සමහරු ජීවය පරදුවට තබා බෝට්ටුවල නැගී ගොස් සරණාගතයින්සේ විදේශගත වන්නේ කෙසේ හෝ තම ජීවන තත්වය ඉහල දමා ගැනීමේ අරමුණින්ය. අද අප රටේ බොහෝ තරුණයින් මේ ආකාරයට හෝ වෙනයම් ආකාරයකට හෝ බටහිර රටකට පැන ගැනීමට කැමැත්තෙන් සිටින බව රහසක් නොවේ. කෙසේ වෙතත් විදේශගතවීමෙන් පසු මේ බොහෝ දෙනෙකුගේ ජීවන තත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහල යන බව කිව යුතුය. අඩුම ගණනේ බොහෝ දෙනෙක් එසේ තම ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි සිතති. නමුත් විදේශගත වන බහුතරයක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයටම නොවේ. බටහිරුන්ට තම ජීවන තත්වය උසස් වීමට භෞතික සැප පහසුකම් වලට අමතරව පුද්ගලික නිදහස, දේශපාලන නිදහස, ස්ත්‍රී-පුරුෂ සමානත්වය වැනි දෑද වැදගත්ය. අපිටද මේ සමහර දෑ වැදගත් වුනත් අපි ඒ පිළිබඳ දරන අදහස් බටහිරුන් ඒ ගැන දරන අදහස් හා සමාන නොවේ. කෙසේ වෙතත් ජීවන තත්වය යනු වාස්ථවිකවූ මැනගත හැකි දෙයක් නොවේ. එය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය. එසේ නම් විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහල යන්නේ කෙසේද?
බටහිර රටවලට පැනගත් මා වැනි බොහෝ ශ්‍රී ලාංකිකයෝ එරට සංස්කෘතියට මුලු මනින් අවශෝෂණය නොවෙති. උත්සාහ කලත් ඔවුන් බහුතරයකට එසේ වෙනස්වීමටද නොහැකිය. ඔවුන් බහුතරයක් ඇසුරු කරන්නේ තමන් මෙන් එරටට පැනගත් ශ්‍රී ලාංකියන්මය. බොහෝ දෙනෙකු සුද්දන් ඇසුරු කරන්නේ අතේ දුරින්ය. ඔවුන් එකිනෙකා හමුවුන විට වැඩිපුර කථා බස් කරන්නේ ශ්‍රී ලංකාවේ එදිනෙදා තොරතුරු මිස තමන් වසන රටේ සිදුවන දෑ නොවේ. එක් ව කල් ගත කරන්නට ඇති බලවත් කැමැත්ත නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ නිතර තම නිවෙස්වල ශ්‍රී ලාංකික මිතුරන් කැඳවා සාද පවත්වති. ඒ සාදවල අසන්නේත් ගැයෙන්නේත් පරණ සිංහල සිංදුමය. මේ පළමු පරම්පරාවේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරයද බත්මය. බටහිර රටවල මේ පුරුද්ද එතරම් පහසු නොවුනත් ඔවුහු ලංකාවේ කෑම බීම ඒ විදිහටම උයා පිහාගෙන කන්නට වෙර දරති. හැකියාවක් ඇති බෞද්ධයෝ එමන් වාසය කරන ප්‍රදේශවල පංසල් තනා ගනිති. බටහිර රටවල ජීවත්වන පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයෝ ඒ රටවල වාසය කරන්නේ සුද්දන් මෙන් නොවන බව රට නොගිය ශ්‍රී ලාංකිකයින් නොදන්නවා විය හැකිය. නමුත් ඇත්ත තත්වය එයය.
ඔවුන්ගේ ජීවන තත්වය උසස්වීමට බලපාන ප්‍රධාන කරුණ බටහිර ඇති ලෞකික සැප සම්පත්ය. ඊට බලපාන අනිත් වැදගත් කරුණ නම් ආශ්‍රයෙන් හෝ කෑමෙන් බීමෙන් හෝ වෙන කිසියම් අයුරකින් හෝ ඔවුන්ට තම සංස්කෘතික අංග යම් පමණකට හෝ එම රටවල පවත්වාගෙන යාමට ඇති හැකියාවය. ඇතැමුන්ට අනුව එය දුකින් සැප විඳීමකි. ඒ කෙසේ වෙතත් මෙලෙස තම සංස්කෘතියේ යන්තම් හෝ පය ගසා ගෙන සිටින නිසා පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් තමන්ගේ ජීවන තත්වය උසස් යැයි සිතන්නේ එම රටවල සිටින සුද්දන් ඒ ගැන සිතන ආකාරයට නොව තම මවු රටේ වැසියන් සිතන ආකාරයටමය. ඔවුන්ට රට යෑම නිසා තමන්ගේ ජීවන තත්වය උසස් වී ඇතැයි හැඟෙන්නේ ඔවුන් රට යෑමට පෙරත් පසුත් ජීවත්වන්නේ අඩු ළුහුඩු කම් මත වුනත් එකම සංස්කෘතියක තුල බැවිනි. ඒ නිසා රට යෑම ඔවුන්ගේ ජීවන තත්වයේ අර්ථ දැක්වීම වෙනස් කිරීමට හේතු වී නැත. ඒ නිසා ඔවුන් බටහිර රටේදී අත්පත් කරගන්නා ආර්ථික වෙනස ඔවුන්ට මැන ගත හැකිය. ඒ වෙනස ඔවුන්ගේ ඇඟට දැනේ. නමුත් ඔවුන්ගෙන් පැවත එන දෙවන හා තෙවන පරම්පරා වලට තමන්ගේ ජීවන තත්වය ඉහල ගොස් ඇතැයි කිව හැකිද?
පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන් තම දු දරුවන් සැප සම්පත් ඇති බටහිර රටක හදා වඩා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙති. ඔවුන්ට බටහිර රටක අධ්‍යාපනය ලබා දීමට හැකිවීම ගැන සතුටු වෙති. මේ දෙමව්පියන්ට එසේ සතුටුවිය හැක්කේ ඔවුන් ලංකාවේ සිටියා නම් ඔවුන්ට අත්විය හැකි ජීවන තත්වයක් ගැන කල්පනා කරමිනි. මේ දෙමව්පියන් තවම ශ්‍රී ලාංකික සංස්කෘතියේ යන්තම් පය ගසා ගෙන සිටින නිසා ඔවුන්ට මෙවැනි සංසන්දනයක් කල හැකිය. ඔවුන්ට ඒ ජීවන තත්වය ගැන අවබෝධයක් ඇත. නමුත් ඔවුන්ගේ දු දරුවන් ජීවත්වන්නේ බටහිර සංස්කෘතියේය. ඒ දරුවන් තම ජීවන තත්වය අර්ථ දක්වන්නේ බටහිර සංස්කෘතියට අනුවය. ඔවුන්ගේ අර්ථ දැක්වීම පළමු පරම්පරාවේ අර්ථ දැක්වීමට වඩා වෙනස්ය. ඒ නිසා තම දෙමව්පියන්ගේ සංක්‍රමණය නිසා ඇතිවූයේ යැයි කියන ජීවන තත්වය උසස්වීම ගැන දරුවන්ට අවබෝධයක් නැත. ඔවුන්ට ඒ සැසඳීම වැදගත්ද නැත. මන්ද දරුවන් තම ජීවන තත්වය නඟා සිටුවා ගැනීමට නම් ඔවුන් ජීවත්වන බටහිර සංස්කෘතියේ අර්ථ දැක්වීම් අනුව ක්‍රියා කල යුතු බැවිනි. දෙමව්පියන් කෙසේ සිතුවත් ඔවුන්ගේ සංක්‍රමණය නිසා දරුවන්ට ඔවුන් ජීවත්වන බටහිර සමාජයේ (ජාතියෙන් සුදු නොවීම නිසා අවාසියක් වුනොත් මිස) වාසියක් අත්වී නැත. මේ දරුවන් බටහිර රටේ තම ජීවන සටන අරඹන්නේ මුල සිටමය. මේ බව බහුතරයක් පළමු පරම්පරාවේ සංක්‍රමණික ශ්‍රී ලාංකික දෙමව්පියන්ට පිළිගැනීමට අපහසු ඔවුන් තවම තම මවු රටේ සංස්කෘතික ආකල්ප තුලින් ජීවන තත්වය දිහා බලන බැවිනි.
රට ගිය ඇත්තන්ගේ මේ අත්දැකීම තුලින් බටහිරුන්ගේ ආර්ථික සංවර්ධනය ගැන පාඩමක් ඉගෙනගත හැකිය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කිව හැක්කේ, නැත්නම් එය ඇඟට දැනෙන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් නොවුනොත් පමණි. ජීවන තත්වයේ උසස්වීම පළමු පරම්පරාවේ සංක්‍රමණික දෙමව්පියන්ගේ ඇඟට දැනෙන්නේ ඒ නිසාය. යම් ආර්ථික ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය යන සංකල්පයේ අර්ථ දැක්වීම වෙනස් වුවහොත් වෙනස් කිරීමේ ක්‍රියා වලියට පෙරත් ඊට පසුත් ජීවන තත්ව සංසන්දනය කිරීමට නොහැකිය. ඔවුන්ගේ දරුවන්ට ඒ වෙනස නොතේරෙන්නේ ඒ නිසාය.
බටහිර ආර්ථික රෝදය කරකවන්නේ පෙර නොවූ මිනිස් අවශ්‍යතා අළුතින් මැවීම හරහාය. ඒනිසා බටහිර ආරේ ආර්ථික සංවර්ධනය තුල ඊනියා ජීවන තත්වය යන්නෙහි අර්ථ දැක්වීම නිරන්තරයෙන් වෙනස් කෙරේ. අර්ථ දැක්වීම වෙනස් නිසා ඉතිහාසයේ අවස්ථා දෙකක් අතර ජීවන තත්වයේ උසස්වීමක් මැන ගැනීමට නොහැකි විය යුතුය. එය අතාර්කිකය. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාකාරකම් නිසා ඊනියා ජීවන තත්වය උසස් වේ යැයි කියා බටහිර ආර්ථික විද්‍යාව අපව මුලා කරයි. මේ කථාව ඔවුන් කියන කථාවක් පමණක් නොවේ. අපිද බටහිර සංස්කෘතික ආධිපත්‍ය හමුවේ මේ කථාව පිළිගෙන සිටින්නෙමු. නමුත් බටහිර ආරේ සංවර්ධන ක්‍රියාවලියක් නිසා ජීවන තත්වය ඉහල ගියා යැයි කීම හුදු උපකල්පණයක් පමණි.
වංශපුර දේවගේ ජානක