Main Logo

Showing posts with label කාලය. Show all posts
Showing posts with label කාලය. Show all posts

Tuesday, 3 February 2015

අගවිනිසුරු මොහාන් පීරිස් - දිනේශ් කියයි

අගවිනිසුරු මොහාන් පීරිස් - දිනේශ් කියයි

මෙරට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා ඊයේ (2වැනි සඳුදා) රාත්‍රියේ දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට සහභාගි වෙමින් පැවසී ය. වත්මන් අගවිනිසුරු කවුදැයි යනුවෙන් ඇසූ ප්‍රශ්නයට දිනේශ් ගුණවර්ධන මහතා එකහෙළා ප්‍රකාශ කළේ ඒ මොහාන් පීරිස් මහතා බව ය. 

2013 ජනවාරි 11 වැනි දා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම සඳහා පාර්ලිමේන්තුව සම්මත කරගත් යෝජනාව විධිමත් බව දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. ඒ යෝජනාව සම්මත කිරීමෙහි ලා කිසිම තාක්‍ෂණික දෝෂයක් සිදු වී නොමැති බව පැවසු ඒ මහතා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීම මෙන් ම මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම ද නීත්‍යානුකූල බව පෙන්වා දුන්නේ ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීමට ගෙනෙන ලද යෝජනාවට ඡන්දය විමසීමට පෙර කථානායකතුමා යෝජනාවේ තත්ත්වය පැහැදිලි කරමින් ජනවාරි 11 වැනි දා කළ ප්‍රකාශය ද මතක්කර දුන් ඒ මහතා අද මොහාන් පීරිස් මහතා ඉවත්කර ඇත්තේ (ආණ්ඩුව  කියන්නේ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්නොවූ බව ය. මේ සම්බන්ධයෙන් කාලය වෙබ් අඩවියේ පළ වී ඇති ලිපි කියවන්න) විධායක ජනාධිපති ධුරයේ බලතල යොදාගනිමින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කරමින් බව පෙන්වා දුන්නේ ය.

කථානායකතුමා 2013 ජනවාරි 11 වැනි දා යෝජනාවට ඡන්දය විමසීමට පෙර කරන ලද ප්‍රකාශය අපි පහත උපුටා දක්වමු. “දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව හොඳින් අධ්‍යයනය කර බැලීමේ දී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව සහ 78(අ) ස්ථාවර නියෝගය යටතේ බව ඉතා පෑැහැදිලිව සඳහන් කොට ඇත.

තවද, මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් වි’ෂමාචාර චෝදනා පිළිබඳ පරී්ක්‍ෂණය කොට එම චෝදනා එකක් හෝ වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන් ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු යැයි සඳහන් වන බැවින් මෙම යෝජනාවේ පරමාර්ථය ඉතා පැහැදිලි වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දින න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති යෝජනාව ප්‍රමාණවත් වන බව මම ප්‍රකාශ කරමි. 

එම නිසා අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යෝජනාව දැන් ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරමි.” (හැන්සාඩ් වාර්තාව)

2015 පෙබරවාරි 03




Sunday, 7 April 2013

මේ දැන් හෙවත් තව ටිකකින්

සිංහලයන්ට ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හැඳින්වීම සඳහා වචනයක් තිබී නැති බව පැහැදිලි ය. එපමණක් නොව සිංහල භාෂාවේ වර්තමාන කාලය හඟවන ක්‍රියා පද ද නැත. සිංහලයේ ඇත්තේ අතීත කාලයක් හා අනාගත කාලයක් පමණකි. සිංහලයේ ඇත්තේ අතීත හා අනතීත කාල පමණක් බව කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දී ඇත. ඒ අනතීත කාලය යනු අනාගත කාලය මිස වර්තමාන කාලය නො වේ. මම යමි හා මම යන්නෙමි අතර ඇති වෙනස කුමක් ද? සිංහලයේ වර්තමාන කාලයක්, එනම් වර්තමාන කාලය සඳහා රූපයක් නැත්තේ වර්තමානය යනු අතීතය හා අනාගතය වෙන් කරන මොහොත පමණක් වීම නිසා ය. ඒ මොහොත මෙපමණ කාලයක් යැයි අර්ථදැක්විය හැකි නො වේ. අපට අවශ්‍ය පරිදි ඒ මොහොත හෙවත් ක්‍ෂණය කුඩා කර ගත හැකි ය. පැන්සල් තුඩ තව තවත් සිහින් කළ හැකි අයුරින් ක්‍ෂණය ද තව තවත් කුඩා කළ හැකි ය.

ක්‍ෂණය යනු කුමක් දැයි අර්ථදැක්විය හැකි අයකු ඇත්නම් ඒ චතුස්කෝටික න්‍යාය යොදාගන්නා අයකු විය යුතු ය. අවශ්‍ය නම් ක්‍ෂණයක් යනු කාලාන්තරය ශූන්‍ය හා ශූන්‍ය නොවූවක් යැයි කිව හැකි ය. එහෙත් එය ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර ලෝකය සඳහා වැදගත් නො වේ. ක්‍ෂණයක් යනුවෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක් අර්ථදැක්වීය නොහැකි බැවින් සිංහලයන් ක්‍ෂණය ද වර්තමානය ද ඉවත දමන්නට ඇත. තුන්වැනි සංගායනාවෙන් අප ලද ක්‍ෂණවාදය එතරම් ජනතාව අතරට ගිය බවක් නො පෙනෙයි.

ක්‍ෂණයක් යනුවෙන් පවත්නා දෙයක් (කාල පරිච්ඡෙදයක්) නැති බව සිංහලයන් තේරුම් ගන්නට ඇත්තේ ඔවුන් බෞද්ධයන් වීමට ද පෙර විය යුතු ය. එබැවින් ථෙරවාදයෙහි සඳහන් ක්‍ෂණවාදයට ලංකාවේ වැදගත් කමක් හිමි වී ඇති බවක් නො පෙනෙයි. වර්තමානය සඳහා ක්‍රියා පද රූපයක් සිංහලයෙහි නොමැති වුවත් පාළි භාෂාවෙහි එසේ ඇති බව පැහැදිලි ය. අප ගච්ඡාමි යනුවෙන් නිතර සඳහන් කරන පදය යමි යන්න සඳහා යෙදෙයි. එය පාළි භාෂාවෙහි අදාළ ක්‍රියා පදයෙහි වර්තමාන රූපය වෙයි. එහි අතීත රූපය ගච්ඡති ද අනාගත රූපය ගච්ඡන්ති වෙයි. ගච්ඡාමි හා ගච්ඡන්ති අතර වෙනසක් තිබුණ ද, යමි හා යන්නෙමි අතර වෙනස කුමක් ද?

පාළි භාෂාවෙහි ආභාසය ලැබීමට පෙර වර්තමානය හා අනාගතය සඳහා සිංහලයෙහි තිබූ රූප කවරේ ද යන්න සොයා බැලීමට මෙරට විද්වතුන් උනන්දුවන්නේ නම් මැනවි. කෙසේ වෙතත් සිංහලයන් වර්තමානයක් යනුවෙන් අර්ථදැක්විය හැකි කාලයක් නැති බව තේරුම් ගන්නට ඇත. වර්තමානය යන්න ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. වර්තමානය යනු මේ යැයි අපට කිව හැකි ද? ඒ නැති නිසා ම දෝ සිංහලයෙහි මේ දැන් යනුවෙන් ව්‍යවහාරයක් වෙයි. එහෙත් අපේ මේ දැන් යන්න ද තවත් විනාඩි කිහිපයකින් සිදුවන්නක බව අපි දනිමු.

වර්තමානය යනුවෙන් කාලයක් පවතින්නේ යැයි ගැනීම ප්‍රත්‍යක්‍ෂයක් නොව අනුමානයකි. අතීතය පසු වී ඇත. එය පඤ්ඤත්තියක් වශයෙන් ප්‍රත්‍යක්‍ෂයක් ලෙස අත්දැක ඇත. අනාගතය ඒමට ඇත. එය ද අපට පඤ්ඤත්තියක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි ය. වර්තමානය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. මේ දැන් යන්නෙහි අප මේ යන්න කියන විට ද දැන් යන්න අනාගතයෙහි වෙයි. එබැවින් සිංහලයන්ගේ මේ දැන් යන්න ද තව විනාඩි කිහිපයකින්, ඇතැම් විට පැයකින් දෙකකින් වීම පුදුමයක් නො වේ. ක්‍ෂණවාදය පාළියෙන් කිවහැකි වුව ද සිංහලෙන් කීම ප්‍රශ්නයක් වෙයි.

වර්තමානය යනු අතීතයෙහි හා අනාගතයෙහි ඡෙදනය පමණක් යැයි සිතිය හැකි ය. එය පඤ්ඤත්තියක් ලෙස වුව ද ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට තරම් කාලයක් නැත. අතීතය අනාගතයට වෙනස් වන (හැරෙන) ලක්‍ෂ්‍යයක් කාල රෙඛාවෙහි (කාලය සෘණ ඉතා විශාල සංඛ්‍යාවක සිට ධන ඉතා විශාල සංඛ්‍යාවක් දක්වා විහිදෙන්නේ යැයි උපකල්පනය කරමින් අඳීන රේඛාව) ඇතැයි අපි සිතමු. එය අනුමානයක් පමණක් වන්නේ එබැවිනි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වෙයි. එනම් කාලයෙහි වර්තමානය පමණක් නොව කාලය යන සංකල්පය ම පඤ්ඤත්තියක් පමණක් බව ය. වර්තමානය යනු එක අතෙකින් ගත්කල සීමාකාරී ලක්‍ෂ්‍යයකි.

ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? එය මාර්ටින් වික්‍රමසිංහ මහතා ෆැක්ට්ස් යන්න සඳහා තැනූ ප්‍රකාශයක් යැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ෆැක්ට්ස් යන්න ඉංගිරිසියෙහි යෙදෙන්නේ කලින් සඳහන් කර ඇති පරිදි ඉර පායා ඇත ආදී ප්‍රකාශවලින් කියැවෙන්න ගොනු කර ගැනීම සඳහා ය. එහෙත් ඒවා ද හුදු සංජානන නොවන බව අපි දුටුවෙමු. බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් තේරුම් නොගන්නා කාරණයක් නම් හුදු සංජානන නොමැති බව ය. හුදු සංජානන ඇතැයි යන්න හුදු බොරුවක් පමණකි.

රසල් යනු ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෙරුණු (විශේෂයෙන් ම ඉංගිරිසි ජනමාධ්‍ය මගින්) දාර්ශනිකයකු වුවත් ඔහු දැනුම නිර්මාණය කළේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පදනම් වෙමින් යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. ඔහුගේ ඊනියා විවෘත මනස විවෘත මනසක් නොමන බව පැහැදිලි ය. විවෘත මනස් ඇත්තේ මියගිය අයට ය. බටහිරයන්, විශේෂයෙන් ම ඉංගිරිසින් විසින් ප්‍රසිද්ධියට පත්කෙරෙන බුද්ධිමතුන්, කතුවරුන්, ක්‍රීඩකයන්, නළු නිළියන් ආදීන් ගැන අප දෙවරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු ය.

රසල් සිතුවේ ඔහුගේ සංස්කෘතියෙහි ය. ඒ සංස්කෘතිය කෙතරම් වියුක්ත වුවත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් පදනම් කරගනියි. කතෝලික සංස්කෘතිය පදනම් වූ කතෝලික චින්තනය සංයුක්ත වූවකි. අප බොහෝ අවස්ථාවල පවසා ඇති පරිදි ආසියාවේ, විශේෂයෙන් ම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිර කතෝලික සංස්කෘතියට අවශෝෂණය කර ගැනීම බටහිරයන්ට ප්‍රශ්නයක් විය. ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම ද ඉන්ද්‍රිය ගෝචර විය. එහෙත් මෙහි දී ඉන්ද්‍රිය වූයේ මනස ය. බටහිරයන්ට මනස ඉන්ද්‍රියයක් නො වේ.

අපට මනස ද ඉන්ද්‍රියයකි. මනස හැරෙන්නට අනෙක් ඉන්ද්‍රිය පහ ඔස්සේ ලබාගන්නා දැනුමට බටහිරයෝ ඉන්ද්‍රිය ගෝචර දැනුම යැයි කියති. ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙහි කොටසකි. මේ දැනුම් සංකල්පවලින් ස්වායත්ත යැයි බටහිරයෝ උපකල්පනය කරති. එහෙත් පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා කිසිම දැනුමක් (සංජාන, ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇතුළුව) සංකල්පවලින් ස්වායත්ත නො වේ. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙන් ය. පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගන්නා සියළු දැනුම මනස සමග බැඳී ඇත. බටහිරයන්ගේ පංචෙන්ද්‍රියවලට මනසෙන් තොරව කිසිම දැනුමක් නිර්මාණය කළ නො හැකි ය.

එහෙත් මනසට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව දැනුම නිර්මාණය කළ හැකි ය. මනස හා අනෙක් ඉන්ද්‍රිය අතර ඇති මේ ප්‍රධාන වෙනස බටහිරයන්ට තේරුම් ගත නො හැකි ය. එයට ප්‍රධානම හේතුවක් වනුයේ බටහිරයන් මනස ඉන්ද්‍රියයක ලෙස නො සැලකීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයෝ අද බටහිරයෝ මනසෙහි පැවැත්ම ද ප්‍රතික්‍ෂෙප කරති. ඔවුන්ට මනස යන්න මොළය නමැති අවයවයට ඌනනය කළ හැකි ය. බටහිරයන්ට ඉන්ද්‍රියයක් හා අවයවයක් අතර වෙනසක් ඇති බව තේරුම් ගත නො හැකි ය.

එයට ද හේතුව මනස ඉන්ද්‍රියයක් ලෙස නො සැලකීම ය. කණ යනු අවයවයකි. එහෙත් කණ තිබූ පමණින් අපට ශබ්ද නො ඇසෙයි. ශබ්ද ඇසීමෙහි දී මනස වැදගත් වෙයි. කණ මනස සමග එකතු නොවන්නට ශ්‍රවණෙන්ද්‍රියයක් නැත. එහෙත් මනෙන්ද්‍රියට පැවතීමට (සම්මුති අර්ථයකින්) වෙනත් ඉන්ද්‍රියක් හෝ අවයවයක් හෝ අවශ්‍ය නො වේ. මනෙන්ද්‍රියෙහි පැවැත්මට මොළය අවශ්‍ය නො වේ. සිත මිස කය නැති බඹ ලොව පවතින්නේ මනසෙහි පැවැත්මට මොළය හෝ වෙනත් අවයවයක් හෝ අනවශ්‍ය බැවිනි. මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියක සම්මුති වශයෙන් වුවත් පැවැත්මට මනෙන්ද්‍රිය මෙන් ම යම්කිසි අවයවයක් ද අවශ්‍ය වෙයි.

සංකල්පවලින් තොරව සංජානන නොපවතින බව බටහිරයෝ තේරුම් නොගනිති. රසල් නිල්බවක් ගැන සඳහන් කළේ නිල්යන සංකල්පයෙන් තොරව නිල්බව (බලඋඉසහනඑසස) නම් සංජානනයක් ඇතැයි ගැනීමෙනි. නිල්බව යන්න නිල් නම් සංකල්පය සමග බැඳී ඇත. අප ගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට හුදු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ නැත. සිංහලයන් ඒ බව දැන සිටියාට සැකයක් නැත. නැති වර්තමානයකට ක්‍රියා රූපයක් නොතැනූ සිංහලයෝ නැති (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට ද වචනයක් නිර්මාණය නො කළහ. මාර්ටින් වික්‍රමසිංහ මහතාටවත් කාලෝ ෆොන්සේකා මහතාටවත් ඒ බව අවබෝධ නොවීම පුදුමයට කරුණක් නො වේ.

අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුම බටහිරයන්ගේ ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් වෙනස් වෙයි. අපේ ඉන්ද්‍රිය ගෝචර දැනුමට අනෙක් ඉන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ලබාගන්නා දැනුම ද අයත් වෙයි. පැරණි භාරතීයයන් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහවස්තු චලනය වන බව දැනගත්තේ ආධ්‍යාත්මික ව බව පැහැදිලි ය. ඔවුන් එය එක්කෝ සෘජුව ලබාගන්නට ඇත. එසේත් නැත්නම් දෙවියන්ගෙන් භූතයන්ගෙන් ආදි වශයෙන් වූ ප්‍රාණීන්ගෙන් ලබාගන්නට ඇත. කෙසේ ලබාගත්ත ද ඒ පංචෙන්ද්‍රියන් ඇසුරෙන් ලබාගත් දැනුමක් නො වී ය.

පහළොස්වැනි සියවසට පෙර යුරෝපයේ ද දෙවියන්ගෙන් ආදී වශයෙන් දැනුම ලබාගත් බවට සාක්‍ෂි වෙයි. එහෙත් ඉන්පසු ඒ හැකියාව බටහිරයන්ට සමස්තයක් ලෙස අහිමි වී ඇත. භාරතයෙන් යුරෝපයට ගිය ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම බටහිරයන්ට තම සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට මගක් නො වී ය. ඔවුන් වියුක්ත දැනුම් නිර්මාණයට පෙළඹුණේ භාරතීය දැනුම අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම නිසා යැයි අපේ ප්‍රවාදයක් වෙයි.

කෙසේ වෙතත් ඊනියා (පංච)ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හා දැනුම බටහිරයන්ට ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) නොහැකි වීම නිසා ඇති වූ සංකල්පයක් වෙයි. ඔවුන්ගේ ඉන්ද්‍රිය ගෝචර නොවන අත්දැකීම් හා දැනුම ද වෙයි. ඒ අන්කිසිවක් නොව ඔවුන් නිර්මාණය කරන වියුක්ත දැනුම ය. වියුක්ත දැනුම (පංච)ඉන්ද්‍රිය ගෝචර නො චේ. සාධාරණ හෙවත් පොදු පුටුවක් ඉන්ද්‍රිය ගෝචර නො වේ. එපමණක් නොව පොදු පුටුව සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. එය හුදෙක් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයකි. ඒ කිසිසේත් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් බටහිරයෝ ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගනිති.

Saturday, 25 August 2012

අංශුවක පිහිටුම හා ප්‍රවේගය

අපි නැවතත් අංශුවක චලිතය යන්න තේරුම් ගැනීමට උත්සාහ කරමු. මෙහි දී අපට වැදගත් වන්නේ නිව්ටෝනීය ගතිකයෙහි අංශුවක් එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට චලනය වීම පහත සඳහන් කරුණු මත පදනම් වන බව ය. අංශුවක් යනුවෙන් වෙනස් නොවන දෙයක් පවතියි. අංශුව යන්න වියුක්ත සංකල්පයකි. එය වස්තුවක පරිමාව ශූන්‍ය වීමේ සීමාව ලෙස ගත හැකි ය. වස්තුවක පරිමාව ශූන්‍ය වීම යන්න ම වියුක්ත සංකල්පයකි. කෙසේ වෙතත් අංශුව, අංශුවක් ලෙස ගත්කල වෙනස් නොවන්නේ යැයි අපි සිතමු.

දෙවනුව අවකාශය යනුවෙන් යමක් පවතින්නේ යැයි අපි ගනිමු. මේ අවකාශය නිව්ටන් විද්වතාට අනුව වස්තු, අංශු, විකිරණ ආදීය නැතත් පවතියි. එමෙන් ම එය කාලයෙන් ස්වායත්ත ය. ඉන් අදහස් කෙරෙනුයේ අවකාශය හා කාලය එකිනෙකට බැඳී නොමැති බව ය. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව එය එසේ නො වේ. ඔහුට අනුව කාලයෙන් තොරව අවකාශයක් නැත. එමෙන් ම ඔහුට අනුව එකට බැඳී ඇති අවකාශය හා කාලය හෙවත් අවකාශ –- කාලය නිර්ණය වන්නේ වස්තු, අංශු, විකිරණ ආදිය හේතුකොට ගෙන ය.

නිව්ටෝනීය භෞතික විද්‍යාව මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාව ද සැලකෙන්නේ සම්භාව්‍ය භෞතික විද්‍යාව ලෙස ය. ක්වොන්ටම් භෞතික විද්‍යාව සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් වෙනස් වූවක් ලෙස සෑලකෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි හා සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි අවකාශය හා කාලය සම්බන්ධයෙන් ඇති වෙනස්කම් අංශුවක චලිතය පිළිබඳ අපේ සාකචිඡාවට වැදගත් නො වේ. එබැවින් අපි අංශුවක චලිතය යන්න නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි රාමුව යොදා ගනිමින් තේරුම් ගැනීමට උත්සාහ කරමු.

නිව්ටෝනීය රාමුවෙහි අවකාශය හා කාලය වෙන වෙන ම පවතියි. එහි කාලය අවකාශයෙහි ගලා යයි. මෙහි දී කිවයුත්තක් නම් අවකාශය මෙන් ම කාලය ද නිරපේක්‍ෂ බව ය. එනම් එය නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නො වෙයි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් අවකාශය පවතියි. කාලය, අවකාශයෙහි ගලා යයි. සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි මේ අවකාශය හා කාලය සන්තතික වෙයි. මෙය වැදගත් සංකල්පයකි.

අවකාශය සන්තතික යන්නෙහි තේරුම අවකාශයෙහි ලක්‍ෂ්‍යවලින් සමන්විත බවත් ලක්‍ෂ්‍ය (ජ්‍යාමිතික අර්ථයකින්) සංතතිකව පිහිටා ඇති බවත් ය. ඕනැම ලක්‍ෂ්‍ය දෙකක් අතර තවත් ලක්‍ෂ්‍ය අනන්තයක් වෙයි. ලක්‍ෂ්‍ය දෙකක් අතර ලක්‍ෂ්‍ය නොමැති අවස්ථාවක් නැත. අපි අවකාශයෙහි යම්කිසි O නම් ලක්‍ෂ්‍යයකින් පටන් ගත්තේ යැයි සිතමු. දැන් O ලක්‍ෂ්‍යයෙන් ප්‍රභින්න වූ P ලක්‍ෂ්‍යයක් සලකමු. අවකාශය සන්තතික වන්නේ ය යන්නෙහි තේරුම O හා P ලක්‍ෂ්‍ය යා කරන O P රේඛා් ඇති බවත් එහි ලක්‍ෂ්‍යවලින් වියෝ වූ ප්‍රදේශ නොමැති බවත් ය. අංශුවක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට යෑමේ දී ලක්‍ෂ්‍ය සමග සමපාත වෙමින් ම චලනය විය යුතු ය. එහි දී ලක්‍ෂ්‍ය අත්හැරීමක් ලක්‍ෂ්‍යවලින් පැන යෑමක් නො සිදු වෙයි.

කාලය සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. කාලය සන්තතික වෙයි. කාලයෙහි ද අවකාශයෙහි මෙන් ම පැනීමක් හෝ පැන්නීමක් හෝ නැත. නැවතත් අවධාරණය කළ යුත්තේ නිව්ටෝනීය භෞතික විිද්‍යාවෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ බව ය. සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි නම් කාලය හා අවකාශය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. ඒ කුමක් වුවත් සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි ද ඕනෑම නිරීක්‍ෂකයකු සම්බන්ධයෙන් කාලය හා අවකාශය සන්තතික වෙයි.

මේ සන්තතික අවකාශයෙහි හා කාලයෙහි අංශු (හා වස්තු) වෙනස් නො වෙයි. එයින් අදහස් වන්නේ අංශු අවකාශයෙහි එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට නොයන්නේ ය යන්න නො වේ. අංශුවලට අවකාශයෙහි එක් ලක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට යෑමේ හැකියාව වෙයි. එහෙත් අංශුවක් එක් ලක්‍ෂ්‍යයක තිබුණ ද වෙනත් ලක්‍ෂ්‍යයක තිබුණ ද ඒ එකම එක නොවෙනස්වන අංශුවක් වෙයි. අංශුව නිත්‍ය වනවා පමණක් නොව අනන්‍යතාවක් හා ආත්මයක් ද (එය පුද්ගල ආත්මයක්, ජීවාත්මයක් විය යුතු නැත) සහිත වෙයි.

එක් ල’ක්‍ෂ්‍යයක සිට තවත් ලක්‍ෂ්‍යයකට ගමන් කරනුයේ මේ නොවෙනස්වන (ලක්‍ෂ්‍ය මාරු කළ ද) ආත්මයක් හා අනන්‍යතාවක් සහිත අංශුව ය. එහි වෙනස්වීමක් ඇත්තේ ලක්‍ෂ්‍යයක සිට වෙනත් ලක්‍ෂ්‍යයකට යෑමේ හේතුවෙන් ය. ඒ වෙනස සිදුවන්නේ කාලයෙහි ය. අංශුව P නම් ලක්‍ෂ්‍යයක ඇති විට, එනම් P ලක්‍ෂ්‍යය සමග සමපාත වන විට O නම් ලක්‍ෂ්‍යයක් අනුබද්ධයෙන් P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය r යැයි සිතමු. දැන් r යන්න කාලයත් සමග වෙනස් වෙයි. එය r = r(t) යනුවෙන් දැක්විය හැකි ය. අපි r යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුවෙහි පිහිටුම් දෛශික යැයි කියමු. එහෙත් එය නිවැරදි ප්‍රකාශයක් නො වේ. යන්න O ලක්‍ෂ්‍යයට අනුබද්ධව අංශුව ඒ අවස්ථාවෙහි සමපාත වී ඇති P ලක්‍ෂ්‍යයෙහි පිහිටුම් දෛශිකය වෙයි. පිහිටුම් දෛශිකයක් ඇත්තේ ලක්‍ෂ්‍යයකට අනුබද්ධව තවත් ලක්‍ෂ්‍යයකට මිස අංශුවකට නො වේ. එහෙත් බොහෝ විට බොහෝ දෙනා මේ වෙනස නොසළකති.

කාලය වෙනස් වන විට P ලක්‍ෂ්‍යය වෙනස් වෙයි. අංශුවෙහි චලිතය යනු අන් කිසිවක් නොව අංශුව කාලයත් සමග ඒ ඒ ලක්‍ෂ්‍ය හා සමපාත වීම ය. කෙසේ වෙතත් r යන්න කාලයත් සමග වෙනස් වන්නේ සන්තතික ව ය. කාලය ද අවකාශය ද සන්තතික යැයි අපි සඳහන් කළෙමු. අංශුවට කාලය හෝ අවකාශයෙහි ලක්‍ෂ්‍ය හෝ පන්නා වෙනස් විය නො හැකි ය. මෙහි තේරුම r = r(t) යන්නෙන් කාලයෙහි හෙවත් t හි සන්තතික ශ්‍රිතයක් ලැබීම ය.

මේ ශ්‍රිතය කාලය අනුබද්ධයෙන් අවකලනය කිරීමෙන් අපට ලැබෙන්නේ අංශුවෙහි විස්ථාපනයෙහි වෙනස්වීමේ සීඝ්‍රතාවය ය. එම අවකල්‍යයට එය පවතින අවස්ථාවෙහි O හි ඇති නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවෙහි ප්‍රවේගය යැයි කියනු ලැබෙයි. ප්‍රවේගය ඇතැම් අවස්ථාවල සන්තතික නොවිය හැකි ය. උදාහරණයක් ලෙස ගතහොත් ආවේගී බලයක් යෙදෙන අවස්ථාවෙහි ප්‍රවේගය සන්තතික නො වේ.

ඒ කුමක් වුවත් සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි අංශුවක චලිතය යන්න පිළිබඳ ව අපට යම් අවබෝධයක් ඇත. අංශුව වෙනස් නොවන ආත්මයක් සහිත යැයි උපකල්පනය කර සන්තතික අවකාශයෙහි සන්තතික කාලයක දී අංශුව සමපාත වන ලක්‍ෂ්‍ය වෙනස්වීම අංශුවෙහි චලිතය ලෙස හැඳින්වෙයි. සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි අංශුවට පෙතක් ඇත. එපමණක් නොව එය සන්තතික පෙතකි. r = r(t) යන්නෙන් එහි දී ලැබෙන්නේ සන්තතික ශ්‍රිතයකි.

අංශුවෙහි පෙත හෙවත් ගමන් මාර්ගය සන්තතික වුවත් එහි ප්‍රවේගය සන්තතික වීම අනිවාර්ය නො වේ. එයට හේතුව සන්තතික ශ්‍රිත අනිවාර්යයෙන් ම අවකල්‍ය වීම අවශ්‍ය නොවීම ය. සියළු අවකල්‍ය ශ්‍රීිත සන්තතික වුවත් එහි විලෝමය සත්‍යයක් නො වේ. ඇතැම් ශ්‍රිත ඇතැම් ලක්‍ෂ්‍යවල දී සන්තතික වුවත් වෙනත් ලක්‍ෂ්‍යයවල දී සන්තතික නොවීමට ඉඩ ඇත. අංශුවට අවකාශයෙහි ලක්‍ෂ්‍ය පන්නා යෑමට නො හැකි ය. එහෙත් ඇතැම් අවස්ථාවල, ආවේගී චලිතයෙහි මෙන් ප්‍රවේග අගයන් පන්නා යෑමට හැකි ය. කිනම් අවස්ථාවක වුවත් අංශුවක් චලනය වන අවස්ථාවක එයට පෙතක් තිබීම හා ඒ පෙත සන්තතික වීම සම්භාව්‍ය භෞතික විද්‍යවෙහි වැදගත් ලක්‍ෂණයකි.

මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් නම් නොවෙනස්වන ආත්මයක් සහිත අංශුවට නිශ්චිත කාලයක දී නිශ්විත පිහිටුමක් ඇති බව ය. r = r(t) යන්නෙන් කියැවෙන්නේ එයයි. වෙනත් වචනවලින් කිවහොත් සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි දී, එනම් නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතික විද්‍යාවෙහි දී ද, අංශුවට නිශ්චිත කාලයක් හා නිශ්චිත පිහිටුමක් වෙයි. එහි දී නිරීක්‍ෂකයකුගේ සහභාගීත්වයක් ගැන ද නො කියැවෙයි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් නිරීක්‍ෂණය කළත් නොකළත් අංශුවට කාලයක් හා පිහිටුමක් ඇත. ඒ අනන්‍ය වූ පිහිටුමක් හා කාලයක් වෙයි.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි මෙයින් කියැවෙන්නේ අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට, එනම් එකම කාලයක දී පිහිටුම් දෙකක් නොගන්නා බව ය. අංශුවට එකවිට දෙතැනක හෝ තැන් කිහිපයක හෝ පිහිටිය නො හැකි ය. එය අපේ සාමාන්‍ය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම වෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි දී සාපේක්‍ෂතා භෞතික විද්‍යාවටත් වඩා ඉන්ද්‍රිය ගෝචර අදත්දැකීම් ලැබෙන බව සිහි තබාගත යුතු ය.

මෙහි අනෙක් පැත්ත ද සම්භාව්‍ය භෞතික වි්‍යාවෙහි දී, නිව්ටෝනිය භෞතික විද්‍යාවෙහි දී මෙන් ම සාපේක්‍ෂතාවාදී භෞතිකවිද්‍යාවෙහි දී ද, වලංගු වෙයි. යම් පිහිටුමක ඇති අංශුවකට ඇත්තේ එක් කාලයක් පමණකි. අංශුවකට කිසිම ආකාරයකින් කාලය සම්බන්ධයෙන් අගය දෙකක් හෝ වැඩි ගණනක් හෝ ගත නො හැකි ය. සාමාන්‍ය අංශු සම්බන්ධයෙන් එසේ අගය කිහිපයක් විය හැකි ද යන්නවත් අපට කල්පනා නො වේ. යම් අංශුවකට කාලයට අගය දෙකක් ඇතැයි ගැනීම ම බුද්ධිගෝචර නො වේ යැයි අපට හැඟෙයි. එහෙත් බුද්ධිගෝචර ආදී සංකල්පවලට වලංගු භාවයක් ලැබෙන්නේ ම අපේ ඉන්ද්‍රිය ගොාචර අත්දැකීම් මත ය.

සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි දී අංශුවකට නිශ්චිත කාලයක දී නිශ්චිත පිහිටුමක් වීමත් පමණක් නොව නිශ්චිත ගම්‍යතාවක් ද වෙයි. අංශුවෙහි ස්කන්ධය නියත ලෙස ගැනීමෙන් මෙය නිශ්චිත ප්‍රවේගයක් යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. එනම් අංශුවකට නිශ්විත කාලයක දී නිශ්චිත පිහිටුමක් මෙන් ම නිශ්චිත ප්‍රවේගයක් ද වෙයි. අංශුවට එකවිට නිශ්චිත පිහිටුමක් හා නිශ්චිත ප්‍රවේගයක් වේ යනුවෙන් ද එය ප්‍රකාශ කළ හැකි ය. මෙය අප මෙතෙක් කී දේ සමග සංගත වන්නේ කෙසේ ද?

අංශුව අවකාශයෙහි සමපාත වන ලක්‍ෂ්‍යය r = r(t) ලෙස ලිවිය හැකි බව අපි කීවෙමු. මෙම ශ්‍රිතය සන්තතික බවත් කීවෙමු. එමෙන් ම එහි කාලය විෂයයෙහි අවකල්‍යය අංශුවෙහි ප්‍රවේගය ලෙස ගන්නා බව ද සඳහන් කළ යුතු ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ ඇතැම් අවස්ථාවල r = r(t) ශ්‍රිතය කාලය විෂයයෙහි අවකල්‍ය නොවන බව ය. එවැනි අවස්ථාවල අංශුවෙහි ප්‍රවේගයක් අර්ථ නො දැක්වෙයි. ආවේගී චලිතය එයට උදාහරණයකි. ආවේගය යෙදීමට පෙර අංශුවෙහි ප්‍රවේගය ආවේගය යෙදීමට පසුව අංශුවෙහි ප්‍රවේගයට සමාන නො වේ. එයින් කියැවෙන්නේ ආවේගය යෙදෙන ලක්‍ෂ්‍යයෙහි දී අංශුවෙහි ප්‍රවේගය අර්ථ නොදැක්වෙන බව ය.

එහෙත් එහි අනෙක් පැත්ත සලකමු. අංශුවට යම් කාලයක දී ප්‍රවේගයක් ඇතැයි සිතමු. එවැනි අවස්ථාවක r = r(t) ශ්‍රිතය අවකල්‍ය වෙයි. ගණිතයෙහි දැක්වෙන ප්‍රමේයයක් අනුව සන්තතික ශ්‍රිත අවකල්‍ය නොවිය හැකි මුත් අවකල්‍ය ශ්‍රිත සන්තතික වෙයි. එනම් එවැනි අවස්ථාවක අපට r = r(t) යන්නෙන් සන්තතික ශ්‍රිතයක් ලැබෙයි. යම් කාලයක දී අංශුවට ප්‍රවේගයක් ඇත්නම් ඉන් කියැවෙන්නේ ඒ අවස්ථාවෙහි අංශුවෙහි පෙත සන්තතික බව ය.

Wednesday, 11 April 2012

පිහිටුම් අවස්ථා

අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල ඇත යන්න තේරුම් ගැන සිංහල බෞද්ධයනට එතරම් අපහසු කරුණක් විය නො හැකි ය. චුල්ලඵන්ථක රහතන් වහන්සේගේ කතාව අසා ඇති සිංහල බෞද්ධයෝ උන්වහන්සේ එක්විට පන්සියයක් රූප මවාගෙන සිටි බව දනිති. ඇතැම් ඕල්කට් බෞද්ධයන් බටහිර දැනුමේ ව්‍යාජ හේතුවාදය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වී ඒ කතාව විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යාය ප්‍රායෝගිකව දන්නා සිංහල බෞද්ධයනට එය තේරුම් ගැනීම කිසිසේත් ම ගැටළුවක් නො වේ.

පසුගිය දිනෙක කැනඩාවේ වාසය කරන එක්තරා ඕල්කට් බෞද්යෙකු කියා සිටියේ සිංහලයන්ගේ දෙවි කෙනකුට එක්විට සිටිය හැක්කේ එක්තැනක පමණක් බවත් ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ නම් එක්විට සෑම තැනක ම සිටින බවත් එබැවින් අංශුවක් එක්විට කිහිප තැනක සිටින්නේ ය යන්න ක්‍රිස්තියානි සංකල්පයක් මිස සිංහල බෞද්ධ සංකල්පයක් නොවන බවත් ය. ඔහු විිද්‍යොදය විශ්වවිද්‍යාලයේ උගත්තකු වුවත් ඒ විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බටහිර විද්‍යාව මිස සිංහල සංස්කෘතිය ඉගෙනගත් බවක් නො පෙනෙයි. එය ඉතා කණගාටුදායක තත්වයකි.

1959 දී විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබුයේ ම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආභාසය ලැබූ උපාධිධාරීන් බිහිකිරීමට ය. එහෙත් අවාසනාවකට ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන් ලෙස එකල පත්වීම් ලැබුයේ බොහෝ විට පේරාදෙණියේ හෝ කොළඹ හෝ එකල පිළිවෙළින් මහාචාර්ය පදවියකට හෝ කථිකාචාර්ය පදවියකට හෝ පත්වීමක් ලැබීමට නොහැකි වූවන් ය. ඔවුන් ඒ විශ්වවිද්‍යාල ගොඩ නැගුයේ කොළඹ හා පේරාදෙණිය මත පදනම් වෙමින් මිස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව නො වේ.

එය එක්තරා ආකාරයකින් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමට සමාන්තර ක්‍රියාවලියක් විය. කන්නන්ගර මහතා පළමු මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමෙි දී තෝරාගත් විදුහල්පතිවරුන් පනස්දෙනකු අමතා කියා ඇත්තේ තමන් ඉගෙනගත් විද්‍යාලවලට සමානවන විද්‍යාල ඇතිකරන ලෙස ය. මේ විදුහල්පතිවරුන් ප්‍රභූ විද්‍යාලවල ඉගෙනගත් පුද්ගලයන් බැවින් ඔවුන් මධ්‍යම මහා විද්‍යාල ගොඩනගා ඇත්තේ ද ඒ ප්‍රභූ විද්‍යාලවල ආකෘතිය අනුගමනය කරමිනි. අපේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ දෙවැනි අවස්ථාව ද එසේ මගහැරී ගියේ ය. පළමු අවස්ථාව උදාවූයේ බෞද්ධ පාසල් ඇතිකිරීමට යෝජනා වූ විට ය.

කෙසේ වෙතත් අද වන විට කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බටහිර විශ්වවිද්‍යාලවල තුන්වැනි පංතියේ අනුකාරක ආයතන බවට පත් වී ඇත. එය වෙනස් කිරීමට උත්සාහ ගැනීම පවා ඉතා අසීරු කාර්යයක් වන බව අත්දැකීමෙන් දනිමි. එබැවින් කලින් සඳහන් කළ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දෙවියන් ගැන එසේ සඳහන් කිරීම පුදුමයක් නො වේ. වඩා පින් සහිත දෙවියන්ට එක්විට අවස්ථා කිහිපයක පැවතිය හැකි බව මේ බුද්ධිවාදීන්, හේතුවාදීන් (rationalists) ලෙස තමන් හඳුන්වාගන්නෝ නො දනිති. එපමණක් නොව බුද්ධිවාදියා හෝ හේතුවාදියා හෝ යන්නෙන් කුමක් අදහස් වන්නේ දැයි ඔවුන්ගෙන් විමසුවොත් එයට ද නිසි පිළිතුරක් දීමට ඔවුහු අපොහොසත් වෙති. බටහිර දර්ශනයේ බුද්ධිවාදය (rationalism) යන්න අර්ථදැක්වෙන්නේ අනුභූතිවාදයට (empiricism) විරුද්ධව ය. එහෙත් මෙරට ඊනියා බුද්ධිවාදීන් මේ දර්ශන දෙකෙහි ම සංකලනයක් අනුභූතිවාදයට වඩාත් බරව අනුගමනය කරන බව පෙනී යයි.

ආධ්‍යාත්මික ශක්තිය වැඩිවත් ම අවස්ථා කිහිපයක ම පෙනී සිටීමේ හැකියාව ශරීර සහිත සත්වයන්ට අත්වන බව කිව හැකි ය. රහතන් වහන්සේගේ සෘද්ධි ශක්තිය වැඩිවත් ම එසේ අවස්ථා රාශියක පෙනී සිටීමේ හැකියාව වර්ධනය වන බව පෙනී යයි. බුදුන් වහන්සේ ද මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මය දෙසීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී මිනිස් ලොවට වැඩම කිරීමේ දී දෙව්ලොව තමන්වහන්සේ ධර්ම දේශනාව නොකඩවා කරගෙන යන අයුරින් තවත් අවස්ථාවක පිහිටුවා එසේ මිනිස් ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

මේ අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව සෑම තැනම ඇත්තේ යැයි කියන දෙවියන් වහන්සේ කෙනකුගේ පැවැත්ම සමග සන්සන්දනය කළ නො හැකි ය. දෙවියන් වහන්සේට එක් තැනක පමණක් කිසි විටෙක පැවතිය නො හැකි ය. දෙවියන් වහන්සේ සෑම විට ම සෑම තැන ම ඇත. ඉන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සෑම විටම අපායේ ද සිටින්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් අවශ්‍ය පරිදි අවස්ථා කිහිපයක පෙනී සිටීම හා සෑම විට ම සෑම තැනක ම පෙනී සිටීම යනු එකම සංකල්පයක් යැයි කිවහැක්කේ ඊනියා බුද්ධිවාදීන්ට ය.

අවකාශයේ අවස්ථා කිහිපයක පෙනී සිටීම තේරුම් ගැනීමට සිංහල බෞද්ධයනට අපහසුවක් ඇතිවන්නට හේතුවක් නැත. එහෙත් ඉහත සඳහන් විස්තරය කියවන පඬියකු ක්වොන්ටම් අංශුවක් රහතන් වහන්සේ නමක සමග සන්සන්දනය කර තම පඬි බව විදහා දැක්වීමට අවස්ථාව කරගනු ඇත. පඬියා බක පණ්ඩිතයකු නම් ඇතැම් විට ඉතා නිර්දය ලෙස ක්වොන්ටම් අංශුවේ ආධ්‍යාත්මික ශක්තිය ඉතා වැඩි ද කියාත් ප්‍රශ්න කරනු ඇත. එසේත් නැත්නම් ක්වොන්ටම් අංශුව රහත් වී ඇත් ද කියා ප්‍රශ්න කරනු ඇත. අප කියා සිටින්නේ ක්වොන්ටම් අංශුවකට එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමට හැකි බව ය. එහෙත් නිව්ටෝනීය අංශුවකට හෝ වස්තුවකට හෝ එසේ පැවතීමේ හැකියාවක් නැත. නිව්ටෝනීය අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට එක්තැනක පමණක් පවතියි. රහතන් වහන්සේගේ ශරීරය වෙනත් සත්වයකුගේ ශරීරය මෙන් ම නිව්ටෝනීය වස්තුවක් වෙයි. එහෙත් උන්වහන්සේට ඒ නිව්ටෝනීය ශරීරයත් සමග එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව ඇත. ක්වොන්ටම් අංශු කිහිපයක් එකතු වී නිව්ටෝනීය අංශුවක් බවට පත් වූ විගස එයට එකවිට කිහිප තැනක පෙනී සිටීමේ හැකියාව නැති වී යයි.

අපි දැන් ක්වොන්ටම් අංශුවක් විවිධ කාලවල පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය සාකච්ඡා කරමු. ක්වොන්ටම් අංශුවට එක්විට විවිධ කාලවල පැවතිය හැකි ද යන්න ම ඇරිස්ටෝටලීය න්‍යාය අනුව පරස්පර විරෝධී ප්‍රශ්නයකි. එක්විට යනු කාලය සම්බන්ධයෙන් ගත්කල යම්කිසි සමුද්දේශ රාමුවක නිශ්චිත අගයකි. එසේ කාලය නිශ්චිත අගයක් ගන්නා විට විවිධ කාලවල පැවතීම යනු කාලය ගන්නා වෙනත් අගයන්හි ද අංශුව පැවතීමකි. එවිට කාලයට නිශ්චිත අගයක් ඇති අතර වෙනත් අගයන් ද ඇත. එහෙත් චතුස්කෝටිකයෙහි එය ගැටළුවක් නො වේ. අංශුව එක් තැනක පිහිටීම මෙන් ම වෙනත් තැනක ද පිහිටීම චතුස්කෝටික න්‍යායෙහි ප්‍රශ්නයක් නොවන්නා සේ ම අංශුව කාලයෙහි එක් අගයක දී මෙන් ම වෙනත් අගයන්හි දී ද පැවතීම ගැටළුවක් නො වේ. එහෙත් මේ ප්‍රශ්නය එතැනින් කෙළවර වන්නේ ද නැත.

අපට මෙහි දී තවත් ප්‍රශ්න ඇසිය හැකි ය. ක්වොන්ටම් අංශුවකට නිශ්චිත පිහිටුමක් තිබෙන අවස්ථාවක දී එයට කාලය සම්බන්ධයෙන් විවිධ අගය ගත හැකි ද? එසේත් නැතහොත් ක්වොන්ටම් අංශුවට කාලය සම්බන්ධයෙන් එක් අගයක් ඇති විට, එනම් එක්විට, අංශුවට පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා තිබිය හැකි ද? එසේත් නැත්නම් අංශුව විවිධ කාලවල පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගන්නේ ද? මෙවැනි ප්‍රශ්න බටහිර භෞතික විද්‍යාඥයන් අසා ඇති බවක් මම නො දනිමි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර අපට කාලය සම්බන්ධයෙන් වඩා මූලික ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා කාලය හා අවකාශය එකම මට්ටමක ලා සැලකී ය. එහෙත් සිිංහල බෞද්ධයන් කාලය හා අවකාශය යන සංකල්ප නිර්මාණය කරගන්නේ එකම මට්ටමක පිහිටා නො වේ. අවකාශය යන්න වඩාත් සරල සංකල්පය වෙයි. ඒ සම්බන්ධයෙන් බටහිර ලෝකයට දළ වශයෙන් ගත්කල සංකල්ප දෙකක් වෙයි. එකක් නිව්ටෝනීය සංකල්පය ලෙස හැඳින්විය හැකි ය. නිව්ටෝනීය සංකල්පයෙහි අංශු වස්තු විකිරණ ආදිය නැතත් පවතින අවකාශයක් වෙයි. අංශු වස්තු විකිරණ ආදිය පවතින්නේ මේ අවකාශයෙහි ය. අංශු ආදිය නැති අවකාශය ඇතැම් විට නිරපේක්‍ෂ අවකාශය නමින් ද හැඳින්වෙයි. නිව්ටෝනීය දැනුමට අනුව මේ අවකාශය ද වාස්තවික ව පවතියි. ඒ දැනුමෙහි ද්‍රව්‍ය පවතින්නාක් සේ ම අවකාශය ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතියි. එබැවින් අවකාශයට ද ද්‍රව්‍යවාදී පැවැත්මක් වෙයි.

බටහිර ලෝකයෙහි අවකාශය පිලිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කර ගෙන ඇත. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු ද්‍රව්‍ය විකිරණ ආදිය හේතුකොට ගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොරව අයින්ස්ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක් නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස් අනුව අවකාශ - කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින් වස්තුවකින් විකිරණයෙන් තොරව අවකාශය නොපවතියි. ඒ අතර ම කිවයුත්තේ අවකාශයක් නොමැතිව අංශුවක් ද නොපවතින බව ය. අංශුවක් නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ –- කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුවහොත් අවකාශ –- කාලය ද වෙනස් වෙයි.

එපමණක් නො වේ. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අංශුවක් හෝ වස්තුවක් හෝ චලනය වීමේ දී ද අවකාශ –- කාලය වෙනස් වෙයි. මෙය නිව්ටෝනීය අවකාශය සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු හා වස්තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස් නොකරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්ටයිනීය අවකාශයෙහි අංශු හා වස්තු චලනය වනවා පමණක් නො වේ. අංශු හා වස්තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ - කාලය) වෙනස් වෙයි.

අයින්ස්ටයිනීය සංකල්ප යොදා ගැනීමේ දී අවකාශය යන්න තනිව යොදා නො ගැනෙයි. ඒ අවකාශ - කාලය යනුවෙන් කාලයත් සමග යොදා ගැනෙයි. එසේ වුවත් අයින්ස්ටයිනීය සංකල්පවල ද අවකාශයට ඇත්තේ නිව්ටෝනීය අවකාශයේ දී මෙන් ම ද්‍රව්‍යමය පැවැත්මකි. එක්කෝ අවකාශය අංශුවක් හෝ වස්තුවක් හෝ වටා පවතින්නක් ලෙස ගත හැකි ය. නැතහොත් අවකාශය අංශු දෙකක් හෝ වස්තු දෙකක් අතර පවතියි. එසේත් නොමැති නම් විකිරණයක් හේතුවෙන් අවකාශය පවතියි. නැතහොත් විකිරණයක් හා වස්තුවක් අතර හෝ විකිරණ දෙකක් අතර හෝ අවකාශයක් පවතියි. මෙහි දී පැවතීම යන්න යොදා ගැනෙන්නේ බටහිර අර්ථයකිනි. එනම් අවකාශයට ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වුව පැවැත්මක් ඇත. සාපේක්‍ෂ වුවත් නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක් අංශුවක් පමණක් තිබුණ ද ඒ අංශුවට සාපේක්‍ෂව අවකාශයක් පවතියි. එය බටහිරයන්ට යථාර්ථයක්, වාස්තවිකත්වයක් හා අවශ්‍ය නම් පරමාර්ථයක් ලෙස පවතියි.

සාපේක්‍ෂතාවක් ගැන කතා කළ ද මෙහි පැවැත්ම සම්බන්ධයෙන් ඇත්තේ නිරපේක්‍ෂතාවකි. අංශුවක් වස්තුවක් විකිරණයක් ඇත්නම් අවකාශයක් (අවකාශ - කාලයක්) වෙයි. එහෙත් සිංහල බෞද්ධයනට මේ පැවැත්ම සම්මුති පැවැත්මක් වෙයි. එය හුදෙක් තවත් සංකල්පයක් පමණකි. සංකල්පයක් ලෙස ගත්කල එය ශූන්‍ය වෙයි. සංකල්පය හා ඉන් කියැවෙන්න නිරීක්‍ෂකයාගේ නිර්මාණයකි. එය විඤ්ඤාණයේ මායාවක් පමණකි.