Main Logo

Tuesday 10 October 2017

ඒකීය කතාව


ඒකීය කතාව



මෙරට අදත් ඒකීය රාජ්‍යයක් නො වෙයි. ඒකීය රාජ්‍යයක් යනු කුමක් දැයි අප නිර්වචනය කර තිබෙනවා. එහෙත් මෙරට විද්වත් නීතිඥයන්වත්, දේශපාලන විද්‍යාඥයන්වත්, දේශපාලන විචාරකයන්වත්, දේශ හිතෛශීන්වත්, දේශ ප්‍රේමීන්වත්, ජාතිකවාදීන්වත් එය සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒකීය රාජ්‍ය යුරෝපයේ ඇති වුණේ ජාතික රාජ්‍ය ඇතිවීමෙන් පසුවයි. ජාතික රාජ්‍ය යනු නෛතික රාජ්‍ය මිස නිසග ජාතිකත්වයක් ඇති රාජ්‍ය නො වෙයි.  එහි ජාතිකත්වය ඇතිවන්නේ නීතියෙන්. එවැනි රටක රටවැසි භාවය යම් ආකාරයකින් ලබාගත් අයකු අදාළ රටෙහි ජාතිකයෙක්. බටහිර ජාතික රාජ්‍ය ඇති වුණේ ඉතා මැතක. ඇතැමුන් කියන විධියට ඊනියා ධනපති විප්ලවයෙන් පසුව. කෙසේ නමුත් දහහත්වැනි සියවසට පෙර බටහිර ජාතික රාජ්‍යවත් ඒකීය රාජ්‍යවත් තිබුණේ නැහැ.


 

සිංහලයන්ට ඕනෑම දෙයක් කීමේ දී උදාහරණ දිය යුතුයි. එයට පදනම් වී ඇත්තේ සිංහලයන්ට වියුක්ත ව යමක් තේරුම් ගැනීමට නොහැකි වීමයි. මෙරට ඊනියා ගණිතඥයන්ටත් වියුක්ත ව හිතන්න බැහැ. දේශපාලනඥයන් දේශපාලන විද්‍යාඥයන් දේශපාලන විචාරකයන් නීතිඥයන් ගැන කියනුම කවරේ ද? මටත් බටහිර විද්‍යාඥයකු මෙන් වියුක්තව හිතන්න බැහැ. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි වූයේ එබැවිනුයි. මෙරට විද්‍යාඥයන්ට කියා දෙන සම්මාන, සහතික ආදිය ලබන්නන් විද්‍යාඥයන් නො වෙයි.



ඒකීය රාජ්‍යයකට හා ජාතික රාජ්‍යයකට උදාහරණයක් වශයෙන් බොහෝ විට දෙන්නේ එක්සත් රාජධානිය (යුනයිටඩ් කින්ග්ඩම්) . එහි රටවැසියකු හැඳින්වෙන්නේ කෙසේ ද? සිංහලෙන් කෙසේ වෙතත් ඉංගිරිසියෙන් කියන්නේ කෙසේ ද? අ සිටිසන් ඔෆ් යුනයිටඩ් කින්ග්ඩම් කියා ද? එවැන්නකුගේ ජාතිකත්වය (නැෂනලිටි)  කුමක් ද? යුනයිටඩ් කින්ග්ඩමිස්ට් ද? එක්සත් රාජධානිය කියන්නෙ එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය කියන රටවල එකතුවක්. ඒ නිකම් එකතුවක් නො වෙයි. එය යටත් විජිතවල එකතුවක්. එංගලන්තය හැරෙන්න අනෙක් රටවල් එංගලන්තය විසින් යම් ආකාරයකින් යටත් කරනු ලැබූ රටවල්. කලින් අයර්ලන්තය එංගලන්තයේ යටත් විජිතයක් වූවත් පසුව අද අයර්ලන්තය නමින් හැඳින්වෙන රට නිදහස ලැබුවේ උතුරු අයර්ලන්තය එංගලන්තයේ යටත් විජිතයක් ලෙස තබමින්.



මෙතෙක් ලෝකයේ පහළ වූ ජාතීන් අතරින් එංගලන්තයේ ඉංගිරිසින් තරම් සැලසුම් කිරීමේ, උගුල් ඇටවීමේ, බෙදා පාලනය කිරීමේ, නීතිය නැවීමේ හා නීති ගරුක බව පෙන්වමින් නීතිය කැඩීමේ, රැවටීමේ, තම අදහස් අනෙක් අය මත පැටවීමේ (අධ්‍යාපනයේ), ව්‍යාපාර කළමණාකරණයෙහි, භාෂාව මගින් අනෙක් අය මුළා කිරීමේ  දක්‍ෂයන් තවත් ලෝකයේ සිට නැහැ. ඔවුන් නැගෙනහිර යුරෝපීයයන්, විශේෂයෙන් ම යුදෙව්වන් තරම් වියුක්ත චින්තනයෙහි අති දක්‍ෂයන් නොවූවත් වියුක්ත ව සිතන්න පුළුවන් දක්‍ෂ අය. ඔවුන් පෞද්ගලිකත්වය අගය කළා. ඉංගිරිසි ජාතිකයකු සමග කතා කිරීමට පටන් ගැනීම එතරම් පහසු නැහැ. ඔවුන්ගේ සංවාදය බොහෝ විට කාලගුණයට සීමා වෙනවා.



ඇමරිකන් මහාද්වීපයට, ඕස්ත්‍රේලියාවට නවසීලන්තයට ගිය සුද්දන් ඊට වඩා වෙනස්. ඔවුන්ගෙන් අද ඇමරිකාව කියා හඳුන්වන රටේ ඇත්තේ ගොපලු නැත්නම් කව්බෝයි සංස්කෘතියක්. අද ට්‍රම්ප් ඉතා හොඳින් ඒ සංස්කෘතිය ගෙන යනවා. අපි ඒ ගැන පසූව කතා කරමු. එංගලන්ත සුද්දන් කිසි දිනෙක උතුරු කොරියාවට ට්‍රම්ප් මෙන් කතා කරන්නේ නැහැ. ඉංගිරිසි සුද්දා ඉතා සියුම් ව උතුරු කොරියාව විනාශ කරාවි. සුද්දන් තවමත් ලංකාව හා බුදුසසුන විනාශ කිරීමේ කටයුත්තෙන් ඉවත් වී නැහැ. ඔවුන් දෙමළ ජාතිවාදය ඒ සඳහා යොදා ගන්නවා. ඒ කොහොම වෙතත් මෛත්‍රිපාල හා තිලක් මාරපන අද උතුරු කොරියාවට තර්ජනය කරලා! කාට ද ආඩම්බරේ?  



ඉංගිරිසි සුද්දන් එක්සත් රාජධානිය පවත්වාගෙන යන්නේ තමන් යටත්විජිතවාදීන් බව කියමින් නො වෙයි. ඔවුන් ලෝකයට පෙන්වන්නේ එක්සත් රාජධානිය ඒකීය රාජ්‍යයක් ලෙසයි. එහෙත් එය සන්ධීය රාජ්‍යයක්වත් නො වෙයි. එය එංගලන්තය හා එහි යටත්විජිතවල එකතුවක්. අපේ පඬියන් මෙහි වාද විවාද කරගන්නවා එක්සත් රාජධානිය ඒකීය ද සන්ධීය ද කියා. මා නම් එය හඳුන්වන්නේ එක්සත් රාජධානිය කියාවත් බිරිතානිය කියාවත් නොව එංගලන්තය කියායි. පඬියන් හිතන්නේ මා ඔවුන් මෙන් උගතකු නොවන නිසා එලෙස එරට හඳුන්වනවා කියායි. ඔවුන් මෙන් උගතකු නොවීම නම් මට ආඩම්බරයක්.



අපට අපේ ම වූ ඒකීය රාජ්‍යයක් ඇති වුණේ මෙයට අවුරුදු දෙදහසකටත් එපිට. අප ඒ රාජ්‍යයට කීවේ එක්සේසත් රාජ්‍යය. එය ඊනියා ජාතික රාජ්‍යයක්වත් චීනයේ මෙන් ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක්වත් වූයේ නැහැ. මහාවංසය සඳහන් කරන්නේ අප මේ එක්සේසත් රාජ්‍යය රැකගත් අයුරුයි. එහි දී බුදුසසුන රැක ගැනීම අපේ ප්‍රධාන කාර්යය වූවා. අප ඒකීය රාජ්‍යය යන්නට නිර්වචනයක් දෙන්නේ එක්සේසත් රාජ්‍යය පදනම් කර ගනිමිනුයි. අපට ඒ සඳහා බටහිර දේශපාලන විද්‍යාඥයන් නීතිඥයන් පසුපස යෑමට අවශ්‍ය නැහැ. අවුරුදු දෙදහස් ගණනක් එක්සේසත් රාජ්‍යයක විසූ අප අවුරුදු තුන්සීයක්වත් නොපැරණි ජාතික රාජ්‍ය හා ඒකීය රාජ්‍යය පසුපස යන්නේ අහවල් දේකට ද? අද අපට ඇත්තේ අපේ ම නොවන අපේ ජාතික රාජ්‍යයක් හා ඒකීය රාජ්‍යයක්.



අපේ එක්සේසත් රාජ්‍යය බුදුසසුන සමග බැඳිලා. අපට ඒ ලබා දුන්නේ ගැමුණු රජු. අප රැක ගන්නේ ගැමුණු රජු අපට ලබා දුුන් බුදුසසුනේ චිරස්ථිතිය සඳහා පිහිටු වූ එක්සේසත් රාජ්‍යය. අප මේ නිවට ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්නේ ගැමුණු රජු අනුගමනය කරමින්. මේ නව ව්‍යවස්ථාව සංශෝධනය කර ඊනියා අහිතකර වගන්ති පමණක් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය එකඟ වුවත් අප එකඟ වන්නේ නැහැ. ගැමුණු රජු අනුගමනය කරමින් අප ව්‍යවස්ථාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කරනවා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 10