වියුක්ත දැනුම ඉන්ද්‍රිය ගෝචර නො වේ. සරල රේඛාවක් යනු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රපංචයක් නො වේ. දිගක් පමණක් ඇති පළලක් හෝ ඝනකමක් හෝ නොමැති ජ්‍යාමිතික සංකල්ප පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සාධාරණීකරණයට ලක් වූ සංකල්ප එකක්වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සියළු බල්ලන් සාධාරණීකරණයෙන් ලබාගන්නා වූ බල්ලා සංකල්පය අහවල් බල්ලා හෝ බල්ලකු හෝ මෙන් පංචෙන්ද්‍රීියයන්ට ගෝචර නො වේ.
සාධාරණ බල්ලා යන සංකල්පය සිතෙන් මවාගත හැකිවත් නො වේ. එය සිතෙන් පණවා ගතයුත්තකි. එය පඤ්ඤත්තියකි. ප්‍රශ්නය වනුයේ බටහිර විද්‍යාවේ බොහෝ ප්‍රවාද එවැනි සිතෙන් මවාගත නෙහැකි සංකල්පවලින් ප්‍රකාශ කිරීම ය. ඕනෑම් අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය මේ යැයි කියන විට ඕනෑම අංශු ගැන කියැවෙන්නේ සාධාරණ වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති ලෙස ය. එපමණක් නොව ගුරුත්වාකර්ෂණ බලය යන්න ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්පයකි.
එහි තේරුම නම් ඕනෑම අංශු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන්නක් වීම ය. එහෙත් බටහිර විද්‍යාව මහත් ආඩම්බරයෙන් කියන්නේ එහි දී ඉන්ද්‍රිය ගෝචර සංජානන ගැන හදාරණ බව ය. එපමණක් නොව පංචෙන්ද්‍රියයනට ගෝචර සංජානන මත දැනුම පදනම් වන බව ය. එසේ වුවත් එසේ ලබාගන්නේ යැයි කියනු ලබන සංජානන පිළිබඳ ප්‍රවාද ගෙතෙන්නේ වියුක්ත සංකල්ප ආධාරයෙනි. ඇතැම් විට සිතෙන්වත් මවාගත නොහැකි පඤ්ඤත්ති ඇසුරෙනි.
මෙය අප විසින් තවදුරටත් විස්තරාත්මක ව සාකච්ඡා කළ යුතු කරුණකි. බටහිර විද්‍යාවේ ඇති ප්‍රධාන ම විසංවාදය මෙලෙස ප්‍රකාශ කළ හැකි ය. බටහිර විද්‍යාව ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප මත රඳා පවතියි. දැනුම ලබාගැනීම ආරම්භ කරන්නේ බටහිර විද්‍යාවේ කියැවෙන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර සංජානන මත පදනම් වී ය. මෙය ම පට්ටපල් බොරුවක් බව අපි සඳහන් කළෙමු. එයට හේතුව බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු බටහිර දාර්ශනිකයන් කුමක් කීවත් හුදු සංජානන නො තිබීම ය
සංජානනයක් සංකල්පයකින් තොර නො වේ. කලින් ලිපියක සඳහන් කර ඇති පරිදි නිල්බව යනුවෙන් නිල් නම් සංකල්පයෙන් තොර වූ හුදු සංජානනයක් නො මැත. කිසිම සංජානනයක් හුදු සංජානනයක් නො වේ. මෙය නිරන්තරයෙන් අවධාරණය කළ යුතු ය. එසේ වුවත් සංජානනවලින් තොර වූ සංකල්ප තිබිය හැකි ය. සියළු පඤ්ඤත්ති සංජානනවලින් තොර ය. හුදු සංජානන නොමැති වුවත් බටහිර විද්‍යාවෙහි කියැවෙන්නේ දැනුම ලබාගැනීම හුදු සංජානනවලින් ඇරඹෙන බව ය.
ඉන්පසු බටහිර විද්‍යාවේ කියැවෙන්නේ අපූරු කතාවකි. බටහිර විද්‍යාවට අනුව අපට සංකල්පවලින් තොර වූ සංජානන ලැබෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙනි. එහෙත් මේ පංචෙන්ද්‍රිය විශ්වාස කළ නො හැකි ය. මෙහි දී පැන නගින ප්‍රධාන ම ප්‍රශ්නය වනුයේ විශ්වාසය දැනෙන්නේ කවර නම් ඉන්ද්‍රියයකට ද යන්න ය. ඒ ඉන්ද්‍රිය පංචෙන්ද්‍රියයන්ගෙන් එකක් නොවන බව ඉතා පැහැදිලි ය. ඇස යනු අවයවයක් පමණක් බවත පෙනීම යන්න හුදෙක් ඇසෙන් පමණක් සිදු කෙරෙන කාර්යයක් නොවන බවත් අවධාරණය කළ යුතු ය.
පෙනීම හා සම්බන්ධ ඉන්ද්‍රිය ගැන බටහිර විද්‍යාව කතා නොකරයි. කෙටියෙන් කිවහොත අවයවය හා ඉන්ද්‍රිය අතර වෙනස බටහිර විද්‍යාවේ ගැඹුරෙන් සකච්ඡා වන්නක් නො වේ. පංචෙන්ද්‍රිය මනසෙන් ස්වායත්ත නො වේ. මිය ගිය අයකුගේ කණ තිබුණ ද පෙනීමට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක නො වේ. එයට හේතුව මියගිය අයකුට මනසක් නො වීම ය. මනස හෙවත් මනෙන්ද්‍රිය නොමැති ව වෙනත් ඉන්ද්‍රියයක් නො මැත.
පංචෙන්ද්‍රිය විශ්වාස නොමැති බව කියන්නේ වෙනත් ඉන්ද්‍රියයක් නොව මනස ය. මනස වෙනත් ඕනෑම ඉන්ද්‍රියයක් සම්බන්ධයෙන් ඒ අවිශ්වාසය ඇති කර ගනියි. එපමණක් නොව මනස ද විශ්වාස නැති බව මනස දනියි. මනස ද සිංහල හා වෙනත් ඇතැම් බෞද්ධයනට අනුව මායාවකි. සිංහල බෞද්ධ දැනුමේ පදනමේ ම එය වෙයි. සියළු දැනුම් සිංහල බෞද්ධයනට අනුව මායාවන් ය. අපි සම්මුතියෙන් ඒ දැනුම් පිළිගන්නෙමු. සිංහල බෞද්ධ චින්තනය චක්‍රීය වෙයි. මනස ද මායාවක් බව පිළිගැනීම සිංහල බෞද්ධයනට ප්‍රශ්නයක් නො වේ.
සිංහල බෞද්ධයනට අනුව අපේ සාමාන්‍ය මනසෙන් නිර්මාණය කෙරෙන, එසේත් නැත්නම් සංස්කරණය කෙරෙන, සියළු දැනුම් අවසාන විග්‍රහයෙහි දී මායාවන් වේ. ඒවා නැත. ඒ නො පවතියි. සංකල්පීය වශයෙන් ශූන්‍ය වෙයි. එබැවින් ඒ අසත් ය. එනම් බොරු ය. අප සියළු දැනුම් බොරු යැයි කියන්නේ එබැවිනි. එහෙත් එවැනි බොරු කීමෙන් වැළකීමට අපට නො හැකි ය. අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට කළ හැක්කේ එවැනි බොරු කීම පමණ ය. අප සාමාන්‍යයෙන් බොරු හෙවත් මුසාවාද යැයි කියන්නේ එවැනි බොරුවලට නො වේ.
සංකල්පීය වශයෙන් ශූන්‍ය වූ ද නොපවතින්නා වූ ද, අසත් වූ ද සංකල්ප හා ප්‍රවාද සත් හෙවත් පවතින්නේ යැයි සැලකීම බොරු වෙයි. පුටුවක් නොපවතින කල පුටුවක් ඇතැයි ගැනීම බොරුවකි. එහෙත් එවැනි බොරු කීම සම්මුතියට එකඟ ය. අප සම්මුතියෙන් කියන්නේ බොරු ය. එහෙත් පුටුවක් නැති තැනක පුටුවක් ඇතැයි කීම මුසාවාදයකි. සම්මුතියෙන් වුව ද පුටුවක් නැති තැනක (සම්මුති) පුටුවක් ඇතැයි කීම මුසාවකි.
රේඛීය චින්තනයක් මත පදනම් වූ බටහිර විද්‍යාවෙහි මනස ගැන කිසිම සඳහනක් නොමැතිව, පංචෙන්ද්‍රිය අවිශ්වාස බව සඳහන් කෙරෙයි. එසේ වුවත් ඊනියා වාස්තවික ලෝකයක දැනුමක් ගැන කියන බටහිර විද්‍යාව අවිශ්වාසය ඇතිවන්නේ මනසට බවට ඉඟියක්වත් නොකර පංචෙන්ද්‍රිය හා ඒ ඇසුරෙන් ලබාගන්නා දැනුම අවිශ්වාස යැයි සඳහන් කරයි. දැන් මේ අවිශ්වාස වූ දැනුම, නිවැරදි නොවිය හැකි දැනුම, නිවැරදි කර ගත හැකි ද? එසේ නම් ඒ කරගන්නේ කෙසේ ද? පැහැදිලිව ම ඒ දැනුම නිවැරදි කරගත හැකිනම් ඒ කළ හැක්කේ අවිශ්වාස වූ පංචෙන්ද්‍රිය ඇසුරෙන් විය නො හැකි ය.
පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වන්නේ යැයි කියන සංජානන මගින් දැනුූම ලබාගැනීම ආරම්භ කළ යුතු යැයි කියන බටහිර විද්‍යාව ඊළඟ මොහොතේ පංචෙන්ද්‍රිය (කාහට දෝ) අවිශ්වාස යැයි කියා ඒ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා නිවැරදි නොවිය හැකි දැනුම නිවැරදී කරගත හැකි යැයි කියයි. බටහිර විද්‍යාවට අනුව එසේ කළ හැක්කේ බටහිර විද්‍යාව ඇසුරෙන් ය. ඒ සම්බන්ධයෙන්් මාක්ස්වාදීන් මහත් උජාරවෙන් කියන කියමනක් වෙයි. මාක්ස්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව දෘෂ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක් අනවශ්‍ය ය.
මෙයින් කියන්නේ කුමක් ද? දෘශ්‍යමානය යනු අප පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නේ යැයි කියන දැනුම ය. ඒ දැනුම අවිශ්වාස බවත් නිවැරදි නොවිය හැකි බවත් බටහිර විද්‍යාව කියයි. මෙහි දී නිවැරදි හා වැරදි යනුවෙන් බටහිර විද්‍යාවේ දී කියැවෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව ද අපේ අවධානය යොමු විය යුතු ය. වැරදි ය යනුවෙන් මෙහි දී කියැවෙන්නේ අපේ දෘශ්‍යමානය ඊනියා යථාර්ථය නොවන බව හෝ අඩුම තරමෙන් නොවිය හැකි හෝ බව ය. වැරදි හා නිවැරදි යන්න අර්ථදැක්වෙන්නේ, එසේත් නොමැති නම් මැනෙන්නේ, ඊනියා යථාර්ථය යන මිණුම් දණ්ඩට සාපේක්‍ෂ ව ය.
එහෙත් අප කල්තබා දන්නා වූ ඊනියා යථාර්ථයක් නැත. එසේ නම් අප ඊනියා යථාර්ථය මිණුම් දණ්ඩ ලෙස යොදා ගන්නේ කෙසේ ද? මෙයට පිළිතුරක් බටහිර විද්‍යාවේ නැත. බටහිර විද්‍යාවට අනුව ඊනියා යථාර්ථයක් ඇත. අප එලෙස යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? යථාර්ථය නොදැන යථාර්ථයක් ඇති බව දන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථයක් ඇති බව අපේ උපකල්පනයක් පමණකි. ඒ උපකල්පනය කෙරෙන්නේ මනස විසිනි!
එහෙත් බටහිර විද්‍යාවෙහි ඒ බවක් නො කියැවෙයි. එහි කියැවෙන්නේ මනසෙන් ස්වායත්ත වූ ඊනියා යථාර්ථයක් ඇති බවත් ඒ යථාර්ථය යම් නියමවලට යටත් බවත්, අපට ඒ නියම හා එමගින් ඊනියා යථාර්ථය දැනගත හැකි බවත්, එහි දී පංචෙන්ද්‍රිය ගෝචර දැනුමෙන් අප ආරම්භ කළ යුතු බවත්, එහෙත් ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම ලබාගැනීමේ දී යෙදාගන්නා පංචෙන්ද්‍රිය අවිශ්වාස බවත්, එලෙස ලබාගන්නා වූ දැනුම නිවැරදි නොවිය හැකි බවත්, එනම් ඒ දැනුම ඊනියා යථාර්ථය නොවිය හැකි බවත්, එසේ වුවත් අපට බටහිර විද්‍යාව මගින් යථාර්ථය අවබෝධ කළ හැකි බවත් ය.
අප බොහෝ කලක සිට බටහිර විද්‍යාඥයන්ට, මාක්ස්වාදීන් ඇතුළු සියළු ද්‍රව්‍යවාදීන්ට, කරන අභියෝගයක් වෙයි. එනම් මනසෙන් තොරව, මනසට බාහිරව පවත්නා යථාර්ථයක් ඇති බව හැකිනම් මනසෙන් තොරච සාධනය කරන්න යන්න එ අභියෝගය වෙයි. එ අභියෝගය කිසිවකු මෙතෙක් පිළිගෙන නොමැති බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඒ අභියෝගය කිසිදා කිසිවකු පිළිනොගන්නා බවත් මම දනිමි. මනසෙන් තොරව අප යමක් පෙන්වන්නේ කෙසේ ද? අපේ සියළු සංකල්ප, ප්‍රවාද, අදහස්, මතිමතාන්තර ආදිය මනසෙහි ම උපදියි.
මනසෙන් ස්වායත්ත ව පවතින ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දිය හැකි අයකු ඇත්දැයි මම නො දනිමි. එසේ සිටියත් එය අපේ අභියෝගයට වැදගත් නො වේ. මනසෙන් ස්වායත්ත ව ඊනියා යථාර්ථයක් ඇති බව මනස ඇසුරෙන් පෙන්වා දීමේ අර්ථයක් නැත. ඒ බව පෙන්වා දිය යුත්තේ හැකි නම් මනසෙන් ස්වායත්ත ව ය. මනසෙන් ස්වායත්තව, මනස යොදා නොගනිමින්, ලෝකයේ ඉතාමත් දෘඪ ම ද්‍රව්‍යවාදියාටවත් කටයුතු කළ නො හැකි ය.
ඒ කෙසේ වෙතත්, බටහිර විද්‍යාඥයෝ තම ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ සාධාරණිකරණයට ලක්කරති. ඕනෑම අංශු දෙකක් සඳහා ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කෙරෙන්නේ ඕනෑම අංශුවක් පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි ගැලීලියෝගේ පීසා නුවර පරීක්‍ෂණ සාධාරණයකිරීමෙනි (පොදු බව යන අරුතින්). ගැලීලියෝගේ පර්යේෂණ ඇහැට කණට පෙනෙන, එනම් දෘශ්‍යමාන වස්තු කිහිපයක් පමණක් සම්බන්ධයෙන් විය. ඔහු ඒ පරීක්‍ෂණ රික්තයක නො කළේ ය.
එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ පරීක්‍ෂණ සාධාරණයකිරීමට ලක්කළේ රික්තයක සිතින්වත් මවාගත නොහැකි වියුක්ත වස්තු සඳහා ය. ඕනෑම අංශුවක් රික්තයක පොළොව ආසන්නයේ දී එකම නියත ත්වරණයකින් පොළොවට වැටීමක් ගැලීලියෝ විසින් නිරීක්‍ෂණය නො කෙරිණි. ඔහු විසින් රික්තයක් නොවන අවකාශයක කරන ලද්දේයැයි කියන පරීක්‍ෂණවල නිරීක්‍ෂණ උද්ගමනය කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑම අංශුවක් හෝ වස්තුවක් හෝ පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ යැයි කියති. වියුක්ත සංකල්පයක් වූ ඕනෑම අංශුවක් යන්න රික්තයක නොව වායුගෝලයෙහි වුව ද නිරීක්‍ෂණය කළහැකි නො වේ.
(13/04/03)