Main Logo

Sunday 22 February 2015

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරයි

රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. සිදුවන්නේ නව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් මණ්ඩලයට එකතු වීම පමණකි. අගමැති වෙනස්වීමක් අස්වීමක් ගැන සඳහන් නොවන බැවින් අනෙක් කැබිනට් ඇමතිවරුන්ගේ ද වෙනසක් නො සිදුවෙයි. අදටත් නීත්‍යානුකූල අගමැති දි මු ජයරත්න ය. 

එසේ වුවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ නිකුත් කරන්නේ තමා ජනාධිපති ලෙස සලකමිනි. වාර්තා වී ඇති අන්දමට කුරුණෑගල පැවති රැස්වීමක දී ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මෙන් ඔහු පුවත්පත් කතුවරුන් මුණගැසීමක් නොකරන බව ය. මහින්ද රාජපක්‍ෂ මෙන් මුණගැසීමට රනිල් ට නොහැක්කේ ඔහු ජනාධිපති නොවන නිසා ය. එසේ කළ හැක්කේ මහින්දට පමණ ය. ඒ කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විටෙක තර්ජනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණක් බව ඔහු නො දන්නේ ද? 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියාකරන රනිල් ජාතිවාදය අවුස්සන්නේ යැයි කියමින් ඉරිදා දිවයින පුවත්පතටත් එහි කතෘ අනුර සොලමන්ස් මහතාටත් ඉරිදා රිවිර පුවත්පතටත් එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතාටත් තර්ජනය කර ඇත්තේ නමින් ම ය. රනිල් මේ අවසාන වතාව බවත් පුවත්පත් හිමියන් ගෙන්වා කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔහු කරන්නට යන්නේ කුමක් ද යන පැහැදිලි ය. 

මගේ ලිපි ඉරිදා දිවයින පුවත්පතෙහි පළ නොවීම පිළිබඳ මට කුකුසක් ඇති වී තිබිණි. අද පුවත්පත් නිල නොවන වාරණයකට යටත් ව ඇති බවට සැකයක් තිබිණි. රනිල්ගේ කුරුණෑගල ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. මේ පුවත්පත් ජාතිවාදය අවුස්සන්නේ ය යන්නෙන් රනිල් අදහස් කරන්නේ කුමක් ද? මේ පුවත්පත් දෙකම එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වැඩුණු පුවත්පත් ය. රණසිංහ මහතා මා දන්නා ආකාරයට එ ජා ප නිල පුවත්පත වූ සියරට පත්‍රයෙහි ද කතෘ ධුරය දැරී ය. 

එහෙත් රණසිංහ මහතා එ ජා පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියේ යැයි මම නො සිතමි. කෙසේ වෙතත් ඒ මහතාට එ ජා පක්‍ෂයට හා එහි නායකයන්ට නැති ජාතිකත්වයක් තිබුණේ ය. රිවිර හා දිවයින පුවත්පත්වල රණසිංහ මහතාගේ ජාතිකත්ව ලකුණ ඇත. මේ ජාතිකත්ව ලකුණ පිළිබඳ ව රනිල් වික්‍රමසිංහට එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් තවදුරටත් කරුණු දැනගත හැකි ය. අද රනිල් වික්‍රමසිංහ ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ මේ ජාතිකත්වය විය යුතු ය. හැකිනම් ජාතිවාදය යනු කුමක් දැයි නිර්වචනය කර ඒ පුවත්පත්වලින් ජාතිවාදයක් නිරූපණය වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිමි. 

මෙරට දෙමළ ජාතිවාදීන් ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිංහල විරෝධීන් ද කලක් තිස්සේ මේ පුවත්පත් ජාතිවාදී යැයි කියන බව අපි දනිමු. පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිට ම සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර එල්ල වන්නට විය. රනිල් ට පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වස සැමරීමට වුවමනාවක් 2005 දී වූ බව ද අපි දනිමු. එය මගහැරී ගියේ ඔහුට අගමැති පදවිය අහිමි වීම නිසා ය. 1815 ජනවාරි පෙබරවාරි 18 වැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. රනිල්ට සෘජුව ම අභියෝග නොකළත් මහින්ද රාජපක්‍ෂ අගමැති බවට පත්කිරීමේ සටන නුගේගොඩින් ඇරඹුණේ ඉන් හරියට ම අවුරුදු දෙසියයකට පසුව ය. මාර්තු 2 වැනි දාට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කර අවුරුදු දෙසියයක් පිරෙයි. ආණ්ඩුව එය සැමරීමට කල්පනා කරන්නේ ද?     

තමා නීත්‍යානුකූල ව  අගමැති නොවන බව දන්නා රනිල් අද හැසිරෙන්නේ  ආත්ම විශ්වාසයක් ඇතිව නො වේ. ඔහුට නුගේගොඩ රැස්වීම ප්‍රශ්නයක් වී ඇත් ද? ඒ කෙසේ වෙතත් සිංහලයන්ට දිනාගැනීමට ඇති අයිතිවාසිකම් බොහොමයකි. එ අයිතිවාසිකම් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට නැති වූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආක්‍රමණ සමග ය. 1505(6) දී ඇරඹී මේ ක්‍රියාදාමය 1833 ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමත් සමග සෘජු දේශපාලන තලයට පැමිණියේ ය. එදා පටන් ඉංගිරිසිහු සිංහල ජාතිකත්වයට එරෙහි ව දේශපාලනික වශයෙන්  දෙමළ ජාතිවාදය යොදාගත්හ. දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයෙහි දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ 2009 දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සඳහා මානුෂික මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. ඒ මෙයෙුම්වලට රනිල් ඇතුළු එ ජා ප නායකයෝ උසුළු විසුළු කළහ. තොප්පිගල කැලෑවක් බවත් අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යන බවත් ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවත් ඔවුන් කීවේ රණවිරුවන් අධෛර්යමත් කර දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමට ය. ඔවුන්ගේ කතාවලින් දෙමළ ජාතිවාදීහු ද ඒ ජාතිවාදය පිටුපස සිටින ඊනියා උගත්තු ද බටහිරයෝ ද උද්දාමයට පත්වූහ. 

සිංහලයන් බටහිරයන් විසින් නැතිකරනු ලැබූ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළ යුතු ය. එය සිංහලයන්ගේ අයිතියකි. එ පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයිය යුතු ය. සිංහලයන්ට එරෙහි ව දෙමළ ජාතිවාදීන් ගෙන යන ව්‍යාපාර ගැන සිංහලයන් දැනුවත් කළ යුතු ය. එය ජාතිවාදී ක්‍රියාවක් යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ද? ඉංගිරිසින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගත් ආකාරය මා දිවයින පුවත්පතට ලියූ ලිපිවලින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන පොතෙන් විස්තර කර ඇත. රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවා නැත්නම් රතන හිමියන්ගෙන් හෝ චම්පික රණවකගෙන් හෝ ඒ ඉල්ලා කියවිය හැකි ය. එසේත් නැත්නම් මට එරෙහිව එකල චම්පිකලා ඉදිරියට ගෙන ඒමට තැත්කල, අද එ ජා ප මාධ්‍ය ඒකකයක සිටින සුජිත් අක්කරවත්තගෙන් හෝ ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානගෙන් හෝ ඉල්ලා ගත හැකි ය. ඔවුන් සියල්ලන් ම ඒ පොත කියවා ඇත.  

රනිල්ලාගේ ජනාධිපති අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් ඡන්දවලින් ලැබුණේ ආසන්න වශයෙන් 42% කි.  ඒ ඊනියා යහපාලනයක් ගැන ගෙන යන ලද ප්‍රචාරයක් මගින් පඬියන් විසින් ජාතික යැයි  හැඳින්වෙන ප්‍රශ්නය යටපත් කර තිබිය දී ය, ඇමරිකාව අනෙක් රටවල තමන්ට විරුද්ධ නායකයන්ට එරෙහිව සයිබර් යුද්ධයක් යොදාගෙන ඇති අන්දමට මෙරට ද තරුණයන් නොමග යවමින් මහින්දට වීිරුද්ධව සයිබර් අවකාශය යොදාගැනීමෙන් පසුව ය. 

මීළඟ මැතිවරණයේ දී රනිල් පක්‍ෂ නායකයා ලෙස තරග කළහොත් එ ජා පක්‍ෂයට ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය ගැන අටුවා ටීකා ලිවීම මගේ අභිප්‍රාය නො වේ. රනිල් ඉරිදා රිවිරට හා ඉරිදා දිවයිනට තර්ජනය කරන්නේ ඒ පුවත්පත් සිංලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළහොත් තම ඡන්ද ප්‍රමාණය තවත් අඩුවේ යැයි සිතන බැවින් ද? සිංහලයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉඩ නොතැබීම යහපාලනය ද? මාධ්‍ය නිදහස ද? සිංහලයන්ට මාධ්‍ය නිදහස අහිමි ද? එය තිබිය යුත්තේ ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු දෙමළ ජාතිවාදින්ට පමණ ද? 

ජාතිවාදී වීමක් ගැන කියමින් ඒ පුවත්පත් දෙකට හා එහි කතුවරුන්ට තර්ජනය කරන  රනිල් උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා අමතක කර දමයි. ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ විග්නේස්වරන්ට ඊනියා ජාත්‍යන්තරයෙන් කණේ පහරක් ලැබී ඇති බව ය. කවුරු කණේ පහරක් දුන්නත් නැතත් විග්නේස්වරන්ට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි? රනිල් ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද යන ප්‍රශ්නය මැතිවරණයේ දී පුවත්පත් තහනමක් ඇතිව හෝ නැතිව හෝ රැව් පිළිරැව් නැගීම කිසිවකුටවත් වැළැක්විය හැකි නො වේ.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 22