Main Logo

Wednesday 18 October 2017

විග්නේස්වරන් නොකී කතාව -1


විග්නේස්වරන් නොකී කතාව -1





විග්නේස්වරන්ගේ කතාවලට සිංහල දේශපාලනඥයන්වත් මාධ්‍යවේදීන්වත් පිළිතුරු දෙන්නේ නැහැ. විග්නේස්වරන් මහා බුද්ධිමතෙක් නො වෙයි. සයිටම් ගැන පඬි කතා කියමින් අවසානයේ දී ආණ්ඩුවට සිංහලයන් මර්දනය කිරීමට උදව් උපකාර කරන මාධ්‍ය ලොක්කන්ට හා ඔවුන්ගේ මාධ්‍ය සේවක නිවේදකයන්ටත් විග්නේස්වරන් කියන දේ වාර්තා කිරීම  හැර වෙන කියන්න දෙයක් නැහැ. සමහරවිට ඔවුන් සිතනවා ද දන්නේ නැහැ විග්නේස්වරන්ට පිළිතුරු දීම කාලය කා දැමීමක් කියා.




විග්නේස්වරන්ට අනුව උතුරු පළාතේ හැමදාමත් ඉඳලා තියෙන්නෙ දෙමළ ජනයා. ඒත් දෙමළ ජනයා යනුවෙන් නම් කරන්න ජනවර්ගයක් තවමත් ලංකාවේ නැහැ. අප පහසුවට දෙමළ ජනයා කීවත් ඔවුන් දෙමළ කතාකරන ජනයා පමණයි. ජනමාධ්‍ය පඬියන් අප කියන කිසි දේකට වැදගත්කමක් දෙන්නේ නැහැ. අපේ දේ රැකගන්නේ යැයි කියන ජනමාධ්‍යවත් අපේ රැස්වීම් වාර්තා කිරීමට එන්නේ නැහැ. එන  අයත් ප්‍රචාරයක් දෙන්නේ නැහැ.



සමහරවිට ජනමාධ්‍ය පඬියන්ට අප කියන දේ නොතේරෙනවා වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ කතාවෙන් නම් පෙන්නුම් කරන්නේ සයිටම් නොවෙයි ඕනෑම අයිටම් එකක් ඔවුන්ට තේරෙන බවත් ඒ ඕනෑම එකකට ඔවුන්ට විසඳුම් ඇති බවත්. දෙමළ කතාකරන ජනයා ඉන්දියාවේත් ජනවර්ගයක් වූයේත් දහනවවැනි සියවසේ අග දී. ජනවර්ගයක් වෙන්න ඔවුන්ට ඔවුන් ගැන ම වූ විඥානයක් තියෙන්න ඕන. ජාතියක් වෙන්න පොදු සංස්කෘතියක් පමණක් නො වෙයි රාජ්‍යයක් තියෙන්නත් ඕන.



වත්මන් උතුරු පළාතේ පෘතුගීසීන් එන විටත් බහුතරය සිංහල. ඒ සඳහා අවශ්‍ය ඓතිහාසික සාධක දෙන්න පුළුවන්. දෙමළ ජනයා වත්මන් උතුරු පළාතේ බහුතරය වීමට පටන් ගත්තේ දහහත් වැනි සියවසේ හා ඉන් පසුව ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන්. උතුරු පළාත් සභාවේ මහ ඇමති කනගසබාපති විසුවලිංගම් විග්නේස්වරන්ගේ පරම්පරාවේ ඉතිහාසයේ කුමක් ද? විග්නේස්වරන්ලා ලංකාවට ගෙනාවේ ලන්දේසීන්ගේ දුම්කොළ වගාවට. ඔවුන් කෝරමණ්ඩල වෙරළේ ප්‍රදේශයක වෙල්ලාලර් යනුවෙන් හැඳීන්වුණේ. ලන්දේසීන් මේ වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවටත් ගෙන ගියා. අදත් ඔවුන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයේ දකින්න පුළුවන්.



මේ කරුණු මා අවුරුදු ගණනක් තිස්සේ කියන නමුත් ජනමාධ්‍ය පඬියන් ඒ තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. ඒ සමහරවිට මා ඉතිහාසඥයකු, දේශපාලන විද්‍යාඥයකු, සමාජයීය විද්‍යාඥයකු, නීතිඥයකු නොවන නිසා වෙන්න පුළුවන්. ඔවුන් විග්නේස්වරන්ගේ ප්‍රකාශවලට දෙන තැන මගේ ප්‍රකාශවලට දෙන්නේ නැහැ. ඔවුන් අඩුම තරමෙන් මා බටහිර විද්‍යාව ගැන කියන දේටවත් වැදගත්කමක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන උනන්දුවක් දක්වන්නේ  අප ඒ සම්බන්ධයෙන් කළ දේ තුට්ටුවට දමමින්. සිංහල වෙදකමෙන් වකුගඩු රෝගය සුව වූ බවට ඔවුන් බටහිර වෛද්‍යවරුන්ගේ සහතික ඉල්ලා අපේ කම රැකගන්නවා!



විග්නේස්වරන්ගේ සීයා පොන්නම්බලම් රාමනාදන්ගේ හා පොන්නම්බලම් අරුණාශලම්ගේ ඥාති සොහායරෙක්. ඔවුන් පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ සාමාජිකයන්. රධිකා කුමාරස්වාමි හා ඇගේ සොහොයුරු මහා බැංකුවේ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ පවුලේ සාමාජිකයන්. ඔවුන්ගේ පවුලේ පිරිමි ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. වත්මන් ඇමති ස්වාමිනාදන්ටත් මේ පවුලට නෑකමක් තියෙනවා. ඔහුගේ මව අරුණාශලම්ගේ මිණිබිරියක්. ඔහුත් රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. ඉන්ද්‍රජිත් නම් රාජකීය විද්‍යාලයේ ටික කලක් සිට පසුව එංගලන්තයේ සුප්‍රසිද්ධ හැරෝ විද්‍යාලයේ ඉගෙනීමට ගියා. 



මේ පවුලේ ඉතිහාසය ආරම්භ වන්නේ 1783-1836 පේදුරුතුඩුවේ (දඹකොළ පටුනේ) ජීවත් වු කුමාරස්වාමි කෙනකුගෙන්. අද හින්දු වුවත් මේ පවුල මෑතක්වන තුරු ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ලංකාවේ සිංහල මෙන් ම දෙමළ දේශපාලන පවුල් බොහොමයක් මැතක්වන තුරු ඇංග්ලිකන් ක්‍රිස්තියානි. චන්ද්‍රිකා, රනිල්, ජේ ආර්,  විග්නේස්වරන් ඒ සඳහා උදාහරණ. සුමන්තිරන් තවමත් මැතෝදිස්ත.  අදත් රටේ නියම බලය ඇත්තේ ඔවුන්ට. මේ රට නැවත සිංහල බෞද්ධ රටක් බවට පත් කිරීම පහසු නැහැ.



අර කුමාරස්වාමි මෙරට ප්‍රථම ඉංගිරිසි ආණ්ඩුකාරයා වූ ෆ්‍රෙඩ්රික් නෝත් පිහිටු වූ  සෙමනේරියක පරිවර්තකයකු ලෙස පුහුණු ව ලැබුවා. ඔහු 1805 සිට පරිවර්තකයකු ලෙස කටයුතු කළා. ඔහු වයස විසිහයේ දී මුදලි කෙනකු ලෙස පත්වීමක් ලැබුවා. ඔහු එකල ඉංගිරිසි ආණ්ඩුවේ ඉහළ ම තනතුර දැරූ දෙමළ කතාකරන්නා. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ගිය ඉංගිරිසි හමුදාවේත් පරිවර්තකයකු ලෙස ගියා. ඒ හමුදාව සමග නුවර ගිය තවත් දෙදෙනකු වූයේ චන්ද්‍රිකාගේ මුත්තකු හා ජේ ආර් ජයවර්ධනගේ මුත්තකු. එකී කුමාරස්වාමි 1819 දී ඉංගිිරිසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග්ගෙන් ඉංගිරිසි කිරීටයට කරන ලද සේවය සම්බන්ධයෙන් සම්මාන ලැබුවා.



ඒ කුමාරස්වාමි වෙල්ලාල කුලයට අයත් නොවූ බවටත් කතාවක් තිබුණා. මේ ගැන ජේම්ස් පී රත්නම් කියා ඇති දේ පසුව කියන්නම්. එහෙත් එක් කරුණක් නොකියා ම බැහැ. වෙල්ලාල කියන්නේ ඇතැමුන් කියන ආකාරයට වෙල්ලා හළ නො වෙයි. වෙල්ලාර් වත්මන් දකුණු ඉන්දියාවේ කුලයක්. බ්‍රාහ්මණ කුල ක්‍රමයට (වර්ණ භේදයට) අනුව වෙල්ලාලයන් ශුද්‍රයන්. ඔවුන් ලංකාවේ දී නම් ඊනියා උසස් කුලයක්. වෙල්ලාල යනු වෙල්ලා හළ නම් දකුණු අප්‍රිකාවේ වෙල්ලාලයන් වෙල්ලාල වූයේ කෙසේ ද?     (මතු සම්බන්ධයි)   







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 18