Main Logo

Wednesday, 25 October 2017

නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු




නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු



අද රටේ මහත් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැනයි. විය යුතු පරිදි ම අනෙක් ප්‍රශ්න යටපත් කරගෙන ව්‍යවස්ථා සම්පාදනය කිරීම පෙරට ඇවිත්. මහා සංඝ රත්නය තමන්වහන්සේගේ නිකාය, පාර්ශ්වය ආදියෙහි කාරක සභා යොදා ගනිමින් නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරනවා. උන්වහන්සේ පොදුවේ ගතහොත් ප්‍රකාශ කරන්නේ නව ව්‍යව්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවස්ථාවක් නොවන බවත්. උන්වහන්සේ පොදුවේ නැතත් මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට එකඟ වන බව  ප්‍රකාශ කර සිටිනවා.




මේ සංශෝධනය කිරීමේ භයානක පැත්තක් ද තිබෙනවා. පනත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ වාර්තාව කිසිසේත් ම සතුටුදායක නැහැ. සංශෝධනය කිරීමේ මුවාවෙන් වෙන ම ම පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන්න ඉඩ තියෙනවා. එබැවින් මැතිවරණ සම්බන්ධයෙන් පමණක් වූ සංශෝධනයක් පමණක් ගෙන එන බවට ඒකාබද්ධ විපක්‍ෂය වග බලා ගත යුතු වෙනවා.



මේ අතර තවත් එක් සංශෝධනයක් පමණක් ගැන ඇතැම් කාරක සංඝ සභාවල කියැවෙනවා. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය අහිතකර බව 1978 ත් අප දැන සිටියා. එදා අපත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කළු කොඩි එසවීමට සහභාගි වුණා. එහෙත් 1987න් පසු තත්වය වෙනස් වුණා. ඒ පළාත් සභා පිහිටුවීමෙන් පසු. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු අපට ඇත්තේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක්. ඒ බව මා කිහිප වතාවක් ම ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දු සාකච්ඡා කරමින් කියා තිබෙනවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ අධිකරණ තීන්දුවට පිටින් ගොස්. ඒ සංශෝධනයේ අඩු තරමෙන් 154 G(2) (3) වගන්ති නිසාවත් අද අපට ඇත්තේ සංධීය රාජ්‍යයක්.



මේ සංධීය රාජ්‍යයේ ඉතාමත් ළදරු අවස්ථාවක් වුවත් එය කිසිසේත් ම ඒකීය නො වෙයි. අද නව  ව්‍යවස්ථාවක් මගින් කරන්නට යන්නේ ඒකීය රාජ්‍යය නැති කිරීම නොව මේ සංධිය රාජ්‍යය සහසංධීය රාජ්‍යයක් බවට පත් කිරීමයි. එය චෙල්වනායගම්ගේ අද ටිකක් හෙට හුඟක් යන ප්‍රතිපත්තිය සමග ගැලපෙනවා. අද අපට සිදුව ඇත්තේ ගැමුණු රජු ඇති කළ එක්සේසත් හෙවත් ඒකීය රාජ්‍යය නැවත ඇති කිරීමට මිස ඒකීය රාජ්‍යයක් රැක ගැනීම නො වෙයි. ඒකීය රාජ්‍යයක අවම වශයෙන්වත් බලය විමධ්‍යගත කරන්න බැහැ. ටිකක් ගැබිණී වූ කාන්තාවන් මෙන් ම ටිකක් ඒකීය නොවූ රාජ්‍ය ද නැහැ. 



දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය දෙස බලන ආකාරය වෙනස් විය යුතුයි. අද සංධීය රාජ්‍යය මේ ළදරු තත්වයෙන් පවත්වා ගෙන යෑමට  ගැනීමට හැකි වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. නැත්නම් එය සහසංධීය රාජ්‍යයක් වෙනවා.  දහතුන තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැ. දහතුන නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය කෙරුණා. එහෙත් එය තවමත් නෛතික ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. 2009න් පසුව කළ යුතුව තිබුණේ දේශපාලනික ව පරාජය කෙරුණු දහතුන නෛතික ව ඉවත් කිරීමයි. එහෙත් එසේ කිරීමට සංධාන ආණ්ඩුවේ සිටි බොරු සමාජවාදීන් රෝස පාට සමාජවාදීන් වෙනත් සිංහල විරෝධී පඬියන් විරුද්ධ වුණා. එදා දහතුන ඉවත් කළා නම් අද මේ ප්‍රශ්න පැන නගින්නේ නැහැ.



දහතුන නෛතික ව තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමයට අත නොතැබිය යුතුයි. අනෙක් අතට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය ද යන ප්‍රශ්නය පැන නගිනවා. නීතියේ වාස්තවික නොවන ගුණය මෙහි දී බලපානවා. අර්ථනිරූපණ ආදිය ඉදිරියට එනවා. මේ සම්බන්ධයෙන් යමක් කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්න පුළුවන්.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ පරමාධිපත්‍යය ජනතාව සතු බවයි. ඒ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය හතරවැනි ව්‍යවස්ථාවෙන් කියැවෙනවා. පරමාධිපත්‍යයේ විධායක සංරචකය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති මගිනුයි. ප්‍රශ්නය වනුයේ ජනතාවගේ පරමාධිපත්‍යයෙහි විධායක සංරචකය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කළ හැකිි වන අයුරු හතරවැනි ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කෙසේ ද යන්නයි. මේ ප්‍රශ්නයේ දී නීතිය අනන්‍ය පිළිතුරක් දෙන්නේ නැහැ.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. එහෙත් හතරවැනි ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ව කියැවෙන්නේ නැහැ. එයින් කියැවෙන්නේ ජනමත විචාරණයක් නැතිව පරමාධිපත්‍යයෙහි විධායක සංරචකය විධායක ජනාධිපති මගින් නොව පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කළ හැකි බව ද? 



මට නීතිය තබා කිසිම දෙයක් ගැන ප්‍රාමාණික දැනුමක් නැහැ. එහෙත් මගේ ඉතා සුළු දැනුමට අනුව නම් හතරවැනි ව්‍යවස්ථාව තුන්වැනි ව්‍යවස්ථාව සමග බැඳිලා. තුන්වැනි ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය අනුලංඝනීයයි ඒ අනුලංඝනීය පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් වීම මගින් පරමාධිපත්‍යය ද වෙනස් වෙනවා. එහි දී එහි අනුලංඝනීය භාවය නැති නොවනවා වෙන්න පුළුවන්. එහෙත් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කිරීමක් යනු ද පරමාධිපත්‍යය වෙනස් කිරීමක්. එබැවින් තරකයක් ඉදිිරිපත් කරන්න පුළුවන් හතරවැනි ව්‍යවස්ථාව තුන්වැනි ව්‍යවස්ථාව සමග බැඳී ඇති බවත් එබැවින් හතරවැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහාත් ජනමත විචාරණයක් අවශ්‍ය බවත්.



එය එසේ නම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුව අනුව විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ඔහු කැමති වුවත් නැති වුවත් වත්මන් ආණ්ඩුවට එසේ කිරීමට බැහැ. ඒ හතරවැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බැවින්. කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු නැහැ. එමෙන් ම නව ව්‍යවස්ථාවක් ප්‍රතික්‍ෂෙප කරන්නේ තිබෙන ව්‍යවස්ථාව මුළුමනින් ම බලාත්මක කිරීමටත් නො වෙයි. අද දහතුන්වැනි සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල පැවරීම වැනි වගන්ති ක්‍රියාත්මක වන්නේ නැහැ. අප ඉල්ලා සිටිය යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන අතර තිබෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නොව එය දැනට ක්‍රියාත්මක වන ආකාරයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමටයි. නැතහොත් ඉන්දියාවත් මැදිහත් වී ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට සක්‍රීය ව පැවරීමට කටයුතු කරාවි.    





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 25