Main Logo

Saturday 7 October 2017

ආණ්ඩුව පරාජය කිරීමට මග  


ආණ්ඩුව පරාජය කිරීමට මග




දිනේෂ් ගුණවර්ධන මල්වතු මහානාහිමි බැහැ දැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කෙළේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළියෙළ කිරීමේ දී එතුමන් ද සහභාගි වූ බවයි. පසුව කිරිඇල්ල ද පවසා ඇත්තේ අතුරු වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සියලු පක්‍ෂවල එකඟතාව මත බවයි. මෙය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නයක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රශ්නයක්. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ සිටිනතාක් මේ කතා අහන්න සිද්ධ වෙනවා.



ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීම ගැන අප මුල සිට ම විරුද්ධ වුණා. එහෙත් ඔවුන් අප කී කිසිවක් කිසි දා අසා නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් මන්ත්‍රීවරුන් අතර මෙන් ම පිට ද සිටිනවා.  ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කර ගත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහායි. අප ඒ බව පළමුවෙන් තේරුම් ගත යුතුයි. ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වන්නේ තොරතුරු දැන ගැනීමට ය යන්න බොළඳ කතාවක්. ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එකඟ වෙමින්. ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීමෙන් ලබා ගත් තොරතුරු මොනවා ද? එසේ තොරතුරු ලබා ගත්තේ නම් ඉන් අත්කර ගත් ප්‍රතිඵල මොනවා ද? අද ඒකාබද්ධ විපක්‍ෂයට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ සියලු පව්වලට කර ගැහීමට. ඒකාබද්ධ විපක්‍ෂය දැන්වත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වේ ද?  

 

ඒකාබද්ධ විපක්‍ෂය කළ යුතුව තිබුණේ මේ පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නොමැති බවත් එහෙයින් (රනිල්ගේ වචනවලින් එහෙම නම්) නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් කියා ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි නොවී සිටීමයි. එහෙත් ඔවුන් එසේ කෙළේ නැහැ. ඒ වෙනුවට ව්‍යවස්ථා මණ්ඩලයේ එල්ලී සිටිනවා. ඔවුන් ව්‍යවස්ථා මණ්ඩලයේ අනුකමිටු හයෙන් නම් අස් වුණා. එහෙත් මෙහෙයුම් කමිටුවේ ඉන්නවා.



ඔය මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉවත් විය යුතු යැයි අප කොපමණ කීවත් ඔවුන් එයට සවන් දුන්නේ නහැ. ඉවත් නොවූ බැවින් මල්වතු මහානාහිමියන්ගෙන් හා වෙනත් අයගෙන් එල්ලවන චෝදනාවලින් ගැලවෙන්න බැහැ. මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව එ ජා ප වාර්තාවක්. එයට ඒ පක්‍ෂය සංශෝධන යෝජනා ආදිය ගෙනැවිත් නැහැ. තම අතුරු වාර්තාවට සංශෝධන ගෙන ඒමට එ ජා පක්‍ෂයට අවශ්‍ය නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ද ඇතුළු අනෙක් පක්‍ෂ තම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.



ඇතැම් පඬියන් හා පඬිනියන් කියන්නේ අතුරු වාර්තාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප නොකර එහි ඇති යහපත් දේට සහයෝගය දිය යුතු බවයි. මෙය ඉතාමත් භයානක යෝජනාවක්. නව ව්‍යවස්ථාවට ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ දී හෝ පාර්ලිමේන්තුවේ දී (එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත්. එසේ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැතැයි රනිල් කියන්න ඉඩ තියෙනවා) ඒකාබද්ධ විපක්‍ෂය සංශෝධන ඉදිරිපත් කළහොත් එයින් කියැවෙන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ඔවුන් ද පිළිගන්නා බවත් ඒ සඳහා ජනවරමක් ලැබී ඇති බවත්. එය මුළුමනින් ම වැරදියි. හැරත් මල්වතු මහානාහිමියන් හැරෙන්නට අනෙක් මහානාහිමිවරුන් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කර තිබෙනවා. සමහර විට ඒකාබද්ධ විපක්‍ෂය මල්වතු මහානාහිමියන් අනුගමනය කරනවා ද දන්නේ නැහැ.



අනෙක් අතට රනිල් සංශෝධන ක්‍රියාවලිය තම අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නවා. එය පහුගිය දවස්වල හොඳට ම පැහැදිලි වුණා. ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තවමත් විශ්වාසය තබනවා නම් රටට දෙයියන්ගේ ම පිහිටයි. ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුව පෙරළීමට කියමින් විවිධ විරෝධතාවල යෙදෙනවා. අවාසනාවකට එහි දී ඉදිරියෙන් ඉන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ බොරු සමාජවාදීන් මිස ජාතිකවාදීන් නො වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬි උපදේශකයන් ද බොරු සමාජවාදීන්.



ආණ්ඩුව පෙරළීමට අද ඇති එකම ක්‍රියාමාර්ගය නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කර පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව මුළුමනින් ම පරාජය වුවහොත් ආණ්ඩුවට ඉන්පසු එක තත්පරයක් බලයේ ඉන්න බැහැ. එහෙත් ඊනියා සංශෝධන සහිත ව සම්මත වුවහොත් ජේ ආර් මාමා කළ එකේ අනෙක කරමින් රනිල් විධායක අගමැති ලෙස 2025 දක්වා බලයේ ඉඳීවි. මෛත්‍රිපාල විධායක ජනාධිපති නොව නිල වශයෙන් ම නිකම් ජනාධිපති වේවි. එවිට ඔහුට පත්තර කියවීමට තවත් වෙලාව ලැබේවි.



බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කෙළේ සිංහල විරෝධී සහසන්ධීය රාජ්‍යයක් ලබා දෙන ව්‍යවස්ථාවක් ඇති කිරීමට හා රණවිරුවන් දඩයම් කිරීමට. ඒ මිසක් හොරු ඇල්ලීමට නොවන බව පැහැදිලි විය යුතුයි. මෙරට දේශපාලනඥයන් තම ප්‍රතිවාදීන්ට දඬුවම් කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම හා සම්බන්ධ ප්‍රසිද්ධ දේශපාලනඥයකු කියා ඇත්තේ බල්ලන් අනෙක් බල්ලන්ගේ මස් නොකන බවයි. බල්ලන්ට හා දේශපාලනඥයන්ට හොඳ ගතිගුණ තියෙන බවක් පේනවා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 07