Main Logo

Thursday 26 February 2015

අමරතුංග මහතා සාපේක්ෂතාව පිළිගනියි (විදුසර ලිපියකි)

අමරතුංග මහතා සාපේක්‍ෂතාව පිළිගනියි

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ ම වූ මතයක්, අදහසක් ඉදිරිපත් කරන බවක් අපට කියයි. මේ අදහස ඊනියා විද්‍යාත්මක ප්‍රවාදයක් ද යන්න ඔහු අපට පවසන්නේ ද? එය පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණවලින් තහවුරු කළ හැකි ද? පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් තොර ලෝකයක් නැති කාලෝ ෆොන්සේකා මහතා අමරතුංග මහනතාගේ නව අදහස පිළිගන්නේ ද?
පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්ටපල් බොරුවක් වූ ගුරුත්වාකර්ෂණය ඇතැයි කියා පිළිගන්නා අමරතුංග මහතාට මෙන් ම කාලෝ ෆොන්සේකා (ඔහු තවමත් ඉරිදා රිවිර පුවත්පත මගින් හා විදුසර මගින් සංවාදයකට එළඹීමට කරන ලද ආරාධනා පිළිගෙන නැත. ඔහු ඒ පිළිබඳ ව නොදන්නේ ය කියා ගැලවීමට නො හැකි ය. මේ සෑම ලිපියක් ම ඔහුට ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් යැවෙයි. කාලෝ ෆොන්සේකා තම මිතුරකු ලවා ගිනි පෑගුවේ යැයි ප්‍රකාශ කර අභියෝග කළේ බෞද්ධ හා හින්දු සංස්කෘතිවලට ය. ඔහු කොරුන් ඇවිද්දවන්නේ යැයි කියන බිහිරි අයට ඇසෙන්නට සලස්වන්නේ යැයි කියන කතෝලික හා ක්‍රිස්තීියානි සංස්කෘතීන්ට අභියෝග නොකරයි. අප බිහිරන් හා අන්ධයන් නොවන බව පමණක් ඒ මහතාට කියා සිටිමු) මහතාට ද ඔවුන් මොන තරම් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන කතා කලත් ඇතැම් විට අමරතුංග මහතාගේ නව අදහස ඊනියා පරීක්‍ෂණවලින් තහවුරු කර ගත හැකි ද යන්න ප්‍රශ්නයක් නොවීමට ඉඩ ඇත. 

අමරතුංග මහතා පසුගිය 18 වැනි දා තම ලිපියෙන් කියා ඇති කරුණට අපි ප්‍රථමයෙන් මූලික අවධානයක් පමණක් කරමු. අපි ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට පසුව එළඹෙමු. එ මහතා තම ලිපියෙහි මෙසේ කියයි. “පළමුව ස්වාභාවික වරණය සහ ජාන විකෘති වීම සැලකිල්ලට භාජන කරමින් අප ගේ මතයක් වන (මෙය බටහිර අදහසක් නො වේ) ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව තව ටිකක් දුරට සාකච්ඡා කරමු. මා පවසා ඇත්තේ මිනිසා ජීවත් වන්නේ මිනිසා පිණිස නො ව විශ්වය පිණිස බව ය. මිනිසා ගෙන් විශ්වයට සිදු කෙරෙන සේවය ජාන වර්ධනයට වාහකයක් සැපයීම ය. ස්වාභාවික වරණය සහ ජාන විකෘති වීම යන සංකල්ප තුළින් මේ අදහස අධ්යයනය කිරීමට උත්සාහයක් ගත හැකි ය. ස්වාභාවික ජාන විකෘති වීම මගින් විශාල සංඛ්යාවක් ජාන සංසදයට (ජාන කිටුවට) එකතු වේ. මින් මිනිසාට යහපතක් සිදු වන ජාන ඇත්තේ ස්වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක් හෝ අයහපතක් හෝ සිදු නො කරන ජාන රාශියක් ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්රයෝජනයක් නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය.”

මෙලෙස තරමක් දිර්ඝ ලෙස උපුටා දැක්වීමට සිදුවීම ගැන කණගාටු වෙමි. එහෙත් එසේ නොමැතිව අමරතුංග මහතාගේ අවුල් සහගත අදහස් පාඨකයාට දැනගැනීමට සැලැස්විය හැකි නො වේ. ඔහු බොහෝ මහාචාර්යවරුන් මෙන් ම පටලැවුණු අදහස්වලින් යුක්ත වෙයි. ඔහු ජනවාරි 28 වැනි දා ලිපියෙන් ක්වෙන්ටම් භෞතිකයේ ක්‍ෂුද්‍ර අංශුවල ගුණ ද්‍රව්‍යයේ හා ශක්තියේ  ඊනියා ද්වෛතයකට අනුව තේරුම්ගත හැකි යැයි කීවේ ය. ඉන්පසු එවැනි අංශුවක පිහිටුම හා ගම්‍යතාව එකවිට මැනගැනීමට නොහැකි ඇයි දැයි තේරුම් කර දීමට ගොස් තම නොදන්නාකම හෙළි කළේ ය. ඒ පිළිබඳ ව පසුගිය ලිපිවල මා සඳහන් කර ඇත. යමකුගේ නොදන්නා බව එතරම් ප්‍රශ්නයක් නො වේ. එය ප්‍රශ්නයක් වන්නේ තමන් නොදන්නා දේ පඬියකු බව පෙන්වමින් අනෙක් අයට කියා දීමට තැත් කිරීමේ දී ය. එයටත් වඩා ප්‍රශ්නයක් වන්නේ තම අදහස් නිරවුල් නොවූ විට ය. 

අමරතුංග මහතා මේ අදහස් ලබාගන්නේ ජනප්‍රිය පොත්වලින් විය යුතු ය. බටහිර ගණිතය නොදන්නා ඔහුට හිල්බට් අවකාශයේ දෛශික, කාරක (operators) ආදිය මත පදනම් වී අනිශ්චය මූලධර්මය අපෝහනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව දැනුමක් නැත.  ද්‍රව්‍යය හා ශක්තිය අතර ඊනියා ද්වෛතයක් නැත. ද්‍රව්‍යය යනු එක්තරා අයුරකින් ගතහොත් ඇතැම් අංශු හා වස්තු සම්බන්ධයෙන් ගත්කල ඉංගිරිසි ස්ටෆ් (stuff) යන අරුතින් ගතහොත් දෙයකි. ශක්තිය යනු ද්‍රව්‍යයෙහි ගුණයකි. එවැනි ද්‍රව්‍යයට ස්කන්ධයක් ඇති අවස්ථාවල ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධයක් වෙයි. එය E= mc*2 යන්නෙන්  දැක්වෙයි. ජනප්‍රිය පොතෙහි කෙසේ කීවත් ඒ අර්ථයෙන් ද්‍රව්‍යය හා ශක්තිය අතර ද්වෛතයක් නැත. එහෙත් ශක්තිය හා ද්‍රව්‍යය යනු එකක්  නො වේ. 

මා ශක්තිය හා ද්‍රව්‍යය අතර අනිශ්චය මූල ධර්මය යෙදෙන ආකාරය පෙන්වන ලෙස අමරතුංග මහතාට අභියෝග කළේ ම ඒ එකක් නොවන නිසා ය. පිහිටුම හා ගම්‍යතාව අතර අනිශ්චය  මූල ධර්මය වලංගු වන්නේ ද ඒ රාශි දෙක එකක් ම නොවබ බැවිනි. ඒ අතර ඒකත්වයක් (unity) නැත. ඇතැමුන් සිතන්නේ E= mc*2  සඳහන් කිරීමෙන් මා ශක්තිය හා ද්‍රව්‍යය අතර එඩ්කත්වයක් ඇතැයි කියන බව ය. ඔවුන්ගේ නොදැනුම හා අනවබෝධය ගැන අපට කළ හැක්කේ කුමක් ද? 

ෆෝටෝනවලට නිශ්චලතා ස්කන්ධයක් (rest mass) නොමැත. එහෙත් එහි ශක්තියක් වෙයි. ෆෝටෝනවලට තරංගවල ගුණ ඇත. තරංගයෙහි සංඛ්‍යාතිය ν වන විට එහි ශක්තිය E = hν යනුවෙන් දැක්වෙයි. (මෙය නිවැරදිව යතුරු ලියනයෙන් ලිවීමේ අපහසුතාවක් වෙයි) . යමකුට අවශ්‍ය නම් යම් සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂව ෆෝටෝනයකට ස්කන්ධයක් පැණවිය හැකි ය. E = mc*2 හාE = hν  උපයෝගී කරගනිමින් යම් සමුද්දේශ රාමුවක ෆෝටෝනයක ස්කන්ධය hν/c*2  යැයි කිව හැකි ය. ෆෝටෝනයකට   ස්කන්ධයක් ඇත් ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. අපි එයට ස්කන්ධයක් ලබා දෙමු. 

ඉලෙක්ට්‍රෝනයක හෝ මහේක්‍ෂ අංශුවක හෝ ස්කන්ධය නියම කරන්නේ ද අප ය. ඒ සියල්ල අපේ නිර්මාණ ය. ෆෝටෝනයකට ද ස්කන්ධයක් නිර්මාණය කිරීමට, නියම කිරීමට අපට හැකි ය. ෆෝටෝනයක සංඛ්‍යාතිය සමුද්දේශ රාමුවෙන් රාමුවට වෙනස්වන බැවින් අප විසින් අර්ථදැක්වෙන ස්කන්ධය ද සමුද්දේශ රාමුවෙන් රාමුවට වෙනස් වෙයි.  ඒ කෙසේ වෙතත් ද්‍රව්‍යයෙහි හා ශක්තියෙහි ඊනියා ද්වෛතයක් නැත. ක්වෙන්ටම් භෞතිකයෙහි ද්වෛතයක් (duality) ඇත. ඒ තරංග හා අංශු අතර ය. ෆෝටෝනවලට ද අනෙක් ක්‍ෂුද්‍ර අංශුවලට ද තරංග මෙන් ම අංශු ගුණ ද වෙයි. ඒ බටහිරයන් දකින ආකාරය ය. සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ඒ මත රඳා පවතියි. 

ආලෝකයට තරංග ගුණ ඇතැයි තරංගවාදයෙන් කියැවෙයි. එහෙත් ප්‍රකාශවිද්‍යුත් ආචරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ ආලෝකයට අංශු ගුණ ද ඇති බව ය. ප්ලෑන්ක් තම ක්වොන්ටම් සංකල්පය ඉදිරිපත් කිරීමේ දී තරංග පැකැට්ටු ගැන කතා කළේ ය. ෆෝටෝන යන සංකල්පය ලැබෙන්නේ ආලෝකයේ ඇති අංශු ගුණය සංකල්පගත කිරීමේ දී ය. ආලෝකයට තරංග මෙන් ම අංශු ගුණ ඇති පරිදි ඉලෙක්ට්‍රෝන වැනි අංශුවලට තරංග ගුණ ඇත. ක්වොන්ටම් භෞතිකයට මේ තරංග හා අංශු අතර  ද්වෛතය වැදගත් විය.

ක්වොන්ටම් යාන්ත්‍රිකයේ මුල් අවධියෙහි තරංග යාන්ත්‍රිකය (wave mechanics) යන නම ද යොදා ගනු ලැබිණි. ෂ්රොඩිංගර් අංශු ක්‍ෂුද්‍ර අංශු සඳහා තරංග සමීකරණයක් ලිවී ය. තරංග යාන්ත්‍රිකය බිහි වූයේ එපරිදි ය. තරංග හා අංශු අතර එලෙස ද්වෛතයක් ඇති නමුත් ශක්තිය හා ද්‍රව්‍යය අතර ඇති ද්වෛතය කුමක් ද? අමරතුංග මහතාට ජනප්‍රිය පොතක් කියවා එයට පිළිතුරක් දිය හැකි ද? 

දැන් අපි මේ ලිපිය මුල දී සඳහන් කර ඇති උද්ධෘතය සලකමු. එය අමරතුංග මහතාගේ නව අදහසක් යැයි සිතමු. එය බටහිරයන්ගේ අදහසක් නො වේ යැයි ඒ මහතා පවසයි. අමරතුංග මහතාට අනුව ජීවිතයේ අරමුණ ජාන වර්ධනයට වාහකයක් සැපයීම ය. ඔහුට අනුව මිනිසා ජීවත්වන්නේ මිනිසා පිණිස නොව විශ්වය සඳහා ය. ස්වාභාවික ජාන විකෘතිවීම නිසා ජාන විශාල  සංඛ්‍යාවක් ජාන සංසදයට එකතුවන්නේ ය වැනි අදහසක් අමරතුංග මහතා පවසයි. එහෙත් ඔහු කියන්නේ එයම දැයි පැහැදිලි නැත්තේ ඔහුට නිරවුල් ව වාක්‍යයක් ලියා ගත නො හැකි බැවිනි. එහෙත් ඒ සමග ඔහු ලියා ඇති දේ සලකන්න. “මින් මිනිසාට යහපතක් සිදු වන ජාන ඇත්තේ ස්වල්පයකි. අයහපත් ජාන ඉවත් වන්නේ ය. යහපතක් හෝ අයහපතක් හෝ සිදු නො කරන ජාන රාශියක් ජාන සංසදයට එකතු වේ. සමහර රෝග ගෙන දෙන ජාන ද නැති නො වී පවතී. මේ ජාන ප්රයෝජනයක් නැතැයි නිගමනය කරන්නේ අප ය. ඒ අපට පෙනෙන විධිය ය.” 

අමරතුංග මහතා පළමුව මේ සියල්ල බටහිර විද්‍යාවේ දාර්ශනික පදනමට දායක වන්නේ කෙසේ දැයි විස්තර කළේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් ඔහු කියන්නේ විකෘතියෙන් ඇතිවන අයහපත් ජාන ඉවත් වන බව ය. එහෙත් ඒ සමග ම ඔහු කියන්නේ රෝග ගෙන දෙන ජාන ද සංසදයට එකතුවන බව ය. ඉන්පසු කියන්නේ මේ ජාන ප්‍රයෝජනයක් නැතැයි කියන්නේ අප බව ය. එසේ නම් ඇතැම් ජාන අයහපත් යැයි කියන්නේ ද අප විය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් වාස්තවික අයහපත් ජාන යනුවෙන් ජාන නැත. මේ අදහසට නම් මම එකඟ වෙමි. විශේෂයෙන් ම ඔහු මේ ජාන ප්‍රයොජනයක් නැතැයි කියන්නේ අප බවත් ඒ අපට පෙනෙන ආකාරය බවත් කියන විට මම ඔහු සමග එකඟ වෙමි. 

මේ සාපේක්‍ෂතා දර්ශනය මිස අනෙකක් නො වේ. අවුරුදු තිහක පමණ කාලයක් මා උත්සාහ දරන්නේ මේ සාපේක්‍ෂතා දර්ශනය අනෙක් අයට ඒත්තු ගැන්වීමට ය. අමරතුංග මහතා ඒ දර්ශනය සමග එකඟ වන විට මට ඇත්තේ සතුටකි.   එහෙත් ඔහු ඉන්පසුව තමන්ට සුපුරුදු ආකාරයට අවුල් සහගත අදහස් පවසයි. එය තරමක් දිරඝව සාකච්ඡා කළ යුතු ය. අපි එය පසුවට කල් දමමු.  

නලින් ද සිල්වා

2015 සැප්තැම්බර් 25