Main Logo

Saturday 28 October 2017

සුරංගනා කතා  


සුරංගනා කතා



මේ රටේ තරම් විිද්‍යාඥයන් ලෝකයේ වෙනත් රටක ඉන්නව කියල හිතන්න බැහැ. දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, විවිධ ප්‍රවාද අනුගමනය කරන සාහිත්‍යධරයන්, භෞතික විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, වෛද්‍ය විද්‍යාඥයන්, ඉංජිනේරු විද්‍යාඥයන්, පශූ වෛද්‍ය විද්‍යාඥයන් ආදී වශයෙන් විද්‍යාඥයන් මෙරට දැක ගන්න පුළුවන්. ඔවුන් කිසිම ප්‍රවාදයක් සංකල්පයක් තම ක්‍ෂෙත්‍රවලට එකතු කර නැති නමුත් ඔවුන් පෙනී සිටින්නේ විද්‍යාඥයන් ලෙස. තමන් කතා කරන්නේ අහවල් විද්‍යාඥයකු ලෙස නැත්නම් අහවල් ක්‍ෂෙත්‍රයෙහි ප්‍රාමාණික විද්‍යාඥයකු ලෙස වශයෙන් කියනු අප අසා තියෙනවා. නීතිඥයන් සාමාන්‍යයෙන් විද්‍යාඥයන් ලෙස නොසැලකෙන නමුත් නීතියේ ප්‍රාමාණික විද්වතුන් ලෙස පෙනී සිටින්නන් ඉන්නවා.




බටහිර විද්‍යාව පට්ටපල් බොරු වුවත් එහි පුරෝකථන තියෙනවා. කතන්දර තියෙනවා. ඒ කතන්දරවලින් විවිධ පුරෝකථන කරනවා. බටහිර විද්‍යාවේ කෙරෙන ප්‍රධාන කාර්යයක් වන්නේ පුරෝකථන කළ හැකි සංගත කතා ගෙතීම. එහෙත් මෙරට ඊනියා විද්‍යාඥයන්ට ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ඔවුන්ට සිද්ධි එකතු කර සංගත කතාවක් ගොතා ගන්න බැහැ. එහෙම කතා ගොතන බවක්වත් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ තමන්ට වඩා දක්‍ෂ විද්‍යාඥයන් ඒ ඒ දේ වාස්තවික ව සොයා ගන්නවා කියා.



තමන්ට කිසිවක් “සොයා ගන්න” බැරි බව මේ ඊනියා විද්‍යාඥයන් දන්නවා. එබැවින් ඔවුන් සිද්ධි එකතු කර ගලපා කතාවක් ගොතන්න යන්නේ නැහැ. ඔවුන්ට එය කරන්නත් බැහැ. එහෙත් ඔවුන් විද්‍යාඥයන් ලෙස පෙනී සිටිනවා. සාමාන්‍ය ජනයා දන්නේ නැහැ ඔවුන් විද්‍යාඥයන් නොවන බව. සාමාන්‍ය ජනයා හිතන්නේ එකී පුද්ගලයන් විද්‍යාඥයන් කියා. ආලෝක වර්ෂ දහස් ගණනක් ඈත න්‍යුට්‍රෝන තාරකා දෙකක් එකතු වීම නිසා වූ ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස විසිවුණු කැබලි පසුගිය දා දකුණු පළාතට වැටුණු බව ඇතැමුන් සිතුවා. එයත් එක්තරා විධියක කතාවක් තමයි. මෙරට ගොතන්නේ එවැනි කතා පමණයි. අඩු තරමෙන් කැබැල්ලක වේගය හා ආලෝකයේ වේගය අතර ඇති වෙනස දැන සිටියේ නම් එවැනි කතාවක් ගැන හිතන්නවත් බැහැ. මේ ගැටුමෙන් ගුරුත්වජ තරංගවල වේගය නම් ආලෝකයේ (විද්‍යුත් චුම්බක පැතිර යෑමේ) වේගයට සමාන බව තහවුරු වුණා. ඒක හොඳ කතාවක ප්‍රතිඵලයක්.



මෙරට දෙමළ ප්‍රශ්නය ගැන සිංහල සමාජය පිළිගන්නා කතාවක් නැහැ. සිංහල සමාජය එවැනි කතාවක් අහන්නවත් කැමති නැහැ. ඔවුන් කැමති සිද්ධියෙන් සිද්ධියට යෑමට. කවුරුන් මේ නිවට ආණ්ඩුව පත් කර ගත්තේ ද යන්න අප සිතන්නේ නැහැ. ඒ වෙනුවට එන් ජී ඕ නඩය, ඊනියා දෙමළ  ඩයස්පෝරාව ආදිය මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තේ ය කියා සිංහලයන් හිතනවා. පසුගිය දා පුවත්පත්වල පළ වූයේ මේ ආණ්ඩුව පත් කර ගැනීමට ඇතැමුන් කළ කුමන්ත්‍රණයක් ගැන. ඒ අනුව මංගල සමරවීර වැන්නන් රාජපක්‍ෂ ආණ්ඩුව පළවා හැරීමට බටහිර රටවල සිටින විසුරු දෙමළ ජනයාගෙන් සහ තවත් අයගෙන් උදවු ඉල්ලා තියෙනවා. එහි දී ඔවුන් උදවු දීමට නම් දෙමළ ජතිවාදයට කප්පන් දෙන ලෙස කියා තිබෙනවා. මෙය සුරංගනා කතාවක්. මේ කතාවෙන් කරන්නේ වෙනත් කතාවක් මග හැරවීම පමණයි.



බටහිර රටවල් අපට සැම විට ම කියන්නේ තමන් දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් මැදිහත් වන බවයි. බටහිරයන් විද්‍යාවේ කතන්දර හැදීමට මෙන් ම අන්‍යයන් නොමග යැවීමට කතන්දර හදන්නත් දක්‍ෂයන්. මෙරට දෙමළ ජාතිවාදය බටහිරයන් නිර්මාණය කළ එකක් බවට අපේ කතන්දරයක් තියෙනවා. සිංහලයන් එය පිළිගන්නේ නැහැ. ඒ කතන්දරය වියුක්තයි. 1833 දක්වා දිවෙන අපේ කතන්දරය අනුව වැඩ කරනවා නම් නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය කෙරුණු දෙමළ ජාතිවාදය නෛතික ව දේශපාලනයෙන් ඉවත් කිරීම ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් අපට තේරෙන සංයුක්ත කතාව නම් දෙමළ ජනයා කරන ඊනියා අරගලයේ දී බටහිරයන් හා ඉන්දියාව ඔවුන්ට ආධාර කරන බවයි. මෙය සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු කතන්දරයක්. ඒ කතාව බටහිරයන්ගේ නිර්මාණයක්. ඔවුන්ට ඒ කතාව මගින් තමන් කරන දෙය හංගන් ඉන්න පුළුවන්. අපත් කැමතියි බටහිරයන් ඒ තරම් ම නරක නැති බව කියන්න. අප පිළිගන්නේ අප අහන්න කැමති කතන්දර. ඒක අපට පොඩි කාලෙ ඉඳලා එන පුරුද්දක්. අප අහන්න කැමති නැහැ සුද්දන් අපට ප්‍රශ්නයක් ඇති කළ බව.



එසේ අකමැති වන තාක් අපට දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කළත් නෛතික ව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍ෂෙත්‍රයෙහි පරාද කරන එක අමාරු වේවි. අද අපට එක එකා බටහිරයන්ගෙ සුරංගනා කතා කියනවා. දෙමළ ජනයාට ප්‍රශ්නයක් තිබෙන බව, ප්‍රශ්නය විසඳීමට බලය විමධ්‍යගත කළ යුතු බව, ඒකීය රාජ්‍යයක උපරිම වශයෙන් බලය විමධ්‍යගත කළ හැකි බව, සන්ධීය රාජ්‍යයක් ඇති නොකර බලය තරමකට විමධ්‍යගත කළ හැකි බව, ජනමත විචාරණයකින් අප දිනුවත් බටහිරයන් ඉදිරියේ පැරදෙන බව, ආදී වශයෙන් කතා බොහොමයි. මෙරට සිටින ඊනියා විද්‍යාඥයන් මේ සුරංගනා කතා අපට කියනවා. මේ සිංහල අපගෙ රටයි ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කළ  නන්දා මාලිනී සුනිල් ආරියරත්න  හවුල දරු නැලවිල්ලකින් දරුවන්ට කියා හිටියේ අපේ සම්ප්‍රදායේ කතා නොඅසන්න. ඔවුන් බටහිරයන්ගේ සුරංගනා කතා අහන්න එපා කියා කියන්නේ නැහැ.   



අද ඉන්දියාවත් බටහිරයන් සමග එකතු වෙලා. නේරුගේ කාලයේ සිට ම ඉන්දියාවට අප ඔවුන්ගේ තවත් ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. නේරුගේ මුණුබුරා රජිව් ගාන්ධි දහතුන, ඊනියා සාම සාධක හමුදාව, පළාත් සභා මගින් අප යම් ප්‍රමාණයකට අවනත කර ගත්තා. මහින්ද තකහනියක් ඉන්දියාවට යන්නේ ඔරන්ගාබාද් බෞද්ධ සම්මේලනයකට සහභාගි වීමට පමණක් නො වෙයි. ඔහු ආපසු පැමිණ නොවැම්බර් පළමුවැනි දා ඒකාබද්ධ විපක්‍ෂය ද සහභාගි වන ඊනියා මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදයේ දී කරන කතාව ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. මේ සියල්ල අපට නම් එක කතන්දරයක් පමණයි. අප බටහිරයන් හා ඉන්දියාව (මකියාවේලීන් හා කෞටිල්‍යයන්) කියන සුරංගනා කතා විශ්වාස කරන්නේ නැහැ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 28