Main Logo

Thursday 12 October 2017

සිංහල බෞද්ධ විරෝධී පඬියෝ


සිංහල බෞද්ධ විරෝධී පඬියෝ



සිංහලයන් අතර සිටින ඇතැම් පඬියන් සිංහල බෞද්ධ විරෝධීන් වීමටත් දෙමළ උගතුන් දෙමළ විරෝධී නොවීමටත් හේතුව කුමක් ද? පඬියන් කියනු ඇත්තේ දෙමළ ජනයාට වී ඇති අසාධාරණය නිසා දෙමළ උගතුන්ට දෙමළ විරෝධී වීමට හේතුවක් නැති නමුත් ඊනියා මානව හිතවාදී සිංහල පඬියන් දෙමළ ජනයාට වී ඇති අසාධාරණය හමුවේ හදවත උණු වී දෙමළ ජනයාට සාධාරණයක් කිරීමට යන විට සිංහල අන්තවාදීන්/ජාතිවාදීන්  තමන් සිංහල විරෝධීන් යැයි හඳුන්වන බව ය. එහෙත් මේ කියන පඬියන් එක්කෝ මාක්ස්වාදීන් නැත්නම් හිටපු මාක්ස්වාදීන්, අබෞද්ධයන්, ඊනියා උගතුන්  ආදීන් වීමට ඇති ඉඩකඩ ඉතා අධිකයි.  මේ උගතුන් ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තත් බෞද්ධ යැයි කියන පාසල්වල ඉගෙන ගත්තත් වෙනත් පාසල්වල ඉගෙන ගත්තත් වෙනසක් නැහැ. ඔවුන්ට ලැබෙන්නේ බටහිර ඉංගිරිසි යුදෙව් ක්‍රිස්තියානි සම්ප්‍රදායේ දැනුමක්.




දැන් ප්‍රශ්නයක් වනු ඇත්තේ ඒ පාසල්වල ම ඉගෙන ගත් වෙනත් අය සිංහල විරෝධීන් නොවන්නේ ඇයි ද යන්නයි. එකම අධ්‍යාපනයක් ලබන අයගෙන් යම් පිරිසක් සිංහල විරෝධීන් වීමටත් සෙස්සන් සිංහල විරෝධීන් නොවීමටත් හේතුව කුමක් ද? එයට දිය හැකි ප්‍රධාන ම හේතුව පවුල් පසුබිමයි. පවුල් පසුබිම යන්නට දෙමව්පිය නෑදෑ හිතවතුන්ගේ ජාතිකත්ව නැඹුරුව පමණක් නොව සමාජයීය පරිසරය ද ඇතුළත් වෙනවා. දෙමව්පියන් ජාතිකත්වයට නැඹුරු වුවත් කුල භේදය හේතුවෙන්, එයට හේතුව නොසොයා විමුක්තිය සඳහා මාක්ස්වාදයට හෝ ලිබරල්වාදයට හෝ අධ්‍යාපනය විසින් ඇතැමුන් යොමු කිරීම ද මෙහි දී බලපානවා. පවුල් පසුබිම වඩා ජාතිකත්වයට නැඹුරු වූ විට දරුවන් පසුව හරි ජාතිකත්වයට යොමු වීමත් පවුල් පසුබිම ජාතිකත්වයට නැඹුරු නොවූ විට හෝ කුල භේදයට හසු වූ විට හෝ අධ්‍යාපනය ඉස්මතු වී සිංහල විරොධීන්, විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධීන්, වීමක් දකින්න පුළුවන්. ඒ අතර යම් හීනමානයක් නිසා අධ්‍යාපනයෙන් සිංහල විරෝධී වීමටත් ඉඩක් තියෙනවා. 



සිංහල සමාජයට වඩා දැඩි කුල පීඩනයක් ඇති දෙමළ සමාජයෙහි අය දෙමළ විරෝධී නොවන්නේ අධ්‍යාපනයෙන් ඔවුන් එතැනට තල්ලු නොකරන නිසා හා දෙමළ සමාජ ක්‍රමය නිසා. අපට ලැබෙන අධ්‍යාපනය කිනම් මාධ්‍යයකින් ලැබුණත්, දෙමළ මාධ්‍යයෙන් ලැබුණත් නැතත් සිංහල විරෝධී අධ්‍යාපනයක්. මේ අධ්‍යාපනය අපට පැටවෙන්නේ බටහිරයන්ගේ අවශ්‍යතාවට. එය අධිපතිවාදී අධ්‍යාපනයක්. බටහිර අධ්‍යාපනය තම ආධිපත්‍යය වසා ගන්නා අතර එහි ඇති යුදෙව් ක්‍රිස්තියානි පසුබිම සිසුන්ට කියා දෙන්නේ නැහැ.  එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ අධ්‍යාපනයක්.



මේ අධ්‍යාපනයෙන් පළමුව කෙරෙන දෙයක් නම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදය අපක්‍ෂපාති ඊනියා වාස්තවික වූවක් බව අපට සෘජුව හෝ වක්‍රව හෝ කියා දීමයි. ඒ සමග ඒ ප්‍රභේදයේ අධ්‍යාපනය ඊනියා විද්‍යාත්මක එකක් බවත් සත්‍ය බවත් අප නොදැනුවත් ව අපට ඒත්තු ගැන්වීමයි. ඊනියා විද්‍යාවෙන් නොමග යන අයත් ඇතැම් විට මේ උගුලට හසු වෙනවා. බොහෝ දෙනා එයින් ගැලවෙන්නේ බුදුදහම විද්‍යාත්මක ය කියා හිත රවටා ගැනීමෙන්. මේ අධ්‍යාපනය තම ඊනියා අපක්‍ෂපාතීීත්වය රැකගන්නේ සිංහල බෞද්ධයන් අන්තවාදීන් බව වක්‍ර ව කීමෙන්. එය දෙමළ ජනයාට දෙමළ සංස්කෘතියට විරුද්ධව එලෙස අන්තවාදී හැඟීමක් වක්‍ර ව නමුත් දෙන්නේ නැහැ. එබැවින් දරුණු කුල පීඩනයකින් පෙළුණත් දෙමළ ජනයා දෙමළ හින්දු විරෝධී වන්නේ නැහැ. මනු නීතිය අනුව සංස්කෘතියෙන් ඔවුන් හික්මවා කුල පීඩනය සාමාන්‍ය දෙයක් බවට පත් කෙරෙනවා. බුදුදහමේ කුල භේදයක් නැති නිසාත් සිංහල බෞද්ධයන් සමාජයේ පැටවී ඇති කුල භේදයට විරුද්ධ වෙනවා. සිංහල බෞද්ධයන් අතර මේ වන විට කුල භේදය ඇත්තේ ඉතාමත් අල්පව. 



බටහිර විද්‍යාව යනු හිතළුවල එකතුවක් බවත් පට්ටපල් බොරුවක් බවත් කී විට සිංහල ජාතිකවාදීන් ද කුපිත වෙනවා. බොහෝ සිංහල ජාතිකවාදීන් ලෝක දෙකක ජීවත් වෙනවා. එක් ලෝකයක පවුල් පසුබිම අනුව ඔවුන් ජාතිකවාදීන් වෙනවා. අනෙක් ලෝකයෙහි ඔවුන් බටහිර දැනුම සත්‍ය හෝ සත්‍යයට ළඟා වන්නක් ලෙස සලකනවා. මේ ලෝක දෙක ඔවුන් අමාරුවෙන් ගැට ගහගන්නේ බුදුදහම විද්‍යාත්මක හා සත්‍ය බව පැවසීමෙන්. මෙය උගතුන්ගේ ප්‍රශ්නයක් බව අමතක නොකළ යුතුයි. සාමාන්‍ය ජනයාට මෙවැනි ප්‍රශ්න නැහැ. එහෙත් අවාසනාවකට අද ජනමතය සකසනු ලබන්නේ බොහෝ විට උගතුන් යැයි කියා ගන්නා අය විසින්.



මේ සිංහල බෞද්ධ විරෝධී උගතුන් මොන අර්ථයෙන් ගත්තත් ඊනියා ජාත්‍යන්තරවාදීන්. ඔවුන් මාක්ස්වාදීන් හෝ ලිබරල්වාදීන් හෝ වීමට හැකියි. ඔවුන්ට බොහෝ විට ජාතිය යන සංකල්පය නැති බව කිංයනවා, එසේත් නැතහොත් අඟවනවා. පංතිය, මානවයා, පංති හැඟීම, මානව හිතවාදය ආදිය ඔවුන්ගේ ශබ්ද කෝෂයේ ඇති වචන. ජාතිය යන්න නැති වීමට මාක්ස්වාදය හරි වෙනත් බටහිර දැනුමක් හරි බලපානවා. බටහිරයන් දන්නා එකම ජාතිය ජාතික රාජ්‍යයේ කියැවෙන ජාතිය. එය නෛතික ජාතියක් මිස දැනෙන ජාතියක් නො වෙයි. එංගලන්තයේ හා යටත්විජිතවල මිනිසුන් ඊනියා එක්සත් රාජධානියෙහි රටවැසියන් වන්නේ හැඟීමෙන් නොව නීතියෙන්, ගමන් බලපත්‍රයෙන්. අද මෙරට මාක්ස්වාදීන්ට මෙන් ම ලිබරල්වාදීන්ට ද සිංහල බෞද්ධයන්ට විරුද්ධව එකතු වීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ ඊනියා ජාත්‍යන්තරවාදයෙන්.



එහෙත් සිංහල බෞද්ධ විරෝධීන් ජාතිය නොපිළිගත්තත් දෙමළ ජනවර්ගය පිළිගන්නවා. එය පරස්පරයක් බව ඔවුන් දකින්නේ නැහැ. ඒ සිංහල ගැමියන්ට අනුව නම් කබරගොයා තලගොයා කර ගැනීමක්.      







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 12