Main Logo

Showing posts with label පෞද්ගලිකත්වය. Show all posts
Showing posts with label පෞද්ගලිකත්වය. Show all posts

Friday, 22 December 2017

මියන්මාරය හා ලංකාව

මියන්මාරය හා ලංකාව


කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්‍යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්‍රතිචාරයක්. ෆුකුයාමාත් එක්සත් රාජ්‍යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමේ අවසානයත් සමග ඉතිහාසය අවසන් වී ය යන අරුතින් ලියූවක්. එහෙත් හන්ටින්ටන් කියා සිටියේ සභ්‍යත්ව අතර ගැටුමක් ඇති වන බවයි. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණ. ගුණදාස අමරසේකර සිතුවේ හන්ටින්ටන් ජාතික චින්තනය ගැන හොඳක් කියා තිබූ බවයි. එහෙත් හන්ටින්ටන් කීවේ ඊනියා ධනවාදී සමාජවාදී ගැටුම නැති වී ඇතිවන සභ්‍යත්ව අතර ඇති ගැටුමක් ගැනයි.

Sunday, 14 September 2014

ඉතා සංවේගයෙන් ලියමි - 4


මේ ලිපි පෙළ අවසන් කළ යුතුව ඇත. එහෙත් සාකච්ඡා කළ යුතු සියල්ල සඳහන් වී නැත. අද මිනිසුන් රුපියල් ශත හඹා යන බව කියැවෙයි. එහෙත් එසේ වන්නේ අද සියල්ල ම පාහේ මිලට ගැනීමට සිදු වී ඇති නිසාත්, මිනිසුන්ගේ පංචෙන්ද්‍රිය පිනවීම ඉතා අධික වී ඇති නිසාත් ය. පංචෙන්ද්‍රිය පිනවීමට ද මුදල් අවශ්‍ය වෙයි. ඇතැම් විට ඒ සඳහා චණ්ඩිකම ද යොදා ගැනෙයි. ඒ අතර මිනිසුන්ගේ අනෙකා පරයා ඉහළට යෑමට ඇති අවශ්‍යතාව ද වෙයි. ඉහළ යෑම නිසා බොහෝ විට අනෙක් අයට නොමැති වරප්‍රසාද බලතල ආදිය හිමිවෙයි. එහෙත් සමහරු එයින් මානසික උත්තේජකයක් ද ලබති. නිස්සරණාධ්‍යාෂයෙන් කටයුතු කරන්නේ යැයි කියන අය ද බොහෝ විට තම ක්‍රියාකාරකම්වලින් මානසික ප්‍රබෝධයක් ලබති. සමාජයේ වැදගත්කම් පොරකම් ආදිය හේතුවෙන් යම් බලයක් දරන්නෝ ද වෙති. අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් ම  ඒ ඒ පුද්ගලයා සමාජ හිණිමගේ ඉහළට යැවීමට යොදා ගැනෙයි. කෙසේ වෙතත් ඒ සියල්ල පිටුපස ඇත්තේ  සාමූහිකත්වය පසුපසට දමා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම ය. ප්‍රශ්නය රුපියල් ශත නොව පෞද්ගලිකත්වය ඉදිරියට ගැනීම ය. රුපියල් ශත එහි දී ආධාරකයක් ලෙස පමණක් ක්‍රියා කරයි. මෙරට සිංහල බෞද්ධ රටක් වුවත් නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය කී දෙනෙක් වෙත් ද? අති විශාල බහුතරයකට අවශ්‍ය වන්නේ මෙලෝ වශයෙන් “හොඳ” රැකියා, සැප පහසු යාන වාහන, විශාල ගෙවල් දොරවල් ආදිය හා පරලෝ වශයෙන් දිව්‍ය ලෝක සැපසම්පත් ය. දුකට හේතුව තණ්හාව යැයි අපි නිතර දෙවේලේ අසමු. එහෙත් තණ්හාව ඇතිවන්නේ පුද්ගලයන්ට ය. (එය මිනිසුන්ට පමණක් නොව අනෙක් සත්ත්වයනට ද පොදු ය). වඩාත් ප්‍රධාන වන්නේ මම ය. මමත්වය ය. 

ප්‍රංශයේ සිටි දාර්ශනිකයකු වූ ද ගණිතඥයකු වූ ද දෙකාර්තේ (උසස් පෙළ සිසුන් ඉගෙන ගන්නා (කාටීසීය) ඛණ්ඩාංක ජ්‍යාමිතියෙහි නිර්මාතෘවරයා ඔහු ය.) ඉංගිරිසියෙන් හඳුන්වනු ලැබුයේ ඩෙ කාර්ටෙ(ස්) ලෙස ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නිර්මාණය කළ ජ්‍යාමිතිය කාටීසීය ජ්‍යාමිතිය ලෙස ද හැඳින්වෙයි. ඉංගිරිසි ලෝක ආධිපත්‍යය හමුවේ ප්‍රංශකාරයා ඉංගිරිසිකරණයට ලක් වී ඇත. ඒ කෙසේ වෙතත් දෙකාර්තේගේ ප්‍රසිද්ධ කියමනක් වෙයි. එය මෙසේ ය. “ මම සිතමි. එබැවින් මම වෙමි” . මෙය බටහිර දර්ශනයෙහි ප්‍රධාන සිතිවිල්ලක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත් මේ ප්‍රකාශය අවශ්‍ය නම් අනෙක් අතට ද කියවිය (ඒ සමාජ වටිනාකමක් අත්පත් කරගෙන ඇති පඬි කියැවීමක් නො වේ) හැකි ය. ඒ “මම වෙමි. එබැවින් මම සිතමි” යනුවෙනි. බටහිර ගණිතඥයන්ගේ භාෂාවෙන් නම් මෙය “මා සිතන්නේ මා වන්නේ ම නම් පමණකි” යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයක් මට කියවන්නට ලැබිණි. මට මතක අයුරෙන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ “මම නො සිතමි, එබැවින් මම වෙමි” යනුවෙනි. එහෙත් එය  නිවැරදි යැයි සිතීමට නො හැකි ය. නොසිතන මා ඇත්තේ කෙසේ ද? ඉහත කී ප්‍රකාශය නිවැරදි නො වේ යැයි මා සිතන්නේ ද මා වන (ඇති,  පවතින) බැවිනි.

කෙසේ වෙතත් මේ ප්‍රකාශ මම, මමත්වය,  තණ්හාව, නිවන ආදිය සමග බැඳී ඇත. මමත්වය නැතිකිරීම, එනම් මමත්වය යන්න නිවැරදි නොවන බව දැනගැනීම ම නිවන් අවබෝධය යැයි සිතිය හැකි ය. එහෙත් එසේ මමත්වය, මා යන්න, මා යනුවෙන් පුද්ගලයකු පැවතීම, නිවැරදි නොවන බව දැනගන්නේ කවු ද? ඒ මා විය නො හැකි ය. එබැවින් ඉහත සඳහන් භික්‍ෂුන් වහන්සේගේ ප්‍රකාශය ගැටළු සහිත ව වුවත් මම නො සිතමි, එබැවින් මම නො වෙමි යනුවෙන් හා මම නො වෙමි, එබැවින් මම නො සිතමි යනුවෙන් සංශෝධනය විය යුතු යැයි සිතමි. නිවන් අවබෝධය එසේ වචනවලින් ප්‍රකාශ කළ නොහැකි වුවත් නිවන් අවබෝධයෙහි දී මා යනුවෙන් සත්ත්වයකු, පුද්ගලයකු පවතින්නේ යැයි ගැනීම නිවැරදි නොවන බව වැටහෙන අතර එසේ වැටහෙන්නේ ඊනියා මට විය නොහැකි බව පවතින්නේ යැයි සිතන මට සිතෙයි. 

ඉහත සඳහන් ප්‍රකාශ මගේ පොරත්වය ප්‍රකාශ කිරීමේ මඟක් ලෙස යොදාගෙන ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් මට එයට විරුද්ධ විය නො හැකි ය. එහෙත් මා ලියන කියන කිසිවකින් මට සමාජයේ උගතුන් අතර පොරත්වයක් නොලැබෙන බැවින් එය එතරම් ප්‍රශ්නයක් නො වේ. මා ලියන්නේ මට ඉන් සංතෝෂයක් ලැබෙන බැවිනි. එය ද නිවනට බාධාවක් විය හැකි ය. එහෙත් අන් අයගේ නිවන වෙනුවෙන් තමාගේ නිවන කල්දමා ගැනීම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයක් ද වෙයි. ඒ කුමක් වුවත් අද මෙරට ද පිටරට ද මමත්වය සාමූහිකත්වය පරයා ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් අතර එකල ද මමත්වයක් තිබී ඇති නමුත් එය සාමූහිකත්වයට යට වූ මමත්වයක් විය. අද ඇති මමත්වය එසේ නො වේ. අද ද සාමුහිකත්වය සුනාමි අවස්ථාවෙහි දී මෙන් මතුවන නමුත් ප්‍රධාන වශයෙන් ඇත්තේ සාමුහිකත්වය යටකර ගත් මමත්වයකි. පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම (ඉන්ද්‍රිය පිනවීම යනු මනස පිනවීම ය. අනෙක් ඉන්ද්‍රිය - ආයතන - නොමැතිව මනස පමණක් පිනවීමට ද හැකි බව තේරුම් ගත යුතු ය) බටහිරින් අපට අවශ්‍ය පරිදි, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියට ගැලපෙන පරිදි අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. අප කරන්නේ බටහිර පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය පිනවීම අනුකරණය කිරීමකි. අපි එහි දී පොරවල් වීම සඳහා සාමූහිකත්වයට එරෙහි ව ක්‍රියා කරමු. පවුල යන්න වෙනුවට තමා ආදේශ වූ විට සෙනෙහස පවුලෙන් පළා යයි. ඒ අතර අපේ නොවන අධ්‍යාපනයකින් අපි හෙම්බත් වී සිටිමු. පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාව අපේ මිනුම් දණ්ඩ බවට පත් වී ඇත. මෙරට අධිපතිවාදී සංස්කෘතිය බටහිරින් අප මත පටවනු ලැබූ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය වන නමුත් බටහිර විශේෂඥයෝ ඒ බව සඟවා සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් ගැන දොඩවති. පැරණි සිංහල සාහිත්‍යය යොමු වී තිබුණේ මිනිසුන් අවසන් වශයෙන් ගත්කල නිවනට යොමු කිරීම සඳහා ය. එහෙත් බටහිරින් ඊනීියා යථාර්ථවාදයක් කරපින්නාගත් වත්මන් සාහිත්‍යකරුවෝ මෙරට චින්තනයට එරෙහිව නිවන පැත්තකට දමා තම කෘතිවලින් කාගේ දෝ සමාජ යථාර්ථයක් නිරුපණය කිරීමට වෙහෙසෙති. ඒ අතර තවත් පොරවල් පිරිසක් සාහිත්‍යයේ අරමුණ විය යුත්තේ අධිපති දෘෂ්ටිවාදය පරාජය කිරීම යැයි මැත දොඩවති. එහෙත් ඔවුන් පරාජය කිරීමට උත්සාහ ගන්නේ අධිපති දෘෂ්ටිවාදය වූ බටහිර මතවාද නොව සිංහල බෞද්ධ මතවාද ය. මොවුහු සියල්ලෝ ම එකතු වී මිනිසුන් නිවනෙන් ඈත්කරති. නිවනෙන් ඈත් වූ මිනිසුන් සමාජයට පිළිලයක් වී ඇත. අප කළ යුත්තේ ඔවුන් නැවතත් නිවනට යොමු කරන මඟකට අවතීර්ණ වීම ය.


නලින් ද සිල්වා

2014-09-14

Saturday, 19 November 2011

ආණ්ඩුවට ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතුයි

පසුගිය ආණ්ඩු විසින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝවිට කුණු කොල්ලයට ලබා දී තිබූ රජයේ ව්‍යාපාර ලාභ නොලබන්නේ නම් හෝ අඩු ප්‍රයෝජනත්වයකින් පරමාර්ථවලට පටහැණිව පවත්වාගෙන යන්නේ නම් හෝ යළි රජයට පවරාගැනීම සඳහා වූ පනතක් පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. මේ පනත කුමක් සඳහා ද යන්න පැහැදිලි කිරීමට ආණ්ඩුව මුල දී අසමත් විය. එහි ප්‍රතිඵලය වූයේ පිරිමින් ද හඬන ටෙලි නාට්‍ය ඇතැම් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ප්‍රකාශ අතර විකාශ වීමත්, එ ජා පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාළු ගෙවල්වල වළං බිඳීමට අවස්ථාව සැලසීමත්, ඇතැම් භික්‍ෂූන් වහන්සේලාට ඉක්‍ෂුපාක පෙරන සැදැහැවතුන් වෙනුවෙන් කතාකිරීමට අවස්ථාව ලබාදීමත් ය. පනතෙන් බලාපොරෙත්තුවන්නේ යළි රජයට පවරාගැනීමක් මිස පළමුවරට රජයට පවරාගැනීමක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කිරීමට රජයට නොහැකිවීම රජයේ වරදක් ම විය. මේ පනත සම්මත වුවහොත් මෙරටට මින්පසු ආයෝජකයන් නොපැමිණෙනු ඇතැයි භික්‍ෂූන් වහන්සේ නමක් වදාළේ මින්පසු බණ පදයක් අසන්නට නොලැබේවිය යන තරමේ කණගාටුවකින් යැයි සිතිණි. යළි රජයට පවරා ගැනීම පළමු වරට රජයට පවරා ගැනීමක් ලෙස ජනතාවට යම් පමණකින් වුවත් ඒත්තු ගැන්වීමට විරුද්ධ පක්‍ෂයට හැකි වූයේ එය හදිසියේ කරණ කටයුත්තක් ලෙස පෙනෙන්නට තිබීම නිසාත් ය. පසුව ඇතැම් ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් එය තරමක් දුරට නිවැරදි කෙරූණු නමුත් මුල දී වූ ප්‍රචාරාත්මක අවාසිය සම්පුර්ණයෙන් ම මගහරවා ගැනීමට හැකි වී යැයි සිතිය නො හැකි ය. අදාළ පනතෙහි අඩුපාඩුකම් නොමැතිවා නො වේ. යළි පවරා ගන්නා සමාගම් පනතෙහි ම සඳහන් කිරීම සුදුසු දැයි නො දනිමු. එහෙත් ඒ සමාගම්වලට යළි පවරා ගැනීමට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්නම් එහි ගැටලුවක් නැත.

කෙසේ වෙතත් විපක්‍ෂය මේ ප්‍රශ්නය ඊනියා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට කටයුතු කිරීමට ඉඩ ඇත. බටහිරයන්ගේ ජාත්‍යන්තරය ද බලා සිටින්නේ මෙවැනි ප්‍රශ්න ලැබෙන තෙක් බැවින් ඔවුන්ට මෙය අඬන්නට සිටි එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් වනු ඇත. ඊනියා ජාත්‍යන්තරයට මේ ප්‍රශ්නයේ දී කළ හැකි විශේෂ දෙයක් නොමැති වුවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කීමට ඇතැමකුට එමගින් අවස්ථාව ලැබෙනු ඇත. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්‍ෂුපාන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වීමට හැකි වුවත් ජනතාවට එය තවදුරටත් තේරුම් කරදීමට ආණ්ඩුව පියවර ගත යුතු ය. එහෙත් එයටත් වඩා මෙය අද ආණ්ඩුව මුහුණ පා ඇති වැදගත් ප්‍රශ්නයක විශේෂ අවස්ථාවක් ලෙස සලකා ජාතික සැලැස්මක් ඇතිකර ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු ය.

අද ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්පුර්ණයෙන් අනුමත කරන්නන් එතරම් ඇතැයි කිව නො හැකි ය. වන්දිභට්ටයන් හැරෙන්නට අනෙක් අයට ආණ්ඩුව සමග විවිධ තලවල ප්‍රශ්න වෙයි. එහෙත් ඒ සියළු ප්‍රශ්න මැද බොහෝ දෙනා ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරති. මහින්ද රාජපක්‍ෂ මහතාට ජනතාවගෙන් ලැබී ඇති ඒ ශක්තිය බණ්ඩාරනායක මහතාට හෝ එම මහත්මියට හෝ නොලැබුණු බව මෙහි දී සඳහන් කරන්නේ ඒ දෙපොළට කරන අගෞරවයක් ලෙස නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ සා මහත් ශක්තියක් ලැබුණේ කෙසේ ද යන්න ගැන අපට යම් අවබෝධයක් තිබිය යුතු ය. අප බොහෝ අවස්ථාවල පවසා ඇති ආකාරයට මේ ආණ්ඩුව පදනම් වී ඇත්තේ ජාතිකත්වය මත ය. 1956 දී හෝ 1960 ජූලියේ දී හෝ 1970 දී හෝ වත්මන් අයුරෙන්් ජාතිකත්වයක් වර්ධනය කරගැනීමට, ඒ ඒ වකවානුවල ක්‍රියාත්මක වූ ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සන්ධානවලට නොහැකි විය. ජාතිකත්වයෙන් නොබැඳුණු ජනතාවක් ඒකරාශී කරගැනීමේ හැකියාව අඩු ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය ඉතා උසස් මට්ටමක ලා සැලකී යෂ තවමත් එලෙස සලකයි. එබැවින් ජනතාව ජාතිකත්වයෙන් බැඳී ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරති. මේ ආණ්ඩුවට විකල්පයක් අද රටේ නැත. ඒ බව ආණ්ඩුව විවේචනය කරන්නන් අවබෝධ කරගෙන ඇත්ද යන්න සැක සහිත ය. රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස ආදීන්ට දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ කිසිම හැකියාවක් නැත. දුර්වලයන් වූ ඔවුන්ට කළ හැක්කේ බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට යටවීම පමණකි. රනිල් වික්‍රමසිංහ අගමැති ව සිටි සුළු කාලයේ දී සිංහල ජාතිකත්වයට එරෙහි ව කළ කී දෑ ජනතාවට අමතක වී නැත.

බටහිරයන් ඉදිරියේ කොන්ද නොනමා සිටිය හැකි දේශපාලනඥයන්් කිහිප දෙනා අතර මහින්ද රාජපක්‍ෂ මහතා ගව් ගණනකින් ඉදිරියෙන් වෙයි. මෙහි දී විදේශ ඇමති ජී. එල්. පීරිස් මහතා ගැන ද වචනයක් කිව යුතු ය. කලක් ඒ මහතා පැකේජ් පප්පා නමින් හඳුන්වනු ලැබිණි. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ව සිටි සමයෙහි දී ය. රෝස පාට සමාජවාදිනියක වූ ඇයට කිසිම ජාතිකත්වයක් නො තිබිණි. ජී එල් පිරිස් මහතා එදා පැකේජය වෙනුවෙන් විශාල අපකීර්තිමත් කාර්යභාරයක් කරමින් ජාතිකත්වය පාවාදීමට කටයුතු කළ ද අද ඔහු ඉතා ප්‍රශස්තව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඊනියා ජාත්‍යන්තරය ඉදිරියේ පෙනත සිටියි. විභේෂයෙන් ම පසුගිය දා ඕස්ටේ‍ර්ලියාවේ පර්ත් නුවර දී ඒ මහතා ක්‍රියා කර ඇති ආකාරය ඉතා අගනේ ය. ඒ පිළිබඳ අපේ ගෞරවය එදා කෙසේ වෙතත් අද ඒ මහතාට හිමි විය යුතු ය. ඇතැම් විට ඔහු පක්‍ෂයේ නායකයා හෝ නායිකාව හෝ කවුරුන් වුව ද ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් පෙනත සිටිනවා විය හැකි ය. ඒ එසේ නම් අපට වැඩිදුරටත් ඒ ගැන කතාකිරීම අවශ්‍ය නො වේ. එහෙත් මේ ආණ්ඩුවේ සියළු ඇමතිවරුන් ගැන අපට එසේ කිවහැකි නො වේ. ඇතැම් ඇමතිවරු තවමත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ඇමතිවරු වෙති. ඔවුහු නමට පමණක්, බොහෝ විට වරප්‍රසාද ලබාගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ කටයුතු කරති. විශේෂයෙන් ම ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයේ දී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති මාක්ස්වාදීහු මේ ආණ්ඩුව මගින්් චන්ද්‍රිකා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. තවත් ඇමතිවරු අන්ත දූෂිතයෝ වෙති. ඔවුන්ට අවශ්‍ය ඉදිරි අවුරුදු කිහිපයෙහි දී ඉදිරි පරම්පරා ගණනාවකට සෑහෙන අන්දමින් ධනය උපයා ගැනීම පමණක් වෙයි. තවත් සමහරු දුර්වලයෝ වෙති. මහින්ද රාජපක්‍ෂ මහතාට අද ඇති ප්‍රධාන ම බාධාව ඇමති මණ්ඩලය යැයි සිතෙන තරමට ප්‍රශ්නය ඔඩු දුවා ඇත. ඒ මහතාට අද කිසිම බාධාවක් නැත්තේ එ ජා පක්‍ෂයෙනි. බටහිරයන්ගේ අනුග්‍රහය ලැබුව ද ජ වි පෙරමුණේ කුමාර –- ඕපාත කණ්ඩායම අද සිය දිවි නසාගැනීමේ මාවතකට එළඹී ඇත. සෝමවංස ටිල්වින් අනුර කණ්ඩායම යථා කාලයේ දී කැඩී බිඳී ගොස් කොටසක් සංධානයට ද තවත් කොටසක් එ ජා පක්‍ෂයට ද එකතු වනු ඇත.

ඇතැම් ඇමතිවරුන් නොවන්නට මහින්ද රාජපක්‍ෂ මහතාට රට කරවීමට මෙතරම් සුදුසු කාලයක් නො ලැබෙනු ඇත. එබැවින් ඒ ඇමතිවරුන් නොසලකා හැර වුවත් ජාතික වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ජාතික දේශපාලනයකි. ජාතික ආර්ථිකයකි. ජාතික සංස්කෘතියකි. මතට තිත යහපත් සංකල්පයක් වුව ද එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නැත. අමද්‍යප හාමුදුරුවරුන් ද ඉක්‍ෂුපානය වෙනුවෙන් පෙනී සිටින කල කිසිවකු මොන මතට තිතක් දැයි ඇසීමට ඉඩ ඇත. එහෙත් ඒ ප්‍රතිපත්තිය තදින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විශේෂ උත්සාහයක් දැරිය යුතු ය. බටහිරයන්, දෙමළ ජාතිවාදීන්, ලිබරල් හා මාක්ස්වාදී පුහු පඬියන් ආදීන් කුමක් කීව ද මෙරට සිංහල බෞද්ධ රටකි. එංගලන්තයේ සුරාසල් තිබීම අපට ප්‍රශ්නයක් නො වේ. එරට ක්‍රිස්තියානි නොවන්නන් විශාල පිරිසක් සිටිය ද, ක්‍රිස්තියානි සංස්කෘතිය අනුව එරට අණ පනත් සකස් වීම ගැන අපි ප්‍රශ්න නො කරමු. එහෙත් අපේ රටේ සංස්කෘතිය අමතක කර බටහිර ගැති පඬියන්් සුරා පානය කරන්නන්ගේ ඊනියා මානව අයිතිය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් අපට ඒ ගැත්තන්ගේ ඊනියා මානව අයිතිය සීමා කිරීමට සිදුවනු ඇත. ඊනියා මානව අයිතිය යන්න අනෙක් සියළු සංකල්ප මෙන් ම සංස්කෘතියට සාපේක්‍ෂ ය. නිර්සංකල්පීය දැනුමක් හෝ නිර්සංස්කෘතික සංකල්ප හෝ පෘථග්ජන මිනිසුන්ට නැත. බටහිරයන්ගේ මානව අයිතීන් තීරණය වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ය. අපට ඒවා ඒ ආකාරයෙන් ම අදාළ නො වේ.

මතට තිත යන්නට මත්පැන් මෙන් ම කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය ද අඩංගු විය යුතු ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අකැප වෙළඳාම් වෙයි. අවි ආයුධ මත් ද්‍රව්‍ය ආදී වෙළඳාම සිංහල බෞද්ධ සංස්කෘතියක නොතිබිය යුතු ය. මෙයින් කියැවෙන්නේ හමුදාවක් පවත්වාගෙන යෑම අකැප බව නො වේ. එහෙත් පාතාල ලෝකයකට පැවතීමට ඉඩ තැබීම රටේ සංස්කෘතියට කිසිසේත් ම නො ගැළපෙයි. කිනම් සංවර්ධනයක් සඳහා වුව ද අයථා ක්‍රම මගින් ආදායම් ලබා ගැනීමට රජය නොපෙළඹිය යුතු ය. අපේ සංවර්ධනයේ දී අධ්‍යාත්මයට මුල් තැන ලබාදිය යුතු ය. අපි හැකිතාක් දුරට අල්පේචිඡතාවට හුරු විය යුතු ය. එහෙත් අපේ අධ්‍යාපනයෙන්, එනම් අද ක්‍රියාත්මක වන බටහිර අධ්‍යාපනයෙන්, මුළුමනින් ම එයට විරුද්ධව කටයුතු කෙරෙයි. අපේ ආර්ථිකය ඇඩම් ස්මිත්ගේ හෝ කාල් මාක්ස්ගේ හෝ ආර්ථිකය නොවිය යුතු ය. අපේ දේශපාලනය එක්සේසත් රාජ්‍යය, දශරාජ ධර්ම ආදිය මත පදනම් විය යුතු ය. එක්සේසත් රාජ්‍යයේ ප්‍රධාන ඒකකය විය යුත්තේ ගම්සභාව ය. එය බටහිර දේශපාලන පක්‍ෂ ක්‍රමයෙන් වියෝ විය යුතු ය. අපේ ගැමි ජනතාව කොළඹින් පමණක් නොව ඊනියා ප්‍රාදේශීය ප්‍රධාන නගරවලින් ද ස්වාධීන විය යුතු ය. අප නූතනත්ව පෞද්ගලිකත්වය හා යුරෝපීය මධ්‍යකාලීන සාමුහිකත්වය අතර වූ අපේ මැද පිළිවෙත අනුගමනය කළ යුතු ය. බණ්ඩාරනායක මහතා මධ්‍යම ප්‍රතිපදාවක් ගැන ඉවෙන් කතා කළේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ඒ ඉව ක්‍රියාකාරී වැඩ පිළිවෙළක් බවට පත්විය යුතු ය.