Main Logo

Sunday 8 February 2015

අයවැය , ශ්‍රී ල නි පක්‍ෂය හා ජනාධිපති

අයවැය, ශ්‍රී ල නි පක්‍ෂය  හා ජනාධිපති

ජනමාධ්‍යයෙන් ප්‍රචාරය කෙරුණු අන්දමට ආණ්ඩුවේ ඊනියා අතුරු අයවැයට පක්‍ෂව ඡන්ද 164ක් ද, විපක්‍ෂව ඡන්ද එකක් ද ලැබී ඇත. දහදෙනකු ඡන්දය දීමෙන් වැළකී ඇත. ජ වි පෙ ඡන්දය දෙන අවස්ථාවේ දී සභාගැබේ දකින්නට නො වී ය. ඒ අනුව ඊනියා අතුරු අයවැය වැඩි ඡන්ද 163කින් සම්මත වී ඇත. ඒ ඕනෑම ජනමාධ්‍යවේදියකුට පෙනෙන පැත්ත ය. බොහෝ ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නා පඬියන්ට ඉන් ඔබ්බට නොපෙනෙන නමුදු ඔවුහු ඊනියා දේශපාලන විචාරකයෝ ද වෙති. 

මේ අයවැය පිළිබඳ කාලය වෙබ් අඩවියෙහි  අයවැයේ පදනම හා එ ජා පක්‍ෂයේ ඊනියා ධනපති විරෝධය යන ලිපිවලින් කරුණු දක්වා ඇත්තෙමු. අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත වීම අරුමයක් නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රීපාල කණ්ඩායම හා චන්ද්‍රිකා කණ්ඩායම අයවැයට පක්‍ෂව ඡන්දය දෙන බව බොහෝ දෙනා දැන සිටියහ. ඔවුන්ට ඒ කණ්ඩායම් පිළිබඳ ව වර්ගීකරණයක් නොතිබෙන්නට ඇත. ඔවුන් සිතන්නට ඇත්තේ සාධාරණ ව (පොදුවේ වැනි අරුතකින්) ගත්කල ශ්‍රී ල නි පක්‍ෂය අයවැයට පක්‍ෂව ඡන්දය දෙනු ඇති බව ය. 

ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම තවමත් තරමක් දුරට ශක්තිමත් ය. මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපතිත්වයට පත්වූයේ වැරදි අර්ථකථනයක් මගිනි. ශ්‍රී ල නි පක්‍ෂයෙන් හෝ ඒ පක්‍ෂයේ නායකත්වයෙන් ඇති සංධානයකින් හෝ තරග කර ජනාධිපති වන තැනැත්තාට පක්‍ෂ සභාපතිත්වය හිමිවන බව පක්‍ෂ ව්‍යවස්ථාවෙහි සඳහන් වෙයි. වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත් ව ජනාධිපති වන්නකු සභාපති ධුරයට පත්වන්නේ යැයි ශ්‍රී ල නි ප ව්‍යවස්ථාවෙහි සඳහන් නො වෙයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වෙනත් පක්‍ෂයකින් පමණක් නො වේ. ඔහු ඉදිරිපත් වූයේ ශ්‍රි ල නි පක්‍ෂයට විරුද්ධව ය, සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාට විරුද්ධව ය. එවැන්නකු පක්‍ෂයේ සභාපති ධුරයට පත්කරනු ලැබුයේ විධායක ජනාධිපති ධුරයට පින්සිදු වන්නට ය.   

කෙසේ වෙතත් ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමක් පවතියි. මෛත්‍රිපාල සිරිසේන මහතාට එ ජා පක්‍ෂයේ බොහෝ අය ද කැමති වෙති. එයින් පැහැදිලි වන කරුණ නම් ඔහුගෙන් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කිසිම තර්ජනයක් නැති බව ය. ශ්‍රි ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායමේ බොහෝ දෙනා ලබන මහා මැතිවරණයේ දී නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටිති. පක්‍ෂයේ චන්ද්‍රිකා කණ්ඩායම දුර්වල ය. ඔවුන් අතර ඇත්තේ පැකේජ් කාක්කන්, සුදු නෙළුම් ගෙන තවලම් ගිය රෝස සමාජවාදීන් කිහිප දෙනෙකි. මේ කණ්ඩායම් දෙකට අමතර ව මහින්ද කණ්ඩායමක් හා කිසිවකුට විශේෂ පක්‍ෂපාතීත්වයක් නැති කණ්ඩායමක් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ අනාගතය රැඳී ඇත්තේ මේ පසුව කියන ලද කණ්ඩායම් මත ය. මේ කණ්ඩායම් හතරෙන් එකක්වත් සංවිධානය වී ඇති බවක් මෙයින් නො කියැවෙයි. ඔවුහු තවමත් අසංවිධිත වෙති. 

අයවැයට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් පක්‍ෂව ඡන්දය නොදුන්නහොත් පාරිලිමේන්තුව විසුරුවා හරින බවට සියුම් ගර්ජනයක් කළේ ය. අයවැය ඡන්දය විමසන දින ඔහු පාර්ලිමේන්තුවට පැමිණ එක් එක් ශ්‍රී ල නි ප මන්ත්‍රීවරයාට කතාකර ඇතැයි වාර්තා වෙයි. ඒ කතා පෙබරවාරි මාසයේ අකල් වැස්ස පිළිබඳ ව යැයි සිතිය නො හැකි ය. 

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගෙන් හැටදෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත. ඒ අතර ජනාධිපතිගේ විපක්‍ෂයේ නොවන විපක්‍ෂ මන්ත්‍රීවරු ද ජ වි පෙරමුණේ මන්ත්‍රීවරු ද එ ජා ප මන්ත්‍රීවරු පස්දෙනෙක් පමණ ද වෙති. ඉතිරි හතළිස් දෙනකුට අධික අයගෙන් බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයට අයත් අය බව පැහැදිලි ය. එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණේ තරුණ නොවන මන්ත්‍රින් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ අයවැයට පක්‍ෂව ඡන්දය දී තම සාමාජිකයන් පක්‍ෂ අත්හැර යෑම වැළැක්වීමට ය. අනෙක් පනස්දෙනකු පමණ කිනම් ආකාරයකින් වුවත් ඡන්දය දීමෙන් වැළකී ඇත්තේ එයට විපක්‍ෂව ඡන්දය දී ජනතාව තමන්ට ඡන්ද සහන හා පොරොන්දු දුන් අයවැයකට විපක්‍ෂ විණි ය යනුවෙන් ඔවුන්ට කිරීමට ඉඩ ඇති චෝදනාවෙන් නිදහස් වීමට විය යුතු ය. 

කෙසේ වෙතත් ජනාධිපතිගේ සියුම් ගර්ජන හමුවේ ද ඔහුට නොනැමෙන පිරිසක් ශ්‍රී ල නි පක්‍ෂයේ සිටින බව පැහැදිලි ය. ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව ඇතැම් විට ජනාධිපතිගේ ද අගමැතිගේ ද අනුමැතිය උඩ ගෙන එන්නක් විය හැකි ය. ඒ කුමක් වුවත් එයට මන්ත්‍රීවරුන් එකසිය දහහතර දෙනකු අත්සන් තබා ඇත. ඒ නරක ප්‍රවනතාවක් නො වේ. 

අද කළ යුතු ප්‍රධාන ම කාර්යය වනුයේ ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපති ග්‍රහණයෙන් මුදා ගැනීම ය. අයවැය ඡන්දයෙන් කියැවෙන්නේ (පඬියන්ගේ ඊනියා කියැවීම නො වේ) ඒ ගැන බලාපොරොත්තු තබාගත හැකි බව ය. සන්ධානයේ අපේක්‍ෂකයාට විරුද්ධව තරග කළ බටහිර යටත්විජිතවාදී නියෝජිතයකුට යටත්විජිත විරෝධී ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවීමට ඉඩ නොතැබිය යුතු ය.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 08