ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඇයි?
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ඉන්දියාව ගෞරව කළ බව අපි දනිමු. එහෙත් ඉන් පසු රාජ්‍ය නායකයන් වූ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ආදීන්ට ඉන්දියාවෙන් ඒ ගෞරවය නො ලැබිණි. විජේතුංග ජනාධිපති සිටියේ ද කියාවත් ඉන්දියාවට දැන ගැනීමට අවස්ථාවක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාවේ ගෞරවය දිනාගත් නායකයකු යැයි කිව නො හැකි ය. එහෙත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වූයේ මෛත්‍රිපාල සිරිසේන ය.
බණ්ඩාරනායක මහත්මිය ලංකාව හා ඉන්දියාව අතර තිබූ ප්‍රශ්න රාශියක් සාකච්ඡා මගින් විසඳා ගත්තා පමණක් නොව ඉන්දියාව හා පකිස්ථානය අතර වූ වැදගත් ප්‍රශ්නයක් විසඳීමට ද මැදිහත් වූවා ය. ඇය නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ සභාපතිනිය ලෙස මහඟූ කාර්යභාරයක් ඉටු කළා ය. ඇයට සත්තකින් ම ඉන්දියාවේ ගෞරවය හිමි විය යුතුව තිබිණි.
ජේ ආර් බටහිර ගැත්තකු වූ අතර අවසානයේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අණ සක පිළිගන්නා තත්ත්වයකට පත් විය. එකල ඉන්දියාව ඩික්සිත් මගින් අප පාලනය කළේ යැයි කීම වරදක් නො වේ. ප්‍රේමදාස ඉන්දියාවට ගරු නොකරන ලද අතර කල්පනාවෙන් ඉන්දු ලංකා සම්බන්ධකම් ඇති කර නො ගත්තේ ය. ඔහු ඉන්දීය ඊනියා සාම සාධක හමුදා යැවීමටට යැයි කියමින් කොටින්ට ආයුධ සැපයී ය. චන්ද්‍රිකා බටහිරට මෙන් ම ඉන්දියාවට ද බය පක්‍ෂපාතීව කටයුතු කළා ය. එහෙත් දුර්වල නායිකාවක් වූ බැවින් ඇයට අඩුම තරමෙන් පැකේජයවත් ක්‍රියාත්මක කිරීමට නො හැකි විය.
බණ්ඩාරනායක මහත්මියගේ කාලයට වඩා පසුව ලෝක දේශපාලනය වෙනස් විය. බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ ඉන්දියාව ද නොබැඳි රටක් විය. එකල ලෝකයේ කඳවුරු දෙකක් විය. එහෙත් බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු බටහිරයෝ එකම බලවත්තු වූහ. ඉන්දියාව ඇමරිකාවට ක්‍රමයෙන් ළඟා විය.
එහෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේ තත්ත්වය වෙනස් විය. සෝවියට් දේශය වෙනුවට රුසියාවක් බිහි වී තිබුණා පමණක නොව එය ශක්තිමත් රටක් ද විය. අද ඇමරිකාවට යුක්රේනයේ මැදිහත් වීමට අවශ්‍ය නමුත් රුසියාවට විරුද්ධව ක්‍රියා කිරීමට මගක් පෑදී නැත. ඒ සියල්ලට වඩා ආසියාවේ ම ශක්තිමත් චීනයක් බිහි වී ඇත. අද ලෝකයේ නොබැඳි ජාතින්ගේ එකතුවක් නැත. දළ වශයෙන් ගතහොත් ලෝකයේ බල කඳවුරු දෙකක් ඇත. බටහිර රටවල් එක් කඳවුරක ය. චීනය හා රුසියාව තවත් කඳවුරක ය. එහෙත් ඒ රටවල් දෙක අතර පොදු එකඟතාවක් ද නැත.
මේ පසුබිමෙහි ඉන්දියාව ඇත්තේ බටහිර කඳවුරෙහි ය. එය පෙර මෙන් නොබැඳි රටක් නො වේ. විශේෂයෙන් ම චීනයෙන් එල්ලවන අභියෝගය හමුවේ ඉන්දියාව බටහිරට වඩ වඩාත් සමීප වෙයි. බටහිර රටවල් ලංකාවට විරුද්ධව දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය හා දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කළේ ය. බටහිර රටවල් කොටින්ට මූල්‍ය ආධාර ද කළේ ය. කේ පී මේ සියල්ල දනියි. කේ පී වැදගත් වන්නේ ඒ හේතුවෙනි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කවදා නමුත් මේ තොරතුරු කේ පී ලවා ප්‍රකාශ කරවීමට බලා සිටින්නට ඇත. අද රනිල් සිරිසේන ආණ්ඩුවට අවශ්‍ය කේ පී ඒ තොරතුරු ප්‍රකාශ කිරීම වැළැක්වීම ය. ඔහු සිරකර හෝ බලපෑම් ඇතිකර හෝ කේ පී නිහඬ කිරීමට විශේෂයෙන් ම රනිල් ට අවශ්‍ය වෙයි.
බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධ වූයේ එම ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරයන් කී දේට අවනත නොවූ නිසාත් චීනය සමග ආර්ථික සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් නිසා ය. ඉන්දියාවට බටහිර හැරෙන්නට අද වෙනත් පිහිටක් නැත. ගාන්ධිලාගේ ජාතිකත්වයක් නොතිබූ අතර මෝදිගේ ජාතිකත්වය එතරම් දුර දිග යන්නක් නො වේ. එය ඇඳුමෙන් එහාට නොයයි.
ඉන්දියාව මෛත්‍රිපාල සිරිසේනට රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් පිරිනැමුවේ මේ ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් නිසාත් චීනය සමග එතරම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අකමැති නිසාත් ය. චීනය නැවතත් සේද මාර්ගයක් (මුහුදු) ඇතිකර ගැනීමට වෙහෙසෙයි. එහි දී කොළඹ වරාය නගරය මෙන් ම හම්බන්තොට වරාය ද වැදගත් වෙයි. ඉන්දියාව මෙන් ම බටහිර රටවල් ද වරාය නගරයටත් හම්බන්තොට වරායටත් විරුද්ධ ය. බටහිරයන්ගේ ඒජන්තයා වූ රනිල් ද විරුද්ධ ය. එහෙත් රනිල් ඒ කිසිවක් ජනතාවට නො කියයි. ජනතාවට ඔහු කියන්නේ දූ’ෂ’ණය හා ඊනියා යහපාලනය ය. රනිල් චන්ද්‍රිකාට වඩා දැඩි නායකයකු බව බටහිර රටවල් දනියි.
ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඔහු ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බැවින් ය. ඔහුට අවසානයේ දී වරාය නගරයට අනුමැතිය දීමට සිදුවුවත් එයත් හම්බන්තොට වරායත් නොවැදගත් වන අයුරෙන් යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. ඒ අතර දෙමළ ජාතිවාදයට කප්පන් දෙනු ඇත. ඉන්දියාව පමණක් නොව ඇමරිකාව ද මෛත්‍රිපාලට ගරු කරනු ඇත. ඒ රනිල්ට කරන ගෞරවයක් ලෙස ය. ඇමරිකාව දැනටමත් මෛත්‍රිපාලට ඇමරිකාවේ සංචාරයකට ආරාධනා කර ඇති අතර අපට ඔබාමා මෛත්‍රිපාල හමුවක් ද දැක ගැනීමට හැකි වනු ඇත.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 21