කට බොරු කිවුවත් දිව බොරු නො කියයි
ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට අවශ්‍ය වන්නේ ස්වාභාවික වරණය ක්වොන්ටම් භෞතිකයට ඌනනය කිරීමට යැයි සිතිය හැකි ය. අප බොහෝ විට අමරතුංග මහතාට අවශ්‍ය මේ යැයි කීව ද ඒ ඔහුගේ අවශ්‍යතාවන් වන්නේ ඒ තම ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව නිසා ය. අමරතුංග මහතාට තබා කැනඩාව, ඇමරිකාව ආදී රටවල ජීවත්වන මෙරටින් ගොස් ඇති ඊනියා විද්‍යාඥයන්ටවත් සියල්ල දත් ගුරුවරුන්ටවත් වෙනත් පඬිවරුන්ටවත් තමන්ගේ ම වූ අදහස් නැත. ඔවුන් කරන්නේ බටහිරයන්ගේ අදහස් පුනරුච්චාරණය කිරීම පමණකි.
ක්වොන්ටම් භෞතිකය ගැන හාන්කවිසියක් නොදන්නා අමරතුංග මහතා ස්වාභාවික වරණය ක්වොන්ටම් භෞතිකයට ඌනනය කරන්නේ කෙසේ ද? අපි ගිය සතියේ ඔහුගේ ක්වොන්ටම් භෞතිකය පිළිබඳ නොදැනුමෙන් බිංදු මාත්‍රයක් අනාවරණය කළෙමු. අමරතුංග මහතා සිය ජනවාරි 28 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත. “ගැටලුව වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය සහ ක්වොන්ටම් යාන්ත්රණය එකතු කිසරීම ය. පෙර ලිපිවල කිව් පරිදි තන්තුවාදය (string theory) මේ සඳහා ඉදිරිපත් වූ එක් මතවාදයක් විය. එහෙත් තන්තුවාදය නොයෙකුත් ගැටලු විසඳුව ද පොදු මතවාදයක් දක්වා වර්ධනය වූයේ නැත. සම්භාව්ය මතවාද සහ ක්වොන්ටම් මතවාද අතර ඇති ප්රධාන වෙනස වන්නේ ක්වොන්ටම් සංසක්තය (quantum coherence) වන්නේ ය. ක්වොන්ටම් සංසක්තය මහේක්ෂ්ය (macroscopic) පරිමාණවල දක්නට නො ලැබේ. එහෙත් මහේක්ෂ්ය ගුණාංගවලට වගකිව යුත්තේ කුඩා අංශුවල හැසිරීම බව අමතක නො කළ යුතුය…………. එම නිසා ජීව පරිණාමයේ යාන්ත්රණය වන ස්වාභාවික වරණය පොදු මතවාදය යටතට ගැනීමට නම් පළමුව ඊට පාදක වන ක්වොන්ටම් යාන්ත්රණය වටහාගත යුතු ය. එම නිසා ජීව පරිණාමයේ යාන්ත්රණය වන ස්වාභාවික වරණය පොදු මතවාදය යටතට ගැනීමට නම් පළමුව ඊට පාදක වන ක්වොන්ටම් යාන්ත්රණය වටහාගත යුතු ය.”
ක්වොන්ටම් භෞතිකය හා සම්භාව්‍ය භෞතිකය අතර ප්‍රධාන වෙනස ක්වොන්ටම් සංසක්තය යැයි අමරතුංග මහතා දැනමුත්තකු විලසින් කියයි. එමෙන් ම ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදය යටතට ගැනීමට (තේරුමක් නැති වචන - සියල්ලෙහි ප්‍රවාදයෙන් තේරුම් ගැනීමට) ක්වොන්ටම් යාන්ත්‍රණය (මෙය යාන්ත්‍රිකය යනුවෙන් නිවැරදි විය යුතු ය) වටහාගත යුතු යැයි අමරතුංග මහතා කියයි. අනෙක් අයට කීමට පෙර අමරතුංග මහතා ක්වොන්ටම් භෞතිකය වටහාගත යුතු ය. අමරතුංග මහතා කරුණාකර මේ සංසක්තය යනු කුමක් දැයි පැහැදිලි කරන්නේ ද? අමරතුංග මහතා පරිවර්තනය කරන පොතේ coherence යන වචනය තිබෙනවා නිසැක ය. ඔහු එයට සිංහල වචනයක් ශබ්ද කෝෂයකින් බලා ලියයි. එහෙත් එපමණකින් ඔහුටවත් පාඨකයනටවත් අවබෝධයක් ලැබේ ද? මහේක්‍ෂ අංශු සෑදී ඇත්තේ ක්‍ෂුද්‍ර අංශුවලින් වුවත් ක්‍ෂුද්‍ර අංශුවල ඇති සංසක්තය වැනි ගුණ මහේක්‍ෂ අංශුවල නැත්තේ ඇයි? කෙටියෙන් කිවහොත් බටහිර (භෞතික) විද්‍යාවට මහේක්‍ෂ අංශුවල ගුණ ක්‍ෂුද්‍ර අංශුවල ගුණවලින් තේරුම් කර දිය නො හැකි ය. වෙනත් වචනවලින් කිවහොත් බටහිර විද්‍යාවට සම්භාව්‍ය භෞතිකය ක්වොන්ටම් භෞතිකයට ඌනනය කළ නො හැකි ය! බටහිර විද්‍යාවේ ඌනනය එබඳු ය.
ක්වොන්ටම් භෞතිකය යනුවෙන් බටහිර විද්‍යාඥයන් අදහස් ඉදිරිපත් කර ඇත්තේ, එනම් කතාවක් ගොතා ඇත්තේ කූන්ගේ අදහසක් අනුව යතහොත් ක්වොන්ටම් සුසමාදර්ශයෙහි (paradigm) ය. බටහිරයන් ගේ සම්භාව්‍ය භෞතිකය පදනම් වන්නේ නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ය. මේ සුසමාදර්ශ දෙකකි. තාපගතික සුසමාදර්ශය තවත් එකකි. මේ විවිධ සුසමාදර්ශවල භෞතිකයෙහි ම නිර්මාණය වූ ප්‍රවාද එකිනෙකට ඌනනය කළ හැකි නො වේ. තාපගතිකයෙහි නියම නිව්ටෝනීය චලිත නියමවලින් ලබාගත නො හැකි ය.
බටහිර විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ අදහස් ය. ඔවුන් ගොතන්නේ කතන්දර ය. සෘජු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ දැනුම් නැති බටහිර විද්‍යාඥයන්ට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් තේරුම් ගැනීම සඳහා වක්‍ර කතන්දර ගෙතීමට සිදුවෙයි. ඒ අදහස් මිස වෙනත් දෙයක් නො වේ. මේ අදහස් කාලෝ ෆොන්සේකා මහතා හා පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන පමණක් විශ්වාස කරන අනෙක් පඬියන් ද වටහා නොගත්ත ද පංචෙන්ද්‍රිය ගෝචර නො වෙයි. ඒ සඳහා හොඳම උදාහරණය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ සංකල්පය ය. එය පංචෙන්ද්‍රි”ය ගෝචර නො වේ. මේ පඬියන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන්නේ කෙසේ ද?
ඔවුන් ඒ සඳහා පිළිතුරක් කවදා වුවත් දේවිය යන බලාපොරොත්තුව තබාගෙන අපි අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඇත්තේ අදහස් බව කියන ජනවාරි 28 වැනි දා ලිපියට නැවතත් යමු. ඔහු එහි දී මෙසේ කියයි. “නිශ්චිත සම්මිඤ්ජන මාර්ග එකක් වෙනුවට කිහිපයක් ඇති බව ද ඒවා එකතු ව පුනීලයක හැඩය ගන්නා බව ද පසුව ඉදිරිපත් වූ අදහසක් වේ. මේවා නිගමනය වන්නේ ප්රොඅටීන පවතින පරිසරයට අනුකූලව ය. මේ අදහස් මුලින් ම ඉදිරිපත් කරන ලද්දේ කේ. ඒ. ඩිල් (K A Dill 1995) නමැති විද්යාඥයා විසිනි. කෙසේ නමුත් මේ කිසිවක් අවසාන වශයෙන් නිරාකරණය වී නැත. මෑතක දී කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ ප්රොඅටීන සම්මිඤ්ජනය සඳහා වෙනස් වූ නිශ්චිත මාර්ග බොහෝ ප්රමාණයක් තිබිය හැකි බවත්, මාර්ගය නිගමනය වන්නේ ප්රොඅටීනවල ව්යුහයේ ඇමයිනෝ අම්ල ඇමිණී ඇති අනුක්රමය සහ එය අවට පරිසරයේ ගුණාංගවලින් ඇති වන බලපෑම්වලට අනුකූලව බවත් ය.”
අමරතුංග මහතා ලියන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ය. ඔහුට අවශ්‍ය සියල්ලෙහි ප්‍රවාදයෙන් සියල්ල තේරුම් ගැනීම ය. එහෙත් ඔහුට ඒ සඳහා සාක්‍ෂි නැත. ඔහුට අනුව ම වුව ද ඉහත සඳහන් ඡෙදයට අනුව බටහිර විද්‍යාවෙි දී කෙරෙන්නේ යම් සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා අදහස් ඉදිරිපත් කිරීම ය. මේ අදහස් යනු හිතළු මිස අන් කිසිවක් නො වේ. ඒ සෘජු පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් නො වේ. මේ හිතළු අමරතුංග මහතා කියන ආකාරයට අවසාන වශයෙන් නිරාකරණය විය යුතු ය. ඒ නිරාකරණය කුමක් දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් අමරතුංග මහතාට වුව ද බටහිර විද්‍යාව යනු අදහස්, හිතළු, පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්ටපල් බොරු බව පිළිගැනීමට සිදුවෙයි. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ යනුවෙන් සඳහන් වන්නේ මෙවැනි අවස්ථාවල දී ය.
මෑතක දී කරන ලද පර්යේෂණ ගැන අමරතුංග මහතා සඳහන් කරයි. එහෙත් බටහිර විද්‍යාඥයන්ට තම හිතළු කෙසේවත් පර්යේෂණවලට භාජනය කළ නො හැකි ය. හිතළු වියුක්ත වෙයි (අමරතුංග මහතා තවමත් වියුක්ත යනු කුමක් දැයි නො දනියි). සෑම පර්යේෂණයක් ම සංයුක්ත වෙයි. වියුක්ත අදහස් සංයුක්ත පර්යේෂණවලින් නිදර්ශනය කළ නො හැකි ය. අනෙක් අතට අප කිහිප වතාවක් ම කියා ඇත්තේ ද ප්‍රස්තුතය සත්‍යය යන්නෙන් හා ප ප්‍රස්තුතයෙන් ප්‍රස්තුතය ද නිගමනය කළ හැකි ය යන්නෙන් ප ප්‍රස්තුතය සත්‍ය බව නිගමනය නො වේ ය යන්නය. අමරතුංග මහතාටවත් කාලෝ ෆොන්සේකා මහතාටවත් පුබුදු ජාගොඩ මහතාටවත් වෙනත් ඊනියා භෞතිකවාදයකුටවත් ඉහත සඳහන් කරුණු තේරුම් ගත හැකි ද?
අමරතුංග මහතා තම පෙබරවාරි 04 වැනි දා ලිපිය අරඹන්නේ මෙසේ ය. “පොදු මතවාදයක් (theory of everything) නිර්මාණය කිරීමේ දී සාධාරණ සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් මතවාදය එකතු කිරීමේ අසීරුතාව හැරෙන්නට අලුතින් මතු වී ඇති මතවාද එය තුළට ගැනීමේ අවශ්යතාව පිළිබඳව ද මීට පෙර ලිපිවල සාකච්ඡා කර ඇත. අලුතින් මතු වී ඇති එක් මතවාදයක් වන්නේ ජීව පරිණාමයේ එන ස්වාභාවික වරණයයි (natural selection).” අමරතුංග මහතා තරමක් කල්ගත වී වුවත් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය යන්න වෙනුවට සාධාරණ සාපේක්‍ෂතාවාදය යන්න යොදා ගැනීම පිළිබඳ ව සතුටු වෙමි. අනෙක් කරුණුවලදීත් ඒ මහතා තම වැරදි නිවැරදි කරගන්නේ නම් මැනවි.
එහෙත් මේ වාක්‍ය දෙක ගැන වාක්‍ය කිහිපයක් ලිවිය යුතු ය. සාධාරණ සාපේක්‍ෂතාවාදය ලොවට ඉදිරිපත් වූයේ අවුරුදු සියයකට පෙර 1915 දී ය. ක්වොන්ටම් භෞතිකය හයිසන්බර්ග් ෂ්රොඩිංගර් වැන්නන් අතින් සූත්‍රගත කෙරුණේ එයටත් පසුව ය. එහෙත් ස්වාභාවික වරණය ඩාවින් විසින් ගොතනු ලැබුයේ එයට පෙර ය. එබැවින් අමරතුංග මහතා ඉදිරිපත් කරන ඇතැම් කරුණු වැරදි ය. එසේ වුවත් සාධාරණ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය එකතු කර එක් ප්‍රවාදයක් බවට පත්කිරීමට මෙතෙක් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇත.
අමරතුංග මහතා නොදැන ඉදිරිපත් කරුණ (එය ද ඒ මහතාගේ අදහසක් නොව බටහිර විද්‍යාඥයන්ගේ අදහසකි) බටහිර විද්‍යාඥයන්ගේ සියල්ලෙහි ප්‍රවාද සිහිනයට එරෙහි ව යයි. ස්වාභාවික වරණය ක්වොන්ටම් ප්‍රවාදයට පෙර ඉදිරිපත් වුවත් අපට සැලකිල්ලට ගැනීමට ඇත්තේ තව පසුව ඉදිරිපත් කෙරෙන ප්‍රවාද ය. ඉදිරියේ දී බටහිර විද්‍යාඥයන් ගොතන ප්‍රවාද කිසිවකු දන්නේ යැයි කිව නො හැකි ය.
අද සියල්ලෙහි ප්‍රවාදයෙන් අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යාවේ මෙතෙක් ගොතා ඇති ප්‍රවාද සංසිද්ධි තේරුම් කිරීමට ඇති එක් ප්‍රවාදයකි. එවැනි ප්‍රවාදයක් කිසිවකු හෙට ඉදිරිපත් කළේ (ගෙතුවේ) යැයි සිතන්න. එහෙත් එයින් කියැවෙන්නේ මෙයින් මතු බටහිර විද්‍යාඥයන් පසුව අත්දකින පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට නව හිතළු හෙවත් පට්ටපල් බොරු ඉදිරිපත් නොකරනු ඇතැයි යන්න ද? ඒ පට්ටපල් බොරු යම් සාර්ථකත්වයක් ලබා ප්‍රවාද ලෙස බටහිර විද්‍යාඥයන් විසිින් පිළිගැනීමක් නොකෙරෙන බව ද? ඉදිරිපත් කිරීමට ඇති සියළු ප්‍රවාද දැන් ඉදිරිපත් වී ඇති බවක් අමරතුංග මහතා කියන්නේ ද? එසේ නැත්නම් අමරතුංග මහතා හා ඔහුගේ බටහිර ස්වාමීන් කරන්නේ කුමක් ද?
දහනවවැනි සියවසේ තිබූ ප්‍රවාද පමණක් ගෙන ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක් ගෙතීමට කිසිවකු ඉදිරිපත් වී යැයි සිතන්න. එය සාර්ථක වී නම් ඒ සියල්ලෙහි ප්‍රවාදයට එකල නොතිබූ සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය තේරුම් කිරීමට නොහැකි වනු ඇත. එවිට විසිවැනි සියවසේ දී අර දහනව වැනි සියවසෙහි ඊනියා සියල්ලෙහි ප්‍රවාදයට සිදුවන්නේ කුමක් ද? සියල්ලෙහි ප්‍රවාදයක් ගෙතීමට පළමුව බටහිර විද්‍යාඥයන් ගොතන අනෙක් ප්‍රවාද, සංසිද්ධි සියල්ල දැනගෙන සිටිය යුතු ය. එය කිසි දා සිදුවන දෙයක් නො වේ. මෙහි දී අපට ගර්ඩ්ල් ප්‍රමේයය ද සිහිපත් වෙයි.
නලින් ද සිල්වා
2015 පෙබරවාරි 18