Main Logo

Sunday 7 April 2013

ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 2

අප රටේ වර්තමානයේ ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කෙරෙන්නේ පාසල්, විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ය. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පසුගිය සියවස් පහක පමණ කාලයක් තිස්සේ නිර්මාණය කෙරී ඇති සංකල්ප හා ප්‍රවාද ය. බටහිරයන්ගේ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. විශේෂයෙන් ම බටහිර විිද්‍යාවේ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. මේ බව පැය බාගයක දී රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකි ය. එහෙත් රූපවාහිනී නාලිකාවල බොහෝ විට එයට ඉඩ නො දෙන බව රූපවාහිනී නරඹන විචාරශීලී ප්‍රේක්‍ෂකයන්ට මේ වන විට අවබෝධ වී ඇති බව නිසැක ය. මේ ප්‍රවාද පට්ටපල් බොරු බව දැනටමත් පොත්පත්වලින් පෙන්වා දී ඇත්තෙමි. විශේෂයෙන් ම විදුසර පුවත්පතෙහි පළවන අපේ ප්‍රවාද ලිපි මගින් ඒ කටයුත්ත කෙරී ඇත. පසුව අවස්ථාව ලැබෙන පරිදි දිවයින ඉරිදා සංග්‍රහයෙන් ද බටහිර විද්‍යාවේ ප්‍රවාද පට්ටපල් බොරු බව පෙන්වා දීමට අදහස් කරමි. එතෙක් යමකුට අවශ්‍ය නම් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බොරු වන්නේ කෙසේ දැයි සිතිය හැකි ය. එය බොරුවක් නොව පට්ටපල් බොරුවක් බව පෙන්වා දිය හැකි ය.

ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ඇත්තේ දේශපාලනයෙන් තරමක් ඈත ය. එහෙත් එහි දේශපාලනයක් නැතැයි කිසිවකු නොසිතිය යුතු ය. බේකන් හා ගැලීලියෝ විසින් බටහිර විද්‍යාවට දේශපාලනය ඇතුල් කරන ලද්දේ සියවස් ගණනාවකට පෙර ය. එහෙත් එයටත් බොහෝ කාලයකට පෙර සිට ම දේශපාලනය දැනුම සමග සම්බන්ධ වී ඇත. දැනුම නිර්මාණය යනු සංස්කෘතික කටයුත්තකි. සංස්කෘතිය, දේශපාලනය හා ආර්ථිකය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ වූ සංරචක වෙයි. මෙරට දෙමළ ජනයාට හතළිස්අටෙන් පසුව හෝ පනස්හයෙන් පසුව හෝ ඊනියා සිංහල ආණ්ඩුවලින් විශාල අසාධාරණයක් වී ඇති බවට බොරු දැනුමක් වෙයි. මේ දැනුම නිර්මාණය කළෝ කවුරුහු ද? ඒ වෙනත් කිසිවකු නොව බටහිර විශ්වවිද්‍යාලවල සේවය කරන බටහිර උගතුන් ය. ඔවුහු විශේෂයෙන් ම ලන්ඩන්, සසෙක්ස් හා උප්සලා විශ්වවිද්‍යාලවල සේවය කළහ. මෙය ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් ද, විශ්වාසයක් ද, දැනුමක් ද එසේත් නැත්නම් වෙනත් යමක් ද යන්න බටහිර මතවාද හෙවත් පට්ටපල් බොරු මෙරට ප්‍රචලිත කරන උගතුන්ගෙන් ම අසා දැනගත යුතු ය.

බටහිර ම ඇතැමකුට අනුව ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාදවලින් ස්වායත්ත නො වේ. එහෙත් රසල්ගේ දැනුමෙන් හෝ මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගෙන් බොහෝ විට වැරදියට තේරුම්ගත් දැනුමෙන් හෝ එහා නොගිය මෙරට ඊනියා විද්වතුන් ඒ බවක් අසාවත් නැත. එසේ ඇතැයි පැවසූ විට මේ උගතුන් පවසන්නේ එසේ කියන බටහිරයන් සුද්දන් නො වේ ද යන්න ය. ඔවුන් එයින් ඇසීමට බලාපොරොත්තුවන්නේ සුද්දන්ගේ දැනුම පට්ටපල් බොරු යැයි කියන්නේ කෙසේ ද යන්න ය. මෙවැනි ප්‍රශ්නවලින් පෙනී යන්නේ මේ උගතුන්ගේ හිස්බව හා නිවට බව මිස වෙනත් යමක් නො වේ. අප යම් අදහසක නිර්මාපකයකු මනින්නේ ඔහුගේ හමේ පාට අනුව නොවන බව මේ අනුකාරක නිවටයන්ට හා පුස්සන්ට නො තේරෙයි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සංස්කෘතිය අනුකරණය කරන කළු හම ඇති අනුකාරක උගතුන්ට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සංස්කෘතියෙන් කැඩීමට වෑයම් කරන හම සුදු බුද්ධිමතුන් සිටිය හැකි බව නොතේරෙන්නේ තමන් අනුකාරකත්වයේ නාස්පුඩු තෙක් ගිලී ඇති බැවිනි. ඒ කුමක් වුවත් දෙමල ජනයාට ඊනියා සිංහල ආණ්ඩුවලින් සිදු වී ඇතැයි කියන අසාධාරණය පිළිබඳ ප්‍රවාදය අවුරුදු ගණනාවක් තිස්සේ මෙරට කසිකබල් උගතුන්ට පින්සිදුවන්නට මුල් බැසගෙන ඇත. ඊළමට පමණක් නොව අද ජෙනීවා නාඩගමට ද පාදක වන්නේ මේ පට්ටපල් බොරුව ය. එහෙත් එය ඉදිරිපත් කෙරෙන්නේ ඊනියා විද්‍යාවක නාමයෙනි. මේ බොරුව කෙතරම් සමාජයේ මුල් බැසගෙන ඇත් ද යතහොත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම නමින් හැඳින්වෙන නීතිඥයන්ගේ හා වෙනත් ඉංගිරිසි උගත් කිහිප දෙනකුගෙන් සමන්විත කොමිසම තම යෝජනා හා නිර්දේෂ ඉදිරිපත් කරන්නේ ද ඒ තකතීරු දැනුම මත පදනම් වෙමිනි. මේ කොමිසමේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය නියෝජනය කරන එක් අයකුවත් නොසිටියේ මන් ද යන්න ප්‍රශ්නයකි. කොමිසම ඉදිරියේ සාක්‍ෂි දුන් මම බටහිරයන් ඉදිරිපත්කරන, ඔවුන්ගේ අනුකාරක පුහු දාසයන් මෙරට ප්‍රචලිත කරන මෙම මතය පට්ටපල් බොරුවක් බව පෙන්වා දුන්නෙමි. මගේ සාක්‍ෂිය අවසානයේ කොමිසමේ සාමාජිකයකු කියා සිටියේ මා කියා සිටින දේ නිවැරදි වියහැකි වුවත් අප දෙමළ ජනතාවට යමක් දිය යුතු බව ය. කොමිසමේ සාමාජිකයන් ආරම්භයේ සිට ම දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇතැයි යන බොරුව, එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහය හා ආශිර්වාදය ඊනියා විද්‍යාවක නාමයෙන් ලබන බොරුව, විශ්වාස කර ඇති බව පැහැදිලි ය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කීිරීමට බැඳී නැත. ආණ්ඩුවට අවශ්‍ය නිර්දේෂ පමණක් ක්‍රියාත්මක කළ යුතු ය. ඊනියා මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලින් නිදොස්වීමට නම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ත්‍රස්තවාදීන්, පුස්සන් හා නිවටයන් ඉල්ලන්නේ එය පදනම් කරගනිමින් තවත් ඉදිරියට ගොස් ඊළමක් පිහිටුවීමට ය.

බටහිරයෝ තම බොරු දැනුම හෙළිදරවු කරන්නන් ජාතිවාදීන්, ආගම්වාදීන්, අන්තවාදීන් ලෙස හඳුන්වා තමන් ඉදිරිපත් කරන බොරු දැනුම තහවුරු කිරීමට උත්සාහ කරති. ඔවුන් ඒ කරන්නේ ත්‍රස්තවාදී ආකාරයකට ය. තම පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බිහිකෙරී ඇති පුස්සන් හා නිවටයන් ආධාර කරගනිමින් බටහිරයෝ බොරු දැනුම හෙළිදරවු කරන්නන්ට පහර දෙති. ඒ අතින් පයින් කෙරෙන පහරදීමක් නොවිය හැකි ය. එහෙත් බොරු චෝදනා මත පුද්ගලයන් රැකියාවෙන් නෙරපා දැමීමේ සිට ඔවුන්ගේ චරිත ඝාතන දක්වා මේ ත්‍රස්තවාදය විහිදී ඇත. මේ ත්‍රස්තවාදයට බියෙන් තම මත ප්‍රසිද්ධියේ කීමට බියවන පුද්ගලයන් ගැන මම දනිමි. යාපනයේ කතාකරන දෙමළ හා චෙන්නායි හි කතාකරන දෙමළ අතර පරතරය අවුරුදු තුන්සිය පනහකට වැඩි නොවන බව දැන සිටි අය ඒ බව ප්‍රසිද්ධියේ නො කීහ. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි ප්‍රශ්න කළවිට නිවටයන්ට හා පුස්සන්ට එයට පිළිතුරක් දීමට නො හැකි විය. හැකි නම් එ ප්‍රශ්නයට අදවත් පිළිතුරු දෙන ලෙස ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදයේ දාසයන් වූ නිවටයන්ට හා පුස්සන්ට අභියෝග කරමි.

මේ පුස්සන් හා නිවටයන් එසේ හැඳින්වීම නොහොබිනා අශීලාචාර ක්‍රියාවක් යැයි පුස්සෝ හා නිවටයෝ කියති. බටහිරයන් නිසා ම සමාජයේ ඊනියා වැදගත්කමක් අත්පත් කරගෙන ඇති මොවුන්ට බටහිරයන්ගේ ත්‍රස්තවාදය නො පෙනෙයි. අද අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ බටහිරයන්ගේ දැනුම පමණ ය. අපේ දැනුම මිථ්‍යාවක් ලෙස හඳුන්වමින් ඔවුන්ගේ දැනුම පමණක් එකම දැනුම බවට අධිපතිවාදී ලෙස ඉගැන්වීම ත්‍රස්තවාදයක් නො වේ ද? බටහිරයන් අපට දී ඇති මධ්‍යම පාංතික සදාචාරය කිසිසේත් ම අපේ ගෞරවයට පාත්‍රවිය යුතු නො වේ. නිවටයන් හා පුස්සන් එලෙස හැඳින්වීමට අප බියවිය යුතු නො වේ. ඉංගිරිසින්ට හා ඇමරිකානුවන්ට වඩා අශිලාචාර මිනිසුන් ලෝකයේ ජීවත් වී ඇතැයි මම නො සිතමි. ඔවුහු ඔවුන්ගේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යය යොදා ගෙන කරන සෙල්ලම්වල අරුත කුමක් දැයි අප හැකි ඉක්මණින් වටහා ගත යුතු ය. ඉංගිරිසින්ගේ අශීලාචාරකම ලෝකයාට කියා දුන් අයිරිෂ් ජාතිකයකු වූයේ බර්නාඩ් ෂෝ ය. මෙරට නිවටයන් හා පුස්සන් ද කියවා ඇති පිග්මැලියන් පොතෙහි ඩූලිට්ල් හා හෙන්රි හිගින්ස් නම් චරිත ලවා බර්නාඩ් ෂෝ ඉංගිරිසි මධ්‍යම පාංතික සදාචාරය ගැන කතාකරවයි. එහෙත් මෙරට පාසල්වල ඉංගිරිසි සාහිත්‍යය ඉගැන්වෙන්නේ ව්‍යාජ මධ්‍යම පාංතික සදාචාරයේ බොරුව හෙළිදරවු කෙරෙන ආකාරයෙන් නොව එයට ගෞරවයක් ඇතිවන ආකාරයෙනි. පොත කියවා නැතත් ඒ පදනම් කරගනිමින් නිෂ්පාදනය කෙරුණු මයි ෆෙයා ලේඩි චිත්‍රපටිය නැරඹූ කී දෙනකුට ඉංගිරිසි මධ්‍යම පාංතික සදාචාරය පිළිබඳ ව ඉන් කෙරෙන නිර්දය විවේචනය තේරුම් ගැනීමට හැකි වී ද? සුද්දන්් හා පුස්සන් බර්නාඩ් ෂෝ ඉගැන්වූයේ ඔවුන්ට අවශ්‍ය ආකාරයට මිස ෂෝට අවශ්‍ය ආකාරයට නො වේ. ඇංග්ලො සැක්සන ත්‍රස්තවාදය එපරි දි ය.

මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙනෙනු ලැබ ඇති යෝජනාවේ හරය අපේ ස්වෛරීභාවය නැතිකර අවසානයේ දී ඊළම පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. මේ යෝජනාව එහි දී සම්මත විය හැකි ය. එහෙත් අප එයින් නොසැළිය යුතු ය. අප එයින් බියපත් වී රජය අස්ථාවර කර රනිල් - සම්බන්ධන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු ද? බටහිරයන් කියන්නේ එය යි. අද රනිල් වික්‍රමසිංහ කියන්නේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා ඔහු මහත් ගරුකරන ජාත්‍යන්තරය අපට විරුද්ධ වී ඇති බව ය. දෙමළ ජාතිවාදය ඇතිකර දෙමළ ත්‍රස්තවාදය බිහිකර පෝෂණය කළ බටහිරයන් ආණ්ඩුවට විරුද්ධවන්නේ තම ආධිපත්‍යයට යට නොවී මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් බැවිනි. මා මෙවැනි ප්‍රකාශ කරන විට එය ආණ්ඩුවට කඩේ යෑමක් යැයි පුස්සෝ හා නිවටයෝ කියති. මා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහට බලයට පත්වී රට පාවාදීමට මග පෑදීම ද? ඊනියා සටන් විරාම ගිවිසුම මගින් වරක් රට පාවා දුන් රනිල් වික්‍රමසිංහ බලාගෙන සිටින්නේ බටහිරයන්ගේ ආධාරයෙන් ආණ්ඩුව අස්ථාවර කර තම පාවාදීම සඳහා තවත් වරක් උත්සාහ ගැනීමට ය. රට පාවාදුන් සටන් විරාම ගිවිසුමට සහාය දැක්වුවන්ට ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවව පැවසූවන්ට තොප්පිගල යනු වනාන්තරයක් බවව පැවසුවන්ට, කිලිනොච්චිය මැදවච්චිය බව කීවුන්ට, අරන්තලාවේ භික්‍ෂු ඝාතනයේ දී, ශ්‍රී මහා බෝධිය හා දළදා මාළිගාව අසළ ඝාතනවල දී හා වෙනත් ඝාතනවල දී සිංහලයන්ගේ මානව අයිතිවාසිකම් ගැන වචනයක්වත් නොදෙඩු බටහිර ත්‍රස්තවාදීන්ට හා පුස්සන්ට හා නිවටයන්ට අද ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට ඇත්තේ කිනම් මානව අයිතිවාසිකමක් ද? බටහිර ත්‍රස්තවාදීන් විරුද්ධ වන්නේ ආණ්ඩුවට පමණක් නො වේ. ඔවුහු රටට ම විරුද්ධ වෙති. විශේෂයෙන් ම සිංහලයන්ට විරුද්ධ වෙති. රනිල් වික්‍රමසිංහ බටහිරයන් ආණ්ඩුවට පමණක් විරදේධ වන්නේ යැයි කියන්නේ තම ත්‍රස්තවාදී ස්වාමිවරුන් වෙනුවෙනි. ඔහු ද අවසාන වශයෙන් සේවය කරන්නේ ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදයටය.

(13/03/17)