Main Logo

Tuesday, 31 October 2017

ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07


ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07



ඔක්තේම්බර් 31 හා නොවැම්බර් 07 මගේ දින දර්ශනයේ වැදගත් දවස්. ඒ මගේ මුණුබුරන්ගේ උපන් දින. මෙතරම් ප්‍රශ්න තියෙද්දී මගේ මුණුබුරන්ගේ උපන් දින දැන ගැනීමට ඇති වුවමනාව කුමක් දැයි කිසිවකු මගෙන් අසන්න පුළුවන්. මේ දින දෙක ලෝකයාටත් වැදගත්. හරියට ම මෙයට අවුරුදු පන්සියයකට පෙර 1517 මක්තෝම්බර් තිස්එක්වැනි දා මාටින් ලූතර් පාප්වහන්සේගේ ඇතැම් ක්‍රියාවලට විරුද්ධව පෝස්ටරයක් ඇලෙවුවා. ඒ පෝස්ටරයෙන් ප්‍රෙතෙස්තන්තවාදය උපන්නා. ප්‍රොතෙස්තන්ත කියන්නෙ ප්‍රොටෙස්ටන්ට් කියන වචනය සිංහලට යෙදී ඇති අන්දම. එහි විරෝධය යන අර්ථය තියනවා. මාටින් ලූතර් කතෝලික ආගමට හා පාප්වහන්සේට විරුද්ධ වුණා. ඔහු එක්තරා ආකාරයකට මූලධර්මවාදියකු ලෙසත් සලකන්න පුළුවන්. කෙසේ වෙතත් මාටින් ලූතර් නව ක්‍රිස්තියානි ප්‍රවණතාවකට මුල පිරුවා.




අපේ රටෙත් අවුරුදු පනහකට පමණ පෙර විශ්වවිද්‍යාලවල විරෝධය නමින් කණ්ඩායමක් තිබුණා. ඔවුන් හා මාටින් ලූතර් අතර සමානකමක් තිබුණා. ඔවුන් හා නොවැම්බර් 07 සමග සම්බන්ධකමක් තිබුණා. ඔවුන් ද මූලධර්මවාදීන් ලෙස සලකන්න පුළුවන්. ඔවුන් ට්‍රොට්ස්කිවාදය සංශෝධනය කිරීමට විරුද්ධව විරෝධය පෑවා. පසු කලෙක කම්කරු මාවත බිහිවූයේ විරෝධය මෝරා යෑමෙන්. කම්කරු මාවත කණ්ඩායම්වලට කැඩුණා. සමහරකු ඊනියා පශ්චාත්නූතනවාදීන් වූවා. අද මේ අය බෙහෙතකටවත් සොයා ගන්න බැහැ. එහෙත් මාටින් ලූතරගේ ප්‍රොතෙස්තන්තවාදය අද ලෝකයේ රජයනවා. දෙමළ ජාතිවාදය මුළුමනින් ම මෙන් ප්‍රොතෙස්තන්තවාදය මත යැපෙනවා. මෙරට බෞද්ධයනටත් ඕල්කට්තුමා මගින් මෙන් ම යටත්විජිතවාදය මගිනුත් ප්‍රොතෙස්තන්තවාදය බලපානවා.



අවැරුදු සියයකට පෙර 1917 නොවැම්බර් හත්වැනි දා රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ් නගරයේ රුසියන් ඔක්තෝම්බර් විප්ලවය සිදුවුණා. එය සමරන්නට විරෝධය කණ්ඩායම නැතිවීම පාඩුවක්. තිස්ස විතාරණලා ඩිව් ගුණසේකරලා ජයම්පතිලා ලාල් විජේනායකලා එය සමරාවිදැයි දන්නේ නැහැ. එහි සමරන්න දෙයක් නැහැ. කළ යුත්තේ අවශ්‍ය ම නම් රනිල් සමග පෙට්‍රොගෑඩ් ගිහින් ඒම පමණයි. ඒත් අද පෙට්‍රොග්‍රෑඩ් එනමින් නැහැ. 1914 දී සෙන්ට් පීටර්ස්බර්ග් පෙට්‍රොග්‍රෑඩ් වුණා. රුසියන් ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව ලෙනින්ග්‍රෑඩ් වුණා. දැන් එය නැවතත් සෙන්ට් පීටරස්බර්ග් වෙලා. 



රුසියන් ඔක්තෝම්බර් විප්ලවය නොවැම්බර් හත්වැනි දා සිදු වුණේ කෙසේ දැයි යමකු ප්‍රශ්න කරන්න පුළුවන්. එයට හේතුව එකල පැවති ජූලියන් දින දර්ශනය අනුව විප්ලවය සිදුවූයේ ඔක්තෝම්බර් විසිපස්වැනි දා වීමයි. පසුව ග්‍රෙගරියානි දින දර්ශනය හඳුන්වා දීමෙන් පසු දින දහතුනක් එකතු වීමෙන් එය නොවැම්බර් හත්වැනි දා වුණා. රොබට් නොක්ස්ගේ පොතෙත් දින සඳහන් වන්නේ ජූලියන් දින දර්ශනය අනුව.



අවුරුදු පන්සියයකට පෙර ඇරඹි ප්‍රොතෙස්තන්තවාදය තවමත් තියෙනවා. අවුරුදු සියයකට පෙර සිදු වූ රුසියන් විප්ලවය පුටින්ට මතක ද දන්නෙ නැහැ. මෙරටට 1935 දී හඳුන්වා දුන් මාක්ස්වාදය 1964 වන විට නැති වී ගියා. අද ඇතැමුන් මාක්ස්වාදී මළකුණ කර තබාගෙන යනවා. ඒත් එයට පණ දෙන්න අර ක්වොන්ටම් භෞතික විද්‍යාඥ පුබුදු ජාගොඩටවත් බැහැ. ඔහුගෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉගෙන ගන්නා කාලෝ ෆොන්සේකාටවත් බැහැ.



මට අද කෙටියෙන් කියන්න ඕන එකක් පැවතුණේත් අනෙක නැතිවුණේත් ඇයි ද යන්නයි. මාටින් ලූතර්ගේ පෝස්ටරය අදින් පන්සිය වසරකට පෙර ඇලෙවුවත් ඔහුට පසුබිම සැකසූ චින්තනය, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ඇති වූයේ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ. මා මාටින් ලූතර් හඳුන්වන්නේ පෝස්ටරයේ පියා කියායි. ඔහුගේ චින්තනය 1517න් තරමක් පස්සට යනවා. බටහිරයන් මේ චින්තන විප්ලවය හඳුන්වන්නේ පුනරුදය කියායි. එය පුනරුදයක් විය හැකියි. එහෙත් එය ප්‍රධාන වශයෙන් ම චින්තන විප්ලවයක්. කතෝලික චින්තනයෙන් යුරෝපයත් පසුව සමස්ත ලෝකයත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හැරුණේ, හැරවුණේ මේ විප්ලවයත් සමග. මේ විප්ලවය ගැන මා ලිපි රාශියක් ම ලියා තියෙනවා. මගේ ලෝකය කෘතියෙහි මේ චින්තනය හැඳින්වුණේ යුදෙව් චින්තනය ලෙස. මාටින් ලූතර්ගේ ප්‍රොතෙස්තන්තවාදය මෙන් ම ගැලීීලියේගේ හා නිව්ටන්ගේ බටහිර විද්‍යාව, ධනවාදය, ඇංග්ලිකන් ක්‍රිස්තියානිය, මැතෝදිස්තය, ප්‍රංශ විප්ලවය, ඇමරිකානු විප්ලවය, යුරෝපීය යටත්විජිතවාදය, ජාතික රාජ්‍ය, ඊනියා ජාත්‍යන්තරවාදය, සුපිරිව්‍යුහය, වියුක්ත චින්තනය, වියුක්ත ඩොලරය, අද වන විට වියුක්ත ගුප්තමුදල (ක්‍රිප්ටොකරන්සි) ආදී බොහොමයක් මේ චින්තන විප්ලවයේ ප්‍රතිඵල.



ඒ විප්ලවය ඉතාලියෙන් පටන් ගෙන බටහිර යුරෝපය පුරාත් පසුව ඇමරිකානු ඔරුමත්තුනාඩුව (එක්සත් රාජ්‍ය) පුරාත් කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය වැනි රටවල් පුරාත් පැතිර ගීියා. එය යුරෝපය බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. එය නිසගයෙන් ම බිහිවූවක්. අද වන විට එය අප වැනි රටවල්වලට ද බලයෙන් පටවා තියෙනවා. එහෙත් රුසියන් විප්ලවය ව්‍යාජයක්. එය මාක්ස්ගේ හිතළුවක් අනුව බිහිවූවක්. මාක්ස්, ඕල්කට්තුමා වැනි අයට බටහිර විද්‍යාව හා ධනවාදය පැතිරී යත් ම මනුෂ්‍යත්වය නැති වී යෑමේ ප්‍රශ්නයට ආධ්‍යාත්මික ව මුහුණ පෑමට සිදු වුණා. එය ඕල්කට්තුමාට බල පෑ අයුරින් ම නොවෙයි මාක්ස්ට බලපෑවේ. දෙදෙනා ම බටහිර විද්‍යාවෙන් ඈත් වුණේ නැහැ. දෙදෙනාට ම ආසියාතික චින්තනය ගැන පසන් හැඟීමක් තිබුණා. ඕල්කට්තුමා ඒ සොයා ආසියාවට පැමිණියා. මාක්ස්  කතෝලික චින්තනයේ සාමුහිකත්වයට ගියා. ඔහු බටහිර විද්‍යාව අනුව යමින් ඉතිහාසය පිලිබඳ පට්ටම පල් බොරුවක් ගෙතුවා. ඔහු මුළු ලෝකයට ම එකම ආකාරයක ඓතිහාසික විකාශයක් පැනෙව්වා.  එය ඓතිහාසික භෞතිකවාදය නමින් හැඳින්වෙනවා. මාක්ස්ගේ මනුෂ්‍යත්වය හේතුවෙන් ඔහු ඊනියා කොමියුනිස්ට් රාජ්‍යයක් හා කම්කරු පංති විප්ලවයක් පුරෝකථනය කළා. එහෙත් එහි පරස්පර බොහොමයක් තියෙනවා. මේ පරස්පර ගෙතීමට මාක්ස්ට විශේෂයෙන් ම හෙගල්ට ග්‍රීකයන්ගේ නොදියුණු අපෝහකය (ඩයලෙක්ටික්ස්) ප්‍රයෝජනවත් වුණා. අවුරුදු විසිපහකට පමණ පෙර මා මේ සම්බන්ධ පොත් පිංච දෙකක් පළ කළා අපෝහකයේ රුපිකය හා මාක්ස්වාදයේ දරිද්‍රතාවය නමින්. මින් එක පොතක් www.kalaya.org පැරණි වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්.



මාක්ස්ට මනුෂ්‍යත්වයක් තිබුණු නමුත් ලෙනින්ගේ සිට විජේවීර දක්වා කෙළේ ඊනියා විප්ලවය වෙනුවෙන් මිනී මැරීම. ඔවුන් ඒ යුක්තියුක්ත කිරීම සඳහා ඉතිහාසයේ ඇති වීමට නියත යැයි කී කම්කරු පංති විප්ලවය ප්‍රයෝජනයට ගත්තා. මාක්ස්ගේ ව්‍යාජ ප්‍රවාදයක් මත ගොඩ නැගුණු සෝවියට් දේශය අවුරුදු හැත්තෑපහක් ගෙවීමට පෙර අභාවයට යෑම පුදුමයක් නො වෙයි.



අවසාන වශයෙන් අමරසේකරගේ ජාතික චින්තනය ගැනත් යමක් කිව යුතුයි. එක්තරා ලේඛකයකු කලකට පෙර කියා තිබුණේ ලෙනින්ගේ විප්ලවය රුසියන් ජාතික චින්තනය (නැෂනල් තෝට්) මත මිස මාක්ස්චාදය මත පැන නැගුණ එකක් නොවන බව. එය එසේ නම් රුසියන් විප්ලවය අවුරුදු හැත්තෑපහකින් කොහොමටවත් අභාවයට යන්න බැහැ. අප බටහිර පොත්වල තියෙන සංකල්ප යොදා ගැනීමේ දී බෙහෙවින් ප්‍රවේසම් විය යුතුයි. මේ සංකල්ප නිර්මාණය කරන්නන්ට නිව්ටන්ට අයින්ස්ටයින්ට තිබූ ප්‍රතිභාව තබා මාක්ස්ට තිබූ ප්‍රතිභාවවත් නැහැ.



මගේ මුණුබුරන් දෙදෙනාත් ලෝකයත් සුවපත් වෙත්වා!





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 31