Main Logo

Friday 6 October 2017

නව ව්‍යවස්ථාව මුළුමනින් ප්‍රතික්‍ෂෙප කරමු  


නව ව්‍යවස්ථාව මුළුමනින් ප්‍රතික්‍ෂෙප කරමු



නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපට විසඳා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මල්වතු මහානායක හාමුදුරුවන් මේ ප්‍රශ්නවලට කුමන පිළිතුරු දේවි දැයි හිතා ගන්න පුළුවන්. උන්වහන්සේ දැන් ඉන්නේ වික්‍රමබාහුලා දරණ මතයේමයි. අපට එය ප්‍රශ්නයක් නො වෙයි. අපට වික්‍රමබාහුලා වියන්ගොඩලා ජනරංජලා පන්සල් ගියත් එකයි, නැතත් එකයි. ඔවුන්ට මේ රටේ ඡන්ද දහදාහක් ගන්න බැහැ. ජනමාධ්‍ය නොවන්නට ඔවුන් ජීවත්වන බවවත් ඔවුන්ගේ නෑ හිතමිතුරන් හැරෙන්න වෙන කවුරුන්වත් දන්නේ නැහැ. ජනමාධ්‍ය අපට ඉඩක් නොදුන්නත් වික්‍රමබාහුලාට වියන්ගොඩලාට කාලය (විද්‍යුත් මාධ්‍ය) හා අවකාශය (මුද්‍රිත මාධ්‍ය) ලබා දෙනවා. මේ ආණ්ඩුව පිහිටුවීමට ජීවිත පරිත්‍යාගෙන් වැඩ කළාය කියන ජනරංජන තවමත් ජීවත් වෙනවා! 




මල්වතු මහානායක හිමියන්ට භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස අප ගෞරව කරනවා. එහෙත් මෙරට බුදුසසුන බේරා ගැනීමට ඉදිරියට පැමිණ ඇත්තේ බොහෝ විට මහානායක හිමිවරුන් නොවන භික්‍ෂූන් වහන්සේ. අපට වැදගත් වන්නේ මෙරට ජනමතය හැසිරවීමට හැකි භික්‍ෂූන් වහන්සේ දරණ මතය. මේ ලිපි ලියන්නේ එවැනි භික්‍ෂූන් වහන්සේ ද වෙනුවෙන්. මල්වතු මා නාහිමියන්ට පිළිතුරු දෙන්නට නොවූවත් අප මහනුවර දී ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා රැස්වීමක් පැවැත්වීමට අදහස් කරනවා.  මෙරට සිංහල බෞද්ධයන් 70%ක් පමණ ඉන්නවා. ඒ ප්‍රතිශතය මියන්මාරයේ හරි තායිලන්තයේ හරි ප්‍රතිශතයට අඩුයි. එහෙත් මෙරට බෞද්ධයන් මෙරට සංස්කෘතිය ගොඩනැගීමේ දී කර ඇති කාර්යය වැදගත්.



අපට ප්‍රශ්නය වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා ප්‍රශ්නය අතට නොගැනීම මිස මල්වතු මහානාහිමියන්ගේ ප්‍රකාශය නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් ප්‍රබලයන් මෙරට සංස්කෘතිය හා ඉතිහාසය දන්නේ නැහැ. ඔවුන්ට උපදෙස් දෙන දයාන් ජයතිලක වැනි ඊනියා දේශපාලන විද්‍යාඥයන් දන්නේ බටහිර දේශපාලන විද්‍යාව මිසක් මෙරට දේශපාලන විද්‍යාව නො වෙයි. හැරත් මෙරට කිසිම ආකාරයක දේශපාලන විද්‍යාඥයන් නැහැ. බටහිර ප්‍රවාද අනුව අප රටේ දේශපාලනය කතා කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඩලස්ලා ඒ බව දැනගැනීම වැදගත්. අප රට කැනඩාවක් නො වෙයි. කැනඩාවේ ඉතිහාසයට අවුරුදු කීය ද? එහි සිටි ස්වදේශිකයන්ට සිදු වූයේ කුමක් ද? එරටට පැමිණි ඉංගිරිසින් හා ප්‍රංශයන් රට පාලනය කිරීමේ දී ඇති වූ එකඟතාවක් මත කැනඩාව නම් රාජ්‍යය ඇති වී තිබෙනවා. කැනඩාවේ ප්‍රං කතා කරන්නන් වෙසෙන කිබෙක් ප්‍රදේශය අප රටේ වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් සමග සංසන්දනය කරන්න බැහැ.



ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා ප්‍රශ්නය අතට ගන්නේ නැත්නම් සිංහලයන්ට පමණක් නොව ඇතැම් මුස්ලිම් ජනයාටත් වෙනත් අතක් බලන්නට සිදුවේවි. ඩලස්ලාට හා ගම්මන්පිලලාට අනුව මා අන්තවාදියෙක්. දයාන් ජයතිලක ප්‍රබුද්ධ දේශපාලන විචරකයෙක්. දයාන් ජයතිලක ෆෙඩරල්වාදයෙක්. ඔය කවුරු හරි ඒකීය රාජ්‍යයක් යනු කුමක් දැයි නිර්වචනය කරනවා ද? අර බටහිර දේශපාලන විද්‍යාඥයා එහෙම කියා තියෙනවා මෙයා මෙහෙම කියා තියෙනවා කියලා කියන්න ඕනෙ නැහැ. අප  අපේ ඉතිහාසය මත පදනම් වෙලා ඒකීය රාජ්‍යය කියන්නෙ මොකක් ද කියලා අප කියා තිබෙනවා. ඩලස් ඒ සමග එකඟ වෙනවා ද? 



අද මෙරට දෙමළ කතාකරන මුස්ලිමුන්ට වඩා සිංහල කතාකරන මුස්ලිමුන් ඉන්නවා. පොන්නම්බලම් රාමනාදන්ලා සිංහලයන්ට විරුද්ධව ඊනියා දෙමළ කතාකරන අනන්‍යතාවක් ගොඩ නැගුවා. ඒ ගොනුවට  මුස්ලිම් ජනයාත් ඇතුල් කර ගත්තා. එහෙත් එය කෘත්‍රිමයි. එය හුදෙක් සිංහලයන්ට විරුද්ධව ගොඩනගාගත් සංධානයක්. එහෙත් එය වැඩිකල් පැවතුණේ නැහැ. එකල මුස්ලිම් නායකයන් එයට විරුද්ධ වුණා. පසුව 1976 දී චෙල්වනායගම් නැවතත් ඊනියා දෙමළ කතාකරන සංකල්පය යොදා ගන්න උත්සාහ කළා. එහෙත් වැඩි කල් යන්නට පෙර අෂ්රොෆ් එයින් කැඩුණා. අද නැවතත් ඊනියා දෙමළ කතාකරන සංකල්පය යටතේ මුස්ලිමුන් සිංහලයන්ට විරුද්ධව එකතු කරන්න සූදානම් වෙනවා. එහෙත් ප්‍රභාකරන් මුස්ලිමුන් යාපනයෙන් පැය විසිහතරෙන් එලෙවුවා. සිංහල රජවරුන් කතෝලික පෘතුගීසීන්ගේ හිිරිහැරයට පාත්‍ර වූ මුස්ලිමුන් ආරක්‍ෂා කර වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුවා. කොහොමටත් මුස්ලිමුන් කතා කරන (කළ) දෙමළ යාපනයේ දෙමළ නො වෙයි. මුස්ලිමුන්ගේ දෙමළ බසෙහි මලයාලම් වචන වැඩියි. මෙරට මුස්ලිමුන්ගේ කතාව රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රශ්නය සමග පටලවා ගත යුතු නැහැ. ඊනියා රොහින්ග්‍යා සරණාගත ප්‍රශ්නය අවුල් කෙළේ ආණ්ඩුව. 



අප ප්‍රශ්නය දෙස බලන්නේ රටේ ප්‍රශ්නයක් ලෙස. එය සමස්තයක් ලෙස බලන්නේ සිංහලයන් පමණයි. එහෙත් සිංහල පඬියන් ඒ දෙස බලන්නේ ඊනියා ජනවාර්ගික ඇහැකින්. අප ජනවාර්ගික ඇහැකින් කොටසක ප්‍රශ්නයක් ලෙස බලන්නේ නැහැ. එසේ බලන්නේ ඊනියා දේශපාලන විද්‍යාඥයන්. අප මෙරට ඉතිහාසය, සංස්කෘතිය අධ්‍යයනය කර ඒ අනුව ඒකීය රාජ්‍යය යන්න සලකා බලනවා. ඒකීය රාජ්‍යය යන්න ඉංගිරිසි දේශපාලන විද්‍යාවට එකතු වුණේ මෑතක. එහෙත් අපේ එක්සේසත් රාජ්‍යය අවුරුදු දෙදහසකට වඩා පැරණියි. එය ජාතික රාජ්‍යයක්වත් සභ්‍යත්ව රාජ්‍යයක්වත් නො වෙයි. අප බටහිර සංකල්පවලට කොටු විය යුතු නැහැ. බටහිර දැනුම ස්වාභාවික විද්‍යා යනුවෙන් හැඳින්වෙන ක්‍ෂෙත්‍රවලටත් වඩා සමාජයීය විද්‍යාවන්හි අපට අනර්ථකර ප්‍රතිඵල අත්කර දෙනවා. ලෝකයේ වම හා දකුණ කියන වචනවලටත් අපේ නිර්වචන තියෙනවා. දකුණ කිියන්නේ ජාත්‍යන්තර සුපිරිව්‍ය්‍රුහ සංස්ථාපනය වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම්. ඔවුන් සංස්ථාපන ආධිපත්‍යය පිළිගන්නවා. අපෙ වම සංස්ථාපන ආධිපත්‍යය පිළිගන්නේ නැහැ. මෙරට වාමංශිකයන් යැයි කියා ගන්නා අය වාමාංශික අදහස් දරණ ඊනියා දේශපාලන විද්‍යාඥයන් ආදී සියල්ලන් අද රනිල් සමග එකතු වී ෆෙඩරල් ව්‍යවස්ථාවක්සම්මත කර ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් සියල්ලන් ම සංස්ථාපන ආධිපත්‍යයට යට වූ දක්‍ෂිණාංශිකයන්. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බටහිරයන්, එ ජා ප සමග සමාන අදහස් දරන්නේ අප ද නැත්නම් ඊනියා වාමාංශික පක්‍ෂ හා දේශපාලන විද්‍යාඥයන් ද?    



මෙරට දෙමළ ජනයාට  දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් නැහැ. ඔවුන්ට ඇත්තේ භාෂා අනන්‍යතාවක් පමණයි. දෙමළ නායකයන් දෙමළ භාෂාව කතාකරන සංකල්පය යොදා ගන්නේ ඒ නිසාත්. දෙමළ ජනයාගෙන් ඉතා වැඩි පිරිසක් ජීවත් වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. ඒ ඒ කාලවල දී ලන්දේසින් හා ඉංගිරිසින් මෙරටට ආනයනය  කළ දෙමළ ජනයාට පොදු අනන්‍යතාවක් සාමූහික මනසක් නැහැ. වෙල්ලාලයන් හා ඊනියා දේශපාලන විද්‍යාඥයන් සිංහලයන්ට විරුද්ධව මේ සියලු දෙමළ ජනයාට සාමූහික අනන්‍යතාවක් ලබා දීමට උත්සාහ කරනවා. අපි මේ සියල්ල ඉදිරි ලිපිවලින් තරමක් සවිස්තර ව සලකා බලමු. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා අහිතකර වගන්ති පමණක් නොව සමස්ත නව ව්‍යවස්ථාව ම ප්‍රතික්‍ෂෙප කිරීමට කටයුතු නොකරන්නේ නම් අපි අපට හැකි අයුරින් ඒ කාර්යයට උර දෙමු. පඬියන් හිනහවුණත් එහි දී  අපට සම්‍යක්දෘශ්ටික දෙවි දේවතාවුන්ගේ ආධාරය ද අවශ්‍ය වෙනවා. අපි ඒ වෙනුවෙන් හැකිතාක් ධාර්මික වෙමු.




මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 06