Main Logo

Thursday 30 November 2017

ඊනියා ස්වාභාවික ආපදා

ඊනියා ස්වාභාවික ආපදා

පළාත් කිහිපයක ම පාසල් පැවැත්වෙන්නෙ නැහැ. ඊයේ රාත්‍රී මහා සුළඟක් හමා ගියා. ලෝකයේ ම කාලගුණය වෙනස් වෙලා. අපේ රටේ විතරක් නොවෙයි. භූමිකම්පා සුළි සුළං ගංවතුර හැම රටක ම පාහේ වාර්තා වෙනවා. මෙරට පාලකයන් ධර්මිෂ්ට නැහැ. එහෙත් කාලගුණ විපර්යාසය ඒ හින්ද ම නොවෙයි. මිනිසුන් ද ධාර්මික නැහැ. ලෝකයේත් එහෙමයි. දළ පූට්ටුවා මරා දැම්මේ කවුද කියා දන්නේ නැහැ. ඒ ඝාතකයන්ට දේශපාලන අනුග්‍රහයක් ආරක්‍ෂාවක් තිබෙන්නත් ඇති. නොතිබෙන්නත් ඇති. එහෙත් දළ පූට්ටුවා මරා දමා වැඩි දිනක් යන්නට පෙර තවත් ඇතකු මරා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ මිනිසුන්ගේ ධාර්මිකබවට නිදසුන්.

Wednesday 29 November 2017

මිනීමරුවන් සැමරීම

මිනීමරුවන් සැමරීම

දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් සමරලා. ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කෑමට වවුනියා මණ්ඩපයේ සිංහල සිසුන්ට බල කරලා. යාපනය සරසවියේ ප්‍රභාකරන් සැමරීමට ගුරුවරු සිසුන් සමග එක් වෙලා. ප්‍රභාකරන්ගේ පින්තූර යාපනයේ ප්‍රදර්ශනය කරලා. රුවන් විජේවර්ධන කියනවා චෙන්නායිහි පමණක් ප්‍රභාකරන්ගේ විශාල රූප ප්‍රදර්ශනය කරලා තිබුණා කියලා. එයින් කියන්නෙ දෙමළ ජාතිවාදය ලංකාවට විරුද්ධ ව තමිල්නාඩුවේත් තියෙන බව. එහෙත් ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ ව ජ වි පෙ වචනයක්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් බොරුවට හරි ප්‍රභාකරන් සැමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවයි කියද්දි ජ වි පෙ ඒ ගැන කතාකරන්නෙ නැහැ. ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන කියන්නේ පළාත් පාලන මැතිවරණ ළඟ නිසා. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නීතිය නවාවි. ඊට පෙර පළාත් පාලන මැතිවරණ තියේවි.

Tuesday 28 November 2017

වම දකුණ

වම දකුණ

අද විකල්ප දකුණ (Alt - right) යන්න ජාතිකවාදීන්ට යොදා ගැනීමට මෙරට ඇතැම් පඬියන් උත්සාහ දරණවා. මේ මෙරට කිසිම පඬියකු නිර්මාණය කළ සංකල්පයක් නො වෙයි. මේ සංකල්පයත් බටහිර නිර්මාණයක්. එය රොබර්ට් ස්පෙන්සර් නම් ඇමරිකානු ජනමාධ්‍යවේදියා 2008 දී පමණ හඳුන්වා දුන් සංකල්පයක් ලෙසයි කියැවෙන්නේ. ඒ සංකල්පය සාමාන්‍යයෙන් යෙදෙන්නේ සුදු ස්වොත්මවාදී අදහස්වලට. මෙරට පඬියන් ද මේ ස්වොත්තමවාදී කතා කියනවා. මේ අනුකාරක පඬියන් සියල්ල ගන්නේ බටහිරින්. ඔවුන් තරම් බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන නිවටයන් පිරිසක් මෙරට තබා ලෝකයේවත් නැතිව ඇති. විකල්ප දකුණ යන සංකල්පය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නැවත ඉදිරියට ආවා. ඒත් එය දැන් එතරම් යෙදෙන්නේ නැහැ. මෙරට පඬියන් ඇතැම් විට බටහිර සංකල්ප යොදා ගන්නේ ඒ බටහිර අභාවයට යන විට. බටහිරින් අදහස් සංකල්ප ප්‍රවාද අපට ඒමට තවමත් අවුරුද්දක් දෙකක් යනවා.

Monday 27 November 2017

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම අද වේගයෙන් ක්‍රිස්තියානිකරණය වෙනවා. ඒ අද ඊයේ පටන්ගත් දෙයක් නො වෙයි. දහනවවැනි සියවසේ අග අප බටහිර නූතනත්වයට යටවීමේ ප්‍රතිඵලයක්. ඕල්කට් බුද්ධාගම ද එහි එක් අංගයක්. මාක්ස්වාදය බටහිර විද්‍යාව ආදී දැනුම් හා ඒ ආශ්‍රිත තාක්‍ෂණය ලංකාවේ දී සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි කිරීමට දැඩි බලපෑමක් කර තිබෙනවා. බටහිර නූතනත්වය මුළුමනින් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත බිහිවූවක්. එහි අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අද වන විට සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ඉතා වේගවත් වෙලා.

Sunday 26 November 2017

තීරණාත්මක මොහොතක්

තීරණාත්මක මොහොතක්

මේ මොහොතේ සිංහලයන්ගේ ප්‍රමුඛතාව විය යුත්තේ කුමක් ද? සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ඉතිහාසයේ බොහෝ විට වැරදී ඇත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමත් අසමගියත් හේතුකොටගෙනයි. ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමට අසමගිය බොහෝ විට බලපා තිබෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ රජ පවුලේ සහෝදරවරුන් අතර තිබූ අසමගිය හේතුකොටගෙන පෘතුගීසීන් පළවා හැරීම ප්‍රමුඛතාව ලෙස හඳුනාගැනීමට නොහැකි වුණා. ප්‍රමුඛතාව වූයේ සහෝදරවරුන් අතරින් බලය තිබිය යුත්තේ කාට ද යන්නයි.

Saturday 25 November 2017

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

Friday 24 November 2017

මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු කියලා අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවෙ රනිල් අගමැති වූ විගස ම. එහෙත් එය එදා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබූ ප්‍රකාශයක් ලෙස ජනමාධ්‍ය කල්පනා නොකරන්න ඇති. අද තරමක ප්‍රවෘත්තිමය වැදගත්කමක් එයට තියෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශ ජනමාධ්‍ය ගණන් ගන්නේ නැහැ. අද මැතිවරණ ගැනත් ඊනියා සමගියක් ගැනත් බොහෝ දෙනා කතා කරනවා. ඒ සමගිය මැතිවරණ මූලික සමගියක් වීම ප්‍රශ්නයක්.

Thursday 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

Wednesday 22 November 2017

දියගොඩ සැමතැන පෙර ද පසු ද

දියගොඩ සැමතැන පෙර ද පසු ද

ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන ඇතැමුන් දන්නවා.  භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් එය තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළා. එහි ඉතිහාසය තරංගවාදය කරා දිව යනවා. තහඩුවක සිදුරු දෙකක් තුළින් ආලෝක ධාරාවක් යවා එය තිරයක් මත පතිත කරවීම මෙහි මූලික කටයුත්ත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිරයේ රටා නිර්මාණය වෙනවා. මේ රටා තේරුම් කර දුන්නේ, මතක තබා ගන්න තේරුම් කර දුන්නේ, තරංගවාදය මගින්. පසුව ප්ලෑන්ක් ක්වොන්ටම් අදහස ඉදිරිපත් කළා. අයින්ස්ටයින් ෆෝටෝනය යන සංකල්පයට පසුබිම සකස් කළා. ඉන් පසු ආලෝකය ෆෝටෝන ලෙසත් තේරුම් කෙරුණා.

Tuesday 21 November 2017

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අවසන්. එහි වාර්තාව තව සති තුනකින් පමණ නිකුත් වේය කියා හිතනවා. කොමිසමට කළ හැක්කේ නිර්දේශ කිරීම පමණයි. වරදකරුවන් කවුදැයි නිගමනය කිරීම කොමිසමේ කාර්යයක් නො වෙයි. රනිල් කොමිසමට ලිඛිත ව මෙන් ම වාචික ව ද කරුණු දක්වා සිටියා. ඔහු තමන් කරන්නේ කුමක් ද යන්න දන්නා එකම දේශපාලනඥයා. ඔහු මහජන මතයට ගරු කරන්නේ නැහැ. එහෙත් සමහර විට මහජන මතය ඉදිරියේ අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් ඉදිරියට තැබීමේ බලාපොරොත්තුවෙන්.

Monday 20 November 2017

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

පසුගිය දහසයවැනි බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශය මගින් ඉහත සඳහන් තේමාවෙන් සමුළුවක් සංවිධානය කර තිබුණා. එය එකී අධ්‍යයනංශයෙහි ප්‍රධානී  ආචාර්ය චරිත හේරත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණේ. මා හිතන්නේ අධ්‍යයනාංශයත් ශාස්ත්‍ර පීඨයත් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළ බව. ශාස්ත්‍ර පීඨාධිපතිතුමා ඇතුළු ඒ සියල්ලන්ට මගේ ස්තුතිය. සමුළුව පැවැත්වුණේ ලෝක දාර්ශනික දිනය සැමරීමට. විශ්වවිද්‍යාලයකින් මට අධ්‍යයනික දේශනයක් සඳහා ආරාධනයක් ලැබීම හාවා හඳ දැකීම වගේ වැඩක්. චරිත නොවන්නට මට මේ ආරාධනයත් නොලැබෙන බවත් මා දන්නවා.

Sunday 19 November 2017

ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

 ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

ගිංතොට සිද්ධ වුණේ මොකක් ද කියන එක ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. එක්තරා වෙබ් අඩවියකට අනුව මෙය බයිසිකලයක යම් අයකු හැප්පීම නිසා හටගත්තක්. අවාසනාවකට මෙන් හැප්පීමට අමතර ව ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක ම ජාතියකට හෝ එක ම ජනවර්ගයකට අයත් දෙදෙනකු නො වෙයි. ප්‍රශ්නය තාවකාලික ව සමනයකට පත් වී ඇතත් දින දෙකකින් නැවත ඇවිළී ගිහින්.

Saturday 18 November 2017

සංහිඳියාවේ දිග පළල

සංහිඳියාවේ දිග පළල

උතුරු පළාතේ අධ්‍යාපන ඇමති පාසල් උත්සවයක දී ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කරලා. ඔහු මෙරට රටවැසියකු නො වේ ද? ඔහුගේ ක්‍රියාව අනුමත කළ හැකි ද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් අප එවැනි ක්‍රියා නොසැලකිය යුතු ද? මෙය ටික දිනකින් උතුරේ ජනතාවත් අමතක කරාවි ද?

Friday 17 November 2017

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

අර්ජුන් ඇලෝෂියස් සමග දූරකතන සම්බන්ධකම් පැවැත් වු පාද සටහන් කරුවන් රාශියකගේ විස්තර හෙළි වෙලා. ඔවුන් මොනවා කතා කළා ද කියා අප දන්නේ නැහැ. සමහරවිට පෞද්ගලික කාරණා වෙන්නත් බැරි නැහැ. ඒත් අපට ප්‍රශ්න තියෙනවා. සැක තියෙනවා. ඒ සැක දුරු කිරීම පාද සටහන් කරුවන්ගේ මෙන් ම රවි කරුණානායකගේත් රනිල්ගේත් පමණක් නොව මෛත්‍රිපාලගේත් කාර්යයක්. 

මේ බැඳුම්කර මගඩියේ මුල මෛත්‍රිපාලත් ඉන්නවා. ඒ සම්බන්ධ පළමු කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බව අද වන විට බොහෝ දෙනාට අමතක වෙලා. ඒ පළමු කෝප් වාර්තාව ඉල්ලා මා ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද පැවරුවා. එහෙත් එයට ගෙන ආ මූලික විරෝධයක් බොහෝ කලකට පසු අධිකරණය පිළිගත්තා. මූලික විරෝධයකටත් තීන්දුව දීමට මාස ගණනාවක් ගත වෙන අවස්ථා තියෙන බව ඉන් පැහැදිලි වුණා. මෛත්‍රිපාල හා රනිල් මැතිවරණ දේශපාලනය යොදා ගෙන බැඳුම්කර මගඩියෙන් පළමුව ගොඩ ආවා.

Thursday 16 November 2017

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාලගේ ආප්ප රාත්‍රියට අවුරුදු තුනක් ගෙවිලා. පොළොන්නරුවේ ශ්‍රී ල නි ප සංවිධායක වීමේ සිට ජනාධිපති වීම දක්වා ඉතිහාසය එක්තරා විධියකින් ඉතිහාස ගතවන්නක්. ඒ යහපත් දේශපාලනය සම්බන්ධයෙන් නම් නො වෙයි. රනිල් නොකියා කියන්නේ ඉංගිරිසි නැතිව ජනාධිපතිකම කරන්න බැරි බව. ඒ රනිල්ගේ පඬි කතාවක්. ජනාධිපතිකමට මූලික සුදුසුකම ඉංගිරිසි දැන ගැනීම නොව රටට ඇති ඇල්ම. මේ නිවට ආණ්ඩුවේ කිසිවකුටවත් ඒ සුදුසුකම තියෙනවා ද?

Wednesday 15 November 2017

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

මා ලියු යථාර්ථය නිර්වචනය කිරීම පිළිබඳ ලිපිය පළවීමෙන් පසු එයට ප්‍රතිචාර ලෙස නලින් සුභසිංහ, මාධ්‍ය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ ව භෞතික විද්‍යාවේ පදනම අධ්‍යයනය කරන රූත් කැට්ස්නර් සමග පැවැත්වූ සාකච්ඡා දෙකක් ඉදිරිපත් කර තිබුණා. කැට්ස්නර් යථාර්ථවාදිනියක්. එහෙත් මා සමග පැවැත් වූ විද්‍යුත්  මාධ්‍ය සංවාදයෙන් පසු ඇය ඒ බව සෘජුව ම පිළිගන්නේ නැහැ. කැට්ස්නර් තම පත්‍රිකාවකින් කර ඇත්තේ කලින් සියැට්ල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි ක්රේමර් විසින් ඉදිරිපත් කර තිබූ අදහසක් වර්ධනය කිරීමක්.

Tuesday 14 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම - 2

යථාර්ථය නිර්වචනය කිරීම - 2

රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය.

මෙහි ඈය කලින් පෙන්වා සිටියේ නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් ඇති බව. ඇය යථාර්ථ විභව ගැනත් කීවා. ඉයන් ජෝන්ස් නමැත්තා යථාර්ථයක් ඇති බව හෝ නැති බව නොවෙයි ඇගේ ප්‍රශ්නය බව කියා ඇය බේරා ගැනීමට තැත් කළා. එහෙත් මා ඇගෙන් උපුටා ගැනීම් සහිතව පෙන්වා දුන්නේ ඇය නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව පෙන්වීමට උත්සාහ දරා ඇති බව. පසුව ඇය එයට නිසි පිළිතුරක් නොදී අපට එකඟ විය හැකි බවක් කීවා. එතැනින් එහාට මා තර්ක කරන්න ගියේ නැහැ. මා ඇයට ස්තුති කළා.

මෙරට පමණක් නොව පිටරට මහාචාර්යවරුන්ටත් ඇත්තේ උපකල්පන පමණයි. ඔවුන් හිතනවා නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව. එහෙත් එය කිසි දිනෙක පෙන්නන්න පුළුවන් එකක් නො වෙයි.  අප යථාර්ථය යැයි කියන්නේ අපේ හිතළුවකට. අපට ඇත්තේ යථාර්ථයක් නොව යථාර්ථ. ඒ ඊනියා යථාර්ථ නිරීක්‍ෂකයාගෙන් සවායත්ත නැහැ.

බටහිරත් ඉතා විශිෂ්ට ගණයේ චින්තකයන් ඇත්තේ ස්වල්පයයි. අනෙක් අය විශ්වවිද්‍යාලවල ඊනියා පර්යේෂණ ආයතනවල බොරු පත්‍රිකා පළ කරනවා. විශිෂ්ට ගණයේ අය අලුත් කතන්දර ගොතනවා. ලංකාවේ විශිෂ්ට ගණයේ කිසිවකු නැහැ.

Monday 13 November 2017

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

මේ නිවට ආණ්ඩුව යටතේ කලකට ඉහත නිිදහස් දිනයක සංඛ අමර්ජිත්ට ගඩොල් බාගයක් මතක් කරමින් එක් ගායිකාවක් දන්නෝ බුදුන්ගේ ගීීය ගැයුවා. අර ඇතැම් පඬියන් කියන ආකාරයට ඇය ඒ ගීතයේ මුල් ඔපෙරා ශෛලියට සාධාරණයක් ඉටු කරන්න යන්න ඇති. එහෙත් සිංහලයන් ඒ කටහඬ ප්‍රතික්‍ෂෙප කරනවා.  ඊයේ (ඉරිදා) අනුරාධ නගරයට විශාල සෙනගක් රැස්වුණා. ඒ අර ඔපෙරාවට සවන් දෙන්න නො වෙයි. ඒ ඔපෙරාවේ සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධවයි. ඒ ආධිපත්‍යයෙහි රනිල්ට විරුද්ධවයි. රනිල් පසුපස යන මෛත්‍රිපාලට විරුද්ධවයි. 

Sunday 12 November 2017

මහින්ද තනිකිරීමක්

මහින්ද තනිකිරීමක්

ඔබේ ප්‍රතිචාරවලට පින්! ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ නැවත ලිපි පළ කිරීමටයි. එහෙත් ඔබ සියලු දෙනාම දෙසියකට අඩුයි. මෙරට ජනගහණය කෝටි දෙකක් පමණ. ඉන් හරි අඩක් පමණ යම් මට්ටමක උගතුන් කියා සිතමු. එවිට කෝටියක් පමණ උගතුන්ගෙන් මට ලිපි ලියන ලෙස කියන්නේ දෙසියයක් පමණයි.

Thursday 9 November 2017

අන්තිම ලිපිය  


අන්තිම ලිපිය



මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

Wednesday 8 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම  


යථාර්ථය නිර්වචනය කිරීම





රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය. මගේ අවසාන ප්‍රතිචාරයට ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සමහර විට මගේ අදහස්වල කිසිදු වටිනාකමක් නැතැයි ඈ සිතන්න ඇති. මා ඒ සංවාදය මුළුමනින් ම පළ කරන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිර දාර්ශනිකයන්ට හා භෞතික විද්‍යාඥයන්ට නිර්වචනය කිරීමට නොහැකි බව පෙන්වීමටත් යථාර්ථය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි විස්තර කිරීමට ඔවුන් අපොහොසත් බව පෙන්වීමටත්. මේ සංවාදය හා ඉන් මතුවන කරුණු පිළිබඳ විවරණයක් පසුව බලාපොරොත්තු වන්න. එතෙක් මෙයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නේ නම් මැනවි.  

Tuesday 7 November 2017

තෙල වැඩි කාට ද?


තෙල වැඩි කාට ද?



මෙරට ජනමධ්‍යවල මෙතරම් දක්‍ෂ විචක්‍ෂණශීලී විචාරශීලි බුද්ධිමතුන් සිටිය දී මෙරට මෙතරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි ද කියන එකත් ප්‍රශ්නයක්. ජනමාධ්‍යවේදීන් කියාවි ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කිසිවකු නැති බව. ඒකත් ඇත්ත. ඒත් ඒ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන කියන්න පුළුවන් මොනවා ද? මේ කාට හරි කියන්න පුළුවන් ද නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා. ඒත් සයිටම් ගැන ඒ අය කතා කරන්නෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සයිටම් අතර වෙනසවත් දැනගෙන ද? මේ ගැන තව දුරටත් කතා කරන එකට මහින්දවාදීන් හා ව්‍යාජ සමාජවාදීන් කැමති නැහැ.

Monday 6 November 2017

ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?


ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?



මේ ලිපි ලිවීමෙන් එතරම් වැඩක් නොවන බව දැන දැනත් ලිපි ලියන්නේ පුරුද්දට වෙන්න පුළුවන්. මේ ලිපි කියවන්නේ වැඩිපුර ම මහින්දවාදීන්. අද රටේ ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා දේශපාලන ඉලක්ක ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම  පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත්‍රිපාලගේ වැරුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. අද ඇරඹීමට නියමිත දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්. ඔවුන් පිටුපස බටහිරයන් හා ඉන්දියාව ඉන්නවා. 

Sunday 5 November 2017

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර  

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර

මාධ්‍ය වාර්තාවලට අනුව මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කියල තියෙනවා දේශපාලනඥයන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තම පැවැත්ම සඳහා යොදා ගත්තත් එහි යම්කිසි දෙයක් ඇති බවත් දෙමළ ජනයාට යම් දෙයක් දිය යුතු බවත්. බොහෝ දේශපාලනඥයන් බොරු ප්‍රබුද්ධයන් වෙන්න ඕන වුණාමත් ඔය වගේ කතා කියනවා. සමහරු නොදන්න කමට කියනවා. තවත් සමහරු ඉන්දියාවෙ නැත්නම් බටහිර වුවමනාවට ඒ දේ කියනවා. සමහරු අප රැවටීමට කියනවා. මෛත්‍රිපාල  මේ මොකක් නිසා අර ප්‍රකාශය කළා ද දන්නෙ නැහැ. ඒකට කමක් නැහැ.

Saturday 4 November 2017

මහින්දට සුබ අනාගතයක්  


මහින්දට සුබ අනාගතයක්





දැන් බොහෝ දෙනකු දන්නවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නිවට ආණ්ඩුවට ජනවරමක් නැති බව. ඇතැමුන් ඒ සම්බන්ධ විද්‍යුත් ලිපි මටත් යොමු කරනවා. අද වන විට නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් සමාජගත වී අවසන්. ව්‍යවස්ථාව පරාජය කරමු යන සටන්පාඨයේ සිට ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නට සිංහල ජනමතය ඉතා ඉක්මණින් තල්ලු වුණා. ඒ සමග ආණ්ඩුව පියවරක් පස්සට ගෙන තිබෙනවා. එහෙත් ආණ්ඩුව වැඩි කල් යෑමට පෙර පියවර දෙකක් පෙරට තබාවි. ඔවුන්ට එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇති විධානය එයයි. ඒ විධානය 2013ට බොහෝ කලකට පෙර ලැබුණු බව ඇතැම් ජාතිකවාදීන් දන්නේ නැහැ.

Friday 3 November 2017

සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම


සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම



චන්ද්‍රිකාත් හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියනවා. තම දෙමව්පියන්ට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි සීයා ගැන ආඩම්බර වන ඇයගෙන් වෙනත් කියුමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු වේ නම් මේ වන විට තම වරද වටහා ගෙන ඇති. මේ සිංහල බෞද්ධ විරෝධී පැකේජ් නෝනාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද? අද ඇයට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකටවත් තේරී පත්වන්න බැහැ. ඇගේ පුතා තමා සිංහල බෞද්ධයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කී විට ඉන් මෑණියන් කවුදැයි නිරූපනය වන බව ඇයට වැටහීමක් නැහැ.

Thursday 2 November 2017

සයිටම් හා බලය විමධ්‍යගත කිරීම




සයිටම් හා බලය විමධ්‍යගත කිරීම



සයිටම් ප්‍රශ්නය නිිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව මා එකල ම කිව්වා. නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා මා කිව්වට බොහෝ දෙනා ඒ සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔවුන් හිතන් හිටියෙ ඊනියා නිදහස් අධ්‍යාපනයක් සඳහා ඔවුන් සටන් කරන බව. එහෙත් සයිටම්හි තිබුණෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇතැම් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලත් තියෙනවා.

Wednesday 1 November 2017

සර්ව පාක්‍ෂික කමිටු එපා  


සර්ව පාක්‍ෂික කමිටු එපා



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කියා තිබුණ ව්‍යවස්ථාව ගැන සලකා බලන්න සර්ව පාක්‍ෂික කමිටුවක් පත් කරන්න ඕන කියලා. සර්ව පාක්‍ෂික සම්මේලන, කමිටු පත් කරන්නෙ වැඩක් නොකරන්න නම් ඒක තරමක හොඳ වැඩක්. එහෙත් ඒවට සහභාගි වන අය විවිධ අරමුණු ඇතිව එනවා. මාත් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය කියලා එකකට සහභාගි වෙලා තියෙනවා. මා නම් සහභාගි වුණෙ අපේ හමුදා ප්‍රභාකරන් පරාජය කරන තෙක්. බොහෝ දෙනා අද මොනව කිව්වත් එදා කිව්වෙ හමුදාවන්ට කොටි පරාද කරන්න බැහැ කියලා. ඒත් මා එකහෙළා ම කිව්වෙ අපට කොටි පරාද කරන්න පුළුවන් කියලා. ඒ අනුව මා ඒ නියෝජිත සම්මේලනයට සහභාගි වුණෙ කොටි පරාජය කරන්න හමුදාවට කල් අරන් දෙන්න පමණයි.