Main Logo

Monday 30 October 2017

අද ඇරඹෙන විවාදය  


අද ඇරඹෙන විවාදය



ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද සිට දින තුනක් විවාද කිරීමට නියමිතයි. මේ විවාදය පැවැත්වෙන්නේ ඇමරිකානු ඔරුමත්තුනාඩු යුද්ධ නැව් කිහිපයක් කොළඹ වරායේ තිබෙන අතර. ඒ සිද්ධි දෙක සමගාමී වීම අහම්බයක් වන්නත් පුළුවන්, සැලසුම් කරන ලද්දක් වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතන් හිටිය ද දන්නෙ නැහැ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයෙන් පමණක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. එහි දී රටේ විරුද්ධත්වයක් ඇති වුණොත් විදේශවලින් යුද්ධාධාර ඉල්ලීමට. එය හිතළුවක් පමණක් වුවත් රනිල් වැඩ කරන ආකාරයට හා බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ නමුත් සම්පාදනය කිරීම අද ප්‍රධාන කාර්යය වෙලා.




එහෙත් අද මේ විවාදය කරන්නේ කිනම් සභාවක ද? මරණාධාර සමිතියක ද? මා ඒ ප්‍රශ්නය අසන්නේ ව්‍යවස්ථා මණ්ඩලයක් පැනවීමේ සම්මුතියේ මෙසේ සඳහන් වන නිසා. “ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති හයින් ද, 



ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවස්ථාව යටෙත් ඒ වත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් කටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන මහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුෙවන් හඳුන්වනු ලබන පාර්ලිෙම්න්තු කාරක සභාවක් තිබිය යුතු යැයි, මම පාර්ලිෙම්න්තුව යෝජනා සම්මත කරයි.”



මෙහි මුලින් ම සඳහන් වන්නේ පට්ටපල් බොරුවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු බවට ජනතාව අතර පුළුල් එකඟතාවක් කොයින් ද? නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැහැ. ඒ බව ජනාධිපතිවරණයෙන් හා මැතිවරණයෙන් තහවුරු වී අවසානයි. එහෙත් මේ පට්ටපල් බොරුව අඩංගු සම්මුතිය ඒකාබද්ධ විපක්‍ෂය විසින් අනුමත කෙරුණා. ඒකාබද්ධ විපක්‍ෂය වැරදි රාශියක් කරලා තියෙනවා. හෙට අනිද්දා තවත් වැරදි කරාවි.



දෙවනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සමස්ත පාර්ලිමේන්තුව ම සමන්විත වන පරිදි  සකස් විය යුතුයි. එහෙත් අද වන විට ජා නි පෙ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වෙලා. එවිට අද ව්‍යවස්ථා මණ්ඩලයක් නැහැ. ව්‍යවස්ථා මණ්ඩලයක් නැති විට මෙහෙයුම් කමිටුත් නැහැ. ඊනියා අතුරු වාර්තාව විවාද කිරීමට ව්‍යවස්ථා මණ්ඩලයක් නැහැ. මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවෙන් පත් කළ එකක් නො වෙයි. ඒ නිසා අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් බැහැ. එය විවාද කරන්න මරණාධාර සමිතියක්වත් හොයා ගන්න බැහැ. එහෙත් කරු ජයසූරිය තීරණය කරාවි ව්‍යවස්ථා මණ්ඩලය තවමත් තියෙනවා කියලා. ඒකාබද්ධ විපක්‍ෂය මෙවැනි ප්‍රශ්න මතු කරන්නේ නැහැ. ඔවුන් අත පුච්චා ගැනීමට කැමති නැති මහත්වරුන්.



කොහොමටත් රනිල්ට විකල්ප රාශියක් තියෙනවා. ඔහු එකක් මත පමණක් එල්ලී ඉන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය මේ විකල්ප ගැන කල්පනා කරලා ඒවාට සූදානම් වන පාටක් පෙනෙන්නෙ නැහැ. රනිල් තාමත් කියන්නෙ ව්‍යවස්ථාවක් නැති බව. එහෙත් ව්‍යවස්ථා ගැබ දැන් මෝරලා බව කාටත් පේන්න තියෙනවා. මේ ආණ්ඩුව පත් කරන්න සම්මාදන් වුණු පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ටත් කවුදෝ කිව්වලූ ව්‍යවස්ථාව සම්පාදනය කර ඉවරයි කියලා. මෙරට පුවත් මවන්න එක එක දාට එක එක කියන්න ඕන. අප මුල සිට ම කිව්ව දේත් නිවේදකයන්ට කියන්න වුණත් කියන්නෙ අනෙක් අයත් ඒවා කියලා තියෙනවා කියා. ව්‍යවස්ථාව සම්පාදනය කරල තියෙන්නෙ විජාතිකයන්. එහෙත් රනිල් ඒ ව්‍යවස්ථාව ම ඉදිරිපත් කරයි කියලා හිතන්න එපා. අද හෙට අනිද්දා පැවැත්වෙන විවාදයෙන් පස්සෙ ඔහු මහජන මතයට හා සංඝ සභාවලට කන් දීමටත් ඉඩ තියෙනවා!         



ජනමත විචාරණයකට යොමු වෙන විධියට හරි නොවෙන විධියට හරි ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නෙත් රනිල්. මේ විකල්ප ඉදිරිපත් කිරීමේ දී ඉන්දියාවත් සහාය දෙනවා. මහින්ද ජී එල් සමග ඉන්දියාවට ගිහින් ආපසු ඇවිල්ල මේ අතුරු කමිටු වාර්තා විවාදයට සහභාගි වීමට නියමිතයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට ඒකාබද්ධ විපක්‍ෂයත් ඇතැම් විට ජනතාවත් එකඟ වෙන්න පුළුවන්. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හතරවැනි වගන්තිය සංශෝධනය කළ යුතුයි. එසේ කිරීමට නම් ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට දැනට අධිකරණ තීන්දුවක් තියෙනවා. ඒත් ඒ තීන්දුව විනිසුරුවන් වැඩි විනිශ්චය මණ්ඩලයකින් වෙනස් කරන්න පුළුවන්. මේ තීන්දු අර්ථනිරූපණ.



දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය තියෙද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක භයානක වැඩක්. ආණ්ඩුකාරවරුන්ගෙ බලතලත් ඒ සමග නැති වෙනවා. ආණ්ඩුකාරවරුන් පත් කෙරෙන්නෙ ජනාධිපති විසින්. අද පළාත් සභාවලට පොලිස් ඉඩම් බලතල පැවරිලා නැත්තෙ ඇතැමුන් කියන විධියට ජේ ආර්ගෙ ටිකිරි මොළයක් හින්ද නොව ජනාධිපතිවරුන් ඒ බලතල පැවරීමට කැමති නැති නිසා. ජනාධිපති ක්‍රමය අහෝසි කළ විට ඒ බලතලත් පළාත් සභාවලට ඉබේ ම පැවරෙනවා.



මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය අනුශාසනා කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කිරීමටත් දැනට තිබෙන ආකාරයෙන් තව දුරටත් ව්‍යවස්ථාව පවත්වාගෙන යන ලෙසටත්. දැනට තිබෙන ආකාරය යනු දැනට ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරය මිස දැනට ව්‍යවස්ථාවේ සඳහන් ආකාරය නො වෙයි. ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නම් පොලිස් ඉඩම් බලතල පළාත් සභාවලට අයිතියි. එහෙත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරයට ඒ බලතල පළාත් සභාවලට පැවරී නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඉන්දියාවෙ කීමට හරි පෞද්ගලික ඕනෑ එපාකම්වලට හරි කටයුතු කළොත් 13+ ඉබේට ලැබේවි. මේ අවස්ථාවෙ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් එය පිළිගනීවි, පසුව තවත් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්!





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 30