Main Logo

Saturday 31 March 2018

පෙළපාළි හා තොරං


පෙළපාළි හා තොරං





ආණ්ඩුව මැයි පෙළපාළි පැවැත්වීම කල් දාලා. ඒ මැයි දිනය වෙසක් පෝය දිනයට වැටෙන නිසා. වෙසක් දවසෙ මැයි පෙළපාළි යන්න අමාරුයි. ත්‍රිරෝද පක්‍ෂවලට එය බලපාන්නෙ නැහැ. සමහර පක්‍ෂ කණ්ඩායම් මැයි දිනය සමරන්නෙ කුඩා ශාලාවල. ජනමාධ්‍ය නොවන්න ඒ රැස්වීම් පැවැත්වූවා ද නැද්ද යන්න දැනගන්න පුළුවන් රැස්වීමට ගිය අයට පමණයි. ඒ අය මැයි දිනය වෙසක් දිනයේ ම පවත්වාවි. එසේ පැවැත්වීම ලොකු විප්ලවයක්  කිරීමක් හැටියටත් සලකාවි. අර කම්කරු පංති විප්ලවය කිසි දිනෙක නොඑන එකක් බැවින් මෙවැනි පොඩි පොඩි සිද්ධි විප්ලව හැටියට හඳුනාගත්තට කමක් නැහැ. ඒක කුඩා දරුවන්ගේ මානසිකත්වයකින් කෙරෙන්නක්. මාක්ස්වාදීන් කිසි දිනෙක වැඩිහිටියන් වන්නේ නැහැ.

Friday 30 March 2018

උගුරට හොරාවත් බේත් නොකෑම


උගුරට හොරාවත් බේත් නොකෑම



මුහුණු පොතේ පඬියන් ලියන කියන දේ දැක්ක ම අනුකම්පාවකුත් හිතෙනවා. ඔවුන් බොහෝ දෙනකු ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී නැහැ. සකර්බර්ග් දීලා තියෙන පහසුකම් නිසා හුදකලා පුද්ගලයන්ටත් පඬි කතා කියන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂෙ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ මහින්ද යම් යම් ඇමතිකම් ඒකාබද්ධ විපක්‍ෂෙ අයට දෙන බවට පොරොන්දුවක් මෛත්‍රිපාලගෙන් අරගෙන නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂෙ නායකත්වය අලුත් ආණ්ඩුවක මැති ඇමතිකම් ගැනීමට කැමති නැහැ. මා නායකත්වය කියන්නෙ නිල නායකත්වයට නො වෙයි. මුහුණු පොතේ පඬියන් හිතන්නෙ මහින්ද පොරොන්දුවක් අරන් කියා!

Thursday 29 March 2018

රනිල්ගෙන් පසු කවු ද?


රනිල්ගෙන් පසු කවු ද?



වජිර අබේවර්ධන විශ්වාසභංග යෝජනාව ගැන මොකක් ද කියන්න උත්සාහ කරනවා. විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධව බව එහි එක් වාක්‍යයකින් කියැවෙනවා. ඒ වාක්‍යය නැතිව අගමැති අයින් කරන්න බැහැ.  ඒ අතර ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා කියලත් වජිර අබේවර්ධන මතක් කරනවා. විශ්වාසභංගය දිනුවෙත් රට අරාජික වන බවක් පෙන්නුම් කරන්න ඔහු උත්සාහ කරනවත් ද? නැහැ එහෙම වෙන්නෙ නැහැ. ජනාධිපති අයින් වෙන්නෙ නැහැ. ඔහුට වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දහනවවැනි ව්‍යවස්ථාවෙන් (48 (2)) කියැවෙන්නේ මෙයයි. මුහුණු පොතේ පඬියන්, ඊනියා ජනමාධ්‍යවේදීන් මේවා කියවන්නේ නැහැ. ඔවුන් තමන්ට හිතන හිතන දේ පමණක් කියවනවා. වජිර අබේවර්ධන 48(2) කියෙව්වා ද යන්නත් ප්‍රශ්නයක්.

Wednesday 28 March 2018

විශ්වාසභංගයෙන් පසු


විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයට තව ඇත්තේ සතියක කාලයක්. විශ්වාසභංගයෙන් පසු කුමක් සිදුවේ ද යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ සිත්වල තියෙන්න පුළුවන්. සමහරවිට ඒ ගැන කතා කිරීම පිළිබඳ ව ඇතැමුන් විරුද්ධ වන්නත් පුළුවන්. විශ්වාසභංග යෝජනාව තවත් රංගනයක් පමණක් ලෙස හිතන දාර්ශනිකයනුත් ඉන්න පුළුවන්. මේ රටේ පඬියන් අමුතු ම ආකාරයක පිරිස්. මා විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට එයට විරුද්ධ ව මැරෙන්න ලැහැස්ති වුණු පඬියන් අද කියනවා ඕක කියන්න දෙයක් ය, හැම දෙයක් ම බොරු බව අපි දන්නවා කියා. නලින් ද සිල්වා කිව්වත් නැතත් හැම දෙයක් ම බොරු කියලා.

Tuesday 27 March 2018

රනිල් ඉවත් කිරීම


රනිල් ඉවත් කිරීම



රනිල් ඉවත් කළ යුතු බව අප කීවේ ඔහු අගමැති ලෙස පත් වූ දිනවල. මා එසේ කියන්නේ ගෞරවයක් බලා ගෙන නොවෙයි. එහි ගෞරවයක් ලැබීමට තරම් දෙයක් නැහැ. කොහොමටත් මා ගෞරවයක් ලැබිය යුතු දෙයක් කියා නැහැ. මා ලියන්නේ ගෞරවයක් ලබා ගැනීමට නො වෙයි. මේ ලිපිවලට ගෞරවයක් තබා කැමැත්තක්වත් නැහැ. දෙතුන් දෙනකු මේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒ ලිපිවලට කැමැත්ත (ලයික්) ලැබෙන්නේ අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩු පිරිසකගෙන්. මා ලියන කතන්දර පමණක් නොව තවත් කතන්දරත් තිබෙන බව මා දන්නවා. අනෙක් අය ලියන්නේ හුදී ජන පහන් සංවේගය පිණිස ම නොවන බවත් මා දන්නවා. මට ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්නවලට මට පිළිතුරු තියෙනවා. සමහර ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. එහෙත් මුහුණු පොතේ අයට නම් හැම ප්‍රශ්නයකට ම පිළිතුරු තියෙනවා.

Monday 26 March 2018

ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම


ක්‍රමය නැත්නම් පද්ධතිය වෙනස් කිරීම



  1. සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන් පසු කරන ලද කතාවත් නිසා. මේ සිස්ටම් වෙනස් කිරීම් හිස් කතා පමණයි. මේවායින් සිද්ධ වෙන්නෙ සමාජයෙ කියන විධියට ඒ ඒ අය පොරවල් වීම පමණයි. සිස්ටම් එක නැත්නම් පද්ධතිය හරි ක්‍රමය හරි ඔය කියන විධියට වෙනස් වෙන්නෙ නැහැ. ඊනියා ජාතිකවාදීන්ටත් තුමිඳු අඳුරගන්න බැරි වෙලා. මා නම් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙ මා හිටපු කාලෙ ඉඳන් දන්නවා. ඉතාමත් කෙටියෙන් කියනවා නම් ඔහු ජාතිකවාදියකු නම් නො වෙයි.

Sunday 25 March 2018

අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?


අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?



ජනාධිපති මෛත්‍රිපාල පකිස්ථානයේ ජනරජ උළෙලට සහභාගි වෙලා ආපහු ඇවිල්ල. ඒ රටේත් ඉන්දියාවේත් ජනරජ දිනය තමයි වැදගත් ලෙස සැලකෙන්නෙ. එංගලන්තයෙන් නිදහස් වීම පළමු අවස්ථාවේ සම්පූර්ණ වන්නේ නැහැ. දෙවැනි අවස්ථාවේ දී තමයි ඒ රටවල් ජනරජ බවට පත්වුණෙ. ඔවුන්ට වැදගත් ජනරජයක් බවට පත්වෙච්ච දිනය. එදිනට තමයි විදේශීය රාජ්‍ය නායකයන්ටත් ආරාධනය කරන්නෙ. මෛත්‍රිපාල පකිස්ථාන් උළෙලට සහභාගි වෙන අවස්ථාවෙ කල්පනා කළා ද ලංකාවෙ ජනරජ දිනය පවත්වන්නෙ නැත්තෙ ඇයි ද කියලා. වසන්ත සේනානායක කල්පනා කෙළේ මොනවා ද?

Saturday 24 March 2018

රනිල් ඉවත් කිරීමේ ඉතිහාසය


රනිල් ඉවත් කිරීමේ ඉතිහාසය



විශ්වාසභංග යෝජනාව ගැන විවිධ කතා පැතිර යනවා. මෙහි පීතෘත්වය ගන්න ද නොගන්න ද කියලා මහා විද්වතුන් කල්පනා කරනවා. ඒ සාර්ථකත්වය ගැන හරියට ම කියන්න බැරි නිසා. මා පළමු කොට ම කිව යුත්තක් නම් විශ්වාසභංග යෝජනාව මගේ අදහසක් නොවන බව ය. එය කාගේ අදහසක් වුණත් මා එයට සහාය පළ කරනවා. එය ජයග්‍රහණය කරනු දැකීම, රනිල්ගේ ආණ්ඩුව අහෝසි වී වෙනත් අයකු අගමැති ධුරය දරණ ආණ්ඩුවක් පිහිටුවනු දැකීම මගේ අභිලාෂයයි. ඒ නව අගමැති කවුරුන් විය යුතු ද යන්න මා පිළිවෙළින් කියා ඇති.

Friday 23 March 2018

සකර්බර්ග්ගේ සමාව


සකර්බර්ග්ගේ සමාව



සකර්බර්ග් මුහුණු පොත පරිශීලනය කරන්නන්ගෙන් සමාව ඉල්ලලා. ඔහුට මුහුණු පොතේ අයගේ පෞද්ගලික තොරතුරු ආරක්‍ෂා කර ගන්න බැරි වෙලා. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම ඇතැම් තොරතුරු යොදාගෙන. ට්‍රම්ප් දිනවීමට පෞද්ගලික තොරතුරු කෙතරම් ප්‍රමාණයකට යොදා ගත්තේ ද? අපට කියන්න බැහැ. මහින්ද පැරදවීමට කෙතරම් දුරකට මුහුණු පොත යොදා ගත්තේ ද? කේම්බ්‍රිජ් ඇනලිටිකා ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් යුක්රේනියන් සුරූපියන් ගැන කතා කළත් මහින්දගේ පරාජයට මුහුණු පොතේ තොරතුරු උපයෝගී කර ගත්තේ ද යන්න සාකච්ඡා කරන්නේ නැහැ. 

Thursday 22 March 2018

ජාතිකත්වයේ විශ්වාසභංගය


ජාතිකත්වයේ විශ්වාසභංගය



රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් කතානායකට භාරදීලා. මුහුණු පොතේ බොහෝ පඬියන් තමන් මෙතෙක් කී දේ අමතක කරලා විශ්වාසභංගය තමන්ගෙ වැඩක් වගේ කතා කරනවා. දේශපාලනඥයන් උදේට එකක් කියලා හවසට තවත් එකක් කියනවා. පෙබරවාරි මැතිවරණය දවස්වල රනිල් සිරිසේන නාට්‍යයක් රංගනයක් ගැන කතා කළ අයට ඒ බව අද මතක නැහැ. දේශපාලනඥයන්ට අවශ්‍ය ප්‍රසිද්ධිය. ඔවුන් ප්‍රසිද්ධිය සඳහා, අවස්ථාවාදීව ජනතාව ආකර්ශණය කිරීමට විවිධ කතා කියනවා. එවිට ඔවුන්ගෙ ඇම්බැට්ටයන් වෙච්ච පඬියන් ද ඒ අනුව තම ස්ථාවර වෙනස් කර ගන්නවා. ඒ ඇම්බැට්ටයන් සමහරු හිටපු චීවරධාරින්. ඔවුන්ට හිටපු භික්‍ෂූන් වහන්සේ කියන්න බැහැ. ඔවුන් සිවුර කරේ දාගෙන ඉඳල දැන් ඒක විසි කරලා. එලෙස ජීවිතයේ වැදගත් ම ස්ථාවරය වෙනස් කළ අයට තම ගිහි ස්වාමීන් අනුව යමින් දේශපාලන ස්ථාවර වෙනස් කර ගැනීම ඉතා පහසු දෙයක්.

Wednesday 21 March 2018

දෙවැනි ඉනිමකින් කෙළවර නොවන ජෙනීවා


දෙවැනි ඉනිමකින් කෙළවර නොවන ජෙනීවා



සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් යන අය ජෙනීවා ගිහින් සිංහලයන් වෙනුවෙන් කතා කරලා. ඒ අතර යුරෝපයේ බොහෝ රටවලින් සිංහලයන් පැමිණ උද්ඝෝෂණ පවත්වලා. ඔවුන් දෙමළ ජාතිවාදීන් පරාජය කර එළවා දැමූ බවක් ද වාර්තා වෙනවා. ඒ සියල්ලන්ට ම අපේ ප්‍රණාමය! එහෙත් තවත් ප්‍රශ්න ගණනාවක් ම ඉතිරි වෙනවා. මේ සැප්තැම්බරයේත් ලබන අවුරුද්දේත් මේ සියල්ල නැවත නැවත කරන්න සිදුවේ ද? එ ආණ්ඩුවේ වරද නිසා ද? රවිනාථ ආර්යසිංහ තම යුතුකම හරිහැටි ඉටු නොකරන්නේ ද? හුසේන් කුමාරයා ලබන අවුරුද්දේත් ඉඳීවි ද? ඔහු ඇතත් නැතත් තත්වයේ වෙනසක් වේවි ද?

Tuesday 20 March 2018

භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ


භාරකාර ආණ්ඩුවකින් විය යුතු දේ



රනිල් ඉවත් කළ යුතු බව මා කී විට මුල දී කිසිවකු සතපහකට ගණන් ගත්තේ නැහැ. ඔහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් සිදු වෙනවා. එය විවිධ ක්‍රමවලින් කෙරෙන්නක්. මා ඒ සියල්ල විස්තර කරන්න යන්නේ නැහැ. මංගල සමරවීර, මලික් සමරවික්‍රම ආදීන් එහි දී ඔහුට ආධාර කරනවා. කිරිඇල්ල රජවාසල කවටයා. කීකරු ජයසූරිය ඔබට අකීකරු නැහැ කියමින් ඔහු රකිනවා.

Monday 19 March 2018

නයා නැටීම


නයා නැටීම



ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද?  ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්‍රේක්‍ෂකයො නයි නැටුම නටලා. මේ ප්‍රේක්‍ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ගම්වලත් ජනවර්ග සිටීම. සිංහල බෞද්ධයන් පමණක් හිටිය, එහෙමත් නැත්නම් වෙනත් සංස්කෘතීන්වල බලපෑමක් නොතිබුණු, අසන්නට නොමැති වුණු ගම්වල සිංහල බෞද්ධ කියන සංකල්පයට වැදගත් තැනක් තිබුණෙ නැහැ. එහෙත් දැන් හැම තැන ම සිංහල සංස්කෘතියට විරුද්ධකම් ඇති වෙලා. ඒ ගැන බොහෝ දෙනා දැනුවත්. ඒ නිසා ගමෙත් සිංහල බෞද්ධකමක් ගැන අද හැඟීමක් තියෙනවා. නැති කම්කරු පංතියක් ගැන හිතමින් කම්කරු පංතියට ඊනියා පංති විඥානය ගෙන ගොස් කම්කරු පංති රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කරන බටහිර චින්තනයේ මාක්ස්වාදී ප්‍රවාහයේ දීන දාසයන්ට නම් සිංහල බෞද්ධ සංස්කෘතියක් නැති වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පමණයි. ඒත් ඔවුන්ට ඒකෙ කිසිම නිර්මාණයක් කර ගන්න බැහැ.

Sunday 18 March 2018

ලෝගු හා මූලාශ්‍ර


ලෝගු හා මූලාශ්‍ර



පසුගිය දවසක මා උපාධි ප්‍රදානොත්සවයකට සහභාගි වුණා. එය නිල උත්සවයක් ද කියන එක මට එතරම් පැහැදිලි නැහැ. අදාළ විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා එහි සිටියා ද කියා මට නිච්චියක් නැහැ. උපාධිප්‍රදානයක දී සිටිය යුතු ප්‍රධාන ම පුද්ගලයා විශ්වවිද්‍යාලයෙහි ලේඛකාධිකාරවරයා. ඒ බටහිර සම්ප්‍රදාය අනුව. චීනයේ ඒ එසේ නොවනවා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් බන්දුල ගුණවර්ධනට මා සුබ පතනවා. මා ඒ උත්සවයට සහභාගි වූයේ එතරම් කැමැත්තකින් නො වෙයි. ඒ කෘතගුණ සැලකීමක්. ඒ උත්සවය නොපවත්වා සිටියා නම් හොඳයි කියාත් හිතෙනවා. එයට විශාල පිරිසක් සහභාගි වී සිටියා. කිරිඇල්ල, සම්බන්ධන් ආදීන් ද එහි සිටියා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එහි දී අප එක් එක් අයට සමාජයේ හිමි තැන ගැන ද වැටහීමක් ලබා ගැනීමට හැකි වුණා.

Saturday 17 March 2018

විශ්වාසභංගය



විශ්වාසභංගය


ඊයේ පළ වූ ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන් වුණා. “නන්දිකඩාල් ගැන කලකට පෙර දි අයිලන්ඩ් පත්‍රයෙහි ඉන්දියාවේ හිටපු හමුදා නිලධාරියකු ලියූ ලිපියක සඳහන් වූයේ ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් නොවූ නිසා බවයි.” එය  ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් වූ නිසා බවයි ඉන්දීය හමුදා නිලධාරියා කියා ඇත්තේ ලෙස නිවැරදි විය යුතු ය. මෙහි දී ප්‍රශ්නය වන්නේ ඉන්දියාව මැදිහත් වූයේ කෙසේ ද යන්නයි. ඒ බව පැහැදිලියි. වඩමාරච්චියේ දී මෙන් ඉන්දියාව උඩින් පරිප්පු හෙළුවේ නැහැ. ඉන්දීය සාම සාධක හමුදා එව්වේත් නැහැ. ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කෙළේත් නැහැ. ඒ වෙනුවට ඔවුන් වෙනත් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වුණා. ඒ ඉන්දිය  හමුදා නොඑවා ලංකාවට කොටි පරාජය කිරීමට අවස්ථාව සැලසීමෙන් හා 13+ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව එකඟ කරවා ගැනීමෙන්. අපට නන්දිකඩාල්හි දී ලැබුණේ ආංශික ජයග්‍රහණයක්. අදත් මහින්ද 13+ දෙන බවට ඉන්දියාවට වූ පොරොන්දුව තියෙනවා. දයාන්ලා වේදිකාවට අවතීර්ණ වූයේ ඉන් පසුවයි. මේ සම්පූර්ණ සිද්ධියේ දී ඉන්දීය ඔත්තු සේවය හා ආණ්ඩුවේ ම සිටි එහි මෙරට නියෝජිතයන් ක්‍රියා කෙළේ කෙසේ ද යන්න හෙළි වී නැහැ. 13+ ආවේ කා සමග ද? බටහිර නන්දිකඩාල්හි දී පරාජය වුණා. ඒ ප්‍රභාකරන් පරාජය කිරීම නිසා.  එහෙත් ඉන්දියාවේ අවශ්‍යතාව වූ ප්‍රභකරන් නැති දෙමළ ජාතිවාදයක් මෙරට ඇති වීම නන්දිකඩාල් ප්‍රතිඵලයයි. ඒ ඉන්දියාවේ ජයග්‍රහණයක්.

Friday 16 March 2018

නන්දිකඩාල් දිනුවේ කවුද?


නන්දිකඩාල් දිනුවේ කවුද?



ඊයේ ලිපියේ සඳහන් වූ නන්දිකඩාල් ජයග්‍රහණයක් නො වේ ය යන්න ඇතැමුනට ප්‍රශ්නයක් වෙලා. පෙබරවාරි 10 පොදු පෙරමුණට ජයග්‍රහණයක් නොවීය යන්නත් ඇතැමුනට ප්‍රශ්නයක් වුණා. මේ සියල්ල ජයග්‍රහණය යන්නට සාපේක්‍ෂයි. ජයග්‍රහණය යනු කුමක් ද යන්න මත මේ රඳා පවතිනවා. පෙබරවාරි 10 වැනි දා පොහොට්ටුවට අනෙක් පක්‍ෂ වෙන වෙන ම ගත්තට වඩා ඡන්ද ලැබිලා තියෙනවා. පොහොට්ටුව ජයග්‍රහණය කරලා තියෙන්න ඒ අර්ථයෙන් පමණයි. එහෙත් අද පළාත් සභා ආයතන රාශියක ම සභාපති පදවිය තීරණය වෙලා නැහැ. එයට ඡන්ද ක්‍රමයට බැණ වැදිලා වැඩක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය මේ ක්‍රමයට පක්‍ෂපාත වුණේ නැද්ද? ඔවුන්ට කල් තබා ක්‍රමය තේරුම් ගැනීමට බැරි වුණා.

Thursday 15 March 2018

අනෙකුන්ගේ නොවන මම


අනෙකුන්ගේ නොවන මම


මා ඒකාබද්ධ විපක්‍ෂයේ හා පොදු ජන පෙරමුණේ ඇතැම් දේ ගැන එකඟ වන්නේ නැහැ. ඒ බව මා ප්‍රසිද්ධියේ කියනවා. එයින්  මා ආණ්ඩුවේ හිතවතකු සිරිසේනවාදියකු යැයි කියන්නේ ද්වෛතවල හිර වූ පඬියන් පමණයි. මහින්ද රාජපක්‍ෂ කොටි ත්‍රස්තවාදය පරාජය කළා. එහෙත් ඒ පරාජය කිරීමෙන් පසු ඔහු වෙනත් මගක ගියා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මහින්ද වෙනත් මගක ගියේ ඇයි. ඔහු වටා ඊනියා ස්මාට් ජාතිකවාදීන් එකතු වූයේ කෙසේ ද? නන්දිකඩාල් අද අපට පරාජයක් වී තියෙනවා. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු නැවතත් දෙමළ ජාතිවාදය හිස ඔසවන්න ඉඩක් තියෙන්න බැහැ. එහෙත් එය එසේ වූවා. මෙය පැහැදිලි කර ගත යුතුයි. මා අද හිතන්නේ අප නන්දිකඩාල් වෙනුවෙන් රට උගස් තියා ඇත කියා. ඒ අරුතින් නන්දිකඩාල් පරාජයක්. සාමාන්‍ය සිංහලයන් හිතන්නේ නන්දිකඩාල් ජයග්‍රහණයක් කියා. මාත් එකල හිතුවේ එසේයි.  එහෙත් මා දැන් එසේ හිතන්නේ නැහැ. අප කොටි පරාජය කළා. එහෙත් දෙමළ ජාතිවාදය පරාජය කළේ නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණය කර ඇත්තේ අප නොව ඉන්දියාවයි. ඉන්දියාවට අවශ්‍ය වී තිබුණේ ප්‍රභාකරන් පරාජය කර දෙමළ ජාතිවාදයට අත දීමයි.

Wednesday 14 March 2018

සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම


සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම



අද දි අයිලන්ඩ් පුවත්පතේ පිටරට සිටින ශ්‍රී ලාංකික අධ්‍යයනිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරුවන් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ඝාතනය කරන විට සිටියේ කොහේ දැයි අප අසන්නේ නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදීන්ට දෙමළ ජාතික සංධානයේ නොමඳ සහාය ලැබුණු බව ද අපට අමතක කරන්න බැහැ. එකී සංධානයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයන්  පාර්ලිමේන්තුවේ ද වෙනත් තැන්වල ද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සුමන්තිරන් මේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මැතෝදිස්ත බැතිමතෙක්.

Tuesday 13 March 2018

සංස්කෘතික ආක්‍රමණ හා සංහිඳියාව


සංස්කෘතික ආක්‍රමණ හා සංහිඳියාව



තෙල්දෙණිය දැන් ඉතිහාසයට එකතු වෙලා. ඒත් ප්‍රශ්නය විසඳිලා නැහැ. ප්‍රශ්නය මොකක් ද කියලා කියන්නෙ නැතිව ප්‍රශ්නය විසඳන්නෙ කුමක් ද? මේ රට පුදුම රටක්. බෞද්ධ තර්ක ශාස්ත්‍රය (න්‍යාය) ගැන කතා කරන්න පුළුවන් න්‍යාය (ලොජික්)  කියන්නෙ මොකක් ද බෞද්ධ න්‍යාය කියන්නෙ මොකක් ද කියලා කියන්නෙ නැතිව. තර්කය කියන්නෙ එකක් න්‍යාය කියන්නෙ තවත් එකක් යන්නවත් නොදන්න සමාජයක තර්ක කරන එකත් මෝඩකමක්.

Monday 12 March 2018

ගෝඨාභයගේ කඩුළු තුන


ගෝඨාභයගේ කඩුළු තුන



අප ඊයේ සඳහන් කළා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයට පත් වී ඇති බව. මා ඔහුට සුබ පතනවා. එහෙත් ඒ පත්වීම ගැන මගේ ඇත්තේ සැක මුසු හැඟීම්. ඒ කරුණු කිහිපයක් නිසා. පළමුවෙන් ම ඔහු වටා සිටින අයට ජාතිකත්වයක් නැහැ. මා ජාතික චින්තනයේ අයකු නො වෙයි. මා ඒ බව කියන්නේ අද ඊයේ නො වෙයි. ජාතික චින්තනය ගුණදාස අමරසේකර බටහිරින් ගත් අදහසක්. ජාතික චින්තනය නමින් වෙබ් අඩවියක් තියෙනවා. එහි සාමාජිකයන්, අඩුම තරමෙන් එයට යම් අනුග්‍රහකත්වයක් දක්වන්නන් දසදාහක් පමණ ඉන්නවා ය කියනවා. ඒ අය අතරින් කී දෙනකු ගෝඨාභය කිට්ටුවෙන් ඇසුරු කරනවා ද? කිට්ටුවෙන් ඇසුරු නොකරන්නන්ට ඔහුට උපදෙසක් දෙන්න බැහැ. ගෝඨාභයට උපදෙස් දෙන්නන්ගෙන් කී දෙනකු ජාතික චින්තන වෙබ් අඩවිය ඇසුරු කරනවා ද?

Sunday 11 March 2018

ගෝඨාභයගේ අනාගතය


ගෝඨාභයගේ අනාගතය



පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ තේරී ඇති බව පැහැදිලි ය. අපි ඔහුට සුබ පතමු. ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට තේරීම අන් කාහටත් වඩා දිලිත් ජයවීරගේ ජයග්‍රහණයක්. ගෝඨාභය වටා අද ඉතා ඉහළ ම පෙළේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ප්‍රධානීන් පෙළ ගැසී තියෙනවා. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ජාතික ව්‍යාපාරයේ නියුතු වූවන්ට හඳුන්වාදීමේ සභාවක් පසුගිය දා කොල්ලුපිටියේ හෝටලයක පැවැත්වුණා. එහි දී මා මතු කළ අදහස් කිහිපයක් තවමත් වලංගුයි. එහෙත් මා බුද්ධිමතකුවත් ව්‍යාපාරිකයකුවත්, ජනමාධ්‍යයට සම්බන්ධ අයකුවත් නො වෙයි. මා බුද්ධියෙනුත් ධනයෙනුත් ජනප්‍රසාදයෙනුත් දුගියෙක්.  මහින්දවාදීන්ට අනුව මා සිරිසේනවාදියෙක්, කොන්ත්‍රාත්කාරයෙක්, මුග්ධයෙක්, බකපණ්ඩිතයෙක්, ගේම්කාරයෙක්, විහිළුකරඬෙක්, නිකරුණේ මිනිසුනට බැණ වදින්නෙක්, මගේ කතාව තමන් මෙන් හුදී ජන පහන් සංවේගය සඳහා නොලියා ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නෙක්,  සහ තවත් එවැනි අයෙක්. ඒ බුද්ධිමතුන්ට අනුව මා කළ වරද කිහිපයක් තියෙනවා. ප්‍රධාන ම එක රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන ලෙස කළ ඉල්ලීම.

Saturday 10 March 2018

ප්‍රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ


ප්‍රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ




දැන් ප්‍රශ්නය ඉවර ද? සමහරවිට කලබල නම් ඉවර ඇති. මේ සියල්ලට ම වරදකරුවා මුහුණු පොත ද? අර තරුණ ගැටවු දෙදෙනා ද මේ ප්‍රශ්න සියල්ල ඇති කෙළේ? ඔවුන් අත් අඩංගුවට ගැනීමත් සමග ප්‍රශ්නය ඉවර වුණා ද? එහෙමත් නැත්නම් මහින්ද ලොහාන් රත්වත්තෙගෙ නුවර ගෙදරට ගිහින් ප්‍රශ්නය විසඳුවා ද? එහෙමත් නැත්නම් තමා ආනන්දෙ ඉගෙන ගත්ත බෞද්ධයකු යැයි කියන හමුදාපති හදිසි නීති යටතේ ප්‍රශ්නය විසඳුවා ද? දැන් අහන්න පුළුවන් ප්‍රශ්නය මොකක් ද කියලා. මාත් දන්නෙ නැහැ ඔය ප්‍රශ්නය මොකක් ද කියලා.

Friday 9 March 2018

දීර්ඝ ගමනක අවසානය


දීර්ඝ ගමනක අවසානය



අද හැම තැනක ම වගේ ඇහෙන්නෙ සාම කතා. සාමය නැත්තෙ සිංහල බෞද්ධයන් නිසා කියන කතා. සිංහල බෞද්ධ උගතුන් යැයි කියන්නන් ඒවාට වටලප්පන් කතා කියනවා. අප වටලප්පම බෙදා ගන්නවා කියනවා. මෙරට ජාතිවාදයක් නැහැ කියලා හැමෝම වගේ අපට කියනවා. ඒ වුණාට කොත්තුව බෙදා ගන්නෙ නැහැ. කොත්තුවට වඳ පෙති දාලා කියනවා. බැලුව ම ඒක වඳ පෙත්තක් නොවෙයි. ඒක පිටි ගුළියක් කියලා කියනවා.

Thursday 8 March 2018

ඊනියා ඉස්ලාම් භීතිකාව


ඊනියා ඉස්ලාම් භීතිකාව



අද වන විට ලංකාවේ සිදුවන්නේ යැයි කියන මුස්ලිම්  විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන කියැවෙනවා. මෙරටින් පිටරට ගොස් සිටින තුට්ටු දෙකේ මාධ්‍යවේදියකුගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ගැන ය. මොහු එතෙර කුමක් කරනවා දැයි අප දන්නේ නැහැ. කලක් මෙරටින් එක්සත් රාජ්‍යයට ගිය ජනමාධ්‍යවේදියකු එහි ජීවත් වූයේ මෝටර්රථවලට තෙල් පුරවන තැනක රැකියාවක් කරමින්. ඒ මොහු නොවෙයි. එහෙත් මා ඒ බව සඳහන් කළ විට මොහු සිතුවේ ඒ තමා කියා!

Wednesday 7 March 2018

නැවතත් තෙල්දෙණියට



නැවතත් තෙල්දෙණියට


තෙල්දෙණිය ගැන කතන්දර රාශියක් කියලා තියෙනවා. ජනතාවගෙන් සන්සුන් වන්න කියලා බොහෝ දෙනා ඉල්ලීම් කරලත් තියෙනවා. ඒ ඉල්ලීම හොඳයි. ඒත් මිනිසුන් ඉල්ලීම් පිළිගන්නෙ නැහැ. මිනිසුන් වැඩ කරන්නෙ සිතැඟි උඩ. අද වෙන විට  හදිසි නීතිය පනවලා. ඒ නිසා මිනිසුන් ටිකක් කලබල නොකර සිටීවි. එයින් මා කියන්නේ හදිසි නීතිය හොඳයි කියන එක නො වෙයි. අද ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයත් කියනවා හදිසි නීතිය ඉවත් කරන්න කියලා. ආණ්ඩුව ඒකට නම් ඇහුන්කන් දේවි. බොහෝ විට සතියකින් හදිසි නීතිය ඉවත් කරන්න ඉඩ තියෙනවා.

Tuesday 6 March 2018

තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට



තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට


තෙල්දෙණිය සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ අසම්පූර්ණ ව.  ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙය රථයක් පසු කර යෑමට ඉඩ නො දීම හෝ ඉඩ ලබා ගැනීමට නොහැකි වීම නිසා හෝ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට පහර දීමක් බවයි.  මෙහි දී මා වැරදි වන්න පුළුවන් බවත් අවධාරණය කළ යුතුයි. අවාසනාවකට පහර දුන් අය මුස්ලිම් වූ බවක් පෙනී  යනවා. මරණයට පත් වූ තැනැත්තා නම් සිංහල බව පැහැදිලියි. පහර දුන් අයත් සිංහල වී නම් හෝ දෙපැත්ත ම මුස්ලිම් වී නම් හෝ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ.

Monday 5 March 2018

මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා



මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා


විශ්වවිද්‍යාලයක දර්ශන අංශාධිපතියකු මා ගැන කණගාටුවන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් කර ඇති බව මගේ මිතුරකු කිව්වා. මා බැසිලිකාවේ වෙබ් අඩවි කියවන්නේ නැහැ. මෙරට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතිවිශාල බහුතරයකට නිරවුල් ව කල්පනා කිරීමට තර්ක කිරීමට නොහැකි බවට මට අවුරුදු පනහකට වැඩි අත්දකීමක් තියෙනවා. මේ කියන ආචාර්යවරයාත් එබන්දෙක්. බැසිලිකාවේ කොළඹ විශ්විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන මා දන්නවා. ඔවුන් ශිෂ්‍ය අවධියේ සිට ම දන්නවා. ඔවුන් නිකම් වචන පමණක් කියවනවා. ලියනවා. තර්ක කරන්න බැරි අය තර්කානුකූල අන්තයන් ගැන කියනවා. ඔවුන් සිටි තැන් ගිය තැන් දැන්  ඉන්න තැන්, ඒ තැන් මාරු කළ හැටි මට කියන්න පුළුවන්. බැසිලිකාවේ අනෙක් එක් කථිකාර්යවරයකුට සිංහල තේරෙන්නේ නැති බවත් මා දන්නවා.

Sunday 4 March 2018

ගෝඨාභය හා මෛත්‍රීබය



ගෝඨාභය හා මෛත්‍රීබය


ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ කතා බහ කලක් තිස්සේ පැතිර යනවා. රණවිරුවන් දඩයම් කරන්නේ නැතැයි කියන ආණ්ඩුවක් රණවිරුවන් සම්බන්ධ ආරක්‍ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගන්න හදනවා. ආණ්ඩුව කියාවි අත්අඩංගුවට ගැනීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් නොවෙයි කියලා. රටේ සාමාන්‍ය නීතිය අනුව පුරවැසියකු සම්බන්ධ චෝදනාවකට පරීක්‍ෂණ කිරීම අදාළ අංශවල කටයුත්තක් කියා ආණ්ඩුව කියන්න පුළුවන්.

Saturday 3 March 2018

කතන්දර



කතන්දර


මට කලකට පසුව ගිය සතියේ පඬියකු මුණ ගැසුණා. ඔහු කලක් චින්තන පර්ෂදයේ ද සිටියා. එහෙත් පසුව ඔහු ඉවත් වී ගියා. පසුගිය සතියේ දෙවරක් ම ඔහු මා මුණ ගැසීමට පැමිණියා. අප ටිකක් කතා කළා. එහෙත් ඔහුට වෙනත් අරමුණක් ඇති බව කලකට පසුවත් පෙනී ගියා.

Friday 2 March 2018

ඒකාබද්ධයේ චුන් දේශපාලනය



ඒකාබද්ධයේ චුන් දේශපාලනය


ඊයේ ලිපියේ අවසාන ඡෙදයේ සඳහන් වූ ඒකාබද්ධ විපක්‍ෂයෙ බලවතා කවුද කියා කිහිප දෙනකු අසා තිබුණා. ඒ ඩලස් අලහප්පෙරුමයි. ඔහු කියා තිබුණා පළාත් පාලන මැතිවරණයේ දී මනාප ක්‍රමයට මන්ත්‍රීන් තෝරා ගෙන ඇත්තේ වැරදියට කියා. ඔහු ස්මාට් ජාතිකවාදීන්ට අනුව නම් බුද්ධිමතෙක්. මා ටිකක් විපරම් කර බැලුවා ඔහු කියන්නේ ඇත්ත ද කියා. ඔහු මේ කතාව කියා ඇත්තේ අද මහින්දවාදීන් (බැසිල්වාදීන්) ගිලි සිටින චූන් දේශපාලනය අනුව බව පැහැදිලියි. ඔහුට යම් කිසිවකු මේ වැරදි තොරතුර ලබා දෙන්න ඇති. ඔහු මහින්දවාදීන් චූන් කිරීම සඳහා ඒ කතාව ඊනියා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබෙනවා. එහි දී ඔහු මුහුණු පොතේ තරුණයකු රනිල්ගේ පරණකම ගැන කීමට යොදාගත් උදාහරණ රාශියක් තමාගේ මෙන් කිව්වා. අද දයාන් ජයතිලක දි අයිලන්ඩ් පුවත්පතින් ඩලස් බුද්ධිමතාට ඒ උදාහරණ දීම පිළිබඳ තම ප්‍රසාදය පළ කරනවා. මා මුහුණු පොතේ මුහුණක් නැති තරුණයාට ස්තුති කරනවා.

Thursday 1 March 2018

ආණ්ඩුවේ ජනවරම



ආණ්ඩුවේ ජනවරම


පසුගිය පෙබරවාරි දහයෙන් ආණ්ඩුවේ ජනවරම වෙනස් වූවා යැයි කියන්න පුළුවන් එක් අර්ථයකින්. එහෙත් මා රනිල් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඔහු මෙරට සංස්කෘතිය නියෝජනය නොකරන, ක්‍රිස්තියානි සංස්කෘතියේ ජීවත්වන ඒ සංස්කෘතියට හා අදාළ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට රට ඇද ගෙන යන නව ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතිවාදයට රට පාවා දෙන රට බෙදීමට කටයුතු කරන රණවිරුවන්ට දඬුවම් දීමට ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් සමග අත්වැල් බැඳගත් අයකු නිසා. ඒ පඬියන්ට අනුව මගේ මුග්ධ ජාතිකත්වයෙන් ගලා එන දේ. ඒ සඳහා පෙබරවාරි මැතිවරණය අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවට එකඟ ව රනිල් ඉවත් කළ යුතුයි . එය කළ හැක්කේ මෛත්‍රිපාලටයි.