Main Logo

Sunday 1 October 2017

විද්‍යා ඝාතනය


විද්‍යා ඝාතනය



මේ සිවලෝගනාදන් විද්‍යා ඝාතනය මිස බටහිර විද්‍යා ඝාතනය නො වේ. බටහිර විද්‍යාවට පැවැත්මක් ඇත්තේ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත හිතළු පමණයි. ඒ හිතළු ඇතැම් විට හරි යනවා. එහි ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟා වීමක් නැහැ. බටහිර විද්‍යාව සත්‍යය යැයි කිව හැක්කේ සත්‍යය යනු කුමක් දැයි දන්නේ නම් පමණයි. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය යැයි හෝ සත්‍යයට ළඟා වන්නේ යැයි හෝ කියන්නේ කෙසේ ද? මෙය සයන්ස් යන්න විද්‍යාව ලෙස පරිවර්තනය වීම නිසා සිදු වී ඇත්තක් නො වේ. ලොවේ අන් රටවල, විශේෂයෙන් ම බටහිර රටවල, සයන්ස් සත්‍යය හෝ සත්‍යයට ළඟා වන්නක් ලෙස සැලකෙනවා. පඬියන් වීමට උත්සාහ කරන ඇතැමුන් මේ බවක් දන්නේ නැහැ.  බටහිර විද්‍යාව පවත්වාගෙන යනු ලබන්නේ පට්ටපල් බොරුවලින්. එහි ඝාතනය කිරීමට දෙයක් නැහැ.




සිවලෝගනාදන් විද්‍යා ඝාතනයේ නඩු තීන්දුව දී අවසන්. එහෙත් ඒ සිද්ධියට අදාළ දේ අවසන් නැහැ. යාපනයේ හර්තාල් පැවතුණා. ඒ ඝාතකයන්ට පැන යෑමට ආධාර කළ අයට විරුද්ධ ව. ඒ ආධාර කළ අය ගැන නඩු තීන්දුවේත් සඳහන් වුණා. විශේෂයෙන් ම අප කලිනුත් අසා ඇති ඉලන්චේලියන් මානික්කවාසගර්   මහාධිකරණ විනිසුරුතුමා ඒ ගැන සඳහන් කර තිබුණා. හැමදාමත් හර්තාල් කිරීමට නොහැකි බව දේශපාලනඥයන් දන්නවා. ඒ නිසා ඔවුන් කරන්නේ එවැනි කාලවල කරළියට පැමිණීමෙන් තාවකාලික ව වැළකීමයි.



විද්‍යා ඝාතනයේ පළමු සැකකරු ස්විස් කුමාර් ගැන පුවත්පත්වල මෙන් ම නඩු තීන්දුවේ ද විශේෂයෙන් සඳහන් වුණා. ඔහු සවිට්සර්ලන්තයේත් වාසය කර තිබෙනවා. ජෙනීවා සම්මේලනවලට සහභාගි වුණා ද දන්නේ නැහැ. රූමත් තරුණියන් දූෂණය කෙරෙන චිත්‍රපටි සපයන ලෙසට ඔහුට ස්විට්සර්ලන්තයේ යම් කිිසිවකු ඉල්ලා තිබෙනවා. ඒ කුමකට ද යන්න ගැන අපට දැනට කළ හැක්කේ බටහිර විද්‍යාවේ දී මෙන් හිතළුවක් කීම පමණයි. කොටි ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇතැම් ඡායාරූප හා චිත්‍රපටි හමුදාවට අපකීර්තියක් ගෙන දෙන ලෙස කෘත්‍රිම ව සකසා ලෝ පුරා බෙදා හැර ඇති ආකාරය රහසක් නො වෙයි.



ස්විස් කුමාර් ඝාතකයා ප්‍රදේශයේ ජනතාව විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේ දී ඔහු ඒ ජනතාවගේ පහරදීම්වලට ලක් වී තිබෙනවා. ස්විස්කුමාර් ප්‍රදේශ වාසීන්ගෙන් බේරා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රිණි විජයකලා මහේස්වරන් එහි ගොස් තිබෙනවා. ඇය ඒසේ ගොස් ස්විස්කුමාර් පහරදීම්වලින් බේරා ගැනීම පිළිබඳ ව ව්ජයකලාට  ඉලන්චේලියන් විනිසුරුතුමා ප්‍රශංසා කරනවා. එහෙත් ස්විස්කුමාර්ට පොලීසියෙන් පැන යෑමට ද ඇය උපකාර කළ බව කියැවෙනවා. ඒ ගැන විනිසුරුතුමාගේ ඇත්තේ විවේචනයක්. ඒ සමග කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය තමිල්මාරන්ගේ නම ද කියැවෙනවා.



මා කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේ සිට තමිල්මාරන් දන්නවා. එකල ඇතැමුන් පැවසුවේ ඔහු කොටියකු බවයි. මා ඒ ගැන දන්නේ නැහැ. ඔහු මා සමග කිසි විටෙකත් දෙමළ ජනයාට සිදු වී ඇති ඊනියා අසාධාරණයක් ගැන කතා කර නැහැ. ඔහු වරක් කැනඩාවට ගොස් ආපසු පැමිණීමේ දී විශ්වවිද්‍යාලය සමග නිවාඩු ප්‍රශ්නයක් ඇති කර ගත්තා. ආචාර්ය සංගමය නියෝජනය කරමින් මා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. ඔහු චෝදනාවන් නිදහස් වුණා. එකල තමයි ඇතැමුන් පැවසුවේ ඔහු කොටියකු බවත් ඔහු වෙනුවෙන් කටයුතු නොකළ යුතු බවත්. ඒ කෙසේ වෙතත් ස්විස් කුමාර් සම්බන්ධයෙන් ඔහුගේ නමත් කියැවෙනවා. අද ඒ ගැන සොයා බැලිය යුතුයි.  ඔහු වරදකරුවකු නම් ඔහුට දඬුවම් පැමිණ විය යුතුයි.



විජයකලා ගැන කියන්නේ කුමක් ද? ඇය ගැන නඩු තීන්දුවේ සඳහන් වෙනවා. ඇයගේ ක්‍රියා නිසා ස්විස් කුමාර්ට පොලීසියෙන් පැන යෑමට හැකි වී තිබෙනවා. මේ ගැන රනිල් කියන්නේ කුමක් ද? ඇය එ ජා පෙරමුණේ මන්ත්‍රිණියක් ලෙස පක්‍ෂ විනය කඩ කර තිබේ ද? රනිල් මේ සම්බන්ධයෙන් පක්‍ෂ  අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි. කතානායක රනිල්ගෙන් විශේෂ අවසරයක් ගෙන පාර්ලිමේන්තු පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.



ඒ සියල්ලට ම වඩා අපරාධ විමර්ශන කොට්ඨාසය ස්විස් කුමාර් සිද්ධිය සම්බන්ධයෙන් විජයකලා සහ තමිල්මාරන් ගැන පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි. ජනතාවගේ හර්තාල් දිගින් දිගට ම පවත්වාගෙන යන්න බැහැ. එහෙත් ඒ නිසා මේ සිද්ධිය යටපත් වීමට ඉඩ නොදිය යුතුයි. ස්විස් කුමාර ඇතුළු කිහිප දෙනකුට මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා. ඔවුන් තීන්දුවට විරුද්ධ ව අභියාචනා ඉදිරිපත් කරාවි. ඒ කුමක් වුවත් විජයකලා හා තමිල්මාරන් සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ ඇරඹීය යුතුයි. අපරාධ කරුවකුට පැන යෑමට ආධාර කිරීමත් අපරාධයක් විය යුතුයි. ස්විස් කුමාර්ට පැන යෑමට කිසිවකු ආධාර කර ඇත්නම් ඒ අයට නිසි දඬුවම් දිය යුතුයි. එමෙන් ම අර ඡායාරූප එවන්නට කී පුද්ගලයා ගැනත් පරීක්‍ෂණ ඇරඹීය යුතුයි 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 01