Main Logo

Tuesday 3 February 2015

අගවිනිසුරු මොහාන් පීරිස් - දිනේශ් කියයි

අගවිනිසුරු මොහාන් පීරිස් - දිනේශ් කියයි

මෙරට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා ඊයේ (2වැනි සඳුදා) රාත්‍රියේ දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට සහභාගි වෙමින් පැවසී ය. වත්මන් අගවිනිසුරු කවුදැයි යනුවෙන් ඇසූ ප්‍රශ්නයට දිනේශ් ගුණවර්ධන මහතා එකහෙළා ප්‍රකාශ කළේ ඒ මොහාන් පීරිස් මහතා බව ය. 

2013 ජනවාරි 11 වැනි දා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම සඳහා පාර්ලිමේන්තුව සම්මත කරගත් යෝජනාව විධිමත් බව දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. ඒ යෝජනාව සම්මත කිරීමෙහි ලා කිසිම තාක්‍ෂණික දෝෂයක් සිදු වී නොමැති බව පැවසු ඒ මහතා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීම මෙන් ම මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම ද නීත්‍යානුකූල බව පෙන්වා දුන්නේ ය. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කිරීමට ගෙනෙන ලද යෝජනාවට ඡන්දය විමසීමට පෙර කථානායකතුමා යෝජනාවේ තත්ත්වය පැහැදිලි කරමින් ජනවාරි 11 වැනි දා කළ ප්‍රකාශය ද මතක්කර දුන් ඒ මහතා අද මොහාන් පීරිස් මහතා ඉවත්කර ඇත්තේ (ආණ්ඩුව  කියන්නේ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්නොවූ බව ය. මේ සම්බන්ධයෙන් කාලය වෙබ් අඩවියේ පළ වී ඇති ලිපි කියවන්න) විධායක ජනාධිපති ධුරයේ බලතල යොදාගනිමින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කරමින් බව පෙන්වා දුන්නේ ය.

කථානායකතුමා 2013 ජනවාරි 11 වැනි දා යෝජනාවට ඡන්දය විමසීමට පෙර කරන ලද ප්‍රකාශය අපි පහත උපුටා දක්වමු. “දැනට ඉදිරිපත් කර ඇති යෝජනාව හොඳින් අධ්‍යයනය කර බැලීමේ දී මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව සහ 78(අ) ස්ථාවර නියෝගය යටතේ බව ඉතා පෑැහැදිලිව සඳහන් කොට ඇත.

තවද, මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් වි’ෂමාචාර චෝදනා පිළිබඳ පරී්ක්‍ෂණය කොට එම චෝදනා එකක් හෝ වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශ්චයකාර පදවියෙන් ගරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු යැයි සඳහන් වන බැවින් මෙම යෝජනාවේ පරමාර්ථය ඉතා පැහැදිලි වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(2) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 107(3) ව්‍යවස්ථාව ප්‍රකාර යෝජනාවක් ඉදිරිපත් කිරීමට අද දින න්‍යාය පත්‍රයේ අඩංගු කර ඇති යෝජනාව ප්‍රමාණවත් වන බව මම ප්‍රකාශ කරමි. 

එම නිසා අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යෝජනාව දැන් ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරමි.” (හැන්සාඩ් වාර්තාව)

2015 පෙබරවාරි 03