Main Logo

Tuesday 27 March 2018

රනිල් ඉවත් කිරීම


රනිල් ඉවත් කිරීම



රනිල් ඉවත් කළ යුතු බව අප කීවේ ඔහු අගමැති ලෙස පත් වූ දිනවල. මා එසේ කියන්නේ ගෞරවයක් බලා ගෙන නොවෙයි. එහි ගෞරවයක් ලැබීමට තරම් දෙයක් නැහැ. කොහොමටත් මා ගෞරවයක් ලැබිය යුතු දෙයක් කියා නැහැ. මා ලියන්නේ ගෞරවයක් ලබා ගැනීමට නො වෙයි. මේ ලිපිවලට ගෞරවයක් තබා කැමැත්තක්වත් නැහැ. දෙතුන් දෙනකු මේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒ ලිපිවලට කැමැත්ත (ලයික්) ලැබෙන්නේ අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩු පිරිසකගෙන්. මා ලියන කතන්දර පමණක් නොව තවත් කතන්දරත් තිබෙන බව මා දන්නවා. අනෙක් අය ලියන්නේ හුදී ජන පහන් සංවේගය පිණිස ම නොවන බවත් මා දන්නවා. මට ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්නවලට මට පිළිතුරු තියෙනවා. සමහර ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. එහෙත් මුහුණු පොතේ අයට නම් හැම ප්‍රශ්නයකට ම පිළිතුරු තියෙනවා.




පසුගිය දිනවල මා ලිපියක් ලිව්වා අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි කියලා. එක් පඬි පෝතකයකු වහාම පිළිතුරක් ලියා තිබුණා. ඔහු කියා තිබුණේ අප නිදහස් නැති නිසා කියලයි. ඔහු ලිපිය කියෙව්වා නම් ඒ පිළිතුර දෙයි ද කියා මට හිතුණා. මා අසා තිබුණේ අප ජනරජ දිනය සමරන්නේ නැත්තේ ඇයි කියල. අප ලිපියකට මාතෘකාවක් දෙන්නේ ලිපියෙහි කියැවෙන දෙය ඉතා කෙටියෙන් කීමට නො වෙයි. එහෙම කෙටියෙන් කියන්න බැහැ. මාතෘකාවක් හැම විට ම සෘජු අදහසක් ගෙන දෙන්නක් නො වෙයි. එහි ව්‍යංගයෙන් කියන දේත් තියෙනවා. එහෙත් මුහුණු පොතේ පඬි පෝතකයන්ට එයින් වැඩක් නැහැ. ඔවුන් තවමත් ඉන්නේ පාසලේ වැසි දිනයක් වැනි මාතෘකා යටතේ රචනා ලියූ අවධියේ.



ඒ අතර තවත් අයකු ඒ ලිපියෙන් මා සිිරිසේනවාදියකු වන බව ඔහුට ම ආවේණික වූ තර්ක ක්‍රමයක් හා අනුමාන නීති යටතේ නිගමනය කර තිබුණා. මැයි විසිදෙක නිවාඩු දිනයක් ව පැවතුණා. ඒ බණ්ඩාරනායක මැතිණියගෙ කාලයෙ. ඉන්පසු නිවාඩුව අවලංගු කෙරුණා. චන්ද්‍රිකාවත් මහින්දවත් නැවත ඒ නිවාඩුව ලබා දුන්නේ නැහැ. සිරිසේනට එය කොහොමටවත් කරන්න බැහැ. රනිල් එයට ඉඩක් දෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය සිරිසේනට ඒ සඳහා ශක්තිය ලබා දෙන්නෙත් නැහැ. ඒ ඇයි ද යන්න මට ප්‍රශ්නයක්. මා ඒ ප්‍රශ්නය ඉදිරියේත් නගනවා. ගෝඨාභය බලයට පත්වුවහොත් මැයි විසිදෙක නිවාඩු දිනයක් කරාවි කියා බලාපොරොත්තු වෙනවා. මැයි දහනවය සිට විසිදෙක දක්වා ම උත්සව පවත්වන්න පුළුවන්. එසේ කීමෙන් මා බැසිල් විරෝධී ගෝඨාභයවාදියකු වෙනවා ද?



මා රනිල් ඉවත් කරන්න මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන්න යැයි කීවේ පෙබරවාරි 10 වැනි දා මැතිවරණයට පෙර බව ඇත්ත. එහෙත් එයින් කියැවෙන්නේ නැහැ පෙබරවාරි මැතිවරණය මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන්න යොදා ගන්න කියා මා කියූ බවක්. මේ අර තර්ක ශාස්ත්‍රය අනුව නිගමනය කරන දේ. රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු යැයි මා කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) අනුව්‍යවස්ථාව යටතේ. එය හා පෙබරවාරි මැතිවරණය අතර කිිසිම සම්බන්ධයක් නැහැ. 43(3) අනුව්‍යවස්ථාව යටතේ රනිල් ඉවත් කරන ආකාරය මා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. 43(3) යටතේ ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ වෙනසක් කරන්න පුළුවන් අගමැතිගෙන් විමසන්නේ නැතිව. මෛත්‍රිපාල විධායක ජනාධිපති වුණත් ඔහුට ශක්තියක් නැහැ. මහින්ද ඔහුට ඒ අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුව තිබුණා. එහෙත් මහින්ද එසේ කෙළේ නැහැ. ඒ බව කීමෙන් මා සිරිසේනවාදියකු වන්නේ නැහැ.



මහින්ද ඒ ශක්තිය ලබා දුන්නේ නම් මෛත්‍රිපාලට ඒ ගැන නීතිපතිගෙන් විමසන්න සිදුවන්නේ නැහැ. නීතිපති කිව්වේ රනිල් ඉවත් කිරීමට බැහැ කියා. 43(3) යටතේ අමාත්‍ය මණ්ඩල සංයුතිය වෙනස් කළ විට කලින් තිබූ අමාත්‍ය මණ්ඩලය අහෝසි වනවා. එවිට අමාත්‍ය මණ්ඩලයේ සංතතික බවත් නැති වෙනවා. එවිට අගමැති ඉවත් කිරීම පිළිබඳ ඇති අනෙක් අනුව්‍යවස්ථා බලපාන්නෙ නැහැ. දැන් පඬියකු අහන්න පුළුවන් මගේ කතාව පමණක් ද නිවරදි කිය. අනෙක් පැත්තට අහන්න පුළුවන් නීතිපතිගෙ කතාව පමණ ද ඇත්ත කියා. මෙහි නීති මූල ධර්ම පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. නීතිපති මා සමග එක් අයකුට කට උත්තර නැතිවන තුරු තර්ක කිරීමට ඉදිරිපත් වනවා නම් 43(3) ගැන කතාකරන්න පුළුවන්.



එහෙත් මුහුණු පොතේ පඬි පෝතකයන් මේ කිසිවක් පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ම මා පෙබරවාරි මැතිවරණයේ දී මහින්ද මෛත්‍රිපාලට ආධාර කළ යුතු බවක් කී බව. මෙය පට්ටපල් බොරුවක්. මා පෙබරවාරි මැතිවරණයේ දී මෛත්‍රිපාලට ආධාර කිරීමක් ගැන කිිසි දෙයක් කියා නැහැ. එසේ කියා ඇත්නම් ඒ බව පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. පුළුවන් නම් එසේ කරන ලෙස මා අභියෝග කරනවා. පෙබරවාරි මැතිවරණයේ ප්‍රතිඵල අනුව අද ඇතැම් ආයතනවල සභාපතිකම ගැනීමට පොහොට්ටුව හා මෛත්‍රිපාල කණ්ඩායම් එකතු වෙනවා. මා ඒ ගැනවත් කියා නැහැ. සිංහලයන්ට වෙන් කිරීම තරමක් අමාරුයි. පෙබරවාරි මැතිවරණය හා රනිල් ඉවත් කිරීම වෙන් කර ගැනීමට බැරුව පඬි පෝතකයන් අනා ගන්නවා.



අද විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ලා. එය සංකීර්ණ ක්‍රියාවලියක්. 43(3) යටතේ රනිල් ඉවත් කිරීම ඊට වඩා පහසුයි. ඒ වුණත් විශ්වාසභංග යෝජනාව ජයගනු දැකීම මගේ අපේක්‍ෂාවයි. අප අවධාරණය කළ යුතු තවත් කරුණක් නම් රනිල් මෛත්‍රිපාල විරසකය පෙබරවාරි මැතිවරණය නිසා ඇති වුවක් නොවන බව. රනිල් මෛත්‍රිපාල විරසකය ඇති වී බොහෝ කල්. එහෙත් පඬියන් දාර්ශනිකයන් කිව්වේ එය රඟපෑමක් බවයි. අදත් ඔවුන් හිතන්නෙ රඟ පෑමක් බව ද? යම් අයුරකින් විශ්වාසභංග යෝජනාව පැරදුණහොත් පඬියන් දාර්ශනිකයන් නැවතත් කියාවි මේ සියල්ල රඟපෑම් කියා. රඟපෑම් හා කුමන්ත්‍රණ මගින් පමණක් ලෝකය දකින අයට රඟපෑම්වල  පිහිටයි.