Main Logo

Friday 13 October 2017

අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම  


අස්ගිරිය, ව්‍යවස්ථාව හා ජනාධිපතිගේ වගකීම





නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම සිංහලයන්ගේ පමණක් නොව දේශප්‍රේමී මුස්ලිම් හා දෙමළ ජනයාගේ ද යුතුකම හා වගකීම විය යුතු ය. නව ව්‍යවස්ථාවේ ඊනියා අහිතකර වගන්ති සංශෝධනය කිරීම අපේ කාර්යය නොවිය යුතු ය. එසේ කළහොත් එක පැත්තකින් රනිල් පළාත් ආයතන පිළිබඳ පනතේ කළාක් මෙන් සංශෝධන මගින් තමන්ට වුවමනා වෙනත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරනු ඇත. එහෙත් එයටත් වඩා වැදගත් කරුණ වනුයේ මේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැති වීම ය. 2015 අගෝස්තු මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඡන්දය ඉල්ලූ එ ජා පෙරමුණට මන්ත්‍රි ධුර 106ක් පමණක් ලැබිණි. ඒ මන්ත්‍රී ධුර 225කිනි. එමෙන් ම එ ජා පෙරමුණට මුළු ඡන්දවලින් 50%ක් නො ලැබීණි. එයින් කියැවෙන්නේ ජනතාව මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රතික්‍ෂෙප කර ඇති බව ය.




වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාව අනුව විවිධ අංශවලින් පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. හතරවැනි ව්‍යවස්ථාව තුන්වැනි ව්‍යවස්ථාව සමග බැඳී ඇති අතර ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගිනි. පාර්ලිමේන්තුවට ජනතා පරමාධිපත්‍යයට පිටින් ගොස් ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළ නො හැකි ය.  පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය විසින් නියම කෙරෙන දේ මිස එයට විරුද්ධ දේ නො වේ.



ජනතා පරමාධිපත්‍යයෙන් ඉතා පැහැදිලිව නව ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කර තිබිය දී ආණ්ඩුව එයට විරුද්ධව ගොස් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන් ම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා  ඊනියා ව්‍යවස්ථා  මණ්ඩලයක් පිහිටුවීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතරවැනි ව්‍යවස්ථාවලට පිටින් ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුවක් ඇත්තේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීමට මිස උල්ලංඝනය කිරීමට නො වේ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය. එය සංශෝධනය කළ හැකිය. ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාවක් සම්මත කර ගත හැකි ය. එහෙත් ඒ කළ යුත්තේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ව මිස එය උල්ලංඝනය කිරීමෙන් නො වේ. එහෙත් අද ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතරවැනි ව්‍යවස්ථා උල්ලංඝනය කරලා. අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ආණ්ඩුවට සහාය වෙලා. ජා නි පෙ පමණක් පසුව කිනම් කරුණක් නිසා නමුත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරුන් තවමත් ව්‍යවස්ථා මණ්ඩලයේ ජනතා පරමාධිපත්‍යයට එරෙහි ව කටයුතු කරනවා.



අස්ගිරි මහානායක හිමියන් ප්‍රධාන මහා සංඝයා වහන්සේ සති කිහිපයකට පෙර නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතු බවට ප්‍රකාශයක් කළා. එහෙත් ඊයේ අස්ගිරි මහානායක හිමියන් කිරිඇල්ලට පවසා ඇත්තේ කිසිවකු ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වීම අනුමත නොකළ හැකි බවයි. ව්‍යවස්ථා මණ්ඩලය පත් කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. එසේ නම් එයට සහභාගි වීමෙන් කෙරෙන්නේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවන බව කාහට වුවත් පැහැදිලි විය යුතුයි. අස්ගිරි මහානායක හිමියන් උන්වහන්සේට ආවේණික චතුස්කෝටික න්‍යායක් අනුව තර්ක කරනවා ද දන්නේ නැහැ.



කෙසේ වෙතත් මෛත්‍රිපාලටත් විධායක ජනාධිපති ලෙසවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජන වරමක් නැහැ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා පමණක් අවශ්‍ය නම් සංශෝධනය කිරීමට. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නැහැ. එහෙත් දැන් සංශෝධන ඉදිරිපත් කිරීමටවත් සුදුසු කාලයක් නොවන්නේ රනිල් සංශෝධන මගින් වෙනත් ම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩ ඇති බැවින්.



අනෙක් අතට ජනාධිපතිට මේ සියල්ල විසි කරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1)(අ) ව්‍යවස්ථාව අනුව ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමට හා එය රැකීමට බැඳී සිටිනවා. මෛත්‍රිපාල කළ යුත්තේ ඒ ව්‍යවස්ථාව යොදා ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පිහිටුවා ඇති ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කිරීමයි. අප මතක තබා ගත යුත්තක් නම් ජනාධිපතිට වුවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නව ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ නො හැකි බවයි. ජා නි පෙ ජනාධිපතිට එසේ කියා ඇත්නම් එයත් ජනතා පරමාධිපත්‍යයට පටහැණි ව යැමක්. ජනතා පරමාධිපත්‍යයෙන් තීරණය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ අනවශ්‍ය බව හා නව ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කළ යුතු බවයි.



අපි ජනතාව විසින් 2015 දෙනු ලැබ ඇති තීරණයේ දැඩිව ඉඳිමු. ඒ තීරණයට ගරු කරමු. එසේ කරමින් නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම්, ආණ්ඩුවට, ඊනියා ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ට ව්‍යාජ මැදමාවත් අනුගමනය කරන ඊනියා ස්මාට් දේශප්‍රේමීන්ට හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට (ස්මාට් වුවත් ඔවුන් ස්කොට්ලන්තය එංගලන්තයේ යටත්විජිතයක් වූ අයුරුත් අද ස්කොට්ලන්තයේ සටන එංගලන්තයෙන් නිදහස ලබා ගැනීමට බවත් දන්නේ නැහැ), ඒකාබද්ධ විපක්‍ෂයේ ව්‍යාජ සමාජවාදීන්ට හා ලිබරල්වාදීන්ට කළ හැකි දෙයක් තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීමට කටයුතු කර නව ව්‍යවස්ථාවක් සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් වරමක් ලබා ගැනීමට මහා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිට උපදෙස් දිමයි.      





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 13