Main Logo

Saturday 21 February 2015

මෛත්‍රිපාලට විකල්පයක් ඇත

මෛත්‍රිපාලට විකල්පයක් ඇත

පැහැදිලිව ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරයේ වෙනසක් සිදු වී ඇත. ඔහු අද හැසිරෙන්නේ චණ්ඩියකු විලසිනි. ඔහුූට ඔහු ගැන ම විශ්වාසයක් නැත. විසිනව වතාවක් ම පැරදීත් රනිල් සංයමයකින් ක්‍රියා කළේ ය. එහෙත් ඔහුට අද ඒ සංයමය නැත. තමා අගමැති වී  සිටින්නේ ව්‍යවස්ථා විරෝධී ව බව ඔහු දනියි. ජනවාරි 8 වැනි දා ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට මිස ආණ්ඩුවක් පිහිටුවීමට නොවන බව ඔහු දනියි. ඔහු අගමැති වූයේ පස්සා දොරෙනි. ඒ බව අපි මේ වෙබ් අඩවියේ පළ ව ී ඇති ලිපි කිහිපයකින් ම ප්‍රකාශ කළෙමු. රනිල්ට තම අගමැතිකම ගැන විශ්වාසයක් නැත. ඔහු චණ්ඩිකමෙන් ඒ රැකගැනීමට උත්සාහ කරයි. 

මේ ආණ්ඩුව අද ක්‍රියාකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති පරිද්දෙනි. ආණ්ඩුව ව්‍යවස්ථාව සත පහකට ගණන් නො ගනියි. රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරන්නේ ඔහු බලෙන් ලබාගත් අගමැතිකම තවදුරටත් තබා ගැනීමට ය. ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවට සහාය නොදුන්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ඔහු තර්ජනය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිවරයාට ය. ඇතැම් විට ළඟ දී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අගමැතිගේ උපදෙස් පරිදි ක්‍රියාකළ යුතු ය යනුවෙන් වගන්තියක් ඇතුළත් කිරීමට රනිල් සිතා සිටිනවා විය හැකි ය. එවැනි වගන්තියක් ඇතුළත් කිරීමට දැනට සහාය නොදීම ශ්‍රී ල නි පක්‍ෂයේ වගකීමක් වෙයි. අවශ්‍ය නම් පසුව එවැනි වගන්තියක් ඇතුළත් කරගත හැකි ය.

මෛත්‍රිපාල සිරිසේන කාගේ ඡන්දයෙන් ජනාධිපති වුවත් අද ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ය. ඔහුට පක්‍ෂය රැක ගැනීමට ද සිදුවෙයි. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු නො වේ. ආණ්ඩුවේ විපක්‍ෂ නායක වූ නිමල් සිරිපාල ජෝන් අමරතුංගට විරුද්ධ ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අප කියා සිටි පරිදි ම විවාදයට නොගැනීමට ආණ්ඩුව සමග එකඟතාවක් ඇතිකර ගෙන ඇති බව පෙනෙයි. ශ්‍රී ල නි පක්‍ෂයත් සංධානයේ අනෙක් පක්‍ෂත් වහාම ඒ විවාදයට ගැනීමට බලකළ යුතු ය.

එහි දී ආණ්ඩුව පරාජය කර ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපතිගෙන් ඉල්ලා සිටිය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා නොහැර තමන් යෝජනා කරන්නකු අගමැති තනතුරට පත්කරන ලෙස ය. එය මෛත්‍රිපාල රටට පොරොන්දු වී ඇති දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බාධාවක් නො වේ. කෙසේ වෙතත් දින සියයේ වැඩ සටහන නිසි අයුරෙන් ක්‍රියාත්මක නොවන බව ද මතක්කර දිය යුතු ය. 

පසුගිය දා නුගේගොඩ රැස් වූ ජනතාව කියා සිටින්නේ ශ්‍රී ල නි පක්‍ෂයට එ ජා ප විරෝධී වැඩ පිළිවෙළකට වහාම අවතීර්ණ වන ලෙස ය. තවදුරත් මේ නීති විරෝධී, සිංහල විරෝධී, යටත්විජිතවාදී බටහිර ගැති ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතු ය. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පිහිටා ආණ්ඩුව ගෙදර යැවීමට හැකි ය. පාර්ලිමේන්තුවට ආණ්ඩුව විසුරුවා හැරිය හැකි ය. එහෙත් රනිල්ට තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. ඔහු ඒ බලය ලබාගැනීමට උත්සාහ ගැනීමට පෙර ආණ්ඩුව විසුරුවා හැරිය යුතු ය.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 21