍රහණයක් පමණක් නො වේ. එය හමුදා ජයග්‍රහණයක් නිසා ම දේශපාලන ජයග්‍රහණයක් ද වෙයි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග මිස අනෙකක් නො වේ. දේශපාලනය ඡන්දය, සාකච්ඡාව ආදී සිවිල් කටයුතුවලට පමණක් සීමාවන්නේ යැයි යමකු විශ්වාස කරන්නේ නම් ඒ අඳබාලයෙකි. හමුදා ක්‍රියාමාර්ග ද දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. දේශපාලනය මතවාදය සමග ද බැඳී ඇත. මතවාදයක් නැතිව දේශපාලනයක් ක්‍රියාත්මක නො වේ. තමන් දේශපාලනය නොකරන්නේ යැයි කියන ඊනියා බුද්ධිමතුන් තරම් දේශපාලනයෙහි යෙදෙන්නෝ තවත් නො වෙති. අද මෙරට පවතින බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනය, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම, එහි ඇතැයි කියන විධික්‍රම ආදිය වෙනුවෙන් පෙනී සිටින්නෝ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර ගැති දේශපාලනයක යෙදී සිටිති.

නන්දිකඩාල් ජයග්‍රහණය පසුපස සිංහල ජාතිකවාදී මතවාද ද වෙයි. මේ මතවාද අප විසින් නොව දහනවවැනි සියවසේ ද එයට පෙර ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධව සටන්කළ ජාතික වීරයන් විසින් අරඹන ලද්දේ වෙයි. ඒ මතවාද අද වඩාත්ම දැනෙන බටහිර අධ්‍යාපනික ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය වෙයි. මේ දිනවල ඊනියා විද්‍යාවක් පදනම් කරගනිමින් හා අසත්‍ය චෝදනා නගමින් මට විරුද්ධව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් ආයතනවල ද ඊනියා විද්‍යාඥයන් (හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මොවුන් අතින් සංස්කරණය වී ඇති එක සංකල්පයක්, ප්‍රවාදයක් කියන්න) ප්‍රචාරයක් ගෙනගියේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් කථිකාචාර්යවරුන් මට විරුද්ධව උපකුලපතිතුමාට චෝදනා පත්‍ර යවන්නේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් පරාජයට පත්වී ඇති ජ වි පෙ මතවාද රැගත් කණ්ඩායමකට උඩගෙඩි දෙන්නේ ද ජාතික වූ මතවාද පරාජය කිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලි ය. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතිකත්වයට එරෙහිවූවන් එකතු වී සිටින්නේ මා ගෙදර යැවීමට බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල ගුරුවරුන් ගැන බොහෝ දේ කීමට තිබුණ ද මේ ඒ සඳහා අවස්ථාව නො වේ.

චැනල් ෆෝ නාලිකාව ඉමහත් කැපවීමකින් ලංකාවේ සිද්ධි ගැන වාර්තාකරන්නේ එංගලන්තයේ සිදුවන කැරලිවලට ඇතැම්විට දෙවැනි තැන දෙමිනි. එංගලන්තයේ ජනමාධ්‍යවලට ඇතැම් දිනෙක ලන්ඩනයේ ටොට්න්හම් ප්‍රදේශයෙන් ඇරඹි කැරලිවලට වඩා ග්‍රීස් යකා සම්බන්ධ සිද්ධි වැදගත් වෙයි. බීබීසිය අපක්‍ෂපාත ජනමාධ්‍යයක් යැයි අපට කියා දී අප ලවා එසේ සිතීමට පුරුදු කර ඇත්තේ ද බීබීසිය හා ඉංගිරිසින් මිස වෙනත් අයකු නො වේ. බීබීසියේ අගුපිලේ සිටින සංදේශයට ඉඳහිට සවන් දෙන්නකු වුව ද දන්නා කරුණ නම් සංදේශයේ දෙමළ ජාතිවාදී පක්‍ෂග්‍රාහීත්වය ය. බීබීසිය ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස පෙනී සිටිය ද, ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හා ඉන් ජනිතවූ ධනවාදයට, යටත්විජිතවාදයට මෙන් ම ධනවාදයට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කිසිම තර්ජනයක් නැති මාක්ස්වාදයට ද පක්‍ෂපාති වෙති. ඔවුන් විරුද්ධවන්නේ ඔවුන්ට යුදමය වශයෙන් හෝ මතවාදී වශයෙන් හෝ තර්ජනයක් වන්නා වූ සංස්කෘතීන්ට හා චින්තනයන්ට ය.

නන්දිකඩාල් යනු දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අවශ්‍යතාව මත පොන්නම්බලම් රාමනාදන් හා පෙන්නම්බලම් අරුනාශලම් දෙබෑයන් ප්‍රධාන ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානීන් බවට පත්කිරීම සඳහා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන අහිමි කිරීම සඳහා ගෙන යන ලද දේශපාලන ප්‍රවාහයක අවසන් පරාජය ය. එහි විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් ඉංගිරිසි ආණ්ඩුකාරයන්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත. සමස්තයක් ලෙස ද දෙමළ ජාතිවාදීහු චෙල්වනායකම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන සූත්‍රයට අනුව ක්‍රියාකළහ. ව්‍යවස්ථාදායකයේ බහුතරයක් බවට පත්වීම දෙමළ ජාතිවාදීන්ගේ පළමු අභිප්‍රාය විය. ඉංගිරිසින් විසින් ඔවුන්ගේ පැත්තෙන් බැලූ කල ලොකුම මෝඩකම සිදුකළේ ලංකාවට සර්වජන ඡන්දය ලබාදීමෙනි. ඉන්පසු දෙමළ වෙල්ලාල නායකයකුට ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානියා වීම සිහිනයක් පමණක් විය. එයට ඉඩක් නැතිවා නො වේ. එහෙත් ඒ සඳහා පළමුව දෙමළ නායකයන් සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට වූ වෙසෙසියාව (විශේෂත්වය) පිළිගත යුතු ය. චෙල්වනායකම්ගේ අඩිපාරේ යන සම්බන්ධන්ලා එවැන්නෝ නො වෙති. චෙල්වනායගම් අනුව යමින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ඊළමක නායකයන් වීම ය. 1949න් පසු රටේ ම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම්ගත් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත්තේ සිහින ඊළමක නායකයන් වීමට ය. මේ දේශපාලනයෙහිදී විවිධ සාකචිඡා ගිවිසුම් පනත් ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කෙරී ඇත. බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුම ඉන්දියාවේ බලපෑම් මත ඇතිකළ දහතුන්වැනි සංශෝධනය ඒ ඊනියා විසඳුම්වලට අයත් වෙයි. එහෙත් ඒ විසඳුම් දෙමළ ජනතාවට ඇතැයි කී ප්‍රශ්නයක් මුවාවෙන් ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන්ගේ අභිමතාර්ථ සාක්‍ෂාත් කරගැනීම සඳහා ගෙන එන ලද විසඳුම් ය. ප්‍රභාකරන් ද මේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයෙහි කොටසක් විය. ඔහු වෙල්ලාලයන්ගේ සටන වෙල්ලාලයන් වෙනුවෙන් කළමුත් ඇතැම් වෙල්ලාලයෝ ද ඔහු අතින් මැරුම් කෑහ. දෙමළ ජනයාට ඇත්ත ප්‍රශ්නය තිබුනේ සිංහලයන්ගෙන් නොව වෙල්ලාල කුලවාදීන්ගෙනි. ඒ කෙසේ වෙතත් මේ දෙමළ ජාතිවාදී දේශපාලනය දේශපාලන වශයෙන් (හමුදා මෙහෙයුම් යොදාගනිමින්) නන්දිකඩාල් කලපුවේදී පරාජය කෙරිණි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හෝ දහතුන්වැනි සංශෝධනය හෝ වෙනත් එවැන්නක් හෝ අද වලංගු නැත. අද දහනවවැනි සියවසේ ඇරඹුණු දෙමළ ජාතිවාදී දේශපාලනයට වලංගුබවක් නැත. ඒ සියල්ල හමුදාමය වශයෙන්,එනම් දේශපාලන වශයෙන් පරාජය කෙරී ඇත. චැනල් ෆෝ හා එය පසුපස සිටින බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් ක්‍රියාකරන්නේ එම ජයග්‍රහණයට මඩගසා එහි වලංගුබව නැතිකර නැවතත් දෙමළ ජාතිවාදී දේශපාලනයට තැනක් ලබා දී සම්බන්ධන්ලා ලවා සිංහල සංස්කෘතියට හා ඉතිහාසයට පහර දීමට ය. ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට දක්කවන අතර නන්දිකඩාල් ජයග්‍රහණය බාල්දුකර අවලංගුකර හමුදාව අකර්මණ්‍ය කර දෙමළ ජාතිවාදී දේශපාලනය ඉදිරියට ගැනීම චැනල් ෆෝ ග්‍රීස් යකාගේ අවශ්‍යතාව වෙයි. සියළු ග්‍රීස් යක්කු පොලීසිය හා හමුදා අපකීර්තියට පත්කිරීමටත් ඒවා අකර්මණ්‍ය කිරීමටත් කටයුතු කරති. අප එයට ඉඩදිය නො යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ද පැවත එන සිංහලයන්ට ග්‍රීස් යකුන් පරාජය කිරීම නොකළ හැක්කක් නො වේ.