Main Logo

Thursday, 29 March 2018

රනිල්ගෙන් පසු කවු ද?


රනිල්ගෙන් පසු කවු ද?



වජිර අබේවර්ධන විශ්වාසභංග යෝජනාව ගැන මොකක් ද කියන්න උත්සාහ කරනවා. විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධව බව එහි එක් වාක්‍යයකින් කියැවෙනවා. ඒ වාක්‍යය නැතිව අගමැති අයින් කරන්න බැහැ.  ඒ අතර ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා කියලත් වජිර අබේවර්ධන මතක් කරනවා. විශ්වාසභංගය දිනුවෙත් රට අරාජික වන බවක් පෙන්නුම් කරන්න ඔහු උත්සාහ කරනවත් ද? නැහැ එහෙම වෙන්නෙ නැහැ. ජනාධිපති අයින් වෙන්නෙ නැහැ. ඔහුට වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දහනවවැනි ව්‍යවස්ථාවෙන් (48 (2)) කියැවෙන්නේ මෙයයි. මුහුණු පොතේ පඬියන්, ඊනියා ජනමාධ්‍යවේදීන් මේවා කියවන්නේ නැහැ. ඔවුන් තමන්ට හිතන හිතන දේ පමණක් කියවනවා. වජිර අබේවර්ධන 48(2) කියෙව්වා ද යන්නත් ප්‍රශ්නයක්.




“48(2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත හෝ ප්‍රතික්‍ෂෙප කළහොත් එවිට ද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් එවිට ද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය. එසේ වූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් මිස, ජනාධිපතිවරයා විසින් 42 වන, 43 වන, 44 වන සහ 45 වන ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන් ද, නියෝජ්‍ය අමාත්‍යවරයන් ද පත් කළ යුත්තේ ය.”



විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් ඉතා පැහැදිලි ව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. වජිර අබේවර්ධන අපැහැදිලි ප්‍රකාශ නොකළ යුතුයි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා.පත් කෙරෙන නව අගමැති කවුරුන් විය යුතු ද? අද රනිල් ඉවත් කළ යුතු ය කීවත් එසේ කළ යුත්තේ ඇයි ද යන්න ගැන විවිධ කරුණු කියැවෙනවා. මා නම් රනිල් ඉවත් කරන්න යැයි මුල සිට ම කිව්වේ ඔහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ හිඳ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව කටයුතු කරනන බැවින්. නව ව්‍යවස්ථාව, එට්කා ආදී සියල්ල එයින් අපෝහනය කර ගන්න පුළුවන්. එහෙත් මා කියන්නේ නැහැ ඔහු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මුළුමනින් ම වැළඳ ගෙන කියා. ඔහු තබා ලංකාවේ කිසිවකුත් ඒ චින්තනය මුළුමනින් ම වැළඳ ගෙන නැහැ. වැළැඳ ගැනීම යන්නට වඩා ඒ චින්තනයට අවශෝෂණය වී ඇත යන්න සුදුසුයි.



රනිල් ඉවත් කළ යුතුව තිබුණේ 43(3) අනුව්‍යවස්ථාව යටතේ. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තියක් නැහැ. ශක්තිය යනු ඡන්ද බලය නොවෙයි. මෛත්‍රිපාල දුර්වලයෙක්. මහින්ද ඔහුට ශක්තිය ලබා දිය යුතු ය කියා මා කීවේ එබැවිනුයි. එය පෙබරවාර් මැතිවරණයකට බොහෝ කලකට පෙර කියූවක්. එහෙත් මහින්දවත් ඒකාබද්ධ විපක්‍ෂයවත් එය ගණන් ගත්තේ නැහැ. රනිල් මෛත්‍රිපාල විරසකය ඇතිවෙලාත් හුඟක් කල්. පෙබරවාරි මැතිවරණය වන විටත් ඒ විරසකය වර්ධනය වෙලා. එහෙත් පඬියන් රඟපෑම්, කුමන්ත්‍රණ ආදි හේතු මගින් විරසකය විස්තර කරන්න උත්සාහ කළා. විරසකය පෙබරවාරි මැතිවරණයේ ප්‍රතිඵලයක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ විරසකය තීව්‍ර කිරීමට කිසිවක් කෙළේ නැහැ.



විශ්වාසභංග අදහස ආවේ එ ජා පක්‍ෂයෙන්මයි. ඔවුන්ට අවශ්‍ය වූයේ රනිල් එ ජා ප නායකත්වයෙන් අස්කිරීමට. රංගෙ බණ්ඩාර එහි මූලිකත්වය ගත්තා. එ ජා ප ව්‍යවස්ථාව අනුව රනිල් එහි නායකත්වයෙන් අස් කිරීම පහසු නැහැ. ඒ නිසා රංගෙ බණ්ඩාර වැනි අයට පළමුව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න අවශ්‍ය වෙන්න ඇති. විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට ආකර්ෂණීය වුණා. පසුව එය වර්ධනය වුණා. ඔවුන් හා එස් බී දිසානායක, දයාසිරි ජයසේකර ආදීන් එය ඉදිරියට ගෙන ගියා. එහෙත් අද වන විට එහි තවත් පැත්තක් මතුවෙලා තියෙනවා.



රාජපක්‍ෂලාට විරුද්ධව නීතිමය පියවර නොගත් බවට රනිල්ට එරෙහි ව චෝදනාවක් තියෙනවා.  රාජිත හා චම්පක එය තවත් වර්ධනය කරනවා. සරත් ෆොන්සේකාත් එයට යම් සහායක් දක්වනවා. ඔවුන්ට අවශ්‍ය රනිල් විරෝධය හා රාජපක්‍ෂ විරෝධය සමපාත කරන්න. එහි දී රනිල් ඉවත් කර රාජපක්‍ෂ විරෝධියකු අගමැති කිරීමට ඔවුන්ට අවශ්‍යයයි. මා ඊයේ ලිපියෙන් ඒ ගැන යමක් කිව්වා. අප මේ කාරණය බැරෑරුම් ව සැලකිය යුතුයි. අද ජාතික බලවේග ප්‍රධාන වශයෙන් ම ඒකරාශි වන්නේ මහින්ද හා ගෝඨාභය වටා. ඔවුන්ට දඬුවම් කිරීමට අද විජාතික බලවේගවලට අවශ්‍යයයි. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමත් මෙහි එක් අංගයක්. එය ජාත්‍යන්තර මැදිහත්වීමක් වීමට ඉඩ තියෙනවා. අද ජාතික බලවේගවලට මහින්ද හා ගෝඨාභය අවශ්‍යයයි. රාජිතලාට චම්පකලාට සරත් ෆොන්සේකලාට අවශ්‍ය වන්නේ රාජපක්‍ෂලාට දඬුවම් කිරීමට.



රාජිත හෝ ඔහුගේ ආශිර්වාදය ලබන අයකු හෝ අගමැති වීම වැළැක්විය හැක්කේ ඒකාබද්ධ විපක්‍ෂයටයි. රනිල් ඉවත් කිරීමෙන් පසු අගමැති විය යුත්තේ මහින්ද කියා මා කියන්නේ අවුරුදු තුනක සිට. ඒ බව මා කලින් ලිපියකත් පැහැදිලි කර ඇති. මහින්ද නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂයේ වෙනත් අයකු එසේත් නැත්නම් මෛත්‍රිපාල කණ්ඩායමේ අයකු ආදී වශයෙන් මා එය අනුපිළිවෙළින් දක්වා ඇති. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා මඩ ගා ගන්නේ නැතිව 2019ට සූදානම් වන නිසා ඔවුන් කිසිවකු අඩු තරමෙන් ඇමතිකමක් ගැනීමෙන් වළකා තිබෙනවා. එවිට අපට පටන් ගන්න වෙන්නේ මෛත්‍රිපාල කණ්ඩායමේ අයකුගෙන්. ඒකාබද්ධ විපක්‍ෂය ඒ තැනැත්තා වෙනුවෙන් යමක් කෙළේ නැත්නම් එ ජා පෙරමුණේ අයකු පත් කරන්න සිදුවේවි. එය මහින්ද විරෝධී රාජිත වැන්නකුට ගියහොත් එය රාජපක්‍ෂලාට අහිතකර වේවි. එහෙත් ඒ නිසා රනිල් තබා ගත යුතු යැයි නිගමනය වන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය රාජිත වැන්නකු අගමැති වීම වැළැක්වීමට හැකි සෑම දෙයක් ම කළ යුතුයි.