Main Logo

Saturday 28 February 2015

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

අගමැති සිහිනය මවාගෙන ශ්‍රී ල නි පක්‍ෂය කඩා නොදමන ලෙස ඒ සිහිනය වඩාත්ම දුටු නිමල් සිරිපාල ද සිල්වා කියා ඇත. ඔහු අද මෛත්‍රිපාල සිරිසේනගේ විපක්‍ෂ නායකයා ය. මෛත්‍රිපාල ද ඒ වචනවලින් ම නොවුණත් එවැනි අදහසක් ප්‍රකාශ කරයි. ඔහු ද අගමැති සිහිනය තදින් ම දුටුවේ ය. මේ දෙදෙනා එක් ව හොරා හොරා යැයි කියන්නේ කාහට ද? අගමැතිකම වෙනුවෙන් ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමේ පාපකර්මයට ඔවුන් වගකිව යුතු ය. 

අද ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍ය නැත. එය කැඩී ඉවර ය. මෛත්‍රිපාල හා නිමල් සිරිපාල එය කැඩුවේ යැයි මම නො කියමි. ඔවුන්ට ඒ සඳහා ශක්තියක් නැත. එය කැඩුවේ සබරගමු පළාතේ ඊනියා යහපාලන ආණ්ඩුකාරයාග් පුත්‍ර රත්නය වූ ඩිලාන් පෙරේරා ද නො වේ. ඔහුට ද ඒ සඳහා ශක්තියක් නැත. ඔවුන්ට ශක්තිය නො තිබුණත් අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ යනුවෙන් කණ්ඩායම් දෙකකට කැඩී ඇත. 

එ කණ්ඩායම්වලට අමතර ව චන්ද්‍රිකා කණ්ඩායමක් ද ඇති වීමේ ප්‍රවනතාවක් තිබිණි ද අද වන විට ඒ සඳහා කිසිම ඉඩක් නැති බව පැහැදිලි ය. චන්ද්‍රිකා කණ්ඩායමක් ලංඩනයේවත් පිහිටුවිය නො හැකි ය. චන්ද්‍රිකා වරක් ඇගේ සැමියා වූ සිංහල බෞද්ධ විරෝධී විජය කුමාරතුංග සමග එකතු වී ශ්‍රි ල නි පක්‍ෂය දෙකඩ කළා ය. රාජිත ද විටෙක කුමාර් රූපසිංහ සමගත් විටෙක චන්ද්‍රිකා සමගත් බණ්ඩාරනායකලාට හා ශී්‍ර ල නි පක්‍ෂයට විරුද්ධ ව එකතු විය. ඒ සෑම අවස්ථාවක ම ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළතින් සිට ආරක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂ ය. පිටතින් සිට ආරක්‍ෂා කළේ දිනේශ් ගුණවර්ධන ය.  

ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එය කැඩීමේ අවශ්‍යතාව සිංහල බෞද්ධ විරොධී කුමාර් රූපසිංහට විය. විජය කුමාරතුංගට විය. එහෙත් එයටත් වඩා විජාතික බලවේගවලට විය. කුමාර් රූපසිංහලා විජය කුමාරතුංගලා විජාතික බලවේගවල බළල් අත් පමණක් වූහ. අපි කිසි විටෙක ශ්‍රී ල නි පක්‍ෂයට හිස නැති කවන්ධයක් කියා අපහාස නො කෙරුවෙමු. ශ්‍රි ල නි පක්‍ෂයට හා මහින්ද රාජපක්‍ෂට එරෙහිව කිසිම විටෙක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග එකතු නො වුනෙමු. 

ශ්‍රි ල නි පක්‍ෂය කඩනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම ඉන්දීය ඔත්තු සේවය (රෝ) විසිනි. එහි දී යොදාගනු ලැබූ එක් පුද්ගලයකුට පසුගියදා බර්ග්හෝෆ් ආයතනයේ මැතිහත් වීමෙන් කටුනායක දී පැවැත්වූ ශ්‍රී ල නි ප මන්ත්‍රි වැඩමුළුවේ දී කුමාර වෙල්ගම (වාචික ව)  පහර දී ඇති බව පුවත්පත්වලින් කියවීමු. විජය කුමාරතුංගගේ මාමා කෙනකු වූ කාලෝ ෆොන්සේකා අතින් ද  පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත පමණක් පදනම්වන බුද්ධිමතකු ලෙස හඳුන්වනු ලැබූ මොහු ඉන්දියාවේ පශ්චාත් උපාධියකට ඉගෙන ගත්තේ යැයි කියැවෙයි. දෙමළ ප්‍රශ්නය ගැන හා මානුෂීය මෙහෙයුම් ගැන ඔහු පොතක් ලියා ඇත්තේ ඉන්දීය දෘෂ්ටි කෝණයකිනි. බර්ග්හොෆ් ආයතනය සිංහල විරෝධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි. ඩිලාන් පෙරේරා හා ඔහු විසින් රැගෙන එනු ලැබුවේ යැයි කියන එ ජා පක්‍ෂයේ නීතිඥයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. 

කටුනායක වැඩමුළුව සංවිධානය කරනු ලැබුයේ ශ්‍රි ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම විසින් බව පැහැදිලි ය. ඒ කණ්ඩායම පිටුපස නූතන කඩහපොළ හිමිවරු ද උන්වහන්සේලාගේ දායකයෝ ද රෝ ඒජන්තයෝ ද වෙති. නුදුරු අනාගතයේ දී ම ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට ඇමතිකම් හිමිවන බවට රාවයක් වෙයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂය එකතු කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැති බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය ඇමතිකම් දීමෙන හෝ වෙනත් ක්‍රමයකින් හෝ තම ගොඩ වැඩි කරගෙන මහින්ද පක්‍ෂයෙන් එළවා දැමීම ය. තමාට අගමැතිකම නොදීමේ පළිය ඔහු ගන්නේ මහින්දගෙන් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයෙන් ද ය. සිංහල ජාතිකත්වයෙන් ද ය. 

අද අමුතුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍යතාවක් නැත. ජාතික හෙළ උරුමයට කිසිම දවසක ජාතිකත්වයක් නො තිබිණි. ජනතා මිතුරෝ කාලයේ සිට ඔවුන් ක්‍රියාකර ඇත්තේ අවස්ථාවාදීව ය. අද කළ යුත්තේ හැකිනම් මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමෙන් ඉවත් කිරීම ය. ඔහු විධායක ජනාධිපති බලය හේතුවෙන් ඒ තනතුරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ පිහිටෙන් පත්වූවෙකි. දේශීය හා විදේශීය විජාතික බලවේගවලට අවශ්‍ය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය කඩා එය දුර්වල කිරීමට ය. අගමැති සිහිනය දකිමින් සිටි මෛත්‍රිපාල ඒ ක්‍රියාදාමයේ බළල් අතක් පමණකි.  

ශ්‍රී ල නි පක්‍ෂයට අනාගතයක් ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් පමණකි. තවදුරටත් ඔහු අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප නායකයන් කියන්නේ අගමැති අපේක්‍ෂක යනුවෙන් කෙනකු ඉදිරිපත් කරන්නේ නැති බව ය. එසේ නම් ඔවුන් කළ යුත්තේ ශ්‍රි ල නි පක්‍ෂයේ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගැනීම ය. එවිට අගමැති අපේක්‍ෂක ප්‍රශ්නය නිරායාසයෙන් ම විසඳෙනු ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයට පත්කර ගත යුත්තේ අගමැති තනතුරක් නොලැබීම නිසා ඉන්දිය ඔත්තු සේවයට යට වී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට විරුද්ධව මෙරට බටහිර නියෝජිතයා වූ එ ජා පක්‍ෂය ප්‍රමුඛ සංධානයක ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූවකු ද නැත්නම් අවුරුදු හතළිහක පමණ කාලයක් පක්‍ෂය ආරක්‍ෂා කරගෙන සිටි තැනැත්තකු ද? 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 28