Main Logo

Thursday, 19 October 2017

මල්වතු අස්ගිරි තීරණය  

මල්වතු අස්ගිරි තීරණය  (සංශෝධිත ලිපිය)

මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාව දහඅටවැනි දා තීරණය කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ මේ අවස්ථාවේ දී අවශ්‍ය නොවන බව. කොහොමටත් ඒ සඳහා ආණ්ඩුවට ජනවරමක් නෑහැ.  එමෙන් ම කාරක සභාවේ තීරණය අනුව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහාම නතර කළ යුතුයි. මේ තීරණ ගැනීම පිළිබඳ ව  මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සභාවේ මහානායක අනුනායක ලේඛකාධිකාරි හාමුදුරුවරුන් ඇතුළු සියලු මහා සංඝ රත්නයට  අපේ නමස්කාරය හිමි වෙනවා. උන්වහන්සේලා මේ තීරණය ගෙන ඇත්තේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය අනුව ජාතියේ මුරදේවතාවුන් වහන්සේ ලෙස බව පැහැදිලියි.

මේ තීරණයට අමරපුර හා රාමඤ්ඤ නිකායන් ද එකඟ වනු දැකීම අපේ අභිප්‍රායයි. එවිට එය සමස්ත මහා සංඝ රත්නයේ ම තීරණය වෙනවා. ත්‍රෛනිකායික කාරක සභා එකමුතුව යනු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යයේ උපදේශක මණ්ඩලය අද ක්‍රියාත්මක වීමේ දී යොදා ගැනෙන සංඝ සභාවයි. නිකායත්‍රයෙහි ම කාරක සභා එකඟවීමෙන් පසු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මහා සංඝ සම්මේලනයක් පැවැත්විය හැකියි.

එකල සිංහල බෞද්ධ රාජ්‍යයේ මහා සංඝයා වහන්සේ රජු හා ජනතාව අතර ත්‍රිකෝණාකාර සම්බන්ධයක් තිබූ බව ට්රෙවෝ ලිං පෙන්වා දී තිබෙනවා. එහෙත් එය ඕනෑම ත්‍රිකෝණාකර සම්බන්ධයකට වඩා සමද්විපාද ත්‍රිකෝණාකාර සම්බන්ධයක් වූ බවයි මගේ වැටහීම. රජු හා මහා සංඝයා වහන්සේ එකම වැදගත්කමක් දැරුවා.

මෙරට සංඝයා වහන්සේ රජවරුන් පත්කර ගැනීමේ  කාර්යයේ දී ද ගැමුණු රජු දවස සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසුව රජකු පත්කිරීම දක්වා ම ඇතැම් අවස්ථාවල සහභාගි වී තිබෙනවා. අප 1956 දී ද එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවා දැක්කා. පනස්හයේ ජයග්‍රහණය වෙනුවෙන් මහා සංඝයා වහන්සේ කටයුතු කළා. කළ යුතු ව තිබූ පරිදි ම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අහෝසි කරවීමේ දී උන්වහන්සේ මැදිහත් වුණා. එසේ නොවන්නට සන්ධීය රාජ්‍යය බිහිවීමට තිබුණේ එදා.

ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ එක් යෝජනාවකට අනුව  පාර්ලිමේන්තුවේ සභා දෙකක් ඇති කළ යුතුයි. එයින් වත්මන් පාර්ලිමේන්තුවේ ද බලය අඩපණ වෙනවා. 1947 සිට 1956 රජයෙන් එය අහෝසි කරන තෙක් මෙරට සෙනෙට් සභාවක් තිබුණා. මේ ද්විත්ව සභා එක් අතකින් සංඝ සභාවල බලය නැති කරනවා. පාර්ලිමේන්තු පනතක් නැති වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් නොවුණත් මෙරට සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවට අමතර ව ත්‍රෛනිකායික සංඝ සභාවක් තියෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්නට මේ සංඝ සභාවට ඇහුම්කම් දීමත් සම්ප්‍රදායුනුකූල ව අවශ්‍යයි. අපට දැන් බලාගන්න පුළුවන් මෙරට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය තිබෙනවා ද කියා. සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා බටහිර ක්‍රිස්තියානි හා ඉන්දීය හින්දු සංස්කෘතීන්ට වැදගත් තැනක් ඇත් ද යන්න අපට බලාගත හැකියි.

මෙරට සිංහල බෞද්ධයන්ගෙන් 60%ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට. අද වන විට පැහැදිලි ව ම ඒ ප්‍රතිශතය එයට වඩා වැඩියි. ආණ්ඩුව විවිධ හේතු පවසමින් මැතිවරණ කල් දාන්නේ එබැවිනුයි. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ කෙසේ නමුත් ව්‍යවස්ථාව සම්මත කර ගෙන ඉන් පසු මැතිවරණ පැවැත්වීමට. මැතිවරණ කල් දැමීමෙන් ම ආණ්ඩුව තම පරාජය පිළිගෙන තිබෙනවා.

ආණ්ඩුව සම්ප්‍රදායානුකූල ව කටයුතු නොකර නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩ තිබෙනවා. ජනමත විචාරණයක් මර්දනයකින් තොරව පැවැත්වුවහොත් ආණ්ඩුව පරදිනවා. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පත්කර ගත්තේ ම මේ සිංහල බෞද්ධ විරෝධී නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට හා රණවිරුවන්ට (රාජපක්‍ෂවරුන් ද ඇතුළුව) දඬුවම් දීමට. ආණ්ඩුවට අද තීරණය කිරීමට ඇත්තේ තමන් ක්‍රියා කරන්නේ බටහිරයන් සහ ඉන්දියාව හා ඔවුන්ගේ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදීන් හා පඬියන් කියන විධියට ද නැත්නම් මහා සංඝරත්නයේ අනුශාසනාව පරිදි ද කියායි.  සිංහල බෞද්ධයන් අති විශාල බහුතරයක් ඉන්නේ මල්වතු අස්ගිරි තීරණය සමගයි.  

මල්වතු අස්ගිරි තීරණය ඉතා පැහැදිලියි. මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමකින් පවා තොරව පවත්වා ගෙන යා යුතු බව උන්වහන්සේගේ තීරණයයි.එයින් කියැවෙන්නේ පවත්නා ව්‍යවස්ථාව යහපත් කියන එක නොව මේ අවස්ථාවේ එය සංශෝධනය කිරීමක් පවා අයහපත් බවයි. පවත්නා ව්‍යවස්ථාව පසු අවස්ථාවක වෙනස් කර ගත හැකිය යන්න මහා සංඝරත්නයේ අදහස බව පැහැදිලියි.

එහෙත් මේ ව්‍යවස්ථාව වෙනසක් නොකර පවත්වාගෙන යා යුතුය යන්නෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කළ යුතු ය යන්න අදහස් වන්නේ නැහැ. මල්වතු අස්ගිරි තීරණයෙන් ගම්‍ය වන්නේ දහතුන මෙතෙක් ක්‍රියාත්මක වූ අන්දමට දිගට ම ක්‍රියාත්මක විය යුතු ය යන්නයි. වෙනත් වචනවලින් කිවහොත් ඉඩම් පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම බලාත්මක නොකළ යුතු ය යන්නයි, උතුරු හා නැගෙනහිර පළාත් එකතු නොකළ යුතු ය යන්නයි. මහා සංඝයා වහන්සේ අනුශාසනා කරන්නේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ සමස්ත ක්‍රියාවලියෙන් ම ඉවත්විය යුතු ය යන්නයි. ඉතා පැහැදිලි ව උන්වහන්සේ අනුශාසනා කරන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය අහෝසි කිරීමටයි.

මෙහි දී ඒකාබද්ධ විපක්‍ෂයට කාර්ය භාරයක් පැවරෙනවා. අද සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් පමණ ඒකාබද්ධ විපක්‍ෂයට හිමි වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක ඉන්න ජනවරමක් නැහැ. මහා සංඝයා වහන්සේගේ අනුශාසනයත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතු බව. ඒකාබද්ධ විපක්‍ෂයට අද ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නැහැ.  


මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ඔක්තෝම්බර් 19