Main Logo

Monday 9 February 2015

ආණ්ඩුවේ විපක්‍ෂ නායක තවත් පාවාදීමකට සුදානම් ද

ආණ්ඩුවේ විපක්‍ෂ නායක තවත් පාවාදීමකට සූදානම් ද

ඇමති ජෝන් අමරතුංගට විරුද්ධව විප’ක්‍ෂ මන්ත්‍රිවරුන් 114 දෙනකු අත්සන් කර ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විශ්වාසය භංගවීමේ තත්ත්වයක් උදා වී ඇත. නිමල් සිරිපාල ද සිල්වා යනු ජනාධිපති විසින් පත්කරන ලද විරුද්ධ පක්‍ෂ නායකයා ය. ඔහු විරුද්ධ පක්‍ෂ නායකයා වී ඇත්තේ විධායක ජනාධිපති බලතලවලට පින් සිදුවන්නට ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ශ්‍රී ල නි පක්‍ෂයේ් සභාපති වී ඇත්තේ ද විධායක බලතල යොදා ගනිමිනි. 

ජෝන් අමරතුංගට විරුද්ධව ගෙනෙන විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මහත් උද්‍යොගයෙන් වැඩකිරීම පුදුමයට කරුණක් විය. එය රජයේ ඇමතිවරයකුට විරුද්ධව ගෙනෙන විශ්වාසභංග යෝජනාවකි. යෝජනාව සම්මත වුවහොත් ආණ්ඩුවට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහි දී ආණ්ඩුවට කළ හැකි කාර්යයක් වනුයේ ජෝන් අමරතුංගගේ ඇමතිකම අහෝසි කර ආන්ඩුවේ ඊනියා ගෞරවය බේරා ගැනීමට ය. විධායක ජනාධිපති බලතල යොදා ශ්‍රී ල නි ප ඇතැම් නායකයන් බියගන්වා තනාගත් මේ ආණ්ඩුවට ගෞරවයක් කොහෙන් ද? ජනාධිපතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ නව ජනාධිපති කෙනකු පත්කර ගැනීමට මිස නව ආණ්ඩුවක් පත්කර ගැනීමට නො වේ. මෙම වෙබ් අඩවියේ ජනතාව ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැහැ ලිපිය කියවන්න.

ජෝන් අමරතුංග අස්කිරීමට ඇතැම් විට රනිල් වික්‍රමසිංහ අගමැති ද එකඟ වීමට ඉඩ තිබිණි. ජෝන් අමරතුංග රනිල්ට මුළුමනින් ම සහාය දුන්නෙක් නො වී ය. නිමල් සිරිපාල ද සිල්වා විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නේ රනිල්ගේ එකඟත්වය මත යැයි යමකු සිතුවේ නම් එය පුදුමයට කරුණක් ද නො වේ.  

එහෙත් ජෝන් අමරතුංග අස්නොකිරීමට ද  ඉඩ ඇත. රනිල් ආණ්ඩුවත් ජෝන් අමරතුංගත් නිමල් සිරිපාලත් බේරා ගැනීමට නිමල්ලා සමග කටයුතු කිරීමට ද ඉඩ ඇත. විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මගින් නිමල් සිරිපාලට යම් වීරත්වයක්, පිළිගැනීමක් ලබා දී ඉන්පසු විවාදය නොපැවැත්වීමට ආණ්ඩුවේ විපක්‍ෂයේ එකඟත්වය මත කටයුතු කිරීමට ද ආණ්ඩුවට හැකි ය. අවශ්‍ය වන්නේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුල් කර විවාදයට දිනයක් නියම නොකර සිටීම ය. නිමල් සිරිපාල එසේ දිනයක් නියම කර ගැනීමට උනන්දුවක් නොදැක්වුවහොත් කරන්නේ කුමක් ද යන්න ආණ්ඩුවේ නොවන විපක්‍ෂය සිතා බැලිය යුත්තේ තවත් පාවාදීමකට ඉඩ නොදීම සඳහා ය.

විශ්වාසභංග යෝජනාව පැරදුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ආණ්ඩුව කරන තර්ජන විවාදය නොකිරීමට කරන උප්පරවැට්ටියක් විය හැකි ය. පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමෙන් තම විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරු වෙති. ඒ බියගැන්වීම් පාවාදීමට හේතුවක් නොවිය යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට ය. ආණ්ඩුව ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව පරාජය වී අගමැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උපදෙස් දුන්නොත් ජනාධිපති කළ යුත්තේ බහුතරය ඇති සංධානයට ආණ්ඩුව පිහිටුවීමට ආරාධනා කිරීම ය. සංධානයේ නායකයා ලෙස කටයුතු කරන ජනාධිපතිට එසේ කිරීමට බාධාවක් නැත.    


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 09