Main Logo

Showing posts with label ආර්ථික. Show all posts
Showing posts with label ආර්ථික. Show all posts

Friday, 3 May 2013

කන්ට ජීවත් වෙනවාද ජීවත් වෙන්ට කනවාද?

දෙදහස් එකේදී නිව් යෝක් නගරයට එල්ලවුනු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටේ යැයි එරටුන්ට බියක් ඇතිවිනි. එසේවීම වලකා ලන්නට ඊට පසු දින සිටම සාප්පු සවාරි යන ලෙස එවකට ජනාධිපතිවරයාව සිටි ජෝර්ජ් බුෂ් විසින් ඇමරිකානුවන්ට උපදෙස් දුන්නා යැයි කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් අද වැටී ඇති ඇමරිකානු ආර්ථිකය ගොඩගැනීම සඳහා පරිභෝජනය වැඩි කල යුතුයැයි අද එරට ආර්ථික විශේෂඥයෝම පවසති. මීට කලකට ඉහතදී ඇමරිකානු රජය විසින් එරට වැසියන්ට මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කලේ බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය ගොඩ ගන්නටය. එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්ට නැත. කෙසේමුත් ඔවුන්ගේ තර්කය මිනිසුන් වැඩි වැඩියෙන් බඩු මිලදී ගන්නාවිට නිෂ්පාදනය වැඩිවන බවත් ඉන් රැකියා නිර්මාණය වන බවත් ඒ හරහා නැවත පරිභෝජනය වැඩි වන බවත්ය. බටහිර ආර්ථික විද්‍යාවට අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ ඒ අයුරිනි. නමුත් මිනිසුන් සමහර විට බාහිර බලපෑම් නැතුවත් තම කැමැත්තෙන්ම පරිභෝජනය අඩු කර ගනිති. මිනිසුන් ස්වාභාවයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් ගන්නේ එය ඔවුන්ට නිවැරදි දෙයක් සේ පෙනෙන නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට එය සෘනාත්මක වන්නේ ඇයි? මිනිසුන්ගේ ස්වාභාවික තීරණ මුදල් ආධාර දී වෙනස් කල යුත්තේ ඇයි? වැටෙන ආර්ථිකය කෘතිමව ගොඩදැමිය යුතු යැයි කියන්නේ නම් බටහිර ආර්ථික විද්‍යාව විස්තර කරන්නේ මිනිසුන්ගේ සැබෑ ස්වභාවයක් විය නොහැකිය.

බටහිර අර්ථික විද්‍යාව පදනම් වන්නේ මිනිසා ස්වභාවයෙන්ම සීමාවක් නැතිව කම් සැප හඹා යැයි යන උපකල්පණය මතය. නමුත් මේ කථාව අමූලික බොරුවකි. පෘතග්ජන මිනිසුන් කම් සැපෙහි ඇලෙන බව සත්‍යයකි. නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයට සහජයෙන් බලපාන අභ්‍යන්තර බලද ඇත. මේ අභ්‍යන්තර බල සංස්කෘතියෙන් මෙන්ම සංසාර ගමනේ අත්දැකීම තුලින්ද මිනිසුන් විසින් ලබා ගත් දැනුම්ය. ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් විය හැකි මේ අභ්‍යන්තර බල මඟින් මිනිසාගේ කම් සැප හඹා යාමට ස්වභාවයෙන්ම සීමා වැටී ඇත. මිනිසුන්ට සමාජයක් හැටියට ජීවත්විය හැක්කේ මෙවැනි සීමාවන් පවතින නිසාය. එවැනි සීමාවන් නැති මිනිස් තබා කිසිම තිරිසන් සමාජයක්වත් මිහිපිට තිබිය නොහැකිය. කෙලවරක් නැතිව ඉන්ද්‍රීයන් පිනවීමට යාම දුකක් බව නොවැටහුනත් බටහිර සමාජයේ පවා මිනිසුන්ට යම් යම් සීමා මායිම් ඇත. සීමාවක් නැතිව කම් සැප හඹා යෑම ස්වභාවික මිනිස් ගතියක් යැයි සලකන්නේ විශේෂයෙන්ම බටහිර උගත් ලිබරල් මත දරන මිනිසුන්ය. බටහිර ආර්ථික විද්‍යාවේ පදනම මේ බොරුවය. බටහිර ආර්ථික විද්‍යාවේ සැලකෙන ඊනියා මිනිසා අභ්‍යන්තර සීමා නැති වියුක්ත මිනිසෙකි. නමුත් සැබෑ මිනිසුන් එසේ නොවේ. 

සැබෑ මිනිසුන් දිගින් දිගටම පරිභෝජනය නොකරන්නේ බාහිර බලපෑම් වලට අමතරව ඔවුන්ට ඒ ඒ සංස්කෘතියට අනුව ඇති අභ්‍යන්තර බලපෑම්ද ඇති නිසාය. මිනිසුන් නිරායාසයෙන්ම පරිභෝජනය අඩු කිරීමට ඒ අභ්‍යන්තර බල බලපායි. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම මත පවත්වාගෙන යන බටහිර ආර්ථික ක්‍රමය විටින් විට කඩා වැටෙන්නේ මිනිසුන්ට ඇති මේ අභ්‍යන්තර සීමාද හේතු කොට ගෙනය. බාහිර බල එනම් මුදල් ආධාර දී සාප්පු යන්නට දිරිමත් කල පසුවත් වැටුනු ඇමරිකානු ආර්ථිකය ගොඩ ගන්නට නොහැකි වී ඇත්තේ මිනිසුන්ට බලපාන අභ්‍යන්තර බලද ඇති නිසාය. නමුත් බටහිර ආර්ථික විද්‍යාවට මිනිසුන්ගේ ස්වභාවික ක්‍රියා කාරකම් තේරුම්ගත නොහැකිය. එය එසේ වී ඇත්තේ මොන හේතුවක් නිසාවත් නොව බටහිර ආර්ථික විද්‍යාවේ පදනම වන මිනිසා ස්වභාවිකවම සීමාවක් නැතිව කම් සැප හඹා යයි යන උපකල්පණයම බොරුවක් වන බැවිනි. 

කෙසේ නමුත් සිංහල බෞද්ධ විනත්නයට අනුව පරිභෝජනය දිගින් දිගටම වැඩි නොකලොත් කඩා වැටෙනවා නම් ඒ ආර්ථික ක්‍රමයේ යම් වරදක් තිබිය යුතුය. මන්ද එවැනි ආර්ථිකයක් රැක ගත හැක්කේ කන්ට ජීවත්වන සමාජයකට මිස ජීවත් වෙන්ට කන සමාජයකට නොවෙන බැවිනි. පරමාදර්ශී බෞද්ධ සමාජයක් ජීවත් වෙන්ට කන සමාජයක් විය යුතුය. සීමාවක් නැතිව පරිභෝජනය කිරීම බෞද්ධ සමාජයකට නොගැලපේ. බෞද්ධ ආර්ථික ක්‍රමයක පදනම විය යුත්තේ කම් සැප හඹා යෑමට එරෙහිව අභ්‍යන්තරයෙන් සීමා පමුණුවා ගැනීම මිනිස් ස්වභාවය යන්නය. එනම් සංවරයෙන් පරිභෝජනය කිරීම මිනිස් ස්වභාවයයි යන්නය. අපට ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟාගත හැක්කේ ඒ පදනම මත බිහිවුනු ආර්ථික ක්‍රමයක් තුල පමණි. ජීවත් වෙන්ට කන සමාජයක මිනිස්සු පරිභෝජනය කරන්නේ ඇති පමණටය. ඔවුහු අත මිට හිඟ වෙන විට අර පරිස්සමෙන් පරිභෝජනය කරන අතර අත මිට සරු වන විට අනාගතය සඳහා ඉතිරි කරති. ඔවුහු කිසි විටෙකත් ණයට නොකති. බෞද්ධ ආර්ථිකයක ස්වභාවික ගති ලක්‍ෂණ මේවාය. එවැනි ආර්ථිකයක් නොවැටී පවත්වා ගැනීමට ඒ ස්වභාවික ගති අනුගමණය කිරීම ප්‍රමාණවත් වනු ඇත.

සීමාවක් නැතිව කම් සැප හඹා යෑම මිනිස් ස්වභාවය යැයි අපට උගන්වන්නේ බටහිර සංස්කෘතියයි. බටහිරුන් තමන්ගේ ආර්ථික විද්‍යාව ඒ බොරුව මත පදනම් කරගන්නවා පමණක් නොවේ ඒ ආර්ථිකය නොවැටී තබා ගැනීම සඳහා ඒ බොරුව මත ජීවත්වන ලෙසද අපට අනුබල දෙයි. වෙලඳ දැන්වීම් වලින් අපව උසි ගන්වන්නේ ඒ ඊනියා ස්වභාවික ගති මතු කර ගන්නා ලෙසටය. ඒ බලපෑම් වලට යටවී අපි අපේ සංස්කෘතියෙන් ලබා ගත් අභ්‍යන්තර සීමාවන් පසෙකලා කන්ට ජීවත්වන සමාජයක් බවට පත්වෙමින් සිටින්නෙමු. බටහිර ආර්ථික විද්‍යාව පවසන්නේ ඒ තුලින් ඊනියා උසස් ජීවන තත්වයක් ලබා ගත හැකි බවය. නමුත් දිනෙන් දින පාරිභෝගික අවශ්‍යතා වෙනස් කරන බටහිර ආර්ථිකයට ඊනියා උසස් ජීවන තත්වයකට කෙදිනකවත් ලංවිය නොහැකිය. එපමණක් නොවේ ඒ මඟ ගොස් ඇති කරගන්නා සමාජ රෝග, අපරාධ සහ පරිසර විනාශයටද බටහිර දැනුමට විසඳූම් නැත. බටහිර ආර්ථික විද්‍යාව සැම අතින්ම අසමත්ය.

ජීවත් වෙන්ට කන සමාජයක් ගොඩනඟා ගැනීමට නම් අපි බටහිරුන් මිනිස් ස්වභාවය ගැන පවසන මහා බොරුව බොරුවක් බව හඳුනාගෙන අපේ පැරැන්නන් අපට දායද කර ඇති සංවර පරිභෝජනයට කෙසේ හෝ පුරුදු විය යුතුවෙමු. එය කළ හැක්කේ බටහිර සංස්කෘතික ඇබ්බැහි වීම් වලට ස්වයං වාරණ පනවා ගැනීම තුලිනි. විදුලි බිල වැඩිවීම නිසා වැඩියෙන්ම අපහසුවට පත්වන නගර බද උගත් සිංහල සමාජය එයට සූදානම්ද?

ජානක වංශපුර

Sunday, 14 April 2013

අපේ සංවර්ධන මඟ

බටහිරුන් ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගොඩනඟන්නේ වසර පණහක් හැටක් පමණවෙන ඉතා කෙටි කාලයක් ඉහත සිටය. ඒ කතන්දර පවා මෑත අතීතයේ යම් ආර්ථික හා සමාජික සිදුවීම් විස්තර කිරීමට ගොතා ගත් දෑ මිස ඉදිරි අනාගතය ගැන අනාවැකි පල කිරීමට සමත් ඒවා නොවේ. කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අප පැමිණි දුරත් අප යා යුතු දුරත් සලකනවිට මේ ඊනියා ආර්ථික සංවර්ධනය පිළිබඳව දැනුම ගෙතෙන්නේ නොගිනිය හැකි කාල සීමාවක් තුලය. අපේ ඉදිරි දැක්ම අද ජීවත්වන සමාජයට පමණක් ලඝු නොවී පරම්පරා ගණනාවක් ඉදිරියට දිව යා යුතුය. මෙතෙක් කල් අප ජාතිය නොනැසී පැවතුනේ අපේ මුතුන් මිත්තන්ට අවුරුදු දහස් ගණනක් තිස්සේ රට ජාතිය රැක ගන්නා ආකාරය ගැන අවබෝධයක් තිබුන බැවිනි. අපි තවත් වසර දහස් ගණනක් රැකෙන්නට නම් බටහිරුන්ගේ සංවර්ධනය පිළිබද අත්හදා නොබැලූ සංකල්ප ඉවතලා අපේ මුතුන්මිත්න්ට තිබූ දැනුම අවබෝධ කරගෙන ඒ මත විශ්වාසයකින් හා අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කල යුතු වෙමු.
බටහිර ආර්ථික කටයුතු සිදුවෙන්නේ එමඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස් කල හැකිය යන විශ්වාසය මතය. අපිට ඇති ප්‍රශ්ණය ඔවුන්ගේ ආර්ථික වර්ධනය නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් සිදුවී යැයි පෙන්විය හැකිද යන්නය. මීට අවුරුදු පණහකට හෝ සියයකට හෝ ඉහත දී මිනිසුන් අද තරම් සතුටින් සැනසීමෙන් ජීවත් වුනේ නැතැයි නිගමණය කිරීමට සාධාරන ක්‍රමයක් ඔවුන්ට නැත. යමෙකු එසේ සිතනවා නම් එසේ සිතන්නේ ඔහුට අද හිමි ලෞකික සැප සම්පත් අහිමි වුනොත් සිදුවිය හැකි සිත් තැවුල ගැන ඇති දැනීම තුලින් මිස එදා තිබුන සතුටක් සැනසීමක් ගැන අවබෝධයෙන් නොවේ. ලෞකික සැප සම්පත් මත පදනම් වුන ජීවන තත්වයක් මැනීම සඳහා අපිට භාවිතා කල හැක්කේ අදට අදාල නිර්ණායකය. නමුත් පාරිභෝගික අවශ්‍යතා තව තවත් අළුතින් නිර්මාණය කිරීම මත පදනම් වුන ආර්ථික ක්‍රමයක් තුල ආර්ථිකය වර්ධනය වනවිට ජීවන තත්වය මනින නිර්ණායකද වෙනස්වීම වැලකිය නොහැකිය. ඒ අනුව බලන විට බටහිර ආර්ථික වර්ධනය යනු පසිඳුරන් පිනවීම අරභයා සැනසීමක් නොලැබ නොනැවතිව කෙරෙන උත්සාහයක ප්‍රතිඵලයක් බව පැහැදිලි විය යුතුය. ඉන් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය කවදාත් ලඟා කර ගත නොහැකි කැරට් අලයකි.
බෞද්ධයින්ටද උසස් ජීවන තත්වයක් ගැන අදහසක් ඇත. ඒ අදහස ගොඩනැඟෙන්නේ ලෝකය අනිත්‍යය අනාත්මය දුකය යැයි සැලකීම තුලිනි. මීට අවූරුදු දෙදහසකට පෙරත් ඔවුන්ගේ පදනම එය වූ අතර අදින් අවුරුදු දෙදහසකට පසුවටත් එය වෙනස් නොවනු ඇත. බෞද්ධයින් උසස් යැයි සලකන ජීවන තත්වයේ නිර්ණායක කලින් කලට වෙනස් නොවේ. ඒ නිසා එය මිරිඟුවක් හෝ කැරට් අලයක් නොව අත් කර ගෙන පවත්වාගත හැකි තත්වයකි. එවැනි උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැක්කේ ලෞකික සම්පත් හඹා යන එමඟින් දුක නිවන්නට බලන සමාජයක නොවේ. නමුත් ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට නම් බෞද්ධයින් බටහිර ආර්ථික සංවර්ධන මඟට ඉඳුරාම වෙනස් මඟක් ගත යුතුය. ඔවුන්ගේ නිවන් දකින මඟත් දිවි ගෙවන මඟත් එකිනෙකට පරස්පර විය නොහැකිය.
රටේ ලෝකේ සිදුවන දේ දනිතැයි සිතන අපේ රටේ උගතුන් සිතන්නේ ආණ්ඩුවේ දූෂණය නැති කලොත් හෝ රජයේ ආයතනවල නාස්තිය හා ගසා කෑම නැවතුවොත් හෝ ආණ්ඩුවේ ඇමතිවරු ගණන අඩු කලොත් හෝ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කලොත් හෝ අපට මීට වඩා උසස් ජීවන තත්වයක් ඇති කර ගත හැකිය කියාය. මේ සියලු දේ කර ගත යුතු බව ඇත්තය. නමුත් ඒ කුමක් කලත් බටහිර ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයක් අනුකරණය කරනතාක් කල් බෞද්ධයින් බලාපොරොත්තුවන උසස් ජීවන තත්වය ඔවුන්ට මිරිඟුවක් පමණක් වනු ඇත. දූෂණය හා නාස්තිය නතර කිරීමට දරන උත්සාහයට වඩා බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම ඒ උසස් ජීවන තත්වය ලඟා කර ගැනීමට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි. අද අපි දකින දූෂණය හා නාස්තිය බටහිර ආර්ථික ක්‍රමයේම ලක්‍ෂණය. ඒ පිළිබඳව සැකයක් ඇති අයෙක් මෑතදී මුලු බටහිර ලෝකයම ආර්ථික ආගාදයකට ඇද දමමින් ඒ රටවල මුල්‍ය ආයතන මඟින් සිදුකරන ලද වංචා කටයුතු ගැන අධ්‍යනයක් කර ඒ සැක දුරු කර ගත හැකිය. අපි ජාතියක් වශයෙන් බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගත්විට මේ දූෂණය හා නාස්තියද නිරාසයෙන්ම අප හැර යනු නිසැකය.
බටහිර ආර්ථික සංවර්ධන මඟට ප්‍රතිවිරුද්ධ මඟක් ගැනීම යනුවෙන් අදහස් වෙන්නේ අපි තව වසර කිහිපයකින් අද මැලේසියාව හෝ වෙනත් දියුනු යැයි සැලකෙන ආසියානු රටක් සිටින තැනට පැමින ඉන් කාලයකට පසු ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් සිටින තැනට ආර්ථික වශයෙන් පැමිණීමට දරන උත්සාහය අත් හැර දැමීමය. අපේ සංවර්ධන කටයුතුවල තත් කාලීන ඉලක්ක විය යුත්තේ ප්‍රාදේශීයවත් දේශීයවත් ස්වයංපෝෂණයවීම හා සමාජ විශමතා අවම කිරීමය. ඒ ඉලක්ක සපුරා ගත යුත්තේ ඉන්ද්‍රිය සංවරයෙන් සහ අර පරිස්සමෙන් පරිභෝජනය කිරීම තුලය. වෙළඳ ආර්ථිකය වෙනුවට කෘෂිකර්මය ප්‍රධාන තැන ගත යුතුය. විදේශ ආයෝජන වෙනුවට දේශීය කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රධාන තැන ගත යුතුය. අපේ මඟ බටහිර මඟට ඉඳුරාම වෙනස්ය. ඒ මං දෙකේ එකවර ගමන් කල නොහැකිය. අපිට වැරදී ඇත්තේ අපි මේ ප්‍රතිවිරුද්ධවූ මං දෙකේ එකවර යාමට තැත් කරන නිසාය. එය කල නොහැකිය.
බටහිරුන් නිසැකයෙන්ම අපේ ගමන ආපස්සට යාමක් ලෙස අර්ථ දක්වනු ඇත. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් යන ගමන ඉදිරි ගමනක් යැයි උපකල්පණය කරමිනි. ඔවුන්ට එය ඉදිරි ගමනක් වන්නේ බටහිර ආර්ථිකය මඟින් ඊනියා ජීවන තත්වය දිගින් දිගට උසස්වේ යැයි ඔවුන් සිතන හෙයිනි. නමුත් එය මුසාවක් බව අපි දනිමු. එක තැන දුවනවා මිස ඔවුන් යන ගමනක් නැත.
අපේ මඟ ගැනීමම සංස්කෘතික පෙරලියකි. එය ලෙහෙසි පහසු නොවේ. එය තනි තනිව යා හැකි ගමනක්ද නොවේ. ජාතියක් වශයෙන් අත්වැල් අල්ලා ගෙන යායුතු ගමනකි. නමුත් එය කවුරුවත් තලමින් පෙලමින් යන ගමනක් නොවේ. අපත් සෙසු ලෝකයාත් සතා සිව්පාවනුත් ගහ කොළත් රැකෙන රැකගෙන යන ගමනකි. අපිට ලොවටම පහන් ටැඹක්විය හැක්කේ ඒ ගමනේ නියමුවෝ වීම තුලිනි.

ජානක වංශපුර

Sunday, 7 April 2013

රට ගිය ඇත්තන්ගේ ජීවන තත්වය

සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?
බටහිර රටවලට පැනගත් මා වැනි බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ එමන් වාසය කරන ප්‍රදේශවල පංසල් තනා ගනිති. බටහිර රටවල ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.
ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි. ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩු ළුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුල බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?
පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කල යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.
රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුලින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.
බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒනිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.

වංශපුර දේවගේ ජානක

ලිවින් ස්ටෑන්ඩර්ඩ්


එදා සිටම නගරවල තමන් දුප්පතුන් යැයි සිතනවුන් බහුලව සිටියත් ගම්වල එය එසේම නොවේ. මගේ දෙමව්පියන්ගේ උපන් ගමට හැත්තෑවේ දශකය මැද භාගයේත් විදුලි බලය නොතිබිනි, ගම මැදින් වූ පාරට තාර දමා නොතිබිනි, ඒ හරහා පලමු වරට බසයක් ධාවනය වුනේත් ඒ අවධියේමය. ගම් වැසි හැමෝම පාහේ ගොවිතැනින් ජීවත්වූ අතර එහි වූ බොහෝ නිවෙස් පොල් අතු සෙවිලි කල මැටියෙන් ඉදිකෙරුනු ඒවා විය. නමුත් මගේ දෙමව්පියන් ඔවුන් දුප්පතුන් යැයි කිසි විටෙකත් නොසිතූහ. ඒ ගමේ වැසි අනිත් මිනිසුන්ද එසේ නොසිතන්නට ඇතැයි සිතිය හැකිය. මෙවැනි ගම් අදද නගරයෙන් දුර බැහැරව පවතී.
දුප්පත්කම සාපේක්‍ෂයැයි අමුතුවෙන් කිව යුතු නැත. එදා ගම්මුන් ගණුදෙනු කල සමාජ වපසරිය බොහෝ දුරට ගමට සීමාවිනි. ඒ තුල ආර්ථික විශමතාවන් අඩුවූ බැවින් බොහෝ දෙනෙකුට තමන් දුප්පතුන් යැයි සිතන්නට ඉඩක් නොතිබිනි යැයි සිතිය හැකිය. නමුත් අද ගම්මුන් ගණුදෙනු කරන සමාජ වපසරියට නගරයද අයිතිය. ඊට හේතුව යාන වාහන, සුපිරි මාර්ග, රූපවාහිනී මෙන්ම දුරකතන හරහාද නගරය එදාට වඩා සාමාජීය වශයෙන් ගමට කිට්ටුවී තිබීමය. ගණුදෙනු කරන සමාජ වපසරිය විශාලවත්ම එහි දකින්නට ලැබෙන ආර්ථික විශමතාවන්ද වැඩි වීම ස්වාභාවිකය. ඒ නිසා ඒ ගම් වැසියන්ගෙන් යම් ප්‍රමාණයක් තමන් ගනුදෙනු කරන සමාජයේ ඇතැම් අයට සාපේක්‍ෂව තමන් දුප්පත් යැයි සිතීමට එදාට වඩා ඉඩ කඩක් අද ඇත. ගමේ දුප්පතුන් ඇති වීමට ගමේ සමාජ හා ආර්ථික සංයුතිය වෙනස්වීමද හේතු කාරක වේ. නගරබදව නම් දුප්පතුන් කවදත් සිටියහ. එහි ඔවුන් ගණනින් වැඩි වෙනවා මිස අඩුවෙන බවක් පෙනෙන්නට නැත. අප රටේ පමණක් නොව මේ කියන සාපේක්‍ෂ දුප්පත්කම අද දියුනු යැයි සැලෙකෙන බටහිර රටවලද පසුගිය දශක කිහිපය තිස්සේම වර්ධනය වී ඇති බව විශේෂඥයෝ පවසති. නමුත් බටහිර ආර්ථික විද්‍යාඥයින් ඇති නැති පරතරය වැඩිවීම එතරම් ප්‍රශ්ණයක් ලෙස නොසලකති. මන්ද යත් බටහිර ක්‍රමයට ආර්ථිකය වර්ධනය වනවිට සියලුදෙනාගේම ජීවන මට්ටම ඉහල යයි කියා ඔවුන් උපකල්පණය කරන බැවිනි. ඒ නිසා යම් තරමකින් ඇති නැති පරතරය වැඩි වූවත් එය එතරම් සැලකිය යුතු නැතැයි ඔවුහු කල්පනා කරති. ලවින් ස්ටෑන්ඩර්ඩ් නොහොත් ජීවන මට්ටම ඉහල යාම ඔවුන්ට වැදගත්ය. නමුත් බටහිර ආර්ථික වර්ධනය තුලින් සමාජයේ ජීවන මට්ටම ඉහල යනවායැයි කියන මේ කථාව හුදු උපකල්පණයක් පමණි.
යමක් ඉහල යනවා යැයි කිව හැක්කේ එය මනින්නට පුලුවන්නම් පමණි. මනින්නට මිණුම් දණ්ඩක් අවශ්‍යය. ඒ මිණුම් දණ්ඩ සියලු කාලවලට එක සමාන විය යුතුය. උදාහරණයක් වශයෙන් මීටර කෝදුව ගනිමු. එය කාලයත් සමඟ වෙනස් නොවේ යැයි ගත හැකිය. ඒ අනුව එකම කෝදුව භාවිතා කර කාලයේ අවස්ථා දෙකකදී යම් ගසක උස සංසන්දනය කර එය කොපමන වැඩී ඇත්දැයි බැලිය හැකිය. නමුත් එය කෙසේ අර්ථ දැක්වුවත් ජීවන මට්ටම මැනීමට එවැනි කාලයත් සමඟ වෙනස් නොවෙන මිණුම් දණ්ඩක් නැත. කාලය සමඟ වෙනස් වනවා නම් ඊට මිණුම් දණ්ඩක් යැයි කිව නොහැකිය. මිණුම් දණ්ඩක් නැතිව මනින්නට බැරිය. මනින්නේ නැතුව ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.
ජීවන මට්ටම කී පමණින්ම එය මනින ලද දෙයක් ලෙස හැඟේ. එය එසේ ගැනීම නිවැරදි නොවන මුත් එය අමතක කර ඊට බලපාන සාධක මොනවාදැයි කල්පනා කරමු. උදාහරණයක් හැටියට අද අපට ජංගම දුරකථන නැතිවම බැරිය. අද සමාජය හැඩ ගැසී ඇති ආකාරයට ජංගම දුරකථනයක් අයිති වීම හෝ නොවීම ජීවන මට්ටමට බලපාන සාධකයක් යැයි සැලකිය හැකිය. නමුත් මීට වසර පනහකට ඉහතදී කිසිවෙකුට ජංගම දුරකථන නොතිබිනි. නමුත් සමාජය එදා හැඩ ගැසී තිබෙුනේ ජංගම දුරකථන නොමැතිව ජීවත්වීමටය. ඒ නිසා අද ජංගම දුරකථනයක් නැතිවීම නිසා කෙනෙකුට ඇතිවිය හැකි අසහනය මීට වසර පනහකට කලින් සිටි සියලු දෙනාටම තිබුනියැයි කීම සාධාරණ නොවේ. ජීවන මට්ටම යන්නෙන් කුමක් අදහස් කලත් ඊට බලපාන සාධක සැම කලකම එක නොවේ. ඒ සාධක සමාජ සංස්කෘතික දේශපාලනික හේතු නිසා කලින් කලට වෙනස් වේ. නමුත් අපට නිතැතින්ම සිතෙන්නේ අද අපට ජංගම දුරකථන ඇති නිසා අපේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි කියාය. එය හුදෙක් වර්තාමානයේ ජංගම දුරකථන නැතිවුනොත් ඇතිවිය හැකි අසහනය සලකා අප එළෙඹෙන නිගමනයක් මිස ඒ නිසා අතීතයේ ජංගම දුරකථන නැතිවීම තුලින් එදා ජීවන මට්ටමට බලපෑමක් ඇති වූවායැයි සැලකිය හැකි නොවේ. ඒ අනුව පෙනී යා යුත්තේ එක් කලෙක ජීවන මට්ටම තවත් කලෙක ජීවන මට්ටම හා සාධාරනව සංසන්ධනය කල නොහැකි බවය. ඒනිසා ඊනියා සංවර්ධනයක් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කලකදී ජීවන මට්ටම ඉහල ගියා යැයි කිව හැකිද?
කාලයේ අවස්ථා දෙකකදී ජීවන මට්ටම සැසඳිය නොහැක්කේ එහි නිර්ණායක නැත්නම් ඊට බලපාන සාධක මොනවාදැයි යන්න සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකාල්ප අනුව කලින් කලට වෙනස් වන නිසාය. වර්තමානයේ ජීවන මට්ටම අතීතය හා සැසඳිය නොහැකිවා මෙන්ම අනාගතයේ තිබිය හැකියැයි සිතන ජීවන මට්ටමක් අද ජීවන මට්ටම සමඟද සැසඳිය නොහැක. උදාහරණයක් වශයෙන් පරිසර දුෂණය නිසා අනාගතයේදී ස්වභාදහමින් ආවරණයවී රක්‍ෂිත කුටිවල ජීවත්වන්නට සිදුවුවහොත් එදා තිබිය හැකි ජීවන මට්ටම ගැන කුමක් කිව හැකිද? අද අපට එලිමහනේ සිටීමට ඇති නිදහස ගැන කල්පනාකර අනාගතයේ ජීවන මට්ටම පහල වැටේ යැයි නිගමනය කරමුද? නැත්නම් අද අව්වෙන් වැස්සෙන් විදින පීඩා සලකා අනාගතයේ ජීවන මට්ටම ඉහල ගොස් ඇතැයි නිගමනය කරයිද? මේ ප්‍රශ්ණවලට සාධාරනව පිලිතුරු දිය නොහැකිය. අපි ඒ ඒ අවධියේ පැවැත්ම ගැන සිතනනේ ඒ ඒ අවධියට බලපාන සමාජීය දේශපාලන හා සංස්කෘතික ආකල්ප අනුවය. අපට අතීතයේ තිබුනු හෝ අනාගතයේ තිබිය හැකි ජීවන මට්ටමක් ගැන අවබෝධයක් අද ගත නොහැකිය. ඒ නිසා බටහිර ආර්ථික සංවර්ධනය නිසා ජීවන මට්ටම ඉහල යනවා යැයි කීම බොරුවකි.
නමුත් බටහිර ආර්ථික විශේෂඥයෝ ඊනියා ආර්ථික ක්‍රියාකාරීකම් තුලින් ජීවන මට්ටම ඉහල යනවා යැයි සිතති. දල ජාතික නිෂ්පාදනය ඉහල යෑම එහි දර්ශකයක් ලෙස පෙන්වා දෙති. නමුත් දල ජාතික නිෂ්පාදනය ඉහලයෑමෙන් පෙන්නුම් කරන්නේ ජීවන මට්ටම ඉහල යෑමක් නොවේ. බරහිර ආර්ථික ක්‍රමය තුල නිරන්තරයෙන් සිදුවන්නේ නැති පාරිභෝගික අවශ්‍යතා මැවීමකි. උදාහරණයක් වශයෙන් නව මාදිලියේ ජංගම දුරකථන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ දැනට තිබෙන අවශ්‍යතාවක් සපුරාලීම නොව මිනිසුන් තුල ඒ පිළිබඳ කලින් නොතිබුනු අශාවක් ජනිත කෙරීමය. එවිට ඒ සඳහා වෙළඳ පොලක් නිර්මාණයවේ. එසේ නිර්මාණය වුනු වෙළඳපොලේ ක්‍රියාකාරකම් තුලින් දල ජාතික නිෂ්පාදනය ඉහල යයි. නිශ්පාදකයින් විසින් මිනිසුන්ගේ ආශාවන් අවුලවනු ලබන අතර මිනිසුන් ඒ ආශාවන් මුදුන්පත් කර ගන්ට ඔවුන්ගේ නිශ්පාදන පරිභෝජනය කරති. මෙය චක්‍රයකි. දල ජාතික නිෂ්පාදනය දර්ශකයෙන් මූලික වශයෙන් පෙන්නුම් කරන්නේ මේ චක්‍රයේ කාර්යක්‍ෂමතාවයය. එය ඊනියා ජීවන මට්ටමට සම්බන්ධයක් නැත. නමුත් ආර්ථික විද්‍යාඥයින් අපට පෙන්වා දෙන්නේ අපේ ජීවන මට්ටම ඉහල දමා ගැනීමට දල ජාතික නිෂ්පාදනය වර්ධනය කර ගතයුතු බවය. සැබවින්ම ඉන් සිදුවෙන්නේ ආශාවන් නිර්මාණය කිරීම හා පරිභොජනය අතර ඇති චක්‍රය දිවවීමක් පමණි. මේ චක්‍රයේ කෙලවරක් නැත. බටහිරුන්ට අනුව දල ජාතික නිෂ්පාදනය කෙලවරක් නැතිව වර්ධනය විය යුත්තේද ඒ නිසයි. එය ජීවන මට්ටම හා යම් සම්බන්ධතාවක් තිබිනි නම් ඔවුන් කියන පරිදි ජීවන මට්ටම ඉහල යද්දී දල ජාතික නිෂ්පාදනය වර්ධනවන වේගය ක්‍රමයෙන් අඩු විය යුතු නොවේද?
බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ජීවන මට්ටමට කිසි සම්බන්ධයක් නැති වුනත් ඒ හරහා සමාජ විශමතාව වර්ධනයවන බව නම් සැබෑය. එමඟින් සමාජයේ සැලකිය යුතු කොටසක් තමන් දුප්පතුන්යැයි සිතන්නට සැලසේ. අද නගර මෙන්ම ගම්ද දුප්පත් වන්නේ ඒ නිසාය. ආර්ථික සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතාව අවම කිරීම සහ ස්වයංපෝශණය මිස මැනිය නොහැකි ඊනියා ලිවින් ස්ටෑන්ඩර්ඩයක් වැඩි කර ගැනීම නොවේ.

වංශපුර දේවගේ ජානක