Main Logo

Friday 27 October 2017

ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම  


ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම

 

ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය උපදෙස් ගන්නේ ජාත්‍යන්තරවාදීන්ගෙන් බව පැහැදිලියි. අද අප ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් ව සිටිය යුතුයි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ කුමක් සිදුවේ ද යන්න කල් තබා මුළුමනින් ම  කීම තරමක් අපහසුයි. එහෙත් එය යම් තරමකට පුරෝකථනය කරන්න පුළුවන්. අප අතර සිටින ජාතිකවාදීන් යැයි කියා ගන්නවුන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි. නිතර දෙවේලේ රූපවාහිනියෙන් වාචාල කතා කී පමණින් කිසිවකු ජාතිකවාදියකුවත් බුද්ධිමතකුවත් වන්නේ නැහැ.




කලකට පෙර ගල් ලෙන බිඳ එළියට ගිය අය අද එළියත් සමග. මොවුන් තමන් බිඳපු ගල් ලෙන නැවත වැහුවා ද? වැහුව ගල් ලෙනට එළිය සොයනවා ද? එසේත් නැත්නම් එහි දී කුමක් වූවා ද? ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. නව ව්‍යවස්ථා ගැබ මෝරනාවත් සමග මේ ඇතැම් ජාතිකවාදීන් ප්‍රශ්න කිරීම්වලට ලක් වෙනවා. අප අපේ සංකල්ප ගැන ඉතාමත් නිරවුල් විය යුතුයි. නැත්නම් අප නොදැනුවත් ව ම අමාරුවේ වැටෙනවා.



අදටත් අපට ඇත්තේ සන්ධීය රාජ්‍යයක්. එය දහතුන්වැනි සංශෝධනයෙන් ඇති වූ දෙයක්. විසිවැනි සංශෝධනය ගැන අප නොයෙකුත් වතාවල කතා කර තිබෙනවා. පළාත් සභාවල ඡන්දය පැවැත්වීම ගැන පනතක් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් සම්මත කර ගැනීමට නොහැකි දහතුන නිසා. එහි 154 G (2) (3) වගන්ති නිසා. ඇතැම් නීතිඥයන්ට ඒ කිසිවක් තේරෙන්නේ නැහැ. විස්ස නිසා පරමාධිපත්‍යය ජනතාවට අහිමි වුණා නොව දහතුන නිසා පරමාධිපත්‍යයට වූ කැළැල නිසා පළාත් සභාවල ඡන්ද විමසීම පාර්ලිමේන්තුවට සාමාන්‍ය වැඩි ඡන්දයෙන් වෙනස් කරන්න බැරි වුණා. අර ගල් ලෙන බින්ද අය උසාවි ගොස් පළාත් සභා වෙනුවෙන් පාර්ලිමේන්තුවට විරුද්ධව කතා කළා. ඒ සඳහා ඔහුට සුමන්තිරන්ගේ ස්තුතියක් ද හිමි වුණා.



අද අප කළ යුත්තේ ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීම නොව ඒකීය රාජ්‍යය නැවත දිනා ගැනීම. නැති ඒකීය රාජ්‍යයක් ආරක්‍ෂා කර ගන්නේ කෙසේ ද? ඒකීය රාජ්‍යය ගැන නිර්වචනය බටහිර දේශපාලන විද්‍යාවේ පැහැදිලි නැත්නම් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය කියා සිංහලෙන් කීමත් දෙමළෙන් එක්සත් කීමත් නොව, ඒකීය යන්න කුමක් දැයි ව්‍යවස්ථාවෙන් ම අර්ථනිරූපණය කිරීමයි. කිසිම අධිකරණයකට තමන්ගේ අර්ථනිරූපණ දීමට ඉඩ නොතබා ව්‍යවස්ථාවෙන් ම ඒකීය රාජ්‍යය අර්ථනිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම කියන එකත් ව්‍යවස්ථාවෙන් ම අර්ථනිරූපණය කරන්න පුළුවන්.



එහෙත් රනිල්ගෙන් අප මේ කිසිවක් ඉල්ලන්නේ නැහැ. අපට ඔහු සතපහකට විශ්වාස නැහැ. ඔහු සහ ඩොයිලි අතර සංස්කෘතික වශයෙන් වෙනසක් නැහැ. 1815 ගිවිසුමේ සිංහල නීතිය අනුව රට කරවීමට හා බුද්ධාගම හා දේවාගම පෝෂණය කිරීමට අර්ථනිරුපණයක් තිබුණේ නැහැ. ඩොයිලිලා එය යොදා ගත්තා ගිවිසුම උල්ලංඝනය කිරීමට. රනිල්ගෙන් මේ අර්ථනිරූපණ ඉල්ලුවොත් ඔහු එය විකෘති කර ඔහුට වුවමනා වෙනත් සංශෝධනත් ඉදිරිපත් කරනවා. අප කළ යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමයි.



නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම යනු නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ම ප්‍රතික්‍ෂෙප කිරීමයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවටවත් ඒකාබද්ධ විපක්‍ෂයටවත් (සංධානයටවත්) ජනවරමක් නැහැ. එබැවින් ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීම ම ජනතා පරමාධිපත්‍යයට විරුද්ධව යෑමක්. ඒකාබද්ධ විපක්‍ෂය මුල දී ම මේ ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුව තිබුණා. එහෙත් එහි පඬියන් අද කියන්නේ තොරතුරු ලබා ගැනීම සඳහාත් කඩාකප්පල් කිරීම සඳහාත් ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වන බවයි. එහෙත් මේ ගල්ලෙන බිඳපු අය ලබාගත් මහා ලොකු තොරතුරු මොනවා ද? මේ ඊනියා තොරතුරු කොහොමටත් ජනතාවට ලැබෙනවා. අනෙක් අතට මොවුන් කරපු කඩාකප්පල් කිරීම මොකක් ද? අද ඊනියා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දින තුනක් සාකචඡාවට භාජනය වීමට නියමිතයි.



ගල්ලෙන් බින්ද අය දයාන් ජයතිලකවත් ආරක්‍ෂා කරනවා. ඔවුන් කියන්නේ දයාන් ජයතිලක තරහ කර ගත්තොත් ඔහු අනෙක් පැත්තට  යාවි කියලා. යනවා නම් යන්න කියන්න. දයාන් කියන්නෙ බලය විමධ්‍යගත කරන්න ඕන කියන කෙනෙක්. ඔහු තමා ගැන කෙසේ කියා ගත්තත් ඔහු දේශපාලන  විිද්‍යාඥයෙක් නො වෙයි. ඔහු දේශපාලන විද්‍යාවට එකතු කර ඇති නව සංකල්ප ප්‍රවාද මොනවා ද?  ඔහු ඉන්න ඕන රනිල් එක්ක. ඒත් රනිල් ඔහු ගැන දන්නවා. ඒ නිසා දයාන්ට රනිල් ළඟට යන්න බැහැ. ඔහු මහින්දත් එක්ක ඉන්නවා. ඒකීය රාජ්‍යයක බලය විමධ්‍යගත කරන්න බැහැ. ටිකක්වත් බැහැ. අප ඒකීය රාජ්‍යය ගැන දැන ගත්තෙ බටහිර දේශපාලන විද්‍යාඥයන්ගෙන් නො වෙයි. ගැමුණු රජතුමාගෙන්. ලෝකයේ පළමු ඒකීය රාජ්‍යය, එනම් එක්සේසත් රාජ්‍යය ඇති කෙළේ එතුමා. අප එතුමාගෙන් ඒකීය රාජ්‍යය ගැන දැනගන්නවා. 



රනිල් කරන්න යන ඕනෑම දෙයකට අප සූදානම් වෙන්න ඕන. ඔහුට විකල්ප රාශියක් තියෙනවා. ඔහු කියන්න බැරි නැහැ මහා සංඝයා වහන්සේට (ඔහුගේ වචනවලින් මහානායකට) ඇහුම්කන් දී නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නෙ නැහැ, සංශෝධන කිහිපයක් පමණක් ගේනවා කියලා. ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න සංශෝධන ගේන්න පුළුවන්. මහින්දත් එයට කැමති වෙන්න පුළුවන්. මහින්ද ඉන්දියාවට ගිහින් ඇවිත් කියන්න යන දේ ගැන අප කල්පනාවෙන් ඉන්න ඕන. දහතුන අහෝසි නොකර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු භයානක වැඩක්. අද පොලිස් බලතල ඉඩම් බලතල පළාත් සභාවලට පැවරෙන්නෙ නැත්තේ ජනාධිපතිලා එයට අකමැති නිසා මිස ජේ ආර්ගෙ ටිකිරි මොළයක් හින්ද නිසා නො වෙයි. ගල්ලෙන බින්ද අය ජනතාව රවටනවා ජේ ආර්ගෙ ටිකිරි මොළයක් ගැන කියමින්. අප දහතුන තියාගෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට විරුද්ධයි.



ඒ වගේ ම අප ජනමත විචාරණයකට වුවත් සූදානම් වෙන්න ඕන. ජනමත විචාරණයක දී උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්දය අපට විරුද්ධව ලැබුණොත් රට බෙදීමට ඊනියා ජාත්‍යන්තරය එය යොදා ගනිවි කියන කතා පුහු ජාත්‍යන්තරවාදී දේශපාලන විද්‍යාඥයන් යැයි කියා ගන්නා අයගේ මත. ගල්ලෙන බින්ද අයට නම් ඒ වැදගත් පඬි වාක්‍ය වෙන්න පුළුවන්. ඔවුන් ඒ පඬි වදන් අනුව ජනමත විචාරණයකට සූදානම් වන්නේ නැහැ. අප නැවතත් කියන්නේ රනිල්ගේ ඕනෑම ගැටයකට අප සූදානම් විය යුතු බව.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 27