Main Logo

Thursday 12 February 2015

ටී එන් ඒ සමුලඝාතන චෝදනාව

ටී එන් ඒ සමූලඝාතන චෝදනාව 

උතුරු පළාත් සභාවේ මහඇමති සී විග්නේස්වරන් විසින් ගෙනෙන ලද යෝජනාවකින් කියැවෙන්නේ 1948 සිට සිදුවිණි යැයි කියන දෙමළ ජනයාගේ ඊනියා සමූලඝාතන පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ය. ඒ යෝජනාව සම්මත වී ඇති නමුත් එයට ඉන්දියාවේ අනුමැතිය නො ලැබෙයි. ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ නව ආණ්ඩුව බලයට පත් වී එතරම් කාලයක් ගත වී නැති බැවින් ආණ්ඩුවට කල් දිය යුතු බව ය. ඒ අතර ලංකාණ්ඩුව කියා ඇත්තේ යුද්ධාපරාධ ගැන සෙවීමට අභ්‍යන්තර කොමිසමක් පත්කරන බව ය. කෙසේ වෙතත් සමුලඝාතනයක් අවුරුදු හැත්තෑවකට ආසන්න කාලයක් කෙරී දෙන යෑමෙන් පසුව ද මෙරට හා පිටරට දෙමළ ජනයා වාසය කිරීමෙන් කියැවෙන්නේ දෙමළ ජාතිවාදීන් සමූලඝාතනය යන වචනය ද විකෘති කර ඇති බව ය.   

වාර්තා වී ඇති අන්දමට සමූලඝාතන යෝජනාව උතුරු පළාත් සභාවට ගෙන ඒමට සූදානම් සිට ඇත්තේ ශිවාජිලිංගම් ය. එහෙත් විග්නේස්වරන් තමා ම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. දෙමළ ජාතික සංධානයේ අභ්‍යන්තර දේශපාලන අරගලය මෙයින් පැහැදිලි වෙයි. ශිවාජිලිංගම් කණ්ඩායම ක්‍රියාකරන්නේ එංගලන්තය හා වෙනත් රටවල සිටින විසිරුණු දෙමළ ජනයා මගින් කෙරෙන බලපෑම මත ය. ඒ අතර ප්‍රභාකරන්ගේ ආනන්දි කණ්ඩායම ද වෙයි. එහෙත් ඔවුන්ට එතරම් බලයක් ඇතැයි සිතිය නො හැකි ය. විග්නේස්වරන් ඇතුළු පිරිසක් ඉන්දියාවේ බලපෑම මත තීරණ ගනියි. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමට ඔවුන් තීරණය කළේ ඉන්දියාවේ බලපෑම මත ය. විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ය. 

ශිවාජිලිංගම්ලා රනිල් සිරිසේන ආණ්ඩුවට ආධාර නො කරති. එහෙත් සුමන්තිරන් සම්බන්ධන් ආදීහු ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරති. සුමන්තිරන්ලා පසුගිය දා ඊනියා නිදහස් උත්සවයට සහභාගි වීම පිළිබඳ ව අනෙක් කණ්ඩායම තම විරුද්ධත්වය පළ කර ඇත. ශිවාජිලිංගම්ලාට අවශ්‍ය වන්නේ ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යැයි කියන පරීක්‍ෂණයකි. බටහිර රටවල්වලට ද අවශ්‍ය එයම ය. එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වී එතරම් කාලයක් ගත වී නොමැති නිසාත් එයටත් වඩා ළඟදීම මැතිවරණයකට මුහුණ දීමට සිදුවන නිසාත් මේ ඒ සඳහා සුදුසු කාලය නොවන බව බටහිරයෝ දනිති. මැතිවරණය වෙනුවෙන් මාර්තු මාසයේ දී ජෙනීවාහි දී ගෙන ඒමට නියමිත ලංකාවට එරෙහි යෝජනාව කල්දැමීමට වුව ද බටහිර රටවල් එකඟ කරගත හැකි ය. අද ජයන්ත ධනපාලගේ කාර්යභාරය වී ඇත්තේ ඒ යෝජනාව ගෙන ඒම සැප්තැම්බර් දක්වා කල්දමා ගැනීම ය. ඔහු අද සිකුරාදා සංසදයෙන් ද ඉවත් වී ආණ්ඩුවට සේවය කරයි. 

එහෙත් විසිරුණු දෙමළ ජනයාට සියුම් දේශපාලනය නො තේරෙයි. ඔවුහු ඇතැම් විට බටහිර රටවල් දරණ මතයට ද විරුද්ධ වෙති. ආර්ථිකව ඔවුහු උතුරු පළාතේ ජීවත්වන දෙමළ ජනයාට යම් ශක්තියක් සපයති. එකී දෙමළ ජනයා තමන්ට ශක්තියක් වූ විසිරුණු දෙමළ ජනයාගේ උපදෙස්වලට ගරු කරති. පසුගිය ජනාධිපතිවරණයේ දී උදේ වරුවේ දෙමළ ජනයා විසිරුණු දෙමළ ජනයාගේ උපදෙස් මත ඡන්දය දීමෙන් වැළකුණහ. උතුරු පළාතේ වැඩියෙන් ම ඡන්දය දී ඇත්තේ අන්තිම පැයේ දී ය. ඒ සම්බන්ධයෙන් යම් සැක පහළ වී ඇති නමුත් අපි ඒ ගැන වැඩිදුරටත් ප්‍රශ්න නො කරමු. 

කෙසේ වෙතත් විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට ක්‍රියාකිරීමට ද විග්නේස්වරන්ලාට සිදුවෙයි. විග්නේස්වරන් ශිවාජිලිංගම්ගෙන් ඊනියා සමූලඝාතන යෝජනාව ඉල්ලා ගෙන ඇත්තේ එබැවිනි. එහෙත් ඉන්දියාව ඒ උත්සාහය ලත්තැන ම ලොප් කර ඇත්තේ එය රනිල් සිරිසේන ආණ්ඩුවට විරුද්ධව සිංහලයන් අතර මතයක් ඇති කරන බැවිනි. බටහිරයන් මැතිවරණයෙන් පසු රනිල් බලයට පත්වුවහොත් ප්‍රශ්නය ඉදිරියට ගනු ඇත. මැතිවරණයේ ඡන්දය දීමේ දී සිංහලයන් ඒ ගැන තම අවධානය යොමු නොකළහොත් මහත් විනාශයක් සිිදුවනු ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 12