ගුරුත්වාකර්ෂණ බලය
සමහරු හිතන්නෙ ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියෙනවා කියලා. එය ඇත්තක්
කියලත් කියනවා. ඇත්ත සත්‍යය ආදිය සත්බව නැත්නම් ඇති බව සමග බැඳිලා. අප ඇත්ත කියලා
කියන දෙය තියෙන්න ඕන. ඒත් මේ තියෙනවා කියලා කියන්නෙ මොකක් ද? තියෙන දේ තියෙන බව අප දැනගන්න ඕන. එහෙම
දැනගන්නෙ කොහොම ද? මේ ප්‍රශ්නයට දෙන පිළිතුර මොකක් ද?
ගුරුත්වාකර්ෂණය තියෙනව ද?
ද්වයතානුපස්සනා සූත්‍රයට අනුව පෘථග්ජන අප කියන්නෙ මුසා. බුදුන්
වහන්සේ සත්‍ය අසත්‍ය කියන වචන යොදා ගත්තෙ නැහැ. සත්‍ය කියන්නෙ තියෙන බව. උන්වහන්සෙ
යොදා ගත්තෙ සම්මා මුසා ආදී වචන. සම්මා හෙවත් සම්‍යයක් යන්න අපට බොහෝ තැන්වල දකින්න
පුළුවන්. ඉන් කියැවෙන්නෙ යහපත සෙත වැනි අදහසක්. සම්මා දිට්ඨිය අපට නිවන් අවබෝධයට
උපකාර වෙනවා. ඒ අර්ථයෙන් සම්මා දිට්ඨි යහපත් දිට්ඨි. එහෙත් අප තේරුම් ගත යුතු
කරුණක් නම් දිට්ඨි සියල්ල මුසා බව. බුදුන් වහන්සේ සම්මා දිට්ඨි මිසක් සත්‍ය දිට්ඨි
කියා කිව්වේ නැහැ.
අපට ඇත්තේ විඥානය. රහතන් වහන්සේට ඇත්තේ ඥානය. කේවට්ඨ සූත්‍රයට අනුව
අනුදස්සන විඥානයත් රහත් ඵලයට පැමිණීමේ දී නිරෝධ වෙනවා. විඥානය ඇති වීම ගැන පටිච්ච
සමුප්පදායෙ කියැවෙනවා. විඥානය හා නාම රූප එකිනෙක සමග සම්බන්ධයි. නළකලාප සූත්‍රයෙහි
විඥාන පච්චයා නාම රුප, නාම රූප පච්චයා විඥාන යනුවෙන් සඳහන්
වෙනවා. එය හරියට එකිනෙක මත යැපෙන දඬු දෙකකින් සැදුණු කරුවක් වගෙයි. පූජ්‍ය
කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමින් වහන්සේට අනුව එය දිය සුළියක් මෙන්. අප සියලු දෙනා
ඥානවන්තයන් නොව විඥානවන්තයන්.
අප යම් යම් දේ ඇති දේ ලෙස දකින්නේ මේ විඥානයත් සමගින්.
පටිච්චසමුප්පාදය මෙහි දී වැදගත් වෙනවා. අවිජ්ජා යනුවෙන් පටිච්චසමුප්දදායෙහි සඳහන්
වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනවබෝධයයි. යථාභූත බව යනු අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එය
ඊනියා යථාර්ථයක් නො වෙයි. අද ඇතැම් බෞද්ධයන් යථාභූතබව යථාර්ථය බවට පත්කරගෙන. ඒ
බෙද්ධයන් හීනයානයේවත් මහායානයේවත් නොව බටහිරයානයෙහි හෙවත් නවයානයෙහි. මේ යානයේ
බෞද්ධයන් බුදුදහම බටහිර දැනුමට, විශේෂයෙන් ම බටහිර විද්‍යාවට අනුකූල ව
විවරණය කරන්න උත්සාහ කරනවා. බුදුදහමෙහි යථාර්ථයක් ඇතැයි කියන්නේ බටහිරයානිකයන්.
ඇති දේ ලෙස බටහිරයන් දකින්නේ පංචෙන්ද්‍රිය ගෝචර දේ. වෙනත් වචනවලින්
කියනවා නම් ඔවුන්ට ඇත්ත වන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දේ. එහෙත් ඔවුන් පංචෙන්ද්‍රිය
ගෝචර නොවුණත් ගුරුත්වාකර්ෂණ බලයත් (ක්‍ෂෙත්‍රයත්) ඇති දෙයක් ලෙස සලකනවා. බටහිර
විද්‍යාවේ ගහනයක ගුණයක් අරභයා කෙරෙන නිරීක්‍ෂණ කිහිපයකින් ලබාගන්නා දත්ත සමස්ත
ගහණයට ම ආරෝපණය කරනවා. එය හුදෙක් හිතිවල්ලක් පමණයි. එය වියුක්ත උද්ගමනයක්. එය මවා
ගන්නටවත් බැහැ. අතීතයේ සිටි වර්තමානයේ සිටින අනාගතයේ දී ඇතිවන සියලු කපුටන් මවා ගත
හැකි පුද්ගලයෙක් වේ ද?
සියලු වස්තු පොළොවට වැටෙන්නේ ය යන්න වියුක්ත උද්ගමනයක්. එය පංචෙන්ද්‍රිය
ගෝචර නැහැ. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ මෙවැනි වියුක්ත උද්ගමන සඳහා වියුක්ත ඊනියා
හේතු හිතළු ලෙස ඉදිරිපත් කිරීමයි. මේ හිතළු දහසක් ඉදිරිපත් කරන විට එකක් හරියනවා.
එය ඊනියා ප්‍රවාදයක් ලෙස පිළිගැනෙනවා. අද පර්යේෂණ සඟරා යනුවෙන් හැඳින්නෙ බටහිර
විද්‍යා සඟරාවල යම් වියුක්ත උද්ගමනයක් තේරුම් කිරීමට යැයි කියමින් කොතෙකුත් හිතළු
පළ කරනවා. මේ හිතළු හරිය කියා කියන්නේ කෙසේ ද?
එහි දී බටහිර විද්‍යාවේ කෙරෙන්නේ වංචාවක්. වියුක්ත හිතළු වලින්
ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය යොදා ගැනීමෙන් වියුක්ත නිගමන ලබා ගන්නවා. එ ලබා
ගන්නේ වියුක්ත නිගමන. ඉන්පසු ඒ වියුක්ත නිගමනවලින් ලැබෙන දේ සංයුක්තව විවිධ උදාහරණ
සඳහා යොදා ගන්නවා. ඒ ගැලපෙන්නේ නම් හිතළුව
ඊනියා ප්‍රවාදයක් ලෙස සැලකෙනවා. ඒ ඊනියා ප්‍රවාදය සංයුක්ත උදාහරණ සඳහා යෙදුවත් ප්‍රවාදය
සංයුක්ත නැහැ. එය වියුක්තයක්. එය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. ඉන්ද්‍රිය ගෝචර නැති
වුවත්, බටහිර විද්‍යාඥයන් ඇත්ත සේ සලකන්නේ
පංචෙන්ද්‍රිය ගෝචර දේ වුවත්, බටහිරයන් ඊනියා ප්‍රවාද සත්‍ය ලෙස
සලකනවා. මෙයට වඩා වංචාවක් තිබිය හැකි ද?
ගුරුත්වාකර්ෂණ බලය කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ එක්
කථිකාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් කිසිවකුටවත් පංචෙන්ද්‍රිය ගෝචර නොවූවත් බටහිරයන්
හා ඔවුන් අනුව යන මෙරට බටහිර ගැත්තන් ගුරුත්වාකර්ෂණ බලය ඇත්තක් ලෙස සලකනවා.
ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇතැම් අවස්ථාවල හරියනවා යන්නෙන් ඒ හරි බව කියැවෙන්නේ නැහැ.
කොහොමටත් ද්වයතානුපස්සනා සූත්‍රයට අනුව නිව්ටන් ද ඇතළු පෘථග්ජනයන් කියන්නේ මුසා.
වියුක්ත මුසාවලට මා පට්ටපල් බොරුය කියා කියනවා.
බටහිර භෞතික විද්‍යාඥයනුත් කියන්නේ පට්ටපල් බොරු නම් බටහිර භෞතික
විද්‍යාව පසුපස නොණ්ඩි ගසන බටහිර දේශපාලනඥයන් කියන දේ ගැන කිව හැක්කේ කුමක් ද?
ලංකාවේ සිටින කිසිම සංකල්පයක් ප්‍රවාදයක්
නිර්මාණය කර නැති තමන් දේශපාලන විද්‍යාඥයන් බවට පම්පෝරි ගසන, සිංහල බෞද්ධයන් හිතන ආකාරය ගැන කිසිම වැටහීමක් නැති සිංහල බෞද්ධ විරෝධී කසිකබලුන් ගැන කිව
හැක්කේ කුමක් ද? එහෙත් අවසනාවකට මෙරට දේශපාලනඥයන් උපදෙස් ගන්නේ මේ
කසිකබලුන්ගෙන්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ඔක්තෝම්බර් 04