Main Logo

Friday 13 February 2015

රිවිරට වරදියි

රිවිරට වරදියි

පෙබරවාරි 13 වැනි දා රිවිර පුවත්පතෙහි මහින්ද නැති රට ෆෙඩරල්කරණය වෙන එක වළක්වන්න බෑ යනුවෙන් පළ වු පුවත සම්බන්ධවයි. ඒ පුවත පළකිරීම පිළිබඳ ව පුවත්පතටත්, ඒ වාර්තා කිරීම පිළිබඳ ව අදාළ ජනමාධ්‍යවේදිනියටත් පළමුව ස්තුතිය පළකරමි. එහෙත් අවාසනාවකට එහි වැරදි අඩංගු වෙයි. එයින් කිහිපයක් පහත සඳහන් වෙයි.

ඇයට අනුව මා මෙසේ කියා ඇත. “අපට විරුද්ධව ඉන්න බළසේනා මොන විපක්ෂය තිබුණත් මේ බළසේනා නිසා තමයි මහින්ද පැරදුණේ. මං මේ බලසේනා කියන්නේ සියලු ආකාරයේ බළසේනාවලට”. මෙයින් ගම්‍ය වන්නේ බලසේනා නිසා මහින්ද රාජපක්‍ෂ පරාජය වූ බව ය. මම එසේ නො කීවෙමි. බලසේනාවලට එතරම් දෙයක් කිරීමට නො හැකි ය. එහෙත් පරාජයට ඔවුන් ද සුළුවෙන් වුවත් දායක වී ඇති බව ප්‍රකාශ කළෙමි.

පුවත්පතෙහි පළ වී තිබූ වාක්‍යයක් මෙසේ ය. “දෙමළ ජාතිවාදය වෙනුවෙන් අපි පෙනී හිටින්න අපි කැමැතියි ඕන වෙලාවක.” මෙවැන්නක් මා සිහිනයෙන්වත් කියන්නේ නැත. මා කියා සිටියේ දෙමළ ජාතිකත්වයට (මෙය ජාතිකවාදය නො වේ. මෙහි දී යොදාගත ව තිබූ නිවැරදි වචනය ජනවාර්ගිකත්වය යැයි සිතමි) විරුද්ධ නැති නමුත් බටහිරයන් සිංහල ජාතිකත්වයට විරුද්ධව යොදා ගන්නා දෙමළ ජාතිවාදයට අප විරුද්ධ බව ය.

මෙහි සඳහන් වන්නේ ජනමාධ්‍ය ප්‍රබන්ධයකි. “මම විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමට පත්වුණේ 2014 ජූලි මාසයේ. එතැනදී අපි තීරණයක් ගත්තා. විශ්ව විද්යාල ප්රවේශයට එක වසරකදී ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අයකුට යම් යම් ආර්ථිකමය, පෞද්ගලික හෝ අසනීප යන කාරණා පදනම් කරගෙන තම ප්රවේශ කාලය වසරකට දෙකකට දීර්ඝ කරගන්න පුළුවන් කියලා එවැනි ඉල්ලීම් වසරකට 200ක් එනවා. එතැනදී එක ශිෂ්යාවක් තමන්ටත් ඒ අවස්ථාව ඕන කියලා කියා තිබුණා. මේ දැරිවිය සුදුසුකම් ලබපු කෙනෙක්. මමත් ඒ සටහන දැක්කා. ඇය උසස්පෙළ සමත්වූ වර්ෂය මට මතක නැහැ. ඇය සුදුසුකම් ලැබූ යම් හේතුවක් නිසා ප්රවේශ කාලය කල් ලබාගත් අයෙක් නිසා ඒ අවස්ථාව ලබල දෙන්න හිටියේ. මේ ගැන තීරණයක් ගන්න මට කිසිම කෙනකුගෙන් බලපෑමක්වත් ඉල්ලීමක්වත් ලැබුණේ නැහැ.
ඒත් පත්තරකාරයෝ මට දිගට හරහට ගහන්න ගත්තා”. 
2014 ජූලි මාසයෙන් පසු ගත් තීරණයක් ගැන මෙහි සඳහන් වෙයි. එය මුළුමනින් ම වැරදි ය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට පිළිගත හැකි හේතු නිසා තම ප්‍රවේශය වසරකින් දෙකකින් පමා කිරීමට ඉඩ දීමට ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබුණේ වසර ගණනාවකට පෙර ය. වසරකට එවැනි ඉල්ලීම් දෙසියයක් පමන ලැබෙන බව දැනගැනීමට එවැනි තීරණයක් අවුරුද්දකට වඩා ක්‍රියාත්මක විය යුතු ය. මා ඉතා පැහැදිලිව කියා සිටියේ නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකාරකයකුගේ සටහනක් සහිත ඉල්ලීමක් මා ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු වීමට පෙර එක් ශිෂ්‍යාවක විසින් එවා තිබූ බවත් කොමිසම ඇගේ ඇතුළත්වීම පමා කිරීමට අවසර දී තිබූ බවත් ය. ඒ තීරණය අදාළ ශිෂ්‍යාව විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නොව ප්‍රවේෂයට සුදුසුකම් ලබා සිටි ඇයට ඇතුළත් වීම පමාකිරීම සම්බන්ධයෙන් බව මම කීවෙමි. සම්බන්ධීකාරකගේ සටහන මෙහි දී කිසිම සාධකයක් වී නොමැති බවත් මෙවැනි ඉල්ලීම් වසරකට දෙසියයක් පමණ ලැබෙන බවත් කී මම සටහන හේතුවෙන් ඇය ප්‍රවේෂය පමා කිරීමට නුසුදුස්සියක බවට පත්නොවන බවත් ප්‍රකාශ කළෙමි. මේ ගැන තීරණයක් ගත්තේ මා නො වේ. ඇයගේ ඇතුළත් වීම පමා කිරීමට කොමිසම තීරණය කර තිබුණේ 2014 ජූලි මාසයට කලින් ය. පත්තරකාරයො මට ගහන්න පට්ගත්තා යන්න අමූලික බොරුවකි. මට කිසිවකු පෞද්ගලික ව පහර දී නැත. මා මෙහි දී අවධාරණය කර සිටියේ ජනමාධ්‍යයෙහි පුවත පළ වුයේ ප්‍රවේෂය කල් දැමීමක් ලෙස නොව නාමල් රාජපක්‍ෂගේ ලියුමකට ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමක් ලෙස ය.  
පුවතෙහි පළ වූ නිවැරදි කරුණු අතර මෙය ද වූ බව ප්‍රකාශ කළ යුතු ය. “ජනමාධ්ය හසුරුවන පඩියත් නිසා අපට ඒ අවස්ථාව දුන්නේ නැත්තේ. ඔබතුමන්ලා මොන විදියට මේවා වාර්තා කළත් ප්රවෘත්ති කර්තෘවරු මේවා සංස්කරණය කරලා එයාලට ඕන විදියට මේක දමනවා. මේ රටේ ප්රවෘත්ති කර්තෘලා සතපහකට වැඩක් නැහැ. අපි යවන ඒවා දුන්නොත් එයාලට ඕන විදියට. අපිට වඩා දස දහස් ගුණයක උගත් කියා එයාලා හිතන්නේ. ඒ මිනිස්සු අපි කියන දේ අහන්නෑ.” මෙහි දුන්නොත් යන්න දාන්නෙත් යනුවෙන් නිවැරදි විය යුතු ය. 
කෙසේ වුවත් වඩා වැදගත් ම කාරණය වාර්තා වී නැත. මා කරුණු සහිත ව පෙන්වා දුන්නේ මේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බවත් තවමත් අගමැති දි මු ජයරත්න මහතා බවත් ය. එමෙන් ම මොහාන් පීරිස් මහතා තවමත් අගවිනිසුරු බවත් ආණ්ඩුව කියන ආකාරයට ඔහු අගවිනිසුරු නොවේ නම් එහි තර්කානුකූල අන්තය වනුයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති නොවන බවත් යැයි මම කීවෙමි.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 13.