අමරතුංගට අනුව ක්වොන්ටම් භෞතිකය
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තමා ජනප්‍රිය පොතපතෙන් තමන්ට හැකි ආකාරයට තේරුම් ගන්නා කරුණු නිරවුල් ව පයකාශ කිරීමට නො හැකි ය. එහි පුදුමයට කරුණක් නැත. යමක් නිරවුල් ව ප්‍රකාශ කිරීමට නම් පළමුව තමන්ට ඒ පිළිබඳ නිරවුල් අවබෝධයක් තිබිය යුතු ය. ජෛවීය විද්‍යා මෙන් නොව භෞතික විද්‍යාව හැදෑරීමට වියුක්ත ගණිතය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. ජනප්‍රිය පොතපතින් වචන ටිකක් අහුලාගත් පමණින් ක්වොන්ටම් භෞතිකය පිළිබඳ අවබෝධයක් තබා වචන ඒ සංදර්භයෙහි යෙදෙන්නේ කිනම් අරුතකින් ද යන්නවත් දැනගත නො හැකි ය. උදාහරණයක් ලෙස ඒ මහතාගේ ජනවාරි 28 වැනි දා ලිපියෙන් ගත් පහත සඳහන් උද්ධෘතය සලකන්න. තරමක් දීර්ඝ උපුටා දැක්වීම් කිරීමට සිදුවන්නේ ඒ මහතාගේ පරස්පර පාඨකයාට අවබෝධ කරවීමට ය.
“ක්වොන්ටම් යාන්ත්රණය විසින් අනු පරමාණුක අංශුවල (subatomic particles) හැසිරීම සහ ඒවායේ ශක්තිය ද ද්රව්යයන් අතර ඇති අන්තර් ක්රියාවන් ද ගණිතමය ලෙස පහදා දීමට තැත් කෙරෙයි. මේ හැසිරීම් සමහරක් මහේක්ෂ (macroscopic) පරිමාණයේ ඒවා ය. ඒවා සිදු වන්නේ ඉතා ම ඉහළ හෝ පහළ ශක්තිය හෝ උෂ්ණත්වය තුළ ය. අනු පරමාණුක අංශුවල හැසිරීම් ක්වොන්ටම් යාන්ත්රණය විසින් පැහැදිලි කෙරෙන්නේ ශක්තිය සහ ද්රව්ය යන ද්වෛධ (energy and matter duality) මගිනි. අංශුවක පිහිටීම සහ ගම්යතාව හෝ එහි ශක්තිය සහ කාලය ක්වොන්ටම් යාන්ත්රණය විසින් නිවැරැදිව සපයා දෙනු ලබන්නේ නැත. එය විසින් සපයා දෙනු ලබන්නේ ඒවායේ සම්භාව්යතාව පමණි. අංශුවක පිහිටීම මැනීමට එය එක තැන තිබිය යුතු ය. එසේ ම එහි ගම්යතාව මැනීමට එය නිදහසේ චලනය විය යුතු ය. මේ දෙක පරස්පර විරෝධී නිසා අංශුවේ මේ ගුණාංග, නිවැරැදිව මැනිය නොහැකි ය. මෙසේ සිදු වන්නේ එක් අංශුවක් ගෙන එහි හැසීරීම මැනීමට තැත් කරන විට ය. එහෙත් අංශු විශාල ප්රමාණයක් සලකා බලන විට සසම්භාවී (random) ලෙස හැසිරීමේ සම්භාව්යතාව බිංදුව දක්වා වෙනස් වේ. මින් හැඟී යන්නේ සම්භාව්ය යාන්ත්රණය (classical mechanics) වනාහි ක්වොන්ටම් යාන්ත්රණයේ ප්රසාරණයක් හෝ විශාල පද්ධතියකට එය යෙදීම ලෙස සැලකිය හැකි ය. එසේ නම් සම්භාව්ය ආකෘතියකින් පටන් ගෙන යටින් තිබෙන ක්වොන්ටම් ආකෘතිය ගැන අදහසක් ලබාගත හැකි ය.”
ක්වොන්ටම් භෞතිකයේ ඊනියා අනු පරමාණුක අංශු ගැන අමරතුංග මහතා සඳහන් කරයි. අනු පරමාණුක යන්න ඉංගිරිසි සඋබ අටඔමඉච යන්න සඳහා අමරතුංග මහතා යොදා ගන්නා වචන ය. එය උප පරමාණුක විය යුතු ය. ඒ කෙසේ වෙතත් එහි හැසිරීම ගණිතයෙන් දැක්වෙන විට ඒ අවබෝධ කර ගැනීමට අමරතුංග මහතාට හැකියාවක් නැත. පාඨකයා ඉදිරියේ වචන විසි කර එම ඊනියා පාණ්ඩිත්‍යය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිවක් මෙහි දී නො සිදුවෙයි. අමරතුංග මහතා මා සමග වාචික විවාදයකට එළඹෙන්නේ නම් විනාඩි දහයක් තුළ ඔහුගේ ගණිත දැනුම පිළිබඳ අවබෝධයක් අසන්නන්ට ලබා දෙමි. එහෙත් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ඔහු එවැනි විවාදයකින් පැන යයි.
උප පරමාණුක අංශුවක හැසිරීම ක්වොන්ටම් භෞතිකයෙන් විස්තර කෙරෙන්නේ ශක්තිය හා ද්‍රව්‍යය යන ද්වෛතය (ද්වෛධය නො වේ) මගින් යැයි අමරතුංග මහතා කියයි. එවැනි ඊනියා ද්වෛතයක් නැති බව අපි පසුගිය සතියේ විශේෂ සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් පෙන්වා දුන්නෙමු. ක්වෙන්ටම් භෞතිකයෙහි ද්වෛත ඇත. එහෙත් ඒ ශක්තිය හා ද්‍රව්‍යය සම්බන්ධයෙන් නො වේ. තමන්ට නොතේරෙන දේ කිසිම ලජ්ජාවක් නොමැතිව අමරතුංග මහතා ප්‍රසිද්ධියේ කියන්නේ කෙසේ ද? සමහර විට ඔහු පරිවර්තනය කරන පොතේ ශක්තිය හා ද්‍රව්‍යය සම්බන්ධ ද්වෛතයක් ඇතැයි සඳහන් වනවා විය හැකි ය. එසේ සඳහන් වුණ ද එය වැරදි ය. බොහෝ විට එය අමරතුංග මහතාගේ වැරදි වැටහීමක් විය හැකි ය.
අමරතුංග මහතාගේ අවබෝධයට අනුව පිහිටුම හා ගම්‍යතාව සම්බන්ධ ද්වෛතය ඇතිවන්නේ පුදුමාකාර අන්දමකට ය. ඔහුට අනුව ක්වොන්ටම් භෞතිකයෙන් අංශුවක පිහිටුම හා ගම්‍යතාව නිවැරදි ව සපයා දෙනු නො ලැබේ. එය විසින් සපයා දෙනු ලබන්නේ ඒවායේ සම්භාවිතාව පමණක් යැයි අමරතුංග මහතා කියයි. මේ වැරදි ප්‍රකාශ ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුවත් අප ඒ ගැන බොරු නො කිව යුතු ය. බොරු කියා පාඨකයා නොමග යවා අපේ පඬිබව ප්‍රදර්ශනය නොකළ යුතු ය.
ක්වොන්ටම් භෞතිකයෙහි කියැවෙන්නේ පිහිටුම හා ගම්‍යතාව වැනි රාශි එක්විට මැනගත නොහැකි බව ය. මෙවැනි රාශි අනුපූරක වෙයි. ඒ රාශි එක්විට සමගාමීව මැනගත නොහැකි වුවත් ඒවා වෙන වෙන ම මැනගත හැකි ය. මේ රාශි ක්වොන්ටම් භෞතිකයෙන් නිවැරදි ව සපයා දෙනු නොලැබෙන්නේ යැයි කීම විකාර ප්‍රකාශයකි. ක්වොන්ටම් භෞතිකයෙන් යමක් සැපයේ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අමරතුංග මහතා නොදන්නාකම නිසා විකාර කියවයි.
ක්වොන්ටම් භෞතිකයෙහි කියැවෙන්නේ යම් රාශියක් මැනගැනීමට පෙර ඒ රාශියෙහි අගය ගැන කිසිවක් නිශ්චිත ව කිව නොහැකි බව ය. ක්වොන්ටම් භෞතිකයට අනුව යම් රාශියක් මැනගැනීමට පෙර ඒ රාශියට අගයක් නැත. අමරතුංග මහතාවත් කාලෝ ෆොන්සේකා මහතාවත් පෙරටුගාමී පක්‍ෂයේ පුබුදු ජාගොඩ මහතාවත් වෙනත් බොහෝ අයවත් මේ කරුණ අවබෝධ කරගෙන නැත.
සම්භාව්‍ය භෞතිකයට අනුව, එනම් අපේ පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලට අනුව වස්තුවකට ඕනෑම අවස්ථාවක නිශ්චිත පිහිටුමක් හා ගම්‍යතාවක් ඇත. ගමන් කරන මෝටර රථයකට ඕනෑම අවස්ථාවක පිහිටුමක් මෙන් ම ප්‍රවේගයක් ද වෙයි. මෝටර් රථය පැයට කිලෝමීටර් පනහක වේගයෙන් (අපි පහසුව සඳහා ප්‍රවේගය හා ගම්‍යතාව අමතක කරමු) නුවර කොළඹ මාර්ගයේ ගලහ හන්දිය පසුකරන්නේ යැයි අපට කිව හැකි ය. නිව්ටෝනීය සම්භාව්‍ය යාන්ත්‍රිකයට අනුව ද එය එසේ ම ය. මෝටර් රථයට ඕනෑම අවස්ථාවක පිහිටුමක් (මේ අවස්ථාවේ දී ගලහ හන්දිය) හා වේගයක් (මේ අවස්ථාවේ දී පැයට කිලෝමීටර පනහ) සමගාමීව ඇත.
අපට ඒ පිහිටුම සහ වේගය මැනගත හැකි ය. එපමණක් නො වේ. මැන්නත් නොමැන්නත්, අප එතැන නොසිට පේරාදෙණියේ දන්තවෛද්‍ය පීටයෙහි හෝ පෞද්ගලික රෝහලක හෝ මුදල් උපයමින් සිටියත් අදාළ මෝටර රථයට ඒ අවස්ථාවෙහි ඒ නිශ්චිත පිහිටුමක් හා වේගයක් වෙයි. අප කරන්නේ අවශ්‍ර නම් ඒ අවස්ථාවෙහි ගලහ හන්දියට ගොස් මෝටර් රථයෙහි මැන්නත් නොමැන්නත් ඇති වේගය හා පිහිටුම මැනගැනීම (දැනගැනීම) පමණකි. අප පංචෙන්ද්‍රියවලට ගෝචර වන මහේක්‍ෂ අංශු සම්බන්ධයෙන් තත්ත්වය එසේ ය. මෙහි දී වැදගත් කරුණ වනුයේ නිරීක්‍ෂකයකු මැන්නත් නොමැන්නත්, නිරීක්‍ෂණය කළත් නොකළත් මහේක්‍ෂ අංශුවකට (වස්තුවකට) අදාළ ගුණ ඇති බව ය. නිරීක්‍ෂකයා කරන්නේ යම් ගුණයක කොහොමටත් තිබෙන අගයක් මැන ගැනීම ය. එමෙන් මහේක්‍ෂ අංශුවල පිහිටුම හා ගම්‍යතාව වැනි අනුපූරක ගුණ සමගාමී ව මැනගත හැකි ය.
එහෙත් ක්‍ෂුද්‍ර අංශු සම්බන්ධයෙන් කතන්දර ගෙතා ඇති ක්වොන්ටම් භෞතිකයෙහි කියැවෙන්නේ වෙනම ම කතාවකි. ක්‍ෂුද්‍ර අංශු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි ප්‍රධාන තේරුම ඒවා නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ නොහැකි ය යන්න ය. අන්වීක්‍ෂයක් වැනි කිසිම උපකරණයකින්වත් ඒ නිරීක්‍ෂණය කළ නො හැකි ය. මේ අංශුවල ගුණ මැනගත හැකි ය. එහෙත් යම් සීමා කිරීම්වලට යටත්ව ය.
කිසිම ක්‍ෂුද්‍ර අංශුවකට නිරීක්‍ෂකයකු විසින් මනිනු ලැබීමට, එනම් නිරීක්‍ෂණය කිරීමට, පෙර ගුණයක් නැත. එමෙන් ම ක්‍ෂුද්‍ර අංශුවක අනුපූරක ගුණ සමගාමීව මැනගත, නිරීක්‍ෂණය කළ නො හැකි ය. උදාහරණයක් ලෙස යමකු විසින් නිරීක්‍ෂණය කරනු ලැබීමට පෙර ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත වේගයක් (ගම්‍යතාවක්) නැත. ඉලෙක්ට්‍රෝනයේ වේගය මැනීමට පෙර, නිරීක්‍ෂණය කිරීමට පෙර, කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනයේ වේගය මැන්නොත් අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාව ඇති බව පමණ ය. ඉලෙක්ට්‍රෝනයෙහි වේගය මැනීමෙන් පසු එයට වේගයෙහි (ගම්‍යතාවෙහි) අනුපූරක ගුණය වූ පිහිටුමට නිශ්චිත අගයක් නැත. වෙනත් වචනවලින් කිවහොත් ඉලෙක්ට්‍රෝනයට නිශ්චිත පිහිටුමක් නැත. එහි දී කිවහැක්කේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටුම මැන්නොත් එයට අහවල් අගය ලැබීමට අහවල් සම්භාවිතාව තිබෙන බව ය. වෙනත් වචනවලින් කිවහොත් නිරීක්‍ෂකයා ඉලෙක්ට්‍රෝනය පිහිටා ඇත්තේ කොතනක දැයි දැනගැනීමට උත්සාහ කළහොත් එය අසවල් තැන පිහිටන බවට අසවල් සම්භාවිතාවක් ඇති බව පමණක් කිව හැකි ය.
මෙහි තේරුම නම් එක් අතකින් කිවහොත් ක්‍ෂුද්‍ර අංශුවකට ඒ ඒ ගුණ ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය. නිරීක්‍ෂකයා ඒ ඒ ගුණය නිරීක්‍ෂණය කිරීමට, මැනගැනීමට යෑම හේතුවෙන් ක්‍ෂුද්‍ර අංශුවට අදාළ ගුණය ලැබෙයි. මෙය පුබුදු ජාගොඩ මහතාට හෝ කාලෝ ෆොන්සේකා මහතාට හෝ වෙනත් කසිකබල් මාක්ස්වාදියකුට හෝ දිරවා ගත නො හැකි ය. ඔවුන්ගේ ලෝකය පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණවලට සීමා වෙයි. එසේත් නැත්නම් පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි සංසිද්ධිවලට සීමා වෙයි. එනම් ඊනියා පංචෙන්ද්‍රිය ලෝකය ගැන යැයි කියැවෙන බොරුවලට හා පට්ටපල් බොරුවලට පමණක් සීමා වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර නොවන ක්‍ෂුද්‍ර අංශුවල ගුණ පිළිබඳ ඔවුන්ට විශ්වාස කළ හැකි කතාවක් නැත. වරක් පුබුදු ජාගොඩ මහතා උජාරුවෙන් කියා සිටියේ මැනීමට පෙර වස්තුවකට වේගයක් ඇති බව කුඩා දරුවකුට වුවත් වැටහෙන බව ය. අපි ඔවුන්ට අනුකම්පා කරමු. එහෙත් අප එකක් කිව යුතු ය. ක්‍ෂුදු අංශු ගැන ක්වොන්ටම් භෞතිකයෙහි කියැවෙන කතාව මහේක්‍ෂ අංශු ගැන සම්භාව්‍ය භෞතිකයේ කියැවෙන කතාවෙන් වෙනස් ය. එහෙත් එයින් කියැවෙන්නේ එක කතාවක් අනෙක් කතාවට වඩා සත්‍ය බවවත් ඒ ඒ කතා ඒ ඒ ක්‍ෂෙත්‍රවල වලංගුවන සත්‍යය බවවත් නො වේ. කතා දෙක ම පට්ටපල් බොරු ය. ඒවා නිව්ටන්ගේ ප්ලෑන්ක් බෝර් අයින්ස්ටයින් ආදීන් ගෙතූ පට්ටපල් බොරු ය. ඒ කතාවල අනෙක් බොහෝ කතාවල නොමැති යම් සාර්ථකත්වයක් නම් ඇත. සාර්ථකත්වය යනු අනෙක් අය ඒත්තු ගැන්වීමට සමත්වීම මිස ඊනියා සත්‍යතාවක් නො වේ.
අංශුවක පිහිටුම සෙවීමට එය නිශ්චලව තිබිය යුතු යැයි ද, ගම්‍යතාව මැනීමට එය චලනය විය යුතු යැයි ද එහෙත් ඒ දෙකම එක විට නොසිදුවන පරස්පර විරෝධී ක්‍රියා බැවින් පිහිටුම හා ගම්‍යතාව නිවැරදිව මැනිය නොහැකි යැයි ද ඩී එස් සී උපාධිධාරි අමරතුංග මහතා පවසයි. ඔහු දන්නා ක්වොන්ටම් භෞතිකයක් නැති බව එයින් ම පැහැදිලි වෙයි. ඔහුගේ වටිනා කදයමන අනුව මහේක්‍ෂ වස්තුවක ද පිහිටුම හා ගම්‍යතාව නිවැරදිව මැනිය නො හැකි ය! අවාසනාවකට ලංකාවේ මහාචාර්යවරුන්ගෙන් බහුතරය මෙබඳු ය.
ඔහු තවදුරටත් කියන්නේ සම්භාව්‍ය භෞතිකය ක්වොන්ටම් භෞතිකයේ ප්‍රසාරණයක් හෝ විශාල පද්ධතියකට එය යෙදීමක් හෝ ලෙස සැලකිය හැකි බව ය. මෙය සමහරවිට අර පොතේ ඇති දෙයක් විය හැකි ය. ඒ කුමක් වුවත් එය එසේ නො වේ. එය එසේ නම් ක්වොන්ටම් භෞතිකයෙන් සම්භාව්‍ය භෞතිකය ලබාගන්නා ක්‍රමයක් තිබිය යුතු ය. ඒ ක්‍රමය කුමක් දැයි අමරතුංග මහාචාර්යවරයා පවසන්නේ ද? ක්වොන්ටම් භෞතිකය තේරුම් නොගෙන ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක් ඒ ඇසුරෙන් ගොඩනැගීමට කතාකරන්නේ කෙසේ ද? ජීවිතයේ අරුත එය විය හැකි ය!
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 11
විදුසර