Main Logo

Monday 16 October 2017

සිංහල දෙමළ සම්භව  


සිංහල දෙමළ සම්භව



උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා ඉංගිරිසි ගුරුවරයෙක්. එතුමා කතෝලික පවුලක උපත ලද අයෙකු නමුත් මහජන නියෝජිතයකු වුණේ සිංහල බෞද්ධයන් වැඩියෙන් වාසය කරන පාණදුරෙන්. එතුමා කලක් දැන් පැවිදි වී සිටින ජී අයි ඩී ධර්මසේකරගේ අනුගාමිකයෙක් වුණා. සමහර විට එතුමා එකල ජාතිකවාදියෙක් වෙන්න ඇති. එහෙත් පසුව එතුමා චන්ද්‍රිකාගේ අනුගාමිකයෙක් වුණා. ඒ අනුහසින් දෝ අද එතුමා උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා. එතුමා ධර්මසේකර සමග සිටියා නම් කවුරුන් වීමට තිබුණා ද?




රෙජිනෝල්ඩ් කුරේ පහුගිය දා හොඳ කතාවක් කරලා තිබුණා. ඔහු කතෝලික පවුලක ඉපදුනත් බෞද්ධ කතා දන්නවා, කාලෝ ෆොන්සේකා වගේ. ඔහු දන්නවා බෞද්ධයන් දෙවියන්ගෙනුත් ආධාර බලාපොරොත්තු වෙන බව. මේ දෙවියන් කවුද? ඔවුන් බෞද්ධයන්ට ලැබුණේ හින්දු ආගමෙන් ද? කොහොමටත් රෙජිනෝල්ඩ් කුරේ කියන්නේ බෞද්ධයන් හා හින්දූන් එකම දෙවිවරුන් අදහන බවක්.



එයටත් වඩා  වැදගත් කතාවක් රෙකු (රෙජිනෝල්ඩ් කුරේ) කියා තිබුණා. ඔහුට අනුව සිංහල මෙන් ම දෙමළ ජනයා අවුරුදු දෙදහස් පන්සියකට කලින් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එහෙම එන ගමන් මේ දෙවියන් හුවමාරු කර ගත්තා ද කියා රෙකු කියන්නේ නැහැ. ඒ කාලෙ ඉන්දියාව කියලා රටක් තිබුණෙ නම් නැහැ. ඒත් ඉන්දියාව කියලා හඳුන්වන්න පුළුවන් දේශයක්, භූමියක් තිබුණා. පස්සෙ හරි එහෙම නොවන්න, පොළොව රවුන් කියලා දැනගත්තට පස්සෙ කොලම්බස් ඉන්දියාව හොයන්න බටහිරට යාවි යැයි.



සිංහල හා දෙමළ ජනයා ඉන්දියාවෙන් (එලෙස හැඳින්වෙන භූමියෙන්. රට, භූමිය, ප්‍රදේශය ආදිය එකම නොවෙයි. රාජ්‍යය කියන එක ඊටත් වඩා සංකීර්ණයි) එන්න, අවුරුදු දෙදහස් පන්සීයකට ඉස්සෙල්ලා ඉන්දියාවෙ සිංහල දෙමළ ජනයා හිටිය ද? දෙමළ යනුවෙන් ජාතියක් නම් ලෝකයේ කොහේවත් කවදාවත් ඉඳලා නැහැ. අදත් නැහැ. දෙමළ රජවරුත් ඉඳලාත් නැහැ. චෝල පල්ලව පාණ්ඩ්‍ය ආදී වශයෙන් රාජ වංශ නම් තිබිලා තියෙනවා. අපට අශෝක බුද්ධාගම එවපු අශෝක රජුගේ ජාතිය කුමක් ද? එරජුගේ ජනවර්ගය කුමක් ද? එතුමා මුරාගේ මුණුබුරකු වූ බවත් මෞර්ය වංශයට අයත් බවත් පාඨලීපුත්‍ර නගරයේ විසූ බවත් ඉතිහාසයේ කියැවෙනවා. එතුමාගේ වංශය ගැන මිස ජනවර්ගය හෝ ජාතිය හෝ ගැන කියැවෙන්නේ නැහැ.



දෙමළ ජනවර්ගයක් නොසිටියත් දෙමළ කතාකරන ජනතාවක් නම් අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ජීවත් ව සිටි බව සංගම් සාහිත්‍යයෙන් හා දෙමළෙන් ලියැවී ඇති පොත්වලින් පැහැදිලි වෙනවා. ඒ පොත්වලින්වත් දෙමළ ජනවර්ගයක් හරි දෙමළ ජාතියක් හරි ඇති වීමට  රුකුළක් දීලා නැහැ. ඉංගිරිසි ගුරුවරයකු හැටියට රෙකු දන්නවා ඇති ෂේක්ස්පියර්ගේ සාහිත්‍යය පසු කලෙක ඉංගිරිසි ජාතික රාජ්‍යය පිහිටුවීමට උපකාර වූ හැටි. ෂේක්ස්පියර්ගේ කාලයේ ඉංගිරිසි කතාකරන ජනතාවක් මිස ඉංගිරිසි ජාතියක් හිටියේ නැහැ. රෙකු කොහොම වෙතත්, මෙරටත් ගෙදර ඉංගිරිසි කතා කළ පිරිසක් ඉංගිරිසි සිරිත් විරිත් අනුකරණය කළ පිරිසක් හිටියා. දැනුත් ටිකක් හරි ඉන්නවා. ඒත් ඔවුන් ඉංගිරිසි ජාතියට අයත් වෙන්නෙ නැහැ.



අපට කියන්න පුළුවන් දෙමළ කතා කරන ජනතාවක් අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ හිටි බවත් ඔවුන්ගෙන් පිරිසක් දහහත්වැනි සියවසේ හා ඉන්පසුව ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ලංකාවට ආනයනය කරනු ලැබූ බවත්. රෙකු නිකම් ඉන්න වෙලාවක යාපන කච්චේරියට ගොස් තෝම්බු කියෙවුවොත් විග්නේස්වරන් සුමන්තිරන් ආදීන්ගේ මුතුන් මිත්තන් ලංකාවට පැමිණි කාලය දැනගන්න පුළුවන්. කාර්ය බහුල රෙකු නිකම් ඉන්න වෙලාවක් නැති නිසා බොහෝවිට එයට ඉඩක් නොලැබේවි. කවුරුන් හරි ජේම්ස් රත්නම් මේ පවුල්වල ඉතිහාසය ගැන ලියලා තියෙන දේ රෙකුට දෙනවා නම් හොඳයි.  ජේම්ස් රත්නම් චන්ද්‍රිකාගේ ඉතිහාසය ගැනත් ලියලා තියෙනවා. චන්ද්‍රිකා කොහෙන් ආවත් දැන් සිංහල ජාතියට අවශෝෂණය වෙලා තියෙනවා. ඇගේ පුතා විමුක්ති නම් සිංහලයකු වීම ගැන ලජ්ජා වෙනවා. චන්ද්‍රිකා එසේ අවශෝෂණය වුවත් සුමන්තිරන්ලාට අවශෝෂණය වීමට මෙරට දෙමළ ජනවර්ගයක් තිබුණේ නැහැ, ඇත්තෙත් නැහැ. ඔවුන් තවමත් දෙමළ කතා කරන ජනයා. දෙමළ ජනයා අවුරුදු දෙදහස් පන්සියකට පෙර ඉන්දියාවෙන් ලංකාවට පැමිණියේ යැයි කීම පට්ටපල් බොරුවක්. ඒත් එය බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීම සමග සසඳන්න එපා.



අද දකුණු ඉන්දියාවෙ අඩුම තරමෙන් දෙමළ කතාකරන ජනයා ඉන්නවා. අවුරුදු දෙදහස් පන්සියේ කතාව පැත්තකට දැම්මත් විග්නේස්වරන්ලා අද ඊයේ ඔවුන්ගෙන් පැවත එන්නන් බව කියන්න පුළුවන්. එහෙත් සිංහලයන් ගැන කියන්න පුළුවන් මොකක් ද? අදවත් පෙරවත් ඉන්දියාව යැයි හැඳින්වෙන භූමියේ කිනම් ප්‍රදේශයකවත් සිංහල ජාතියක් ජනවර්ගයක් තබා සිංහල කතා කරන ජනතාවක්වත් සිටියා ද? සිටින්නේ ද? වංග හා කාලිංග (ආසන්න වශයෙන් වත්මන් බෙංගාලය හා ඔඩෙස්සා) පෙදෙස්වල ජනයාගේ ජාන හා සිංහලයන්ගේ ජාන අතර 25%ක පමණ සම්බන්ධයක් තිබෙන බවක් කියැවෙනවා. එක් පුද්ගලයකු කියන ආකාරයට ඒ ප්‍රදේශයේ සෙල්ලිපියක සඳහන් වෙනවා, සිංහබාහුගේ මුණුබුරකු(?) මෙරට කුල කාන්තාවක් විවාහ කරගත් බව. ඒ තොරතුර ගැන මට සහතික වන්න බැහැ. එහෙත් අවුරුදු දෙදහස් පන්සියකට පෙර වංග කාලිංග දේශවලින් මෙරටට ජනයා සංක්‍රමණය වී ඇති බවත් ඔවුන් කුවේණිය ඇතුළු මෙරට සිටි කාන්තාවන් විවාහ කරගෙන ඇති බවත් පැහැදිලියි.



එසේ පැමිණි පිරිස කවුරුන් වුවත් සිංහලයන් නම් නො වෙයි. අඩුම තරමෙන් ඔවුන් සිංහල නමින් භාෂාවක් කතා කර නැහැ. වංගයේ සිංහල භාෂාවක් තිබූ බවට සාක්‍ෂියක් නැහැ. වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි පිරිස් මෙරට විසූ යක්‍ෂ නාග ආදී ජනතාව සමග මිශ්‍ර වීමෙන් සිංහල භාෂාවත් සිංහල ජනවර්ගයත් පසුව සිංහල බෞද්ධ සංස්කෘතියත් සිංහල බෞද්ධ ජනවර්ගයත්, සිංහල එක්සේසත් රාජ්‍යයත් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා (පූර්ව) සිංහලයන්ගේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සියකට සීමා වන්නේ නැහැ. එය ඊටත් එහාට යනවා. මේ ඉතිහාසයේ එක් අවස්ථාවක අප සිංහල වී තිබෙනවා. තවත් අවස්ථාවක බෞද්ධ වී තිබෙනවා. ගැමුණු රජුගේ කාලයේ සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යය පිහිටුවනු ලැබුවා. ඒ රාජ්‍යය 1815 දී නැති වුණා. එක්සෙසත් රාජ්‍යයත් ඒකීය රාජ්‍යයක්. 1815 දී සිංහල බෞද්ධ රාජ්‍යය නැතිවුණත් ඉංගිරිසින්ගේ ඒකීය රාජ්‍යයක් තිබුණා. දහතුන්වැනි සංශෝධනයෙන් ඒ ඒකීය රාජ්‍යයත් නැති වුණා. අද ඇත්තේ ඒ්කීය රාජ්‍යය රැකගැනීමේ සටනක් නොව ඒකීය රාජ්‍යය නැවත දිනා ගැනීමේ සටනක්. ඒ සටනේ දී රෙකු ඉන්නේ අපේ පැත්තේ නොව චන්ද්‍රිකාගේ පැත්තේ. දෙවියන් ගැන අපි පස්සෙ කතා කරමු.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 16