Main Logo

Sunday 7 April 2013

ඇංග්ලො සැක්සන් වෛදික ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 3

මෙම ලිපි පෙළෙහි තේමාව ඇංග්ලො සැක්සන් වෛදික ත්‍රස්තවාදය යනුවෙන් වෙනස්කළ යුතු යැයි සිතමි. අප රට තුළ ඇත්තේ ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය බව සැබෑ ය. එය රට තුළ මෙන් ම බාහිරව ද ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ සමග ක්‍රියාත්මක වන තවත් ත්‍රස්තවාදයක් වෙයි. ඒ වෛදික ත්‍රස්තවාදය ය. එය රට තුළ ක්‍රියාත්මක වන්නේ සුළු පිරිසක් අතර පමණ ය. ඒ අතර දෙමල ජාතික සංධානය වෙයි. එහෙත් රටෙන් බාහිර ව වෛදික ත්‍රස්තවාදය, විශේෂයෙන් ම තමිල්නාඩුවේ ද, ඉන්දියාවේ ද, විසුරුණු දෙමළ ජනයා අතර ද ක්‍රියාත්මක වෙයි. අඩුම තරමෙන් ධාතුසේන රජතුමාගේ කාලයේ සිට සිංහලයට විරුද්ධව වෛදික ත්‍රස්තවාදය ක්‍රියාත්මක විණි. එය නැති වී ගියේ නම් ඒ පෘතුගීසින් කාලයේ ය. එහෙත් ලන්දේසිහු අද තමිල්නාඩුව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාල නමින් හැඳින්වූ කෘෂිකම්කරුවන් තම දුම්කොළ වගාව සඳහා 1650න් පසුව ගෙන්වූහ. පෘතුගිසි ඉතිහාසඥයන්ට අනුව ඔවුන් එන කල ද යාපනයේ බහුතරය වූයේ සිංහලයන් ය. එහෙත් වෙල්ලාලයන් ගෙන්වීමෙන් පසුව යාපනය ක්‍රමයෙන් දෙමළ වූ අතර සිංහලයෝ ද දෙමළ සමාජයෙහි කරෙයිවර් ආදී වශයෙන් ඊනියා අඩුකුලවල කුලවැද්දුම් ලැබූහ. යාපනයේ දෙමළ ජනයා එළාරගේ කාලයේ සිට පැවතෙන්නෝ නො වෙති. ඔවුන්ගේ ඉතිහාසය 1650න් ඔබ්බට නොයයි. ලන්දේසිහු ද ඉන්පසුව ඉංගිරිසිහු ද සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව වෙල්ලාලයන් යොදාගත්හ. යාපනයේ වෙල්ලාලයන්ගේ ඉතිහාසය කරුණු (ඊනියා ෆැක්ට්ස් නො වේ) සොයන්නකුට යාපනයේ තෝම්බු ආශ්‍රයෙන් දැනගත හැකි ය. එසේ ම වාග්විද්‍යාඥයන්ට පොදුවේ තමිල්නාඩු වෙල්ලාලයන් හා යාපනයේ වෙල්ලාලයන් කතාකරන දෙමළ අතර වෙනස වසර තුන්සිය පනහකට වැඩි නොවන බව දැනගත හැකි ය. මේ ඉතිහාසයෙහි වැදගත්ම කොටසක් නම් ලන්දේසීන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රාන්තයට ද තමිල්නාඩුවෙන් වෙල්ලාලයන් ගෙන යෑමත් නවී පිල්ලෙයි 1941 දී නැටෝල් ප්‍රාන්තයෙහි ඩර්බන්හි දෙමළ සම්භවයකට අයත් පවුලක උපත ලැබීමත් ය. ඒ හේතුව නිසා ම නවී පිල්ලෙයි වෙල්ලාල යැයි කීමට හෝ ඒ නිසා ඇය ලන්දේසීන් හා ඉංගිරිසන් ඇතිකල මෙරට දෙමළ ප්‍රශ්නයෙහි දී සිංහලයන්ට විරුද්ධව සවිඥානිකව කටයුතු කරන්නේ යැයි කීමට හෝ මම ඉක්මන් නො වෙමි. එහෙත් ඇය 2008 සැප්තැම්බර් 1 වැනි දා තවත් ඇමරිකන් ගැත්තකු හා සිංහල විරෝධියකු වූ බෑන් කි මූන් විසින් යෝජනා කරනු ලැබ එක්සත් ජාතින්ගේ සංවිධානයෙහි මානව හිමිකම් මහා කොමසාරිස් ධුරයට පත්කරනු ලැබූ බව සඳහන් කරනු වටී. මේ දින වකවානු අපට වැදගත් වන අතර බෑන් කි මූන්ට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිල නොවූ ඊනියා තොරතුරු පිල්ලෙයි ලංකාවට විරුද්ධව ඇගේ වාර්තාවෙහි යෙදා ගැනීමත් අපට නොසලකා සිටිය නො හැකි ය. මෙහි සඳහන් කරුණු ගැන තවදුරටත් සොයා බැලීමට මෙරට පාසල්වල හා සරසවිවල යුදෙවු ක්‍රිසතියානි අධ්‍යාපනයෙන් බිහිවූ නිවටයන් හා පුස්සන් ඉදිරිපත් වේ යැයි සිතිය නො හැකි ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව නවී පිල්ලෙයිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් අඩුම තරමෙන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ගෙන ඒම පිළිබඳ ව සලකා බැලීම වටී.

අද වන විට ඉන්දියාවේ වෛදික ත්‍රස්තවාදය සිංහලයන්ට එරෙහිව ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය සමග අත්වැල් බැඳගෙන ඇත. ඔවුන් එසේ නොකර සිටියේ 1947 සිට සෝවියට් දේශය තිබූ සුළු කාලයක් තුළ පමණ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පවත්නා කාලයෙහි තමිල්නාඩුවේ බුද්ධ චීවරයට පහර දෙනු ලැබිණි. එය ඉන්දියාවේ පවතින බෞද්ධ විරෝධය හා එක් අතකින් සම්බන්ධ ය. භාරතය හා පසුව ඉන්දියාව ලංකාවට විරුද්ධ වන්නේ සිංහලයන් ථෙරවාද බුදුදහම රැකගත් බැවිනි. මේ වෛරය වෛදිකයන් කිසි දිනෙක අත්නොරිනු ඇත. අනෙක් අතට බටහිරයන්ට හා වෛදිකයන්ට අවශ්‍ය වූයේ එසේ බුද්ධ චීවරයට පහර දීම මගින් සිංහල බෞද්ධයන් කුපිත කර ඔවුන් ලවා අන්‍යාගමිකයන්ට පහරදීමට ය. එහෙත් ඒ උත්සාහය අසාර්ථක විය. යම් අයුරකින් එය සාර්්ථක වී නම් නවී පිල්ලෙයිට සිංහලයන්ට විරුද්ධව තවත් වාර්තාවක් ඉදිරිපත්කිරීමට හැකි වීමට ඉඩ තිබිණි. මින් පසු බටහිරයන්ට හා වෛදිකයන්ට සිංහලයන් කුපිත කරවීම පහසු නොවනු ඇත. යම් අයුරකින් විිදේශීය රටක අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් පහර දුන්නේ නම් මෙරට පුස්සන් හා නිවටයන් ලිප්ටන වටරවුමේ පල්ලිය අසල එක්රොක්වනු ද ඊනියා ජාත්‍යන්තරයේ බැං කි මූන් ලා හා නවී පිල්ලෙයිලා නටන මොණර නැටුම් ද දැක බලාගත හැකිවීමට තිබිණි. එහෙත් බුද්ධ පුත්‍රයන්ට පහරදීම වැඩිම වුවහොත් ඒ හෙළා දකින පුවත්පත් නිවේදනයකින් කෙළවර විය. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ද, වෛදික සංස්කෘතිය ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ය. වෛදික සංස්කෘතිය අද දවසේ ඉන්දියාුවන්ට හා වෙනත් රටවල සිටින ඉන්දියානු සම්භවයක් ඇති පිරිසකට පමණක් සීමා වෙයි. එය එක්තරා ආකාරයකින් ගත්කල යුදෙවු සංස්කෘතිය මෙන් ය. එහෙත් බෞද්ධ හා මුස්ලිම් සංස්කෘතීන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය හා එහි ප්‍රභේදයක් වූ ඇංග්ලො සැක්සන් සංස්කෘතිය මෙන් ලෝක ව්‍යාප්ත ය. සෝවියට් දේශය කඩාවැටී ඇති මෙකල, වෛදික සංස්කෘතියට යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය සමග අත්වැල් බැඳ නොගෙන පැවැත්මක් නැත. විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව ඔවුන්ට අත්වැල් බැඳගැනීමට සිදු වී ඇත. යුදෙවුවනට පමණක් සීමාවන යුදෙවු සංස්කෘතියට ද යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය සමග අත්වැල් බැඳ ගැනීමකින් තොරව පැවැත්මක් නැත.

අප කලින් කියා සිටි පරිදි ම ගියවරට වඩා වැඩි ඡන්ද සංඛ්‍යවකින් ලංකාවට විරුද්ධ ඇමරිකන් යෝජනාව ජෙනීවාහි දී ජයග්‍රහණය කළේ ය. එය ගණන්ගත යුත්තක් නොවිය යුතු බව ද අපි කීවෙමු. ජෙනීවා නාඩගම වාර්ෂිකව පැවැත්වෙන්නකි. වැඩි ඡන්ද සංඛ්‍යාව මෙවර දෙකකින් හෝ තුනකින් හෝ වැඩිවූයේ ඇතැම් පඬියන් කියන ආකාරයට ආණ්ඩුව “ගෙදර වැඩ” නොකළ නිසාවත් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය වැරදි නිසාවත් නො වේ. එයට හේතුව ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදයේ මැදිහත්වීම ය. ඇමරිකාව හා එංගලන්තය, විශේෂයෙන් ම එහි සංස්කෘතික යටත්විජිතවාදී සංරචකය ක්‍රමයෙන් තම අරමුණ කරා යමින් සිටියි. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ හිස් ය. අනෙක් පැත්තෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කිරීම ය. අද ඉන්දියාව බටහිරයන් සමග එක් වී සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට කටයුතු කරයි. එහෙත් ඉන්දියාවට අද ආසියාවේ තැනක් නැත. ආසියානු රටවල් බොහොමයක් ඉන්දියාව සමග එකතු නොවී ජෙනීවාහි දී ලංකාවට පක්‍ෂව ඡන්දය දී ඇත. ජපානයට වුව ද ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදු වී ඇත. ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදයට මුල සිට ම ආධාර කළේ ය. ඉන්දිරා ගාන්ධි ත්‍රස්තවාදීන්ට පුහුණුව ලබාදුන්නා ය. ඇය ද ජයලලිතා ද බ්‍රාහ්මණ කුලයට අයත් ය. ඉන්දියාවේ බමුණෝ කවදත් සමස්තයක් ලෙස බුදුදහමට විරුද්ධ වූහ. බමුණෝ අපට පරිප්පු බෝම්බ හෙළූහ. රජිව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම ද පළාත් සභා ද අපට බලහත්කාරයෙන් පැටවී ය. බටහිරයන්ට ද ඉන්දියාවට ද අවශ්‍ය වූයේ ප්‍රභාකරන් ලවා මෙරට ආණ්ඩුවට හා සිංහලයන්ට පහර දීමට ය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට බලපෑම් කළහ. එහෙත් එතුමා ඉන්ද්‍රඛීලයක් සේ සිටිමින් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ය. යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ මහතා රනිල් වික්‍රමසිංහ මෙන් ඊනියා සටන්විරාම ගිවිසුම් අත්සන් කර ප්‍රභාකරන්ට ඊළම ලබාදීමට කටයුතු කලේ නම් ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක නොවනු ඇත. ඇමරිංකාව ලංකාවට විරුද්ධව යෝජනා නොගෙනනු ඇත. අද රනිල් වික්‍රමසිංහ හා නිවටයන් හා පුස්සන් කියන්නේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා ලංකාවට විරුද්ධව යෝජනා ගෙනෙන බව ය. ආණ්ඩුවේ එකම “වැරදි” ප්‍රතිපත්තිය දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ය. රනිල්ගේ කාලයේ මෙරට තිබූ මානව අයිතිය බියගම කඳවුරේ බිත්තිවලින් අසාගත හැකි ය. ඇමරිකාව ඒ බව නොදන්නා සේ ය. අප කළ යුත්තේ ඊනියා ගෙදර වැඩ කිරීම මධ්‍යම පංතික උගතුන්ට භාරකර එළඹිය හැකි ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සූදානම් වීම ය. අපට උරුම කටයුත්තක් වෙයි. එය මහාවංශයේ සඳහන් වෙයි. ඒ බුදුසසුන රැකීම ය. මහාවංශයට අනුව බුදුන්වහන්සේ ආක්‍රමණශීලී නොවී බුදුසසුන රැකගැනීමට තෝරාගෙන ඇත්තේ සිංහලයන් ය. සිදුහත් කුමරු නේපාලයේ උපන්නත්, කාලිංගයේ උපන්නත් වෙනත් කොහේ උපන්නත් බුදුසසුන රැකීම භාරව ඇත්තේ සිංහලයන්ට ය. එබැවින් බුදුසසුනත් බුදුන්වහන්සේත් අපේ ය. අද ප්‍රශ්නය වී ඇත්තේ විවිධ ආක්‍රමණවලට මුහුණ දෙමින් අපේ මුතුන් මිත්තන් රැකගත් බුදුසසුන රැකගැනීමට වත්මන් සිංහලයන් සූදානම් ද යන්න ය. අප බටහිර හා ඉන්දිය නොවන්නන් සමග වෙළෙඳ හා සංස්කෘතික සම්බන්ධකම් ඇතිකර ගත යුතු ය. අප තවමත් බෞද්ධ කලාපය සමග ශක්තිමත් සම්බන්ධකම් ඇතිකරගෙන නැත්තේ ඇයි? නිවටයන් හා පුස්සන් මහාවංශය විවේචනය කරමින් අප තෝරාගත් ජාතියක් ය යන්නට විරේධය පළකරනු ඇත. අප ඉන් කලබල විය යුතු නැත. පරණ තෙස්තමේන්තුව යනු යුදෙවුවන්ගේ ඉතිහාස කතාව ය. එයට අනුව යුදෙවුවෝ දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව වෙයි. පුස්සෝ හා නිවටයෝ මුළු ලොවට ම යුදෙවු සංස්කෘතිය පැතිරවීමට බලකරන ඒ ආකූමණශීලී තෝරාගත් කතාවට විරෝධය පළ නොකරති.

අද දෙමළ ජාතිවාදී මතවාදය ලෝපුරා පවත්වාගෙන යන්නේ එංගලන්තය හා ඇමරිකාව ය. ඔවුහු ඒ සඳහා විසිරුණු දෙමළ ජනයා, දෙමල එක්සත් සංධානය, ඇතැම් ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර අධ්‍යාපනයෙන් බිහිකෙරුණු පුස්සන් හා නිවටයන් යොදාගනිති. අද ඇතැම් පුස්සෝ ඊනියා තුන්වැනි ලෝකයක් සමග ඇතිකරන සම්බන්ධකම් ගැන කතාකරති. බර්ලින් තාප්පය බිඳ වැටීමත් සමග තුන්වැනි ලෝකය ද බිඳවැටුණු බව පුස්සන්ට කියාදීමට බටහිර බුද්ධිමතකු ඉදිරිපත් වී නැති බැවින් පුස්සෝ තවමත් ඔවුන්ගේ බසින් කියන්නේ නම් ප්‍රාග් තාප්ප බිඳවැටුම් ලෝකයක ජීවත් වෙති. ඉන්දියාව අයත්වන්නේ කිනම් ලෝකයකට ද? අප බටහිරයන් අපට කියන පට්ටපල් බොරු විශේෂයෙන් ම සමාජයීය විද්‍යාවන්හි දී ප්‍රතික්‍ෂෙප කළ යුතු ය. බටහිරයන් විසුරුණු දෙමළ ජනයාගේ බලපෑම් හේතුවෙන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතාකරන්නේ යැයි කීම හෝ විසුරුණු දෙමළ ජනයාගේ ඡන්ද නිසා ඔවුන්ගේ බලපෑමට හසුවන්නේ යැයි කීම හෝ පට්ටපල් බොරු ය. බටහිර රටවල සිටින මුස්ලිම් ජන සංඛ්‍යාව විසුරුණු දෙමළ ජන සංඛ්‍යාවට වැඩි ය. එහෙත් මුස්ලිම් ඡන්ද වෙනුවෙන බටහිර ප්‍රතිපත්ති සකස් වේ ද? බටහිර දැනුම පට්ටපල් බොරු වේ. 

(13/03/24)