Main Logo

Wednesday 18 February 2015

ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන්

ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් 

අද (2015 පෙබරවාරි 18) නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීමට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක්  වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ නායකයා නිමල් සිරිපාල වෙයි. ඒ විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න ය. සැබෑ විපක්‍ෂයේ නායකයා දිනේශ් ගුණවර්ධන වන අතර සංවිධායක විමල් වීරවංශ වෙයි. 

ශ්‍රී ල නි පක්‍ෂයෙ අති විශාල බහුතරය සැබෑ විපක්‍ෂය සමග වන බව පැහැදිලි ය. සාමාන්‍ය පාක්‍ෂිකයන්ගේ හා අනුගාමිකයන්ගේ සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දක්වා තත්ත්වය එබඳු ය. එහෙත් එය වැඩියෙන් ම දක්නට ඇත්තේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මට්ටමේ ය. අඩුවෙන් ම දක්නට ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර ය. නුගේගොඩ රැස්වීමට බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ඉතා විශාල බහුතරය සහභාගි වූ අතර පාරලිමේන්තු මැති ඇමතිවරුන් ඒ ප්‍රතිශතයෙන් දැකගත නො හැකි විය. එසේ වුවත් ශ්‍රී ල නි ප ඇමතිවරු (ඔවුහු තවමත් ඇමතිවරු වෙති. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නීත්‍යානුකූල ව පත්වූවක් නො වේ) යම් පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව එය පහත සිට උඩට ක්‍රියාත්මක වන පක්‍ෂයකි. අද පක්‍ෂයේ පහත මට්ටම සම්පූර්ණයෙන් ම ඇත්තේ සැබෑ විපක්‍ෂය සමග ය. එහෙත් උඩ නායකත්වයේ කිහිප දෙනකු ඇත්තේ ආණ්ඩුවේ විපක්‍ෂයේ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති බලතලවල පිහිටෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු සභාපති වූයේ ද විධායක ජනාධිපති බලතල යොදාගනිමින් මිස පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව  නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව නම් පක්‍ෂයට සභාපති කෙනකු නැත. 

හිටපු සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා තම දේශපාලන ජීිවිතයේ කරන ලද ලොකුම වරද කරමින් පක්‍ෂ සභාපතිකමින් ඉල්ලා අස්විය. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ සභාපති වීමට කිසිම අයිතියක් නො තිබිණි. පසුගිය ජනවාරි මුල නිමල් සිරිපාල ද ඒ බව දැන සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූයේ ශී්‍ර ල නි පක්‍ෂයෙන් හෝ ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නො වේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වීමට පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් ඔහු විධායක බලතල යොදා ගනිමින් පක්‍ෂ සභාපතිවරයා විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට ලැබුණේ මූලික වශයෙන් එ ජා ප, දෙමළ හා මුස්ලිම් ඡන්ද ය. ශ්‍රී ල නි ප ඡන්ද  ලැබුණේ මහින්ද රාජපක්‍ෂට ය. ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ වටා මිස මෛත්‍රිපාල සිරිසේන වටා නො නො වේ. නුගේගොඩ රැස්වීමෙන් හෙළි වූ ප්‍රධාන කරුණ නම් ශ්‍රී ල නි ප සාමාන්‍ය සාමාජිකත්වයට හා සංධානයේ බොහෝ පක්‍ෂවලට මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය බව ය. මහින්ද රාජපක්‍ෂ රැස්වීමට පණිවුඩයක් එවමින් කියා සිටියේ රැ්ස්වීමේ අභිලාෂයන්ට තමන්ට පිටු පෑ නොහැකි බව ය. තමන් රැස්වීමේ දික්කරන දෑත් තරයේ වැළඳ ගන්නා බව ද පණිවුඩයේ සඳහන් විණි. 

අද මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සමග සීතල යුද්ධයක යෙදී සිටින බව පැහැදිලි ය. රනිල්ට අවශ්‍ය එ ජා ප කැබීනට් මණ්ඩලයකි. රනිල් ආරක්‍ෂක රාජ්‍ය ඇමති ලෙස තම බෑණා කෙනකු වන රුවන් විජේවර්ධන පත් කළේ ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන විධායක බලතල යොදා රුවන් බෑණාගේ බලතල කපා දමා ඇත. රජිව් විජේසිංහ සිද්ධිය ද ඇතැම් විට දුර දිග යා හැකි ය. මෛත්‍රිපාලට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල්ට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි. 

මෛත්‍රිපාලට රනිල් සමග කරන යුද්ධයේ දී රතන හිමියන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නො වේ. දින සියය කිනම් ආකාරයකින් නමුත් ගෙවී ගියත් යම් අයුරකින් මැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් ආණ්ඩුවේ එක ම බලධාරියා වනු ඇත. මෛත්‍රිපාල ජනාධිපති බලතල සහිත ව වුවත් එහි දී අසරණ වනු ඇත. ඔහුට අල්ලපු අත්ත මෙන් ම පයගහපු අත්ත ද නැති වනු ඇත.

ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට මෙන් ම මෛත්‍රිපාල සිරිසේනට ද ආරක්‍ෂාව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීමෙනි. මෙහි දී පක්‍ෂ නායකත්වය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකත්වය අනුගමනය කිරීම ය. එය පක්‍ෂ සම්ප්‍රදායට විරුද්ධ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ ද රටේ ද ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ගතහැක්කේ එක් මගක් පමණකි. ඒ මහින්ද රාජපක්‍ෂට සංධානයේ අගමැති අපේක්‍ෂකන ලෙස තරග කරන ලෙස ආරාධනය කිරීම ය. 

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 18