Main Logo

Saturday, 21 October 2017

විග්නේස්වරන් නොකී කතාව – 3  


විග්නේස්වරන් නොකී කතාව – 3



විග්නේස්වරන් යනු අමු ම අමු දෙමළ ජාතිවාදියෙක්. ඔහු පිටුපස ඉන්නේ බටහිර රටවල විසුරුණු දෙමළ ජනයා. ඔවුන් පිටුපස ඇත්තේ එංගලන්තය ප්‍රධාන බටහිර රාජ්‍ය. බටහිරයන් නොහිටින්න විග්නේස්වරන් කෙනකු නැහැ. මෙරට වෙල්ලාලයන්ට ඇති ප්‍රශ්නය ඔවුන් ඉංගිරිසින් යටතේ භූක්ති විඳි වරප්‍රසාද මහජන ඡන්දය ලබා දීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් නැති වී යැමයි. 1912 පමණ වන තෙක් මෙරට ලාංකිකයන් යැයි කියන්නන් අතර ප්‍රධානත්වය දැරුවේ ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන්. ඉනුත් පොන්නම්බලම් කුමාරස්වාමි පවුල. එකල ඉංගිරිසි කතාකරන සිංහල ජනයාත් මේ පවුලේ නායකත්වය පිළිගත්තා. එකල ඉංගිරිසි කතාකරන වෙල්ලාලයන්ගේ සංඛ්‍යාව ඉංගිරිසි කතාකරන සිංහලයන්ට වඩා වැඩියි.




1912න් පසු ඊනියා උගත් හා ආර්ථික වශයෙන් ඉංගිරිසින් අනුගමනය කර ශක්තිමත් වූ අයට සීමිත ඡන්දයක් ලැබුණා. එයත් සමග රටේ දේශපාලනය තවත් වෙනස් වන්න පටන් ගත්තා. එහි හොඳ ප්‍රතිඵල මෙන් ම නරක ප්‍රතිඵලත් තිබුණා. සිංහලයන් අතර අනගාරික ධර්මපාලතුමාට තිබූ නායකත්වය නැති වී ගියා. ඕල්කට් බෞද්ධයන් තම බලය තහවුරු කර ගත්තා. ධර්මපාලතුමා හා ඕල්කට්තුමා අතර තිබූ වෙනස ක්‍රිස්තියානි ආගම සම්බන්ධයෙන් වූ වෙනසක්. ඉතා කෙටියෙන් කියන්නේ නම් ඕල්කට්තුමා ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඔහු සහ තවත් එවැනි අයට තිබූ ප්‍රශ්නයක් වූයේ ක්‍රිස්තියානියේ ආධ්‍යාත්මික යැයි කිව හැකි අංග බටහිර නූතනත්වයත් සමග නැති වී යෑම.



ක්‍රිස්තියානියේ ඊනියා ගූඪත්ව අංග බටහිර විද්‍යාව මගින් ප්‍රශ්න කෙරුණා. එදා තබා අදවත් බොහෝ අයට හැඟීමක් අවබෝධයක් නැහැ බටහිර විද්‍යාවේ ප්‍රවාද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව. පංචෙන්ද්‍රිය ගෝචර නොවීම ගූඪත්වය නම් බටහිර විද්‍යාවත් ගූඪයි. ඒ කොහොම වුණත් ඕල්කට්තුමා වැනි ප්‍රොතෙස්තවාදීන්ට ප්‍රශ්නයක් වුණේ ක්‍රිස්තියානියේ ඊනියා ගූඪත්වය නැති වී යෑම. ඔවුන් බුද්ධාගමට හා හින්දු ආගමට යොමු වූයේ ඒ නැති වී ගිය ඊනියා ගූඪත්වය නැවත ලබා ගැනීමට. රුසියන් ආධ්‍යත්මිකවාදී බ්ලැවට්ස්කි මැතිණිය එහි දී ඔවුන්ට බලපෑවා.



ඕල්කට්තුමා බුද්ධාගම හා හින්දු ආගමට යොමු වූයේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධව නොව එහි ඌනපූරණයක් සඳහා. ධර්මපාලතුමා, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ක්‍රිස්තියානි ආගමේ වැරදි දැක්ක අතර ක්‍රිස්තියානි ආගමිකයන් බෞද්ධයන්ට කළ තාඩන පීඩන ද අත්දුටුවා. පාණදුරා වාදය ක්‍රිස්තියානියේ ඌනපූරණයක් සඳහා කෙරුණක් නො වෙයි. ඉඩක් ලැබුණෙත් මෙය තවදුරටත් විස්තර කරන්නම්. ඒත් එයින් එතරම් වැඩක් වේද යන්නත් ප්‍රශ්නයක් වෙනවා. සිංහල බෞද්ධයන් සංකල්පීයව හිතන්නේ නැහැ. ඔවුන්ට ඕල්කට්තුමා හා ධර්මපාලතුමා අතර වෙනස තේරෙන්නේ නැහැ.



1912 පළමු වරට ව්‍යවස්ථාදායක සභාවට උගත් ලාංකිකයකු පත්කර ගැනීමට පැවැත් වූ මැතිවරණයෙන් මාකස් ප්‍රනාන්දු පරදවා විග්නේස්වරන්ගේ සීයා කෙනකු වූ රාමනාදන් ජයග්‍රහණය කළා. ඒ මැතිවරණයේ දී ඊනියා ලාංකික (ඉංගිරිසි කතාකරන) සමාජයේ බලපා ඇත්තේ කුලය මිස ආගම, ජනවර්ගය, භාෂාව ආදිය නො වෙයි. ඉංගිරිසි කතාකරන ගොයිගම හා වෙල්ලාල කුල එකතු වී ඉංගිරිසි කතාකරන කරාව කුලය පරදවා තිබෙනවා. කෙසේ වෙතත් එකල ඉංගිරිසි කතාකරන ලාංකිකයන් (ලාංකිකයන් -සිලනීස්-  යනු මුල දී ඉංගිරිසි කතාකරන අය අතර තිබූ නෛතික අදහසක් පමණයි. අදත් එය නෛතික අදහසක් පමණයි)  තම නායකයා ලෙස තෝරා ගත්තේ විග්නේස්වරන්ගේ රාමනාදන් සීයා. ඔහුගේ තවත් සීයා කෙනකු වූ අරුණාශලම් 1912න් පසුව ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වය වැඩිකිරීමට විරුද්ධ සටනේ නායකයා වුණා.



1912 සීමිත වුවත් ඡන්ද බලය ලැබීමෙන් පසුව ඊනියා ලාංකිකයන් අතර නායකත්වය ක්‍රමයෙන් සිංහලයන් අතට, ඕල්කට් බෞද්ධයන් අතට, පත්වුණා. 1931 දී සර්වජන ඡන්දබලය ලැබීමෙන් පසුව දෙමළ නායකත්වයට තම වරප්‍රසාද හා තිබූ තැන තවත් නැති වුණා. වෙල්ලාලයන් 1912 සිට  කර ඇත්තේ තම වරප්‍රසාද ආරක්‍ෂා කර ගැනීමට සටන් කිරීම. හතළිහේ දශකයේ එය සිංහලයන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනීමක් ලෙස වර්ධනය වුණා.



1956 වන විට ගුණදාස අමරසේකර පෙන්වා දී ඇති පරිදි ධර්මපාල ව්‍යාපාරය නැවතත් බලවත් වූවා. එහෙත් එය අවසානයක් තෙක් ගියේ නැහැ. එය අතරමග නතර වූවා. 1956 දි රාජකීය විදුහලේ ඉහළ පන්තිවල සිසුවකු වූ විග්නේස්වරන් මේ වෙනස්කම් දකින්ට ඇති. මේ වන විට චෙල්වනායගම් තම බෙදුම්වාදී දෙමළ රාජ්‍ය පක්‍ෂය ආරම්භ කර අවුරුදු හතක් පමණ ගත වී තිබුණා. විග්නේස්වරන්ලා සටන් කරන්නේ ඊනියා ලාංකික සමාජයේ තමන්ට රැකගත නොහැකි වූ නායකත්වය දෙමළ ඊළමක ලබා ගැනීමට.



මේ ප්‍රශ්නය අප දෙමළ ජනයාට වූ ඊනීියා අසාධාරණයක් ආදිය ලෙස හඳුනාගන්නා තෙක් අපට විමුක්තියක් නැහැ. ක්‍රිස්තියානි පසුබිමක් ඇති දයාන් ජයතිලකලාට ප්‍රශ්නය තේරෙන්නේ ක්‍රිස්තියානි පසුබිමකින්. ඔවුන්ගේත් ඕල්කට් බෞද්ධයන්ගේත් අදහස් යුදෙව් ක්‍රිස්තියානි සංකල්පවලින් තවත් අවුල් කෙරෙනවා. විග්නේස්වරන් ලංකාව ඊනියා අනාගමික රාජ්‍යයක් විය යතු යැයි කියන විට ඔහු දයාන්ලාත් සිවල් සමාජයත් සමග එකට සිටිනවා. අද සිවල් සමාජය මහානායක හිමියන්ගේ ඊනියා සිවිල් බලයක් ගැන කතා කරනවා. මේ කසිකබල් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංකල්පවලින් සිංහල බුද්ධාගම විස්තර කිරීමට යෑමක්. මහානායක හිමියන්ට මෙරට ඊනියා සිවිල් බලයකට වඩා වැඩි දෙයක් තිබෙනවා. සිවල් සාමාජිකයන්ට සිංහල බුද්ධාගම තේරෙන්නේ නැහැ. මෙරට තිබූ සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යයෙහි භික්‍ෂූන් වහන්සේ සිවිල් නොව පැවිදි පක්‍ෂය වූවා. උන්වහන්සේ පාලකයන්ට ද ජනතාවට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. උන්වහන්සේ රජවරුන්ට උඩින් වැජඹුණා. රජුන් උන්වහන්සේට වැන්දා මිස ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආච් බිෂොප්ලා (යෝක් හි හා කැන්ටබරියේ) මෙන් රජු එන විට නැගී සිටියේ නැහැ. මෙරට අනාගමික රාජ්‍යයක් නොවන්නේ ඇයි ද යන්න අපි හැකි වුණොත් හෙට කතා කරමු. (මතු සම්බන්ධයි) 







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 21