Main Logo

Tuesday 3 October 2017

බෞද්ධයනට උපදෙස්


බෞද්ධයනට උපදෙස්



නව ව්‍යවස්ථාවක් ඕන කරන්නේ බටහිරයන්ට ඉන්දියානුවන්ට ඔවුන්ගේ ඔත්තු සේවාවන්ට ඔවුන්ගෙන් යැපෙන දෙමළ ජාතිවාදීන්ට හා පඬියන්ට බව අප ඊයේත් සඳහන් කළා. මේ ව්‍යවස්ථාව හදිසියේ ගෙන එන්නක් නො වෙයි. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පත් කර  ගත්තේ ම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට. නව ව්‍යවස්ථාව දහතුන රැකීමට හා දහතුන තවත් ඉදිරියට ගෙන යෑමට. ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දෙන ඇතැම් පඬියන් කියනවා තමන් දහතුනෙන් එහාට දශමයක්වත් යෑමට ඉඩ නො දෙන බව. එය හුදු වාගාඩම්බරයක් පමණයි. අප රැවටීමක් පමණයි. ආණ්ඩුවත් කියන්න ඉඩ තියෙනවා තමන් දහතුන නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් දෙයක් කරන්නෙ නැහැ කියලා.




එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂය තවමත් මේ පුහු පඬියන් උපදේශක තනතුරේ තබා ගෙන ඉන්නේ ඇයි ද යන්නයි. ජෙනීවාහි ප්‍රශ්නය අවුල් කිරීමටත් මුල් වූයේ ඔවුන්. මංගල ඒ පුස්සන්ගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගියා පමණයි. මේ පඬියන් හා මංගලලා විරුද්ධ මත ප්‍රකාශ කරන්නේ යැයි ඇතැමුන්ට හිතෙන්න පුළුවන්. එය මුසාවක්. ඔවුන් ඉන්නේ එක ම පැත්තේ. රටේ ඒකීය භාවය නැති කළ දහතුන පැත්තේ.



නව ව්‍යවස්ථාව පරාජය කිරීමට නම් පළමුව දහතුනට විරුද්ධ විය යුතුයි. මේ ආණ්ඩුව තියෙන තාක් අප දහතුන ඉවත් කර ගැනීම කටයුතු කළ යුතු නැහැ. අප මේ අවස්ථාවේ දී කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට පක්‍ෂ වන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ මුවාවෙන් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් පස්ස දොරෙන් ගෙන ඒමට ඉඩ තිබෙන නිසා. ආණ්ඩුව පළාත් සභා ආයතනවල ඡන්දය කල් දැමීමට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. අධිකරණයෙන් එය ප්‍රතික්‍ෂෙප වුණාට පස්සෙ කාන්තා නියෝජනත්වය වැඩි කළ යුතු බවට පනතක් ගෙනාවා. ඉන්පසු ඒ පනතට ගෙන ආ සංශෝධන මගින් පළාත් සභා ඡන්ද කල් දැමීමට මග සලසා ගත්තා. මෙහෙමත් දූෂිත ආණ්ඩුවක් තවත් තිබී නැහැ. දැන් අර්ජුන් මහේන්ද්‍රන් තමාට බැඳුම්කර සිද්ධියේ දී රනිල් උපදෙස් දුන් බව ප්‍රසිද්ධියේ කියනවා.



පළාත් සභා ඡන්ද කල් දැමීමට පසුබිම සකසා ගැනීමෙන් එක් හොඳක් නම් සිද්ධ වුණා. පළාත් සභාවල ඇතැම් බලතල පාර්ලිමේන්තුව අත්පත් කර ගත්තා. එහෙත් එයින් විශේෂ වාසියක් ජාතික ව්‍යාපාරයට අත් වුණේ නැහැ. එහි වාසිය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයත් ජාතික ව්‍යාපාරයත් අසමත් වෙලා තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ හා මල් පොහොට්ටුවේ බොහෝ දෙනෙකුට ජාතිකත්වයක් නැහැ. මේ නායකයන් සමහරු පළාත් සභාවලින් ඒ බලතල උදුරා ගැනීම ගැන ආණ්ඩුවටත් එසේ බලතල උදුරා ගැනීමට ආධාර කිරීම ගැන දෙමළ ජාතික සංධානයටත් දොස් කියනවා.



මෙයට කලින් මහින්ද ජනාධිපති කාලයේ දහතුනේ ඇතැම් වගන්ති වෙනස්  කිරීමට වත්මන් ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකුට අවශ්‍ය වුණා. දහතුනෙන් පළාත් සභාවලට ලබා දී ඇති ඉඩම් හා පොලිස් බලතල ආපසු ලබා ගැනීමට එකල සංධානයේ සිටි මේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වුණා. ඔවුන් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ද පිළියෙළ කළා. එහෙත් සංධානයේ සිටි ඇමතිවරුන් කිහිප දෙනකු නිසා එය වැළකී ගියා. ඒ ඇමතිවරුන්ට අවශ්‍ය වූයේ ඒ බලතල පළාත් සභා යටතේ ම පවත්වා ගෙන යෑම. ඔවුන් අද පොහොට්ටුවේ ප්‍රධානීන්!



ඒකාබද්ධ විපක්‍ෂයේ අනුගාමික ජනතාවට ජාතිකත්වයක් තිබුණත් එහි බොහෝ නායකයන්ට ජාතිකත්වයක් නැහැ. මේ නායකයන්ගෙන් ඇතැමකු බොරු සමාජවාදීන්. තවත් පිරිසක් බටහිර ලිබරල්වාදීන්. ජා නි පෙ හැරුණු විට ඒකාබද්ධ විපක්‍ෂය තවමත් ව්‍යවස්ථා මණ්ඩලයේත් එහි මෙහෙයුම් කමිටුවේත් ඉන්නවා. අද ඔවුන් කතා කරන්නේ නව ව්‍යවස්ථාවේ අහිතකර වගන්ති ඉවත් කිරීම ගැනයි.



අහිතකර වගන්ති කවරේ ද යන්න ඊළඟ ප්‍රශ්නය වෙනවා. නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අහිමි වෙනවා. එහෙත් මෛත්‍රිපාල කියන්නේ ඒ එසේ නොවන බවයි. ඉතා වැඩි පිරිස මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව කියවා නැහැ. මෛත්‍රිපාලත් පෙරේදා වන තෙක් එය කියවා තිබුණේ නැහැ. ඔහු බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය නැති නොවන බව කිව්වේ ජයම්පති වික්‍රමරත්නගෙන් අහලයි. රටේ ජනාධිපතිත් එහෙම නම් අනෙක් බොහෝ දෙනා ගැන කියනුම කවරේ ද?



ඊයේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් මල්වතු මහා නාහිමියන් බැහැ දැක බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය නැති වන බව කී අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය නැති නොවන බව කියා ඇති බවත් උන්වහන්සේ කවුරුන් විශ්වාස කළන යුතු ද බවත්. උන්වහන්සේ සමහර විට දැන නොසිටින්න ඇති ජනාධිපති ප්‍රකාශය ජයම්පතිගේ ප්‍රකාශයක් වන බව. උන්වහන්සේට විශ්වාස දිනේෂ් ගුණවර්ධන ද ජයම්පති වික්‍රමරත්න ද යන්නයි මෙතන තියෙන ප්‍රශ්නය.



උන්වහන්සේ කළ යුතුව තිබුණේ ඒ ඒ අය කියන දෙය නොපිළිගෙන කාලාම සූත්‍රය අනුගමනය කරමින් මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව කියවීමයි. එහෙත් මල්වතු මහා නාහිමියන්ට කාලාම සූත්‍රය ගැන කීමට මා කවු ද? මල්වතු කාරක සභාව නව ව්‍යවස්ථාව ගැන තීරණයක්  ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේලාට අවශ්‍ය නම් අතුරු වාර්තාවේ සහතික කරන ලද පිටපත් ලබා දෙන්න පුළුවන්. අද බෞද්ධ මහාජනතාව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඇතැම් මහානායක හාමුදුරුවරුන් දැනටමත් නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරලා. උන්වහන්සේලා ඒ සම්බන්ධයෙන් අහිතකර වගන්ති ඉවත් කිරීමට පමණක් බලාපොරොත්තුවන ඒකාබද්ධ විපක්‍ෂයට යහපත් අනුශාසනයක් කර තිබෙනවා. අද අපට අවශ්‍ය සියලු මහානායක හිමිවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක්. ප්‍රමාදවීමට කාලයක් නැහැ. ඒ ඒ වාර්තා පනත් කෙටුම්පත් නොකියවන මහාජනතාවට මහානායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අවශ්‍යයයි.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 03