Main Logo

Wednesday 18 February 2015

ශ්‍රී වික්‍රම රාජසින්හ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසියයි

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි

ඉතිහාසයේ කියැවෙන ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අදට (2015 පෙබරවාරි 18) අවුරුදු දෙසියයක් පිරෙයි. මහින්ද රාජපක්‍ෂ ඉංගිරිසින්ට භාරදීමට ඇතැමුන් සැරසෙන්නේ කවදා ද? කෙසේ වෙතත් අද නුගේගොඩ පැවැත්වෙන රැස්වීම එය වැළැක්වීම සඳහා පමණක් නො වේ. ඔහු නැවතත් රාජ්‍ය නායකයා බවට පත්කර ගැනීම සඳහාත් ය. එහෙත් එයට ශ්‍රී ල නි පක්‍ෂයේ සහාය අවශ්‍ය වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය නොමැතිව ඒ කළ නො හැකි ය. වාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව ම පක්‍ෂය යනු ඉහළ නිලතල දරණ අය නොවන බව අපි දනිමු. අනෙක් අතට පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ කටයුතු කරන, සංධානය බිඳ ගෙන ගිය, අවුරුදු පහළොවක් පමණ ක්‍රියාකාරී දේශපාලනයේ නොසිට හිඩැසක් දැක එය පිරවීමට එන, අයට ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉඩක් ලැබේ යැයි ද සිතිය නො හැකි ය.

කවුරු කෙසේ කීවත් ඉතිහාසය ඒ ආකාරයෙන් ම නැවත නැවතත් සිදු නො වේ. අපට ඓතිහාසික සිදුවීම් අතර යම් සමානකම් දැකිය හැකි නමුත් අසමානකම් ද ඇති බව මොහොතකටවත් අමතක නොකළ යුතු ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දුර්වලකම් තිබී ඇත. එහෙත් මේ දුර්වලකම් ඇති කළෝ කවරහු ද? 1815 දී ඉංගිරිසින් මෙරට පාසල් ඇතිකර නො තිබණි. ඇතැම් විට ඇමරිකන් මිෂනාරිවරුන් යාපනයේ පාසලක් දෙකක් ඇතිකර තිබෙන්නට ඇත. එහෙත් ඉංගිරිසින්ට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තබා කොළඹ රාජකීය විද්‍යාලයවත් ඇතිකිරීමට තරම් කාලයක් නොතිබිණි. පොළොන්නරුවේ රාජකීය විද්‍යාලය ඇතිවීමට තිබුණේ ඉන් අවුරුදු එකසිය පනහකට පසුව ය. පාසල කුමක් වුවත් ලැබෙන්නේ බටහිරයන්ගේ අධ්‍යාපනයකි.

එහෙත් ඒ වන විටත් මෙරට ඉංගිරිසින්ගේ ඒජන්තයෝ ඔත්තුඔරකැවෝ  මෙරට සිටියෝ ය……. කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ඔවුන්ගේ නායකයා විය. එකල සිවිල් සේවය නොතිබුණත් ඔහු  එහි පුරෝගාමියෙක් විය. රජු දුසිරිතට පෙළඹවීමත් ඔහු රදළ නායකයන්ගෙන් ඈත්කර ඔවුනොවුන් කෙටවීමත් ඩොයිලි හා සගයන්ගේ කාර්යභාරය විය. රජුට විරුද්ධව නොයෙකුත් කටකතා පතුරවනු ලැබිණි. එකල මුහුණක් නැති මුහුණු පොත් නොතිබුණත් මුහුණක් නැති කටකතා ප්‍රචාරකයෝ සිටියහ. අද කටකතා සයිබර් අවකාශයෙහි පැතිර යයි. ප්‍රචාරය කෙසේ සිදුවුවත් කටකතා යනු කටකතා ම ය.

රදළ නායකයෝ රජු කෙරෙහි බිඳුණහ. ඔවුහු රජුට විරුද්ධ ව නැගී සිටියහ. ඉංගිරිසින්ගේ ආධාරයෙන් රජවීමට ඇතැම් නායකයෝ බලා සිටියහ. ඒ සියල්ලෝ ම එකතු වී රජු ඉංගිරිසින්ට භාරදුන්හ. මාර්තු දෙවැනි දා ඉංගිරිසිහු ගිවිසුමක් මගින් රට අත්පත් කරගත්හ. රදළ නායකයන්ට ලැබුණු රජකමක් ද නැත. අපට රජෙක් නැති විය. කංකුනාවේ හාමුදුරුවෝ අ්නේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ ආදී වශයෙන් කවි ලියූහ. 

එකළ වෙල්ලාලයන් සිටිය ද ක්‍රියාකාරී දේශපාලනයෙහි දෙමළ ජාතිවාදයක් නො වී ය. දෙමළ ජාතිවාදය 1833 දී නිල වශයෙන් ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබිණි. එය දෙමළ බෙදුම්වාදය බවටත් පසුව දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විණි. ඉංගිරිසිහු දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වයට විරුද්ධ ව යොදා ගත්හ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වූයේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කීිරීම නොව ඉංගිරිසින්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී ඊනියා සාමයක් පවත්වාගෙන යෑම ය. ඔවුන්ට දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම පිළිබඳ හැඟීමක්වත් නො වී ය. අද ඇතැම් ඇමතිවරුන් හා ඇමතිනියන් රනිල් ඊනියා යුද්ධයට තිත තබා සාමය ඇතිකිරීමට උත්සාහ ගත්තේ යැයි කියන්නේ ඊනියා සටන් විරාම ගිවිසුම් මගින් උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජතිවාදයට පාවා දීමට කටයුතු කිරීමට ය. 

මහින්ද රාජපක්‍ෂගේ දේශපාල නායකත්වයෙන් 2009 දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. එය බටහිරයන්ට විරුද්ධව ගොස් කෙරුණකි. තවමත් දෙමළ ජාතිවාදය හා දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට ඇත. රනිල්ටවත් චන්ද්‍රිකාටවත් මෛත්‍රීපාලටවත් එය කළ නො හැකි ය. මහින්දට එය කළ හැකි ය. එබැවින් ඉංගිරිසින්ගේ පාසල්වල ඉගෙන ගත් අයට අද මහින්ද ඉංගිරිසින්ට (බටහිරයන්ට) පාවා දීමට අවශ්‍ය වෙයි. ඔවුන්ට රජකම අවශ්‍ය නැති බව කීවත් බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සුවච කීකරු සේවක සාමාන්‍ය මිනිසුන් ලෙස සිටිමින් ජනාධිපතිකම් අගමැතිකම් කිරීමට අවශ්‍ය වෙයි. මහනුවර රදළයන්ට සිද වු පරිදි ඔවුන්ට ද කිසි දිනෙක රජකමක් තබා ස්වාධීන ජනාධිපතිකමක්වත් අගමැතිකමක්වත් නො ලැබෙනු ඇත. ඔවුන්ට කුමක් සිදුවූවත් අපට කමක් නැත. එහෙත් ඒ මගින් අප අපේ ස්වෛරීභාවය නැතිකර ගත යුතු නො වේ.

සයිබර් කටකතා මගින් බොරු  බේගල් පතුරවා ඊනියා මහින්ද රෙජිමය පැරදවීමට බටහිරයෝ සමත්වූහ. අපි මහින්ද බටහිරයන්ට පාවා දීමට බටහිරයන්ගේ නියෝජිතයන්ට ඉඩ නොදෙමු යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවා දී වසර දෙසියයක් ගතවන අද දිනයේ දී තීරණය කරමු. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 18