Main Logo

Thursday 5 February 2015

අමරතුංග සම්මින්ජනය (විදුසර ලිපියකි)

                      අමරතුංග සම්මිඤ්ජනය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම පොතෙන් තව තවත් කරුණු ඉදිරිපත් කරයි. මේ පොත ඔහු කියවන පොතක් මිස ඔහු ලියූ පොතක් නොවන බවත් ඔහු පොතක් ලියූවත් එහි තිබිය හැක්කේ වෙනත් අයගේ අදහස් බවත් අපි පසුගිය සතියේ පැවසුවෙමු. මෙය ඔහුට පමණක් සීමා වූ දෙයක් නො වේ. මෙරටින් බිහි වී ඇතැයි කියන ඊනියා වි්‍යාඥයකු අතින් කිසිම නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ඉදිරිපත් වී නැත. එයට හේතුව මෙරට පහසුකම් නැති නිසා යැයි කියා ඇඟ බේරා ගැනීමට නොහැක්කේ කැනඩාව, ඇමරිකාව, එංගලන්තය වැනි පහසුකම් ඇතැයි කියන රටවල වැඩ කරන මෙරටින් ගොස් ඇති ඊනියා විද්‍යාඥයන්ට වුව ද එලෙස සංකල්පයක් ප්‍රවාදයක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වී තිබීම හේතුවෙනි. 

කිසිම නිර්මාණශීලීත්වයක් නැති හුදු අනුකාරකයන් වූ මොවුන්ට කළ හැක්කේ බටහිර විද්‍යාවේ පරිධියේ පිහිටි වැදගත් නොවන ප්‍රශ්නයක් විසඳීමට බටහිර විද්‍යාවේ පවතින දැනුම යොදාගැනීම පමණකි. ඔවුන් අතින් බිහිවෙන නව දැනුමක් නැත. මේ  පර්යේෂණ කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාඥයන්ගේ තත්ත්වය එබඳු නම් කැනඩාව වැනි රටවල පාසල්වල බටහිර විද්‍යාව උගන්වා තම බඩවියත (ඇතැමුන්ගේ බඩ වියතකට වඩා වැඩිය) රැකගන්නා ගුරුවරුන් ආදීන් ගැන කියනුම කවරේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද යනු හුදු හිතළු, කතන්දර පමණක් බව ඔවුහු නො දනිති. 

එහෙන් මෙහෙන් මගේ ලිපි නොකියවා අඩුම තරමෙන් මගේ ලෝකය පළවූ 1986 සිට මා ලියා ඇති ලිපි කියවන්නේ නම් මගේ අදහස් ද ඒ අදහස් වර්ධනය වී ඇති ආකාරය ද දැනගත හැකිවනු ඇත. හිතළු හා කතන්දර, හෙවත් පට්ටපල් බොරු ඇසුරෙන් ලෝක නිර්මාණය කිරීමට බටහිරයන්ට  සිදු වී ඇත්තේ ඔවුන්ට ආධ්‍යාත්මික ව ලෝකයක් නිර්මාණය කරගැනීමට (දැකීමට) නොහැකි වී ඇති බැවිනි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ලෙස සැලකෙන්නේ යම් තරමකට සාර්ථක වී ඇති පට්ටපල් බොරු ය. මෙහි දී සාර්ථකත්වය යනුවෙන් කියැවෙන්නේ පට්ටපල් බොරුවලින් ලබාගන්නා වියුක්ත නිගමන සංයුක්ත සංසිද්ධි සමග යම් සම්භාවිතාවකට යටත් ව සංගත වීම ය. 

තරමක් ගොරහැඩිව කිවහොත් බටහිර විද්‍යාඥයෝ සංගත ව බොරු කියති. වඩාත් සාර්ථක ව පට්ටපල් බොරු කියන්නන්ට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරෙයි. බටහිර විද්‍යාඥයන් මේ බොරු කියන්නේ ග්‍රීුක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. මෙරට ඊනියා විද්‍යාඥයෝ එම චින්තනයෙහි නො වෙති. එබැවින් ඔවුන්ට ඒ චින්තනයෙහි බොරු කීමට නො හැකි ය. මෙරට ඊනියා විද්‍යාඥයන්ගෙන් බටහිර විද්‍යා ප්‍රවාද බිහි නොවන්නේ එබැවිනි. ඔවුන්ට එකී චින්තනයෙහි කළ හැක්කේ අනුකරනය පමණකි. අපි ඔවුන්ට අනුකම්පා නො කරමු. ඔවුහු සමාජයට පිළිලයක් වෙති. 

අපට කොටින් පරාජය කිරීමට හැකි වූයේ අප ඇතැම් බටහිර මතවාදවලට, ප්‍රවාදවලට, සංකල්පවලට යට නොවූ බැවිනි. අද අපට තවමත් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ  තවමත් අප සමහර බටහිර මතවාද දේශපාලනයෙහි දී පිලිගන්නා බැවිනි. ඒ මතවාද හා ප්‍රවාද සාකච්ඡා කිරීමට මේ අවස්ථාව නො වේ. අපට මුළුමනින් ම නිදහස් විය හැක්කේ අප බටහිර දැනුමේ ආධිපත්‍යයෙන් මිදුණු දිනෙක ය. ඒ බව පාසල් ගුරුවරුන් ද ඊනියා පර්යේෂකයන් ද ඉක්මණින් අවබෝධ කරගත් තරමට රටට වැඩදායක ය. 

අමරතුංග මහතා   තම ජනවාරි 21  වැනි දා  ලිපියෙහි මෙසේ සඳහන්     කළේ ය.     “අප ගේ මුල් ප්රශ්නය වන්නේ  ස්වාභාවික වරණය පොදු මතවාදය (Theory of Everything) තුළට ගත හැකි ද යන්න ය. එසේ    නැත්නම් ස්වාභාවික වරණය මූලික නීතියක් (Fundamental law) ලෙස වෙන ම පැවතීමට අවශ්ය ගූණාංග තිබේ දැයි සොයා බැලිය යුතු ය. මෙසේ කළ යුත්තේ පොදු මතවාදය පහදා ගැනීම පිණිස ය. අප පැමිණ ඇත්තේ ස්වාභාවික වරණය වනාහි පරිසරයට සුදුසු ජාන තෝරාගැනීම යන අදහස වෙත ය. ජානවල සිදු වන වෙනස ක්වොන්ටම් යාන්ත්රණය මගින් වටහාගත හැකි නම් අපට මේ ප්රශ්නය විසදගැනීම සඳහා යම්කිසි දුරක් යා හැකි වන්නේ ය.”

අමරතුංග මහතා ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදය තුළට ගතහැකි ද යන්නෙන් අදහස් කරන්නේ ස්වාභාවික වරණය ද සියල්ලෙහි ප්‍රවාදය මගින් විස්තර කළ හැකි ද යන්න ය. ඔහුගේ ව්‍යාකූලත්වය ඔහු ලියන ලිපිවලින් පැහැදිලි වෙයි. අන්‍යයන්ගේ තමන්ට නොතේරෙන අදහස් ප්‍රකාශ කිරීමට ගිය විට ද එවැනි ව්‍යාකූලත්ව ඇතිවෙයි. අමරතුංග මහතා සාකච්ඡා කරන්නේ ස්වාභාවික වරණය සියල්ලෙහි ප්‍රවාදයෙන් විස්තර කළ හැකි ද එසේත් නැත්නම් ස්වාභාවික වරණය ඊනියා මූලික නියමයක් ද යන්න ය. ඔහුගේ ජීවිතයේ ඊනියා අරුත ද ඒ සඳහා ය. එසේ වුවත් අමරතුංග මහතා හා ඔහුගේ පොතේ කතුවරයා දැනටමත් යම් නිගමනයකට පැමිණ ඇති බවක් පෙනෙයි. 

ඔවුන්ට අවශ්‍ය ස්වාභාවික වරණය ද ඊනියා සියල්ලෙහි ප්‍රවාදයට ඌනනය කිරීම යැයි සිතිය හැකි ය. එනම් ඔවුන්ට අවශ්‍ය  වී ඇත්තේ ස්වාභාවික වරණය සියල්ලෙහි ප්‍රවාදයෙන් විස්තර කිරීම ය. ඒ බව අමරතුංග මහතාගේ ජනවාරි 28 වැනි දා ලිපියෙන් යම් ප්‍රමාණයකට කියැවෙයි. ඔහුට අවශ්‍ය ස්වාභාවික වරණය ද ක්වොන්ටම් භෞතිකයෙන් විස්තර කිරීම ය. නැතහොත්  ස්වාභාවික වරණය ක්වොන්ටම් භෞතිකයට ඌනනය කිරීම ය. දෛශික අවකාශයක් යනු කුමක් දැයි නොදන්නා අමරතුංග මහතා දන්නා ක්වොන්ටම් භෞතිකයක් නැත. ඔහුගේ දෛශික බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ඉගැන්වෙන දෛශිකවලට සීමා වෙයි. ඔහුට ඇත්තේ අතනින් මෙතනින් ජනප්‍රිය පොත්වලින් අහුලා ගත් දැනුමකි.

ජනවාරි 28 වැනි දා ලිපියෙහි අමරතුංග මහතා මෙසේ කියයි. “ක්වොන්ටම් මතවාදය ඉදිරිපත් කළ විද්වත් නීල්ස් බොහර් (මෙය බෝර් විය යුතු ය. ජනප්‍රිය පොතින් කරුණු අහුලන අමරතුංග මහතා භෞතික විද්‍යාව ඉගෙන ගන්නා උසස් පෙළ සිසුවකුගෙන් ඇසුවේ නම් නිවැරදි උච්චාරණය දැනගැනීමට තිබණි.) පවසා ඇත්තේ ජීව විද්‍යාවෙහි ප්‍රශ්න භෞතික විද්‍යාව භාවිතයෙන් සොයා බැලීමේ දී ස්වාභාවික ලෝකය ගැන වැටහීමක් ලැබෙන බව ය. අපගේ වෑයම ද එය ම වන්නේ ය.”  මේ අනුව පැහැදිලි වන කරුණ නම් අමරතුංග මහතා ඌනිතවාදයට හා ඊනියා සියල්ලෙහි ප්‍රවාදයට ඇති කැමැත්ත ය. 

අමරතුංග මහතා ප්‍රෝටීන සම්මිඤ්ජනය - ඇකිළීම (protein folding) ගැන අමරතුංග මහතා (අර පොතේ කතුවරයා) සඳහන් කරන්නේ එබැවිනි. එහෙත් ඔහු එය පැහැදිලිව නො කියයි. ප්‍රෝටීන සම්මිඤ්ජනය ඇති වන්නේ ඇයි ද යන ප්‍රශ්නයක් ඔහු අසයි. මෙහි දී සඳහන් කළ යුත්තේ ප්‍රෝටීන සම්මිඤ්ජනය යන්න ද බටහිර විද්‍යාඥයන් ගොතා ඇති තවත් කතාවක් පමණක් බව ය. යම් ආකාරයකින් හෝ ආකරවලින් පමණක් ප්‍රෝටීන සම්මිඤ්ජන සිදුවන්නේ ඇයි? 

ප්‍රෝටින සම්මිඤ්ජන ඕනෑම ආකාරයකින් සිදුවිය හැකි ය. එහෙත් ඉන් කිහිපයක් පමණක් ස්ථායී වෙයි. මේ ස්ථායිතාවට හේතුව අදාළ අවස්ථාව ශක්තිය අවමයක් වීම යැයි පැවසෙයි. එහෙතස්කන්ධය ද?් ශක්තිය යනු කුමක් ද? අමරතුංග මහතා තමාට නොතේරෙන ශක්තිය හා ද්‍රව්‍ය ද්වෛතයක් (ද්වෛධය නො වේ) ගැන කියයි. එහෙත් මේ ද්වෛතය කුමක් ද? විශේෂ සාපේක්‍ෂතාවාදයේ විශාරදයකු ලෙස පෙනී සිටීමට වෑයම් කරන අමරතුංග මහතා මෙහි දී ද්‍රව්‍ය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? ඒ ස්කන්ධය ද? 

අමරතුංග මහතාගෙන් ඒ ප්‍රශ්නය ඇසීම එක් අතකින් ගත්කල තේරුමක් නැති දෙයකි. ප්‍රශ්නය ඇසිය යුත්තේ පොතේ කතුවරයාගෙනි. සාපේක්‍ෂතාවාදයේ නම් ස්කන්ධය හා ශක්තිය අතර ඊනියා ද්වෛතයක් නැත. සුප්‍රසිද්ධE = mc2 සමීකරණයට  අනුව ශක්තිය හා ස්කන්ධය අතර ඊනියා ද්වෛතයක් නැත. ක්වොන්ටම් භෞතිකයේ නම් ශක්තිය හා කාලය අතර ඊනියා ද්වෛතයක් ඇත. එසේත් නැතහොත් පිහිටුම හා ගම්‍යතාව අතර ඊනියා ද්වෛතයක් ඇත. අමරතුංග මහතා පොත කියවා තමාට තේරෙන අන්දමට කරුණු ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත් අමරතුංග මහතා ක්වොන්ටම් අංශු දැක නැත. ඒ තබා අමරතුංග මහතා ක්වොන්ටම් මතවාදය ඉදිරිපත් කළේ යැයි කියන බෝර්වත්  ක්වොන්ටම් අංශු දැක නැත. අනෙක් අතට බෝර් ඉදිරිපත් කළ ක්වොන්ටම් මතවාදය කුමක් ද? ක්වොන්ටම් සංකල්පය ඉදිරිපත් කළේ මැක්ස් ප්ලෑන්ක් ය. බෝර් කළේ රදර්ෆඩ් පරමාණුව සංශෝධනය කිරීම ය. පරමාණුව පිළිබඳ පට්ටපල් බොරු කතාවක් රදර්ෆඩ් ගොතා තිබුණේ ය. ඒ බොරු කතාව අනුව පරමාණු අස්ථායි විය යුතු ය. එහෙත් පරමාණුවලින් සෑදී ඇතැයි කියන ද්‍රව්‍ය ස්ථායී වෙයි.

මේ පරස්පරය විසඳීම සඳහා බොර් වෙනත් බොරු කතාවක් ඉදිරිපත් කළේ ය. ඒ කතාවට අනුව පරමාණුවේ ඇතැයි කියන ඉලෙක්ට්‍රෝන එක් කක්‍ෂිකාවක සිට තවත් කක්‍ෂිකාවකට පනියි. මේ ප්‍රවාදයෙන් කියැවෙන ආකෘතිය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ බෝර් පරමාණුව ලෙසිනි. අමරතුංග මහතාට මේ ගැන කිසිම පැහැදිලි අදහසක් නො මැත. ඔහු දන්නේ පොතේ ඇති කරුණු ඔහුට තේරෙන ප්‍රමාණයට ය.

අමරතුංග මහතා බටහිරයන් අනුකරණය කරමින් උත්සාහ කරන්නේ ප්‍රෝටීන සම්මිඤ්ජනය ක්වොන්ටම් භෞතිකයෙන් විස්තර කිරීමට ය. එහෙත් ඔහුට ද, නැත ඔහුගේ කතුවරයාට ද, ප්‍රශ්නයක් වෙයි. ඒ ක්වොන්ටම් භෞතිකය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය එකතු කිරීමට නොහැකි වීම ය. එය ඔවුන්ගේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදයට මහත් අභියෝගයක් වෙයි. අපි මෙය පසුව තවදුරටත් සාකච්ඡා කරමු. ඒ අතර අමරතුංග මහතාට හැකිනම් ගර්ඩ්ල් ප්‍රමේයය කියවා තේරුම් ගැනීමට අභියෝග කරමු.  

නලින් ද සිල්වා   

විදුසර 2015 පෙබරවාරි 04