Main Logo

Saturday 14 February 2015

මෛත්‍රිපා ලට ශ්‍රී ල නි ප පාලනය කිරීමට හැකි ද?

මෛත්‍රිපාලට ශ්‍රී ල නි ප පාලනය කිරීමට හැකි ද?

ශ්‍රී ල නි පක්‍ෂයේ විධායක සභාව විසින් ව්‍යවස්ථාවේ සුළු වගන්ති කිහිපයක් සංශෝධනය කරනු ලැබ ඇත. ඒ අනුව හිටපු අගමැතිවරු ද පක්‍ෂයේ අනුශාසකවරු වෙති. ඒ හිටපු ජනාධිපතිවරුන්ට අමතරව ය. හිටපු අගමැතිවරයකු ලෙස සැලකෙන දි මු ජයරත්න ද ඒ අනුව පක්‍ෂයේ අනුශාසකවරයෙක් වෙයි. එහෙත් නිත්‍යානුකූලව ඒ මහතා තවමත් අගමැති ය. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. කැබිනට් මණ්ඩලයක් පවතිද්දී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවනුයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙනස් වීම පමණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සමග කැබිනට් මණ්ඩලය අස්වීමක් හෝ විසුරුවා හැරීමක් හෝ සිදු නො වේ. අනෙක් අතට නව ජනාධිපති කැබිනට් මණ්ඩලය අස්කළේ ද නැත. එබැවින් නීත්‍යානුකූල ව දි මු ජයරත්න මහතා තවමත් අගමැති මිස හිටපු අගමැතිවරයකු නො වේ. ඔහුට පක්‍ෂ අනුශාසකත්වයක් දැරිය නො හැකි ය.

මේ සංශෝධනවලට අමතර ව ශ්‍රී ල නි පක්‍ෂයේ නිලතලවල ද වෙනසක් සිදු වී ඇත. ඩලස් අලහප්පෙරුම මහතා භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කෙරී ඇත. සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාතික සංවිධායක ලෙස පත්කෙරී ඇත. චන්ද්‍රිකා කුමාරතුංග නෝනා මැතිවරණ මෙහෙයුම් කමිටුවේ (එවැනි නමක් ඇති කමිටුවේ) සභාපතිනිය ලෙස පත්කෙරී ඇත. පක්‍ෂවල අනුශාසකවරු එවැනි කමිටු සභාපති තනතුරුවලට පත්කෙරෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් මෙයින් කියැවෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී නාමයෝජනා නොලැබෙන බව ය. ඒ මහතාට හිතවත් යැයි සැලකෙන කිසිවකුට ද නාම යෝජනා නොලැබෙනු ඇත. කමිටුවේ ලේකම් විධුර වික්‍රමනායක මහතාට එතරම් බලයක් නොලැබෙන බව පැහැදිලි ය. 

විධායක සභාව කුමන තීරණ ගත්තත් ශී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාව එයට එකඟ නොමැති බව ඔවුන්ගේ උද්ඝෝෂණයෙන් පැහැදිලි ය. විධායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබාගැනීම තීරණ ගැනීමේදී බලපාන නමුදු සමස්ත ලංකා කාරක සභාවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ප්‍රශ්නයක් නො වේ. පක්‍ෂයේ නව නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන් කවු දැයි යන්නවත් සමස්ත ලංකා කාරක සභාවට දැන්වීම නිමල් සිරිපාල විපක්‍ෂ නායක ප්‍රතික්‍ෂෙප කර ඇත. ඔහුගේ තර්කය වී ඇත්තේ ඒ කවුදැයි සමස්ත ලංකා කාරක සභාවට දැන්විය යුතු බව පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව ය. පක්‍ෂ ව්‍යවස්ථාවට මෙතරම් ගරුකරන විපක්‍ෂ නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ව දි මු ජයරත්න මහතා අගමැති ලෙස හඳුනාගැනීමට ඉදිරිපත් නොවන්නේ ඇයි? 

පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් ව නැත්තේ නිලධාරි මණ්ඩලය සමස්ත ලංකා කාරක සභාවට දැනුම් දිය යුතු බව ය. එහෙත් එසේ සඳහන් කිරීම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ ද නො වේ. අනෙක් අතට නායකයන් නිලධාරි මණ්ඩලය කවරේ දැයි ජනමාධ්‍යවලට දන්වා ඇත. එසේ දැන්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වේ ද? සමස්ත ලංකා කාරක සභාව පක්‍ෂයේ නිලධාරි මණ්ඩලය ගැන දැනගත යුත්තේ ජනමධ්‍යයෙනි. එය ඔවුන් ඒ ආකාරයෙන් දැනගන්නා බවත් එය පක්‍ෂයට කැළලක් බවත් සමස්ත ලංකා කාරක සභාවට අගෞරවයක් බවත් නායකයන්ට නො තේරෙන්නේ ද?

ඉතා පැහැදිලිව මෙහි දී සිදු වී ඇත්තේ නිලධාරි මණ්ඩලයේ ඇතැමුන් සමස්ත ලංකා කාරක සභාවෙන් එල්ලවන විරුද්ධත්වය බලහත්කාරයෙන් යටපත් කිරීමකි. මෛත්‍රිපාල  සිරිසේන ප්‍රධාන පක්‍ෂ නායකයන්ට මෙය දිගට ම කළ හැකි දෙයක් නොවන බව පැහැදිලි ය. අද මෛත්‍රිපාල නායකත්වය විසින් ශ්‍රී ල නි පක්‍ෂයේ ගෞරවය කෙළෙසා දමනු ලැබ ඇත. පක්‍ෂයේ ඇතැම් නිලධාරීන් ආණ්ඩුවේ ය. තවත් ඇතැමුන් විපක්‍ෂයේ ය. මෙය විගඩමක් ද? නායකයන් පක්‍ෂ සාමාජිකත්වය  සමග විගඩම් කළ යුතු නො වේ. 

මෛත්‍රිපාල සිිරිසේනත් නිමල් සිරිපාලත් තවත් ඇතැම් නායකයනුත් නොදැන සිටිය ද ශී්‍ර ල නි පක්‍ෂය උඩ සිට පහතට ක්‍රියාත්මක වන පක්‍ෂයක් නො වේ. පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා බලපාන්නේ පක්‍ෂයේ සුළු පිිරිසකට පමණ ය. අනෙක් අය පක්‍ෂයේ නායක නායිකාවන්ගේ යකඩ සපත්තුවට යටකළ හැකි නො වේ. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය වෙයි. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 14