Main Logo

Monday 16 February 2015

කෙරීගෙ දෙමළ ජනයා මැරූ ප්‍රකාශය

කෙරීගේ දෙමළ ජනයා මැරූ ප්‍රකාශය

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ විදේශ ඇමති ලෙස පෙනී සිටින මංගල සමරවීර මුණගැසුනු අවස්ථාවේ ඇමරිකාව ලංකාව පිළිබඳ අනුගමනය කරන ප්‍රතිපත්තිය ද ඔවුන්ගේ ආකල්ප ද සුළුවෙන් වුවත් හෙළිදරවු කර ඇත. පැහැදිලිව ම කෙරීට අනුව ඇමරිකාව නීත්‍යානුකූල නොවන රනිල් සිරිසේන ආණ්ඩුවට කැමැත්තක් දක්වයි. ඇමරිකාව රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම පිළිබඳ සෘජුව නොවූවත් තම සතුට පළ කරයි.

එහෙත් එයටත් වඩා ඇමරිකාව තම බොරු ප්‍රචාර මගින් ලෝක ජනමතය ලංකාවට එරෙහිව හසුරුවන ආකාරය අප සියල්ලන්ට ම පෙනෙන්නට සලස්වයි. ජෝන් කෙරී පවසා ඇත්තේ දෙමළ ජනයාට එරෙහිව ලංකාව කළ යුද්ධයෙන් ඉවත් වී සාමකාමී ශ්‍රී ලංකාවක් දෙසට ගමන් කිරීම පිළිබඳ ව ජනාධිපති සිරිසේනගේ අදහස් පිළිබඳ ව කතා කිරීමට යන බව ය. ලංකාව දෙමළ ජනයාට එරෙහිව කරන ලද යුද්ධයක් නැත. මෙරට පසුගිය කාලයේ කිසිම යුද්ධයක් නො තිබිණි. අපි ඒ බව නිරන්තරයෙන් ජනතාවට මතක් කර දුන්නෙමු.

අපි යුද්ධය යන වචනය යොදා ගැනීම පිළිබඳව ම විරුද්ධ වීමු. අප කියා සිටියේ මෙරට පැවතියේ දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා මෙහෙයුමක් බව ය. එය යුද්ධයක් ලෙස හඳුන්වන්නේ නම් ජ වි පෙරමුණට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධ ලෙස සැලකිය යුතු යැයි අපි කීවෙමු. එහෙත් බොහෝ දෙනා එයට කන් නොදුන්හ. අද ද බොහෝ අයට අනුව පැවතියේ තිස් අවුරුදු යුද්ධයකි. එහෙත් එලෙස වැරදි වචන යොදා ගැනීමෙන් වාසි ලබන්නෝ අපට විරුද්ධ  අය වෙති. 

හමුදා මෙහෙයුම් කිසි විටෙකත් දෙමළ ජනයාට විරුද්ධව නො වී ය. හමුදා මෙහෙයුම් යන්න යොදාගත් සැණින් ඒ දෙමළ ජනයාට විරුද්ධව නොවිය හැකි බව පැහැදිලි වෙයි. එහෙත් යුද්ධය යන්නට විවිධ අර්ථකථන දිය හැකි ය. බටහිරයන් ද ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ හා ලබන දෙමළ ජාතිවාදීන් ද නිතර කියා සිටියේ යුද්ධයක් ගැන ය. එය දෙමළ ජනයාට විරුද්ධව කළ එකක් බව ද ඔවුහු බොහෝ විට කීහ. 

ඇමරිකානුවන් ඇතුළු බටහිරයන් දෙමළ ජනයාට එරෙහිව කරන ලද යුද්ධයක් ගැන කියන්නේ වැරදීමකින් නො වේ. ඔවුහු හිතා මතා ම ඒ මතය පතුරවති. දෙමළ ජනයා සමූලඝාතනය කිරීමක් ගැන දෙමළ ජාතික සංධානයටත් අනෙක් දෙමළ ජාතීිවාදීන්ටත් කතාකිරීමට හැකි වී ඇත්තේ දෙමළ ජනයාට එරෙහි ව කරන ලද ඊනියා යුද්ධයක් මත පදනම් වෙමිනි. ඊනියා යුද්ධාපරාධ ද එයින් ම ගලා එයි. 

ජෝන් කෙරීගේ අභිප්‍රාය පැහැදිලි ය. අවසාන ඉලක්කය බටහිරයන්ට අකීකරු වූ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධාපරාධ චෝදනා මත පදනම් ව දංගෙඩියට යැවීම ය. එය වැළැක්වීමට ජනතාව සංවිධානය වී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කළ යුතු ය.  කෙරී කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය. 

කෙරීගේ දෙමළ ජනයාට එරෙහිව කරන ලද යුද්ධය ගැන ප්‍රකාශයට මංගල සමරවීර පිිළිතුරු දිය යුතුව තිබිණි. එහෙත් තම ස්වාමිවරුන්ට එරෙහි ව යෑමට මංගලට ශක්තියක් නැත. හැරත් ඒ ප්‍රකාශයෙහි අවසන් ඉලක්කය ගැන මංගල සමරවීර විරුද්ධ වන්නේ යැයි සිතිය නො හැකි ය.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 16